“ෂරිආ” පිළිවෙත පිළිබඳ විමසුමක්.

ඉස්ලාමයට එරෙහිව විවිධ මාධ්‍යයන් මගින් මතු කොට ඇති විවේචන දෙස බලන විට එක් පොදුතාවක් ඉතා පැහැදිලිව ම දක්නට ඇත. එනම් විවේචන ඉදිරිපත් කරන්නන් විවේචනයට අදාළ විෂය පිළිබඳව පැහැදිලි හා ගැඹුරු දැනුමකින් තොරව තම සිතෙහි මතු වී ඇති ඉස්ලාම් පිළිකුල හා ඉස්ලාම් භීතිකාව පමණක් පදනම් කර ගෙන කෙන්ද කන්ද කර පෙන්වීමේ වෑයමක නිරත වී ඇති බවය. බොහෝ අවස්ථාවන්හි දී කෙන්දක් තරම්වත් හේතු නොමැතිව විවේචන ඉදිරිපත් කර තිබීම පිළිබඳව දැඩි කනස්සල්ලට හා සිත් වේදනාවට පත් වන්නෙමු. ඉස්ලාමිකයින් වන අපි අල් කුර්ආනයේ හා දෙවිඳුන් විසින් මනුෂ්‍ය වර්ගයාට යහමඟ පෙන්වීම උදෙසා පත් කළ අවසන් ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන්ගේ මඟ පෙන්වීම අනුගමනය කරන්නන් වශයෙන් කිසිම දහමකට අපහාස නොකරන්නට බැඳී සිටින්නෙමු. සමහර අවස්ථාවන්හි දී නිවැරදි මුලාශ්‍රයන් පදනම් කර ගෙන අර්ථදායක විවේචන ඉදිරිපත් කළත් පදනම්  විරහිත අන්දමින් දහම් කෙරෙහි අපහාසාත්මක ලෙස කරුණු ඉදිරිපත් කිරීමක් මුස්ලිම් වරයෙකුගෙන් සිදු නොවිය යුතුම කරුණකි.

අල්ලාහ් හැර ඔවුන් අයැදින දෑට (හෝ අයට) නුඹලා අපහාස නොකරවූ (අල් කුර්ආනය 6 : 108)

මෙම පැහැදිලි උපදේශය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීමට අපි බැඳී සිටින්නෙමු. එම නිසා නොදැනුවත්කමින් ඉස්ලාමයට එරෙහිව මතු කරන චෝදනා පිළිබඳව අපට අනුගමනය කරන්නට විවෘතව ඇත්තේ සත්‍යය අසත්‍යය කුමක් ද යන්න පැහැදිළි කර දීම පමණි. ඒ අනුව ‘ෂරිආ’ පිළිබඳ ව මතු වී අති වැරදි අවබෝධයන් පැහැදිලි කර දීමේ උත්සාහයක යෙදෙන්නට මෙම ලිපිය මගින් කටයුතු කර ඇත්තෙමු.

“ෂරිආ” යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? 

මෙහි පදගතාර්ථය නම් ‘දිය ඇලක් වෙත යොමු වී ඇති ජල මාර්ගයක්, දිය බොන ස්ථානයක්, මාවතක් හෝ නිවැරදිමඟ’ යන්නය. මෙම අර්ථයන් ගෙන් අපේක්ෂිත තැනකට හෝ නිශ්චිත ඉලක්කයක් කරා යොමු වූ මාවතක් හෝ මඟක් යන අර්ථය ගෙන දීමට ෂරිආ යන පදය යොදා ගනු ලැබිණ. අල් කුර්ආනයේ ෂරිආ යන පදය හා එහි විවිධ අනු ප්‍රභේධ  පිළිබඳව ස්ථාන පහක සඳහන් වී ඇති නමුත් එහි විස්තීර්ණ භාවිතය පසු කාලීනව සිදු වුවකි. ඉස්ලාමයේ ආරම්භක කාල වකවානුවේ ‘ඉස්ලාම්’ ‘දීන්’ යන පදයන් මේ වෙනුවට උපයෝගී කර ගන්නා ලදී.

මුස්ලිම් වරුන්ගේ ජීවිත හසුරුවන නීති මාලාවන්, නියාමනයන්, ඉගැන්වීම්, හා අගයන් හුවා දැක්වීමට සංකල්පාත්මකව ෂරිආ යන පදය උපයෝගී කර ගනු ලැබේ. මෙය මුස්ලිම් වරයෙකුගේ පරිපුර්ණ ජීවන සැලැස්ම අඩංගු වූ ඉතා පළල් සංකල්පයකි. නැමදුම, සදාචාරය, පුද්ගල ආකල්ප හා කල් ක්‍රියාව මෙන්ම දේශපාලන, ආර්ථික, සමාජීය, සමාජ සත්කාර ක්‍ෂේත්‍රයන් ද අපරාධ හා සිවිල් අංශයන් ද තනි පුද්ගල අයිතිවාසිකම් හා සමාජීය අයිතිවාසිකම් ද මෙයට අන්තර්ගත වෙයි.

එහෙයින් ෂරිආ යනු දෙවිඳුන් ව විශ්වාස කර පිළිගන්නා ජනයාට මෙලොව හා මතුලොව ජය අත් පත් කර ගැනීම උදෙසා අනුගමනය කිරීමට දෙවිඳුන් විසින් සකස් කර දී ඇති මාවතක් ලෙස විග්‍රහ කිරීම වඩාත් සුදුසු වෙයි.

ෂරිආ හි අපේක්ෂිත අරමුණු කුමක්ද?

ෂරිආ හි මුලික අරමුණ වන්නේ ප්‍රතිපත්තියක් වශයෙන්ම මිනිසුන් මුහුණපාන දුෂ්කරතාවන් ඉවත් කොට ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටලු වලට යහ විසඳුම් ලබා දීමය. පොදු වශයෙන් ෂරිආ පිළිවෙත මගින් පුද්ගලයින් හා සමාජයට දැහැමි වන්නට දිරි ගන්වන අතර දෙවිඳුන්ට සමීපතාවක් ගොඩ නගා ගන්නට මග පෙන්වයි. සමාජයන් ආරක්ෂිතව සහයෝගීතාවකින් යුක්තව ඒකීයත්වය පිළිබඳ හැඟීමකින් හා විශ්වාසයකින් මෙන්ම සැවොම එකිනෙකාට උපකාර කර ගනිමින් යහකම දිරිගන්වමින් හා දෙවිඳුන් හට අප්‍රිය වූ අයහකමින් එකිනෙකා වළකමින් කටයුතු කිරීම මිනිස් සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය කරුණකි. ෂරියා පිළිවෙතේ අරමුණු පහක් සඳහන් කොට ඇත.

  1. දහම සුරක්ෂිත කිරීම ෂරිආ හි අරමුණු අතරින් වැදගත් ස්ථානයක් ගනියි. මිනිස් ජීවිතයේ හරය හා සාරය ලෙස ගැනෙන්නේ දහමය. මිනිසාගේ මෙලොව හා මතුලොව ජය රැඳී ඇත්තේ දහමේ නිවැරදි මග පෙන්වීම් අනුගමනය කිරීම මතය.
  2. ජීවිත ආරක්ෂණය ෂරිආ හි තවත් වැදගත් අරමුණක් වෙයි. කිසිදු ජීවියෙකුට හිරිහැර කිරීමට හෝ අන් අයගේ ජීවිත හානි කිරීමට හෝ අයිතියක් කිසිවෙකුට නොමැත. අන් අයගේ ජීවිත අනුල්ලංඝනීය බව ඉස්ලාමය උගන්වන අතර අහිංසක ජීවිත වලට හානි සිදු කිරීම මහා පාපයක් ලෙස ද සලකයි.
  3. බුද්ධිය ආරක්ෂා කිරීමද ෂරිආ හි තවත් වැදගත් අරමුණක් වෙයි. මුස්ලිම් වරයෙකු සෑම විටම සන්සුන් හා තැන්පත් කමකින් යුක්ත විය යුතුය. මත් පැන් මත් කුඩු හා සියලුම මත් ද්‍රව්‍යයන්ගෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය වෙයි. බුද්ධිය හා මනස ව්‍යාකුලත්වයට පත් කරන්නා වූ මත්ද්‍රව්‍ය හා අනෙකුත් දෑ පුද්ගලයාට හා සමාජයට අති හානිකරය.
  4. දේපළ හා ධනය ආරක්ෂා කිරීම ඉතා වැදගත් තැනක් ෂරිආ පිළිවෙතේ අන්තර්ගතය. පුද්ගල ආරක්ෂණය පිළිබඳ හැඟීම පරිපුර්ණ වීමට නම් තම ශ්‍රමයේ ඵලය ලෙස සැලකෙන දේපළ හා ධනය සුරක්ෂිත විය යුතුය. සොරකමින් හා බලහත්කාරකමින් තම වස්තුව රැක ගැනීමේ සහතිකයක් තිබීම පුද්ගල ආරක්ෂණයේ වැදගත් ස්ථානයක් ගනී.
  5. පරපුර පිරිසිදුව හා නිවැරදිව පවත්වා ගෙන යෑම ෂරිආ පිළිවෙතේ ඉතා වැදගත් අංගයක් වෙයි. විවාහයට පුර්ව හා විවාහයෙන් බාහිර සියලුම ලිංගික සම්බන්ධතාවන් තහනම් වන අතර ඒවා දඬුවම් ලැබීමට හේතු වන කරුණු ලෙස සැලකේ. අවිවාහ මෛථුනය, අනාචාරය, ලිංගික අපචාරය, ගණිකා වෘත්තිය ආදී සියලුම ආකාරයේ ලිංගික වැරදි මෙන්ම එම වැරදි කරා යොමු කරවන සියලු සාධක පිළිබඳව ෂරිආ පිළිවෙත දැඩි විරුද්ධ ස්ථාවරයක සිටී.

ෂරිආ හි සියලු කරුණු ඉහත ක්‍ෂේත්‍ර පහ ඇතුළත අඩංගු වෙයි.

යහ සමාජයක් ගොඩ නැගීම හා සුරක්ෂිත කිරීම පිලිබඳ ඇති  ප්‍රධාන කරුණු කුමක්ද?

  1. ආධ්‍යාත්මික හා සාරධර්ම සපිරි සමාජයක් ගොඩ නැගීම අභියෝගාත්මක මෙන්ම          අති දුෂ්කර කාර්යභාරයකි.
  2. එවන් යහ සමාජයක් පිරිහීමෙන් හා අපවිත්‍රනයෙන් ආරාක්ෂා කිරීම එය නිර්මාණය කිරීමට වඩා අති භාරදුර හා දුෂ්කර ක්‍රියාවකි.
  3. මේ හේතුව නිසාම සමාජයේ යහ පැවැත්ම සහතික කිරීමට හා ආරක්ෂා කිරීමට නීති රීති මෙන්ම නිවැරදි මඟපෙන්වීමක් අත්‍යවශ්‍ය වෙයි.
  4. මෙම ක්‍රියාවලියේදී පුද්ගලයා ආරක්ෂා කිරීම මෙන්ම සමස්ත සමාජය ආරක්ෂා කිරීම සඳහා ප්‍රමුඛතාවක් දිය යුතු වෙයි.
  5. සමාජ විරෝධී ක්‍රියාවකට මුල් වන පුද්ගලයෙකු පරිත්‍යාග (කැප) කොට සමස්ත ධාර්මික සමාජයම ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ඉස්ලාමයේ පිළිවෙතයි.
  6. ඉස්ලාමීය නීති රීති සකස් වී ඇත්තේ සමස්ත සමාජයේ සුරක්ෂිතභාවයට ප්‍රමුඛතාව දී ඉන් පසු පුද්ගලයා ආරක්ෂා කිරීමේ කටයුත්තට යොමු වීමේ පිළිවෙත මතය.

 ෂරිආ පිළිවෙත කෙරෙහි පැවරෙන කාර්යභාරය කුමක්ද?

මනුෂ්‍ය ජීවිතයේ පහත සඳහන් කරුණු ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ඉස්ලාමීය ඉගැන්වීම් සකස්වී ඇත.

  1. ජීවිතය පිළිබඳ අනුල්ලන්ඝනීයත්වය
  2. මානව නිදහස
  3. මිනිසත්සකම පිළිබඳ සැලකිල්ල හා උනන්දුව
  4. මානව ගෞරවය
  5. සදාචාරාත්මක හැසිරීම
  6. යුක්තිය හා සාධාරණය
  7. සාමය
  8. පාරිසරික සුරක්ෂිතභාවය

(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙස ද ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක් වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙන්) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබා ගත යුතු යැයි ඔහු (අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය. (16 : 90)

(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙහි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේශය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබව පොලොඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බියබැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (5 : 8)

ෂරියා පිළිවෙත ගැන බහුතරයකගේ විවේචන මතු වී ඇත්තේ හුදුද් යනුවෙන් හඳුන්වනු ලබන නිශ්චිත දඬුවම් පිළිබඳ ව ය. ඒ පිළිබඳ විමසුමක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

‘හුදුද්’ යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

‘හුදුද්’ යනු ‘හද්’ හි බහු වචනයයි. මෙම වචන දෙකම අරාබි භාෂාවට අයත් වන අතර මෙහි අර්ථය ‘සීමාව’ හෝ ‘මායිම’ යන්නය. මෙම වචනයට ඉස්ලාමිය කෝණයෙන් අර්ථවත් වන්නේ දෙවිඳුන් විසින් නියම කොට ඇති සීමාවන් උල්ලංඝනය කළ විට දරන්නට සිදුවන ආදීනවයන් (දඬුවම්)ය. මෙම දඬුවම් වර්ගීකරණය අනුව අධිකරණයකදී චුදිතයා නිශ්චිත වරදට වැරදි කරුවෙකු බවට ඔප්පු වුවහොත්, විනිශ්චයකරුට හෝ පාලකයාට හෝ වෙන අන් අයෙකුට හෝ චුදිතයාට සමාව දීමේ අයිතියක් නොමැත. මෙහිදී නිශ්චිත දඬුවම් අනිවාර්යයෙන් දිය යුතුම වෙයි. හුදුද් දඬුවම් දිය යුතු වැරදි හයක් සඳහන් වේ. 1. මත්පැන් පානය, 2. සොරකම, 3. සන්නද්ධ මංපැහැරීම, 4. ලිංගික අපචාරය, 5. ද්වේශ සහගත ලෙස දුරාචාරී චෝදනා නැගීම සහ 6. දහම අතහැර යෑම ආදිය මෙම වර්ගීකරණයට ඇතුලත් වේ.

දහම අතහැර යෑම පිළිබඳ විද්වතුන් අතර මත වෙනස්කම් ඇති අතර වඩාත් නිවැරදි මතය ලෙස සැලකෙන්නේ දහම අතහැර ගොස් ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව සටනට පිවිසීම මෙම දඬුවම ලැබීමට හේතුවන බවය. මේ පිළිබඳ තවදුරටත් කරුණු අවබෝධ කරගැනීම සඳහා “ඉස්ලාමය හැර යන්නාට මරණ දඬුවමද?” යන ලිපිය කියවන්න.

ෂරිආ පිළිවෙත ක්‍රියාත්මක කිරීම යනු හුදුද් (නිශ්චිත දඬුවම්) ක්‍රියාත්මක කිරීමද?

ෂරිආ පිළිවෙත හුදුද් (නිශ්චිත දඬුවම්) පිළිබඳව පමණක් වූ සංකල්පයක් නොවේ. මුස්ලිම් වරයෙකුගේ ජීවිතයේ සියල්ලම පාහේ ෂරිආ පිළිවෙතට අනුකුල විය යුතුය. හුදුද් ක්‍රියාත්මක කිරීම යනු ෂරිආ හි කොටසක් ක්‍රියාත්මක කිරීම පමණි. දඬුවම් පිළිබඳව ඇති කොටස අති මහත් වූ ෂරිආ පිළිවෙතේ ඉතාමත්ම අල්ප වූ කොටසක් පමණි. හුදුද් යනු දෙවිඳුන් විසින් සෘජුව නියම කොට ඇති දඬුවම් වන අතර මෙයට අමතරව ‘කිසාස්‌’ (සමප්‍රතිචාර දැක්වීමේ නීතිය) හා ‘තා’zසීර්’ (අධිකරණයේ අභිමතය හා විචාරශීලිත්වය මත පදනම් වූ නීතිය) ද ඉස්ලාමීය නීති පද්ධතියේ කොටසක් වන්නේය. මෙම පිළිවෙතට මුහම්මද් ධර්ම දුතයාණන්ගේ අලංකාර පුර්වාදර්ශයේ හා අල් කුර්ආනයේ ඉගැන්වීම් තුළින් මග පෙන්වීම් ලැබී ඇත.

කිසාස්‌ හා තා’zසීර්

ජීවිත ආරක්ෂණය සෑම සංස්කෘතියකටම පොදු වුවාක්‌ මෙන්ම කෙනෙකුව නිකරුණේ මරා දැමීම බරපතළ වරදක් ලෙස ද සැලකේ. ඒ පිළිබඳව ඇති ඉස්ලාමීය මතයන් හා ක්‍රියාකාරකම් අන් සංස්කෘතීන්ට වඩා වෙනස් වන්නේ කෙලෙස ද යන්න පළමුව විමසා බලමු. හුදුද්, කිසාස් හා  තා’zසීර් පිළිබඳව සවිස්තරාත්මක කරුණු පැහැදිළි කිරීමක් තවත් ලිපියකින් (ඉන්ෂා අල්ලාහ්) කිරීමට අපේක්ෂා කරණ හෙයින් මුලික හැඳින්වීමක් පමණක් මෙහිදී කරන්නට බලාපොරොත්තු වන්නෙමු.

ජීවිතයේ අවසානය වූ මරණය සිදුවන හෝ සිදුවීමට නියම කරනු ලබන ආකාරය පිළිබඳව ඉස්ලාමය දරණ මතය අනුව එහි ජීවිතාරක්ෂණය සම්බන්ධයෙන් ඇති කරුණු සාකච්ඡාවට බඳුන් කළ හැක. මෙම කරුණු කියවන අයෙකුට නිවැරදි ඉස්ලාමීය ස්ථාවරයන් අවබෝධ කර ගැනීමට නම් එයටම සුවිශේෂී වූ ලක්ෂණයන් කිහිපයක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම සුදුසු යැයි සිතන්නෙමු.

එවැනි ලක්‍ෂණයන්ගෙන් කිහිපයක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

  1. තාපස, ශ්‍රමණ, අනගාරික, හෝ බ්‍රහ්මචාරී පිළිවෙතක් ඉස්ලාමයේ නොමැත.
  2. පුජක පක්ෂයක් ඉස්ලාමයේ නොමැත. මව්ලවි, ආලිම්, යන අරාබි වචනයන්ගෙන් හඳුන්වන්නේ ඉස්ලාමීය විද්වතුන් වන අතර ඔවුන් සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන ගිහි පිරිසකි. සියලු නැමදුම් විශ්වයේ හා එහි අඩංගු සියලු දෑහි නිර්මාතෘ, අධිපති, පාලක, හා පෝෂක වූ අල්ලාහ් ටම පමණක් සිදු කළ යුතුය.
  3. විවාහය දිරි ගන්වයි.
  4. සියලු ඉගැන්වීම් දේව සවිඤාණක යහ ලෞකික ජීවිතයක් තුළින් මතු ජීවිතයේ සාර්ථකත්වය අත්පත් කර ගැනීම කෙරෙහි යොමු වී ඇත.

ඉහතින් සඳහන් කර ඇති මුලික වශයෙන් ඉස්ලාමයට පමණක් සුවිශේෂී වූ අදහස් පදනම් කර ගනිමින් ජීවිතාරක්ෂණය පිළිබඳව වූ කරුණු සාකච්ඡා කරමු. මේ පිළිබඳව ඇති අල් කුර්ආන් වැකියක් පළමුව විමසා බලමු.

යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත කලහකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනීද ඔහු මිනිස් වර්ගයාම බේරා ගත්තා හා සමානය.” (අල් කුර්ආනය 5:32)

ඉහත අල් කුර්ආන් වැකියෙන් මිනිසෙකු නිකරුණේ ඝාතනය කිරීම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම ඝාතනය කිරීමකටද, එලෙසම යමෙක් මිනිස් ජීවිතයක්  ආරක්ෂා කර ගනීද එය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම ආරක්ෂා කර ගැනීමකටද සමාන කිරීමෙන් ජීවිත ආරක්ෂණය සහතික කිරීම ඉස්ලාමයේ සම්මත සංකල්පය බව ඉතා නිරවුල් ව පැහැදිලි වෙයි. මෙම සම්මත සංකල්පයට පටහැනි වන හෙතුන්ද මෙම අල් කුර්ආන් වැකියෙහි අන්තර් ගත කොට ඇති හෙයින් අපගේ සාකච්ඡාවට බඳුන් විය යුත්තේ එම කරුණු බවයි අපගේ අදහස වන්නේ. ඉස්ලාමීය ඉගැන්වීම් යහ ගිහි ජීවිතයක් කරා යොමු වී ඇති හෙයින් ඉස්ලාමීය රාජ්‍යයක නීතිය හා සාමය පවත්වා ගෙන යෑමේ මඟ පෙන්වීමද එයට ඇතුලත්ව ඇත. නීතිය හා සාමය පවත්වා ගෙන යෑමද ජීවිත ආරක්ෂණය පදනම් කරගෙන සකස් වුවකි.

මිනිස් ඝාතන

අවබෝධ කරගන්නෙනි, ‘කිසාස්‌’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතියෙ) හි ජීවිතයක් (සුරැකෙනු) ඇත; නුඹලා (ඝාතනයෙන් දුරස්ථවී) බිය බැතිමත් වනු පිණිස” (අල් කුර්ආනය 2:179)

‘කිසාස්‌’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනුව ‘ජීවිතයක් ඇතැයි’ යනුවෙන් දෙවිඳුන් අවධාරණය කරනුයේ චේතනීය මිනී මැරුමකට ඝාතකයාට මරණ දඬුවම ලබා දීම හා එය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කිරීම මගින් එය සෙසු අයට එවැනි නොමනා ක්‍රියාවකට පෙලඹීමට ඇති නැඹුරුව නසා දැමීම සඳහා වූ අවවාදාත්මක ක්‍රියාවක් වන හෙයිනි. මෙමගින් සමාජයේ ඝාතන සඳහා වූ නැඹුරුව හා එවැනි මානසිකත්වය ඉවත් වී ගොස් ජීවිත සුරක්ෂිත කිරීමේ තත්ත්වයක් නියත වශයෙන්ම උදා වනු ඇත.

ඉහත දඬුවම නියම කර ඇත්තේ සචේතනීය මිනීමැරුමක් සඳහාය. මේ සම්බන්ධයෙන්ද ලොව කිසිම නීති ක්‍රමයක නොමැති මානුෂීය හා ජීවිතාරක්ෂණය සහතික කරන වගන්ති ඉස්ලාමීය නීතියෙහි අඩංගු වී ඇත.

විශ්වාස කළවුනි, ඝාතනය කරනු ලැබුවන්ගේ විෂයයෙහි කිසාස්‌ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනිවාර්යය කරනු ලැබ ඇත; නිදහස් පුද්ගලයාට නිදහස් පුද්ගලයාද, වහලෙකුට වහලාද, ස්ත්‍රියකට ස්ත්‍රිය ද (මරණ දණ්ඩනයේ නීතීන්ට යටත්) වේ; එනමුත් තම (ඝාතනයට ලක් වූ තැනැත්තාගේ) සහෝදරයා විසින් කවරෙකු(ඝාතකයා) ට යම් කිසි සමාවක් දෙනු ලබන්නේද ඔහු (ඝාතනයට ලක් වූ තැනැත්තාගේ සහෝදරයා එවිට වන්දි මුදල සම්බන්ධයෙන්) සාධාරණත්වය අනුගමනය කළ යුතුය; තවද ඔහු(ඝාතනයට ලක් වූ තැනැත්තාගේ සහෝදරයා) වෙත යහපත් අයුරින් (වන්දිය) ඉටු කළ යුතුය; එය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සහනයකි, තවද කරුණාවකි; ඉන් පසුව කවරෙකු හෝ සීමාව ඉක්මවා යන්නේ නම් ඔහුට වේදනීය දඬුවමක් ඇත.” (අල් කුර්ආනය 2:178)

ඉහත අල් කුර්ආන් වැකියට අර්ථ දක්වන ඉස්ලාමීය විද්වතුන්ගේ මතය සංක්‍ෂිප්තව පහතින් දක්වා ඇත්තෙමු.

  1. මිනිස් ඝාතනයකදී අගතියට පත් පාර්ශවයට සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය යටතේ ඝාතකයාට මරණ දඬුවම දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඇත.
  2. දෙවන විකල්පය වශයෙන් ‘දියා’ යනුවෙන් හැඳින්වෙන වන්දි මුදලක් ලබා ගෙන ඝාතකයාට සමාව දීමේ අයිතියද අගතියට පත් පාර්ශවයටම ලබා දී ඇත. මෙය පොදුවේ සිදුවෙන රටේ පාලකයා විසින් හෝ ඉහළ උසාවියකින් දෙනු ලබන සමාව හා සම නොවේ.
  3. වන්දි මුදලක් ලබා නොගෙනද සමාව දීමේ අයිතිය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබා දී තිබේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා පවුලේ ආර්ථික වගකීම දරන පුද්ගලයා වූ විට ඇති වන තත්ත්වය අති භයානකය. මෙවන් අවස්ථාවකදී අගතියට පත් පාර්ශවය  තම ඥාතියා අහිමි කරගත්තා පමණක් නොව තම යැපීම් මාර්ගයද අහිමි කර ගත් තත්ත්වයකට පත් වෙයි. මෙය සැබැවින්ම කබලින් ලිපට වැටීමේ තත්ත්වයකි. ඉස්ලාමීය නීතිය තුළ අධිකරණය මරණ දඬුවම නියම කළ ද එහි අවසාන නිගමනය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබා දී තිබේ. මෙහි අඩංගු සර්ව සාධාරණීයත්වය අපට ප්‍රතික්ෂේප කළ නොහැක්කකි.

ඇතැම් මුලාශ්‍රයන් උපුටා දක්වමින් සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කිරීමේදී බලනොපවත්වන බව විවිධ පාර්ශවයන් අදහස් ඉදිරිපත් කරති. මෙය සම්පුර්ණයෙන්ම සාවද්‍ය අදහස් දැක්වීමකි. රියාද් විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය නීතිය පිළිබඳව මහාචාර්ය ධුරය දැරූ මොහමඩ් එස්. එල්අවා මහතා විසින් තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ පර්යේෂණාත්මක නිබන්ධයේ (Punishment in Islamic Law by Professor Mohammed S. El-Awa) 130 වන පිටුවේ අදහස් දැක්වීම සඳහා එක් ඡේදයක් ‘මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කළ විට සම ප්‍රතිචාර නීතිය මුස්ලිම් වරයෙකුට එරෙහිව බල පවත්වන අයුරු’ (Qisas Against a Muslim for killing a Non-Muslim) යන මාතෘකාව යටතේ වෙන් කොට ඇත. මෙම නීතිය සර්ව සාධාරණීය එකක් ලෙස අල් කුර්ආනය පැහැදිලි කොට තිබියදී කෙලෙස නම් එය මුස්ලිම් නොවන්නෙකු විෂයයෙහි බලරහිත කරවන්නේ ද කියා එතුමා ප්‍රශ්න කරයි.

ඉහත අල් කුර්ආන් වැකි එනම් 2:178 හා 5:32 පොදුවේ මනුෂ්‍ය වර්ගයාට බල පවත්වන ආකාරයේ නියෝගයන්ය. එහෙයින් සමහර කුර්ආන් වැකි හා නබි වදන් විශ්වාසවන්තයෙකුව ප්‍රතික්ෂේප කරන්නෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයේ සලකා අදහස් ඉදිරිපත් කොට තිබුණද, නීතිය ඉදිරියේ සැවොම සමාන ලෙස සැලකීම ඉස්ලාමීය නීතියේ සම්මතයයි. සත්‍යය, සාක්ෂි මත පදනම් වී විනිශ්චය කළ යුතු බව අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 3 නබි වදන් අංක 638 මගින් නබිතුමාණන් උපදෙස් දී ඇත. තවත් වරෙක විනිශ්චයකරු කෝප වූ තත්ත්වයේ සිටින අවස්ථාවේ තීන්දු නොදිය යුතු බව අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 9 නබි වදන් අංක 272 මගින් නබි තුමාණන් තවදුරටත් උපදෙස් දී ඇත.

වැරදීමකින් එනම් අචේතනීය ඝාතනයක් ලෙස අධිකරණයට ඔප්පු වූ විට ඒ පිළිබඳව මරණ දඬුවම නියම කළ නොහැකිය. ඒ වෙනුවෙන් අගතියට පත් පාර්ශවයට වන්දි මුදල් ලබා දීම කළ යුතුව ඇත. සචේතනීය හා අචේතනීය ඝාතනයන්හි ඝාතකයා පශ්චාත්තාප වී දෙවිඳුන්ගෙන් සමාව ඇයද සිටිය යුතු බව ද ඉස්ලාමය උගන්වයි.

තාzසීර්

තාzසීර් යන වචනය අzසාර් යන ක්‍රියා පදය මුල් කර ගෙන බිහිවුවකි. අzසාර් යන පදයේ අර්ථය වැළක්වීම, ගෞරව කිරීම, සහ ප්‍රතිසංස්කරණය හෝ පරිශෝධනය කිරීම වේ. කෙසේ නමුත් ඉස්ලාමීය නීති ක්‍රමයේ තාzසීර් යන වචනයෙන් අදහස් වන්නේ අපරාධකරුවෙකු ව තවදුරටත් අපරාධයෙහි නියැළීමෙන් වළක්වා ගැනීම හා ඔහුව ප්‍රතිශෝධනය කර ගැනීම අරමුණු කර ගත් දඬුවම් පිළිවෙතකි. තාzසීර් දඬුවම් පිළිවෙත හුදුද් හා කිසාස්‌ පිළිවෙතට අඩංගු වන කරුණු පිළිබඳව විනිශ්චය සඳහා උපයෝගී කර ගනු නොලැබේ. හුදුද් පිළිවෙත පිළිබඳව සවිස්තරාත්මවක තවත් ලිපියකින් කරුණු සාකච්ඡා කිරීමට අදහස් කරන හෙයින් එම පිළිවෙතට අදාළව විනිශ්චය කළ හැකි චෝදනා පිළිබඳව එම ලිපියෙන් කරුණු ඉදිරිපත් කිරීමට අදහස් කරන්නෙමු.

 නීති පැනවීම අවශ්‍යය, එමෙන්ම සුදුසුය. එම නීති පනවන්නේ කුමක් සඳහා ද? සමාජයේ යහ පැවැත්ම උදෙසාය. ජනයාගේ පහසුව හා සුරක්ෂිතභාවය සඳහාය. වැරදි කරන්නවුන් හික්මවා ගැනීම සඳහාය.  ඔවුන් යහපත් මිනිසුන් බවට පත් කර ගැනීම සඳහාය. සමාජයේ යහපත් වාතාවරණයක් ඇති කර ගනු සඳහාය. නීති පැනවීම තුළින් අපේක්ෂා කරනුයේ දඬුවමට බියෙන් වරදින් වැළකී සිටිනවා මෙන්ම, සෑම කෙනෙක්ම නීතිය යුක්තිය හා දඬුවම පිළිබඳව අවබෝධයක් ඇති කර ගෙන වැරැද්දට පෙලඹීමේ මානසිකත්වය ඉවත් කොට යහකම් කිරීමේ මානසිකත්වයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව සඳහාය. මෙවන් සමාජයක් සදාචාර සම්පන්න පුද්ගලයන්ගෙන් සමන්චිත උදාර සමාජයක් වශයෙන් හැඳින්විය හැක.

හුදුද් (නිශ්චිත දඬුවම්) නොදී වඩාත් උචිත වන්නේ චුදිතයාව ප්‍රතිශෝධනය කර ගැනීම නොවේද?

වර්තමාන ලෝකයේ ඉස්ලාමීය දඬුවම් පිළිවෙතට විරුද්ධව හඬ නගන්නන්ගෙන් බහුතරයකගේ මතය වී ඇත්තේ එය අමානුෂික පිළිවෙතක් වන බවට නගන චෝදනාවයි. මෙයට ඉහත පැහැදිලි කළ ආකාරයට කිසාස්‌ සහ තාzසීර් පිළිවෙත් හි ලොව අන් කිසිම නීති පද්ධතියක නොමැති මානුෂීය හා සාධාරණීය බවක් දක්නට ඇති බව ඔබට පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. ඉස්ලාම් විරෝධීන්ගේ ප්‍රධාන විරුද්ධතාව මතු වී ඇත්තේ හුදුද් (නිශ්චිත දඬුවම්) පිළිවෙතට ය. අප මෙම ලිපියේ ආරම්භයේ සඳහන් කළාක් මෙන් ඉස්ලාමයට එරෙහි බොහෝ චෝදනා මතු වී ඇත්තේ අනවබෝධය පදනම් කර ගෙන බව ඉතාමත්ම පැහැදිලිය. ඉස්ලාමීය සියලු දඬුවම් සකස් වී ඇත්තේ ඉතාමත්ම විද්‍යානුකුල පදනමක් මත බව කරුණු විචාරා දැන ගැනීමෙන් පසු නිශ්චිතවම පැහැදිලි වනු ඇත. නුතන වෛද්‍ය විද්‍යාව සකස් වී ඇත්තේ රෝග වළක්වා ගැනීම පිළිබඳව දැඩි අවධානයකින් යුක්තවය. වඩාත් උච්ත වන්නේත් එය බව ඕනෑම අයෙකුට තර්කයෙන් තොරව පිළිගැනීමට හැකි සත්‍යයකි. රෝග නිවාරණය හෙවත් ප්‍රතිකාර ක්‍රම ක්‍රියාත්මක වන්නේ රෝගය වැළඳීමෙන් පසුවය. මෙයින් ඔප්පු වන ප්‍රධානතම සත්‍යය වන්නේ රෝග වළක්වා ගැනීම නුතන වෛද්‍ය විද්‍යාවේ ප්‍රධානතම සංකල්පය බවය. එලෙසම ඉස්ලාමයේ මුලික අවධානය යොමු වී ඇත්තේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාවම සදාචාර හා සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් ආරක්ෂා කර ගැනීමටය. මෙම ලිපියේ ආරම්භයේදීම ෂරිආ පිළිවෙතේ අරමුණු ඉදිරිපත් කිරීමේදී කරුණු පහක සුරක්ෂිතභාවය පිළිබඳව කරුණු ඉදිරිපත් කළෙමු. එනම්, දහම, ජීවිතය, බුද්ධිය, ධනය හා පරපුර සුරක්ෂිත කිරීම ෂරිආ පිළිවෙතේ මුලික අරමුණු වෙයි. මෙම අරමුණු විග්‍රහ කරන ඉස්ලාමය මෙම කරුණු පහ සුරක්ෂික කිරීම සඳහා සැමට පිළි ගත හැකි, සැමට අනුගමනය කළ හැකි හා ප්‍රායෝගි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරයි.

කව්රුන් තමන්ව (තම චෛතසිකය) පාරිශුද්ධ කර ගත්තේද ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය. කව්රුන් එය අපිරිසිදු කර ගත්තේද ඔහු නියත වශයෙන්ම අලාභ කර ගත්තේය” (අල් කුර්ආන් 91:9-10)

තම තෘෂ්ණාව තමන්ගේ දෙවිඳුන් වශයෙන් පත් කර ගත්තන්ව ඔබ දැක ඇතිද? ඔබ ඔහුට ආරක්ෂකයෙකු වශයෙන් සිටින්නෙහිද? ඔවුන්ගෙන් බහුතරය සවන් දෙන්නන් හෝ සිතන්නන් වශයෙන් ඉන්නා බව ඔබ සිතන්නෙහිද?  ඔවුන් තිරිසනුන් මිස අන් කිසිවක් නැත. සැබවින්ම ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමඟ ගියවුන් වශයෙන් සිටින්නෝය.” (25:43-44)

කවුරුන් දෙවිඳුන් අබියස පෙනී සිටීම ගැන බිය වී ඉතාමත් පහත් ආසාවන්ගෙන් ඈත් වී තමන්ව වළක්වා ගන්නේද ඔහු ළඟා කර ගන්නා ස්ථානය නියත වශයෙන්ම ස්වර්ගයයි.” (79: 40-41)

ගල්ගසා මරණයට පත් කිරීම හා අත කැපීම ඉතා කෲර දඬුවම් නොවේ ද?

ගල්ගසා මරණයට පත් කිරීම හා අත කැපීම ගැන ඇසු විගස තම චෛතශිකයේ ඇති වන්නේ කුමණ ආකාරයේ හැඟීම් ද යන්න කරුණාකර මොහොතකට සිතා බලන්න. මෙම දඬුවම් කනවැකුණු විගස ඇතිවන්නේ එම දඬුවමට හේතුවන වැරදි සිදු කිරීම පිළිබඳ බියක් නොවේ ද? මෙම දඬුවම් මෙසේ තිබියදී එම චෝදනා ඔප්පු කිරීම සඳහා ඉස්ලාමය ඉදිරිපත් කොට ඇති කොන්දේසි ඉතා දුෂ්කර ඒවාය. විවාහක ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ලිංගික අපචාරයේ යෙදුනහොත් ගල්ගසා මරණයට පත් කිරීමේ නීතිය ක්‍රියාත්මක කළ හැක. විවාහකයින් අතර සිදුවන ලිංගික අපචාරයෙන් පවුල් සංස්ථාව බිඳ වැටෙන අතර එයින් ඇතිවන සමාජ බලපෑම අති භයානකය. සමාජයක් සැකසී ඇත්තේ පවුල් ඒකක එකතුවෙනි. පවුල් ඒකකය බිඳ වැටෙන විට මුළු සමාජයම පිරිහීමට පත්වීම නොවැලක්විය හැක්කකි. එහෙයින් යහ සමාජ පැවැත්මක් සඳහා පවුල් ඒකකය ආරක්ෂා කිරීම වැදගත් වෙයි. මෙම දඬුවම් අධිකරණයක ඔප්පු කිරීම සඳහා ඇති කොන්දේසි විමසා බලමු.

ලිංගික අපචාරයක් ඔප්පු කිරීම සඳහා කොන්දේසි දෙකක් ඉස්ලාමය ඉදිරිපත් කරයි.

  1. ලිංගික ක්‍රියාව සිදුකිරීම දෑසින් දුටු සාක්ෂි සතරක් අවශ්‍යවෙයි. එනම් පිරිමියාගේ ශිෂ්ණය ස්ත්‍රියගේ යෝනියට ඇතුලත් කිරීම සෘජුව දුටු සාක්ෂි සතරක් මේ සඳහා අත්‍යාවශ්‍ය වෙයි. ලොව කිසිවෙකු තම ලිංගික අපචාර කටයුතු මෙලෙස සතරදෙනෙකුට සෘජුව පෙනෙන ලෙස සිදුකරයි කියා සිතා බැලිය හැකි ද? දඬුවම අති කෲර වූවද, මෙම චෝදනාව ඔප්පු කිරීමට දී ඇති පළමු කොන්දේසිය කිසිසේත්ම අධිකරණයක් ඉදිරියේ ඔප්පු කළ හැක්කක් නොවේ. මේ හේතුව නිසාම ඉස්ලාමීය ඉතිහාසයේ සෘජුව දෑසින් දුටු සාක්ෂි මත චෝදනා ඔප්පු කොට කිසිවෙකුව ගල්ගසා මරණයට පත්කොට නොමැති බව අවධාරණයෙන් පවසන්නෙමු. මෙම චෝදනාව ඔප්පු කළ හැකි දෙවැනි කොන්දේසිය විමසා බලමු.
  2. මෙම චෝදනාව ඔප්පු කිරීමේ දෙවැනි මඟ වන්නේ අධිකරණයක් ඉදිරියේ කිසිදු බලපෑමකින් තොරව වරදට මැදිහත්වුවන් කරන්නා වූ පාපොච්චාරණයන්ය. ඉස්ලාමීය නීතිය තුළ ආරම්භයේ කළ පාපොච්චාරණය ඉල්ලා අස්කරගැනීමට ද අවකාශය ලබා දී ඇත. ඉස්ලාමීය ඉතිහාසයේ මෙම දඬුවම දී ඇත්තේ තමන් කළ වරද පිළිබඳ පශ්චාත්තාප වී දඬුවම් ලබා ගැනීමෙන් තමාව පිරිසිදු කරගැනීමේ අපේක්ෂාවෙන් තමන් කළ පාපොච්චාරණය වෙනස් නොකොට සිටි අයට පමණි.

දඬුවම කෲර වූවද ඉහත කොන්දේසි දෙස අවධානය යොමු කිරීමේ දී චෝදනා ඔප්පු කිරීමේ දුෂ්කරතාව පැහැදිළි වනු ඇත. සොරකම සඳහා අත කැපීම ඉස්ලාමීය නීතියේ අනුමත දඬුවමකි. නමුත් සියලුම සොරකම් සඳහා මෙම දඬුවම් ලබා දිය නොහැක. සොරකමට ලක් වූ වස්තුව අන් අයට පහසුවෙන් ළඟාවීමට නොහැකි අයුරින් සුරක්ෂිත ස්ථානයක තබා තිබිය යුතුය. ඉතා සුළු සොරකම් සඳහා මෙම දඬුවම් ලබාදිය නොහැක. රටේ දුර්භික්ෂයක් පවතින කාල වකවානුවක ද මෙම නීතිය ක්‍රියාත්මක නොවේ. ඉස්ලාමීය රාජ්‍යය විසින් සොරකමට භාජනය කරන වස්තුවේ අවම අගයක් නිර්ණය කර තිබිය යුතුය. මෙම කොන්දේසි සියල්ල සම්පුර්ණ ව තිබුනොත් පමණි මෙම දඬුවම දිය හැකි වන්නේ.

දේපළ හා ධනය ආරක්ෂා කිරීම ඉතා වැදගත් තැනක් ෂරිආ පිළිවෙතේ අන්තර්ගතය. පුද්ගල ආරක්ෂණය පිළිබඳ හැඟීම පරිපුර්ණ වීමට නම් තම ශ්‍රමයේ ඵලය ලෙස සැලකෙන දේපළ හා ධනය සුරක්ෂිත විය යුතුය. සොරකමින් හා බලහත්කාරකමින් තම වස්තුව රැක ගැනීමේ සහතිකයක් තිබීම පුද්ගල ආරක්ෂණයේ වැදගත් ස්ථානයක් ගනී.

මරණාසන්න තත්ත්වයේ පසුවන තම මවගේ ප්‍රතිකාර සඳහා ගෙවීමට ගෙනයන මුදල් අතරමග දී යමෙකු සොරකම් කරගත්තේ නම් ඔබ පත්වන්නේ කුමන අසරණභාවයකට ද යන්න කරුණාකර මොහොතකට සිතා බලන්න.

මෙම දඬුවම් පිළිවෙතින් අපේක්ෂා කරන්නේ දඬුවමේ කෲරත්වය මත මිනිසාව වැරදි මගට යොමු වීමෙන් වළකා ගැනීමය.

දඬුවම් සම්ප්‍රදායක් අවශ්‍යමද?

‘දඬුවම’ සෑම අධිකරණ ක්‍රියාවලියකම අත්‍යවශ්‍ය කොටසක් බවට පත් ව ඇත. යහ ක්‍රියාකාරකම් වෙනුවෙන් යහ ආනිසංසද අයහකම් වෙනුවෙන් අයහ ආනිසංසද ලබා දීම මෙම ක්‍රියාවලියේ කොටසක් ය. දඬුවම් සංකල්පය විවිධ ක්‍ෂේත්‍රයන්හි විවේචනයට හා මතභේදයට ලක් වූ මාතෘකාවකි. කෙසේ නමුත් ඒ දෙස බැලිය යුතු වන්නේ ‘දඬුවම’ යන පටු සීමාව තුළ පමණක් නොරැඳී ‘සමාජ යහපත’ යන විශාල වූ ක්‍ෂේත්‍රය දෙසම අවධානය යොමු කරමිනි. ඉස්ලාමීය කෝණයෙන් ‘නීතිය’ පමණක් සමාජ සදාචාරය ස්ථාපිත කරන ප්‍රධාන හෝ එකම ආයතනය ලෙස නොසැලකේ. නීතිය මගින් සිදු වන්නේ සදාචාරය ස්ථාපිත කිරීමට ආධාරකයක් ලෙස කටයුතු කිරීම පමණි. මිනිසා විසින් පිළිපැදිය යුතු අන්‍යෝන්‍ය අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව දෙවිඳුන් විසින් පැහැදිලි ඉගැන්වීම් අපහට ලබා දී තිබේ. මනුෂ්‍ය සමාජය සාමය හා සහජීවනය පදනම් කර ගෙන ජීවත්වීම පිණිස සීමාවන් හා මායිම් ද දෙවිඳුන් විසින් සකස් කොට දී තිබේ. මිනිසා මෙම සීමාවන් තුළ තම ජීවිතය සකස් කර ගැනීමට කටයුතු නොකරන අවස්ථාවන්හිදී ඔහු තමන්ට මෙන්ම මුළුමහත් සමාජ පද්ධතියටම විශාල හානියක් සිදු කරයි. මෙවන් අවස්ථාවන් හි චුදිත පුද්ගලයා සම්බන්ධව පළි ගැනීමේ චේතනාවකින් තොරව සමාජ යහ පැවැත්ම අරමුණු කර ගෙන ඔහුව මෙන්ම මෙවන් වැරදි ක්‍රියාකාරකම් වලට නැඹුරු වීමක් ඇති අන් අයව එවන් කටයුතු වලින් වළක්වා ගැනීමේ හා අධෛර්යය කිරීමේ අරමුණින් දෙවිඳුන් නියම කළ දඬුවම් ක්‍රියාත්මක කිරීම ඉස්ලාමීය පිළිවෙතයි.

ෂරියා පිළිවෙත පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ අපට නිතර අසන්නට ලැබෙන්නේ ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණය හා මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියට එරෙහි අදහස් ය. මෙම අවලාදයන හි ඇති හරය පිළිබඳ විමසුමක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණය හා සාම්ප්‍රදායික පිළිවෙත

සාම්ප්‍රදායික බැංකු ක්‍රමය දේශීය පිළිවෙතක් නොවේ. එය බටහිරින් අප ලැබූවකි. මෙම බටහිර පිළිවෙතේ ගුණාගුණ පිළිබඳ දැනුමකින් තොරව අන්ධ භක්තියෙන් එය සුරකින්නට ඥානසාර හාමුදුරුවෝ සහ උන්වහන්සේගේ ගෝලබාලයෝ කැපවී සිටින බව පෙනෙන්නට ඇත. පොලිය මත පදනම් වූ සිත්පිත් නොමැති බටහිර ක්‍රමය හා මානුෂීය පදනමකින් සැකසුනු ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණය පිළිබඳ ඉතා කෙටි විග්‍රහයක් පහතින් දී ඇත්තෙමු.

පොලිය සාම්ප්‍රදායික මුල්‍ය කළමනාකරණයේ කේන්ද්‍රීය සාධකයකි. ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණයේදී මෙම ගැටළුව විසඳාගන්නේ යුක්තිය හා සාධාරණය මත පදනම් වූ පිළිවෙතකිනි. එහි පොළිය වෙනුවට යොදා ගැනෙන්නේ ලාභය බෙදා ගැන්මයි. උදාහරණයක් ලෙස ත්‍රීරෝද රියක්  කුලී පදනම මත භාවිතා කරන්නට ගන්නා රියැදුරා හා රිය හිමියා දිනය අවසානයේ වියදම් පියැවීමෙන් පසුව ලාභය බෙදා ගනිති. එය ඔවුන්ගේ එකඟතාවය මත පිළිගත් අනුපාතයකින් සිදු කළ හැකිය.

නමුත් දෙවැන්නෙක් තවත් ත්‍රීරෝද රියක් දවසට නිශ්චිත කුලියක් ගෙවීමට ගන්නා රියැදුරකු යැයි සිතමු. පළමු රියදුරා ත්‍රීරෝද රිය ලබාගෙන ඇත්තේ දවසේ ආදායම දෙදෙනා එකඟ වූ ප්‍රතිශතයක් මත බෙදා ගැනීමටය. මෙය ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණය මත සකස් වුවකි. නමුත් දෙවැන්නා ත්‍රීරෝද රිය ලබාගෙන ඇත්තේ දෛනික ව නිශ්චිත කුලියක් දීමේ පදනම මතය. මෙය පොලිය පදනම් වූ මුල්‍ය කළමනාකරණය මත පදනම් වුවකි.

ආදායමක් නොමැති දිනෙයක දී පළමු රියැදුරා කිසිම ගෙවීමක් ලබා නොදෙද්දී දෛනික නිශ්චිත කුලී පදනමකින් රිය ලබා ගත්තා විසින් මෙම තත්ත්වය තුළ අනිවාර්යයෙන් රිය හිමියාට දවසේ ගෙවීමට එකඟ වූ කුලිය ගෙවීමට සිදු වේ. ඉස්ලාමීය පිළිවෙත තුළ රිය හිමියා හා රියදුරා ආර්ථික අවදානම දරා ගනිති. දෙවැන්නා ත්‍රීරෝද රථය ලබාගෙන ඇත්තේ දවසේ ඉපයීමක් තිබුනත් නොතිබුනත් පොරොන්දු වූ දෛනික කුලිය ගෙවීමේ පදනම මතය. මෙහි දී ඉපයීම අඩු දිනක අවදානම සහමුලින්ම දරන්නට සිදුවන්නේ දුප්පත් රියදුරාටය. මෙය පොලිය මත පදනම් වූ බැංකු හා අනෙකුත් මුල්‍ය කළමනාකරණ පිළිවෙත අනුව සකස් වී ඇත. මේ පිළිවෙත් දෙකින් යුක්තිය සාධාරණය හා මිනිසත්කම ඇත්තේ කුමන පිළිවෙතේ ද යන්න කරුණාකර සිතා බලන්න. ඔබ ත්‍රීරෝද රථ රියදුරෙක් නම් කුලියට ත්‍රීරෝද රථයක වැඩකරන්නට සිදු වුවහොත් ඔබ තෝරා ගන්නේ කුමන පිළිවෙත ද යන්න ද කරුණාකර සිතා බලන්න.

ඉස්ලාම් බැංකුකරණයේදී මුදල් හුවමාරු මාධ්‍යයක් ලෙස පමණක් ලෙස සැලකේ. එසේම මුදල් ලාභ අපේක්ෂාවෙන් මිස පොලී අපේක්ෂාවෙන් ආයෝජනය නොකෙරේ. මෙම බැංකු ක්‍රමය මුස්ලිම් ජනයාට පමණක් සීමාවූවක් නොවේ. එහි ඕනෑම අයෙකුට තම මුල්‍ය කටයුතු පවත්වාගෙන යා හැක.

පුරවැසියන් තම මුදල සාම්ප්‍රදායික බැංකුවක තැන්පත් කරන විට ඔවුන්ට 10% පමණ වාර්ෂික පොලියක් ගෙවන්නට බැංකුව එකඟ වේ යැයි උපකල්පනය කරමු. මෙසේ ලබා ගන්නා තැන්පතු නිමි ඇඳුම් නිෂ්පාදනය කරන කර්මාන්තකරුවෙකුට බැංකුව 15% ක වාර්ෂික පොලියකට නයක් ලබා දෙයි. මෙම කර්මාන්තකරු තම නිමි භාණ්ඩයන් හි විකුණුම් මිල තීන්දු කිරීමේ දී පහත සඳහන් සාධක සැළකිල්ලට ගනී.

නිෂ්පාදන පිරිවැය + ලාභය + බැංකු පොලිය  = නිමි භාණ්ඩයේ මිල

මෙම භාණ්ඩයේ පාරිභෝගිකයින් වන්නේ මුදල් තැන්පතුකරුවන් වූ මහජනයාය. ඔවුන් මෙම මුදල ඉස්ලාමීය පිළිවෙත අනුව ලාභය හෝ පාඩුව බෙදා ගැනීමේ පදනම මත ආයෝජනය කළේ නම් නිමි භාණ්ඩයේ මිල තීන්දු වන්නේ පහත සඳහන් සාධකයන් මතය.

නිෂ්පාදන පිරිවැය + ලාභය = නිමි භාණ්ඩයේ මිල

ඉස්ලාමීය ක්‍රමය අනුව කර්මාන්තකරු ඉස්ලාමීය මුල්‍ය ආයතනයෙන් තම කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනයක් ලබා ගන්නා අතර ඔහුගේ ව්‍යාපාරයේ ලාභය පිළිගත් ප්‍රතිශතයක් අනුව බෙදා ගැනීමට එකඟ වෙයි. කර්මාන්තකරු නිශ්චිත ප්‍රතිශතයක පොලියක් ගෙවීමේ කොන්දේසිය මෙම ආයෝජනය තුළ නොමැත.

පළමු උදාහරණයේදී සාම්ප්‍රදායික බැංකුවේ මුදල් තැන්පත්කරුට 10% ක පොලියක් ගෙවීමට බැංකුව එකඟ වුව ද බැංකුව විසින් මුදල් වැඩි පොලියට නයට දීම තුළින් නිෂ්පාදිත භාණ්ඩයට එම වැඩි පොලිය එකතුවන හෙයින් නැවත වරක් පාරිභෝගිකයාවූ තැන්පත්කරු විසින් එම වැඩි පොලිය ගෙවන්නා බවට පත්වෙයි. පොලිය පදනම් වූ ආර්ථික ක්‍රියාවලියේ දී 10% ක පොලියක් ලබා නැවත 15% ක බැංකුවේ ණයකරු ගෙවන පොලියද තැන්පත්කරු විසින් දරන්නට සිදුවන හෙයින් පාරිභෝගික මහජනයාට 5% කා පාඩුවක් අත්විඳින්නට සිදුවෙයි.

ඉස්ලාමීය බැංකු ක්‍රමයේදී පෙර ගිවිස ගත් පරිදි ලාභය බෙදා ගැනීමේ පිළිවෙතක් අනුගමනය කරන හෙයින් පාරිභෝගිකයාට අමතර පොලී පිරිවැයක් දැරීමේ තත්ත්වය මතු නොවේ. පොලී ක්‍රමය මත පදනම් වී ආර්ථික සංවර්ධනයක් කරා යොමු වීම සැබැවින්ම අයුක්තිය අසාධාරණය මත පදනම් වූ පිළිවෙතකි.

සාම්ප්‍රදායික බැංකු ක්‍රමයේ දී:

                           <——–මුදල්——–>

බැංකුව————>මුදල් නය වශයෙන්——————>නය ලබා ගන්නා

බැංකුව<———–මුල් මුදල් වාරිකය හා පොලිය<——–නය ලබාගන්නා

ඉස්ලාමීය බැංකු ක්‍රමයේ දී:

බැංකුව————>භාණ්ඩ හා සේවාවන් ආයෝජන ලෙසින්——–>ආයෝජන ලබාගන්නා

බැංකුව<————ලාභය<——————————————-ආයෝජන ලබාගන්නා

ආර්ථික සංවර්ධනය යුක්තිය හා සාධාරණය මත සිදු වීමට නම් ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණය වඩාත් සුදුසු බව ඉහත කෙටි උදාහරණ මගින් පැහැදිලිවේ යැයි විශ්වාස කරන්නෙමු. කිසිදු අර්ථයක් හෝ  හරයක් නොමැතිව ඉස්ලාම් යන නම සඳහන් වූ පමණින් සියල්ලට විරුද්ධ වීමේ මෝඩ ප්‍රතිපත්තියෙන් ඉවත් වී බුද්ධිය හා විචාරය පදනම් කරගනිමින් කටයුතු කරන ලෙස ඥානසාර හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

ඊලඟට මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය පිළිබඳ විමසා බලමු.

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය

මේ පිළිබඳ නගන ප්‍රධානතම චෝදනාව නම් රටේ පැවතිය හැක්කේ එක් නීතියක් පමණක් යන්නය. අපරාධ නීතිය සැමට එකසේ බලපවත්වන්නක් බව සත්‍යයකි. නමුත් සිවිල් නීතියේ විවිධ ප්‍රභේද අපට දකින්නට ඇත. උඩරට විවාහ හා දික්කසාද නීතිය, තේසවලාම නීතිය හා මුස්ලිම් විවාහ හා නීතිය මින් කිහිපයකි. මෙම විවිධ සිවිල් නීති ප්‍රභේද තිබිය ද ඝෝෂාකාරී හඬක් මතු වී ඇත්තේ මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියට එරෙහිව පමණි. මුස්ලිම්, ඉස්ලාම් අජීර්ණයක් ඇති  ඥානසාර හාමුදුරුවෝ වැන්නන්ගෙන් නැගෙන මෙම පදනම් විරහිත විරෝධයේ යථාර්ථය විමසා බැලීමක් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

මුස්ලිම් විවාහ හා දික්කසාද කිරීම් සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන ව්‍යවස්ථාගත කර ඇත්තේ 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත මගින් ය. 1954 අංක 31, 1955 අංක 22, 1965 අංක 1, 1965 අංක 5, හා 1975 අංක 41 දරණ පනත් මගින් මුල් පනත වරින්වර සංශෝධනය කර ඇත.

අප ජීවත් වන්නේ බහු වාර්ගික හා බහු ආගමික සමාජයකයි. මෙම සමාජ ස්තරයන්ට ආවේනික වූ චර්යාවන් හා ක්‍රියාකාරකම් ඇත. උදාහරණයක් ලෙස ගත් විට ඉස්ලාමිකයින් ඌරු මස් අනුභව නොකරති. එහෙත් කිතුනුවන්ගෙන් බහුතරයක් හා බෞද්ධයින්ගෙන් සුළුතරයක් ඌරු මස් අනුභව කරන්නන්ව සිටිති. බහු ආගමික සමාජයක ඉස්ලාමිකයින්ගේ චර්යාවට මෙය පටහැනි බව පවසා ඌරු මස් අනුභවය තහනම් කරන ලෙස ඉල්ලීමට සදාචාරාත්මක අයිතියක් ඉස්ලාමිකයින්ට තිබේද? බහු ජනවාර්ගික හා බහු ආගමික සමාජයක එක් එක් සමාජ ස්තරයන්ගේ  චර්යාවන් හා වත්පිළිවෙත් අනිකා කෙරෙහි නීතියෙන් හෝ බලයෙන් පැටවීමට සදාචාරාත්මක අයිතියක් කිසිවෙකුට තිබේද? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  III වැනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ කොටසේ 10 හා 14 (1)  වැනි වගන්තීන් හි පහත සඳහන් අයුරු සටහන් කොට ඇත.

3 – 10”සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ  නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය”.     

3 – 14. (1) “සෑම පුරවැසියකුටම –  ( ඉ)  එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට;  ( ඊ)  එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහසට;  හිමිකම ඇත්තේ ය”.

ඉහත නීතිමය ප්‍රතිපාදන දෙස බලන විට මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියේ සාධාරණත්වය අවබෝධ කරගත හැක.

විවාහය ජිවිතයේ එක් ප්‍රධාන සංදිස්ථානයකි. එබැවින් ඉස්ලාම් දහමින් විවාහය සඳහා ඉතා සුදුදු නීති රීති හඳුන්වා දී ඇත. මෙම නීතිවලින් වැඩියෙන්ම ආරක්ෂාව ලැබෙන්නේ කාන්තාවටය. කාන්තාවක් විවාහ වීමේදී මනාලයා මනාලියගේ පාර්ශවයෙන් සාම්ප්‍රදායිකව ලබා ගන්නා දෑවැද්ද වෙනුවට අනිවාර්යයෙන්ම මහර් නමැති විවාහ ත්‍යාග දීමනාව මනාලයා විසින් මනාලියට ලබා දිය යුතුය. එහි අගය තීරණය කළ යුත්තේ ද මනාලිය විසිනි. එම ත්‍යාගයේ පුර්ණ අයිතිය මනාලිය සතු වේ. එබැවින් එය සුදුසු පරිදි තීරණය කිරීමන් ඇයට පසුවට ප්‍රයෝජනවත් විය හැකිය. යම් හෙයකින් දික්කසාද වීමට සිදු වුයේ නම් එම මහර් මුදල ඇයට විශාල අස්වැසිල්ලක් වනු ඇත. නබිතුමාගේ කාලයේදී ඇතැම් විට විශාල වතු පිටි පවා මහර් ලෙස ලබා දී ඇත. මෙවැනි ක්‍රමයක් ඉස්ලාම් දහමේ හැර වෙන කිසිම විවාහ නීතියක දක්නට නොමැත.

ඉස්ලාම් දහම අනුව විවාහයේදී කාන්තාවගේ කැමැත්ත ගැනීම අනිවාර්ය වේ. එසේ නොකර සිදු කරන විවාහය බල රහිත වනු ඇත. තවද විවාහ වීමට යෝජිත දෙදෙනා විවාහයට පෙර එකිනෙකා මුණ ගැසීම නබිතුමා ගේ උපදේශයකි. මේ නිසා දෙමව්පිය රැකවරණය යටතේ එය සිදු විය යුතුය. මනාලිය වෙනුවෙන් අනුමත භාරකාරයෙකු සිටිය යුතු අතර පිළිගත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඇතිව විවාහය ප්‍රසිද්ධියේ සිදුකළ යුතු වෙයි.

ඉස්ලාම් දහම අනුව විවාහයකින් පසු පවුලේ නඩත්තුව අයත් වන්නේ මනාලයාටය. එබැවින් ධනවත් කාන්තාවක් විවාහ වූ අවස්ථාවක දී පවා ඇයගේ ධනය මනාලයාගේ උවමනා පරිදි වියදම් කළ නොහැකිය. එහෙත් කිසිදු අසාධාරණ බලපෑමකින් තොරව කාන්තාව එකඟ වන්නේ නම් පමණක් මනාලිය සතු මුදල් පවුලේ උවමනාවන් සඳහා වියදම් කල හැකිය. ඉස්ලාමීය විවාහ පිළිවෙත අනුව කාන්තාවගේ අයිතිවාසිකම් සුරැකී ඇති ආකාරය ඉහතින් මනාව පැහැදිළි වෙයි. මෙම පිළිවෙතට පදනම් විරහිත ලෙස විරුද්ධවීම කෙතරම් අමනෝඥ ක්‍රියාවක් දැයි අසන්නට කැමැත්තෙමු.

කිසිවෙකු දික්කසාද වීමේ අදහසින් විවාහ නොවන බව අපි දනිමු. නමුත් දෙදෙනා අතරේ පෑහීමක් නොමැතිව ජීවිතය අපායක් කර ගන්නේ නොමැතිව දික්කසාද වීමට සිදුවන අවස්ථා අපි දැක ඇත්තෙමු. රටේ පවතින පොදු විවාහ නීතිය අනුව දික්කසාදයකට අවම වශයෙන් අවුරුදු පහක් හෝ ඊට වැඩි කාලයක් ගත වෙයි. මෙම අවුරුදු පහ තුළ වෙන් වී සිටින්නා වූ අඹු සැමි යුවල තමන්ගේ ස්වාභාවික ලිංගික අවශ්‍යතාවන් සපුරා ගන්නේ කෙලෙස ද? ඉස්ලාමීය නීතිය තුළ දික්කසාද වීමේ තත්ත්වයක් ඇති වුවහොත් එය සමාදාන කිරීම සඳහා විවිධ වැඩපිළිවෙලවල් ඇති අතර මේ සියල්ල අසාර්ථක වුවහොත් මාස හයකට අඩු කාල සීමාවක් තුළ දික්කසාදයක් අවසන් කිරීමට ඉඩකඩ සලසා දී තිබේ. එහෙයින් මෙවන් යහපත් පිළිවෙතක් මුස්ලිම් ඉස්ලාම් යන වැකි කෙරෙහි ඇති පිළිකුල පමණක් පදනම් කරගනිමින් අවලාද නගන්නේ නැතිව සත්‍යය අවබෝධ කරගෙන කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නෙමු. අන්‍යෝන්‍ය අවබෝධය සාමය හා සංහිඳියාව සඳහා අත්‍යාවශ්‍ය සාධකයන් ය. එහෙයින් අපි එකිනෙකා අවබෝධ කර ගෙන ශ්‍රී ලාංකිකයින් ලෙසින් එක් මවකගේ දරුවන් මෙන් සාමයෙන් සමගියෙන් ජීවත්වෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *