අල් කුර්ආනයේ වැකි වල අහෝසිවීම් පිලිබඳ විග්‍රහය

අල් කුර්ආනය අධ්‍යයනය කරන විට අප දැන ගත යුතු විෂයක් ලෙස “අහෝසිකිරීම්” (abrogation) යන කරුණ සැලකිය හැකිය. එනම් අල් කුර්ආනයේ දෙවිඳුන් විසින් පහළ කළ වැකියක් අල් කුර්ආනයෙන් දෙවිඳුන් විසින්ම ඉවත් කිරීම හෝ තවත් වැකියකින් ආදේශ කිරීම මෙලෙස හැඳින්වේ. මේ පිලිබඳ මනා අවබෝධයක් අප තුළ තිබිය යුතුය.

කිසියම් වැකියක් අපි වෙනස් කළෙමු නම් හෝ එය අමතක කෙරුවෙමු නම් හෝ එයටත් වඩා විශිෂ්ට දෙයක් හෝ එබඳු ම දෙයක් හෝ පිරිනමන්නෙමුග අල්ලාහ් සියලූ දේ කෙරෙහි බලසම්පන්නයෙකු බව ඔබ නොදන්නෙහි ද? [අල් කුර්ආනය 2:106]

මෙහිදී මූලික වශයෙන් එක් මොහතක ලබා දුන් නීතියක් තවත් නීතියක් මගින් අහෝසි වීම අපට දැක ගන්න පුළුවන්. මෙය අරාබි භාෂාවෙන් සැලකෙන්නේ “නාසික්” ලෙසයි. මෙම අහෝසි කිරීම් වර්ග තුනකට බෙදන්න පුළුවන් [1].

  1. නීතිය හා එයට අදාළ වැකිය යන දෙකම අහෝසි වීම: එනම් මෙම නීතිය හෝ ඊට අදාළ කුර්ආන් වැකිය අවසාන වශයෙන් පරිපූර්ණ වූ අල් කුර් ආනයේ සඳහන් නොවීම
  2. නීතිය අහෝසි වුනද එයට අදාළ වැකිය තවමත් අල් කුර්ආනයේ (හෝ නබි තුමාගේ ඉගැන්වීම් වල) සඳහන් වී තිබීම
  3. නීතිය අහෝසි නොවුනද ඊට අදාළ කුර්ආන් වැකිය අහෝසි වීම: එනම් මෙම නීතිය මුහම්මද් ﷺ තුමාගේ ඉගැන්වීම් වල සඳහන් වුවද ඊට අදාළ වැකිය අල් කුර්ආනයෙන් අහෝසි වීම.

මෙම අහෝසි කිරීම් සඳහා පැහැදිලි සාක්ෂි අල් කුර්ආනයේ, මුහම්මද් ﷺ තුමාගේ ඉගැන්වීම් වල හා මුහම්මද් ﷺ තුමාගේ මිතුරන්ගේ ප්‍රකාශ වල තිබිය යුතුයි.

සර්ව බලධාරී දෙවියන් පහළ කළ වැකි ඔහු විසින් ම නැවත වෙනස් කළ යුත්තේ ඇයි? යැයි කෙනෙක් විමසන්න පුළුවන්. ඔහු සියලූ දේ දනී නම් වෙනස් කිරීමට අවශ්‍යතාවක් හට නොගන්නා පරිදි පෙර දී ම නිවැරදිව පවසා තිබිය යුතු නොවේ ද? යනාදී වශයෙන් මෙම වැකි කියවන සමහරු සිතන්න පුළුවන්. මෙය සර්ව බලධාරී දෙවියන්ගේ අසීමිත ඥානය පිළිඹිබු කරනවා මිස නොදැනුවත්කමක් නොවේ. ඉතිහාසය හා සම්බන්ධ කරුණු ඉදිරිපත් කිරීමේදී පෙර කී දේ වෙනස් නොකළ යුතුයි. නමුත් නීති රීති වල දී නම් පවතින වාතාවරණයට අනුව නීති පැනවිය යුතු වෙනවා. වාතාවරණය වෙනස් වූ පසු නීතිය වෙනස් නොකරන ලද්දේ නම් එය බුද්ධිමත් තීරණයක් නොවේ. මෙය තේරුම් ගැනීමට උදාහරණ කිහිපයක් සලකමු.

  • හදිසි අවස්ථාවක දී රජය විසින් ඇඳිරි නීතිය පනවනු ලබනවා යැයි සිතමු. වාතාවරණය වෙනස් වූ විගස ම ඇඳිරි නීතිය ඉවත් කර ගත යුතුයි. දැනටමත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිඛෙන නිසා එය අඛණ්ඩව පැවැත්වීම ඇත්තෙන්ම අනුවණකමක්. ඒ වගේම හදිසි අවස්ථාවක දී ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොකිරීමත් බුද්ධිමත් ක්‍රියාවක් වන්නේ නැහැ. ම
  • වක් වයස අවුරුදු දෙකක ළදරුවෙකුට යම් යම් ආහාර නොදී තහනම් කරනවා. ඵ් දරුවාගේ ම වයස අවුරුදු දහයක් වන විට පෙර තහනම් කළ දේ අනුභව කරන්නැයි අනුමැති ලබා දෙනවා. මෙවැනි තත්ත්වයක් උදා වන බව ඇය පෙරම දන්නවා. මෙහි දී දරුවාගේ වර්ධන තත්ත්වය වෙනස් වූවා මිස මවගේ බුද්ධියේ කිසිඳු වෙනසක් ඇති වූයේ නැහැ.

නබි මුහම්මද් ﷺ තුමාණන් තම ධර්ම ප්‍රචාරය පටන් ගත් විට මක්කාවේ ජීවත් වීම පවා දරුණු ප්‍රශ්නයක් වුණා. එවිට “සොරකම් කළේ නම් අත කපන්නැ”යි නීතියක් පනවන්න බැහැ. එසේ පැනවීම ප්‍රයොගිකද නැහැ. මෙම නීතිය පැනවිය හැක්කේ රාජ්‍ය පාලන බලය මුස්ලිම්වරුන් සතු වීමෙන් පසුවයි. එයට හේතුව ඉස්ලාමීය දණ්ඩ නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ ඉස්ලාමීය ආණ්ඩුවකට පමණක් වීමයි.

මේ අනුව බැලීමේදී බුද්ධිමත් ක්‍රමවේදය වන්නේ වෙනස් වන වාතාවරණයට අනුව නීති පැනවීම ය. අල් කුර්ආනයේ හා මුහම්මද් ﷺ තුමාගේ ඉගැන්වීම් වල ඇති ඇතැම් නීති වෙනස් වී තිබෙන්නේද මේ පදනම අනුවයි. මෙහිදී තවත් දෙයක් අප දැන ගත යුතු වෙනවා. එනම් යම් නීතියක් අහෝසි වීමට හේතුව ඇතැම් විට අල් කුර්ආනයේ හා මුහම්මද් ﷺ තුමාගේ ඉගැන්වීම් වල සඳහන් වුනත් ඇතැම් අවස්තාවලදී මෙම හේතුව සඳහන් වී නැහැ. නමත් හේතුව නොදැනීම, නැණවත් හේතුවක් නැහැ යැයි පැවසීමට උපකාර වන්නේද නැහැ.

කෙසේ නමුත් යම් සිද්ධියක් 2002 දී සිදු වූ බව පවසා තවත් තැනක 1967 දී සිදු වූයේ යැයි ප්‍රකාශ කිරීම සිදු නොවිය යුතුයි. හේතුව, මෙය ඉතිහාසය හා සම්බන්ධ සිදුවීමක්. සිදු වූ දෙයක් වෙනස් කළ හැකියාවක් නැහැ. මෙවන් කිසිඳු වෙනස් වීමක් අල් කුර්ආනයේ නැහැ. වෙනස් වීම හෝ අහෝසි වීම සිදු වී තිබෙන්නේ ඇතැම් නීති වල පමණයි. [2]

මෙහි සඳහන් වන්නේ අල් කුර්ආනයේ ඉගැන්වීම් තේරුම් ගැනීමට භාවිතා වන විද්වත් ක්‍රමවේදයේ ඉතා කෙටි පැහැදිලි කිරීමක් පමණයි. මෙම විෂය ඉතා පුළුල් වන අතර මේ සම්බන්ධ පොත් පත් කියවීම තුළින් අපට මන අවබෝධයක් ලබා ගන්න පුළුවන් (ඉන්ෂා අල්ලාහ්: අල්ලාහ්ගේ කැමැත්ත තිබුනේ නම්)

මෙම විෂය පිලිබඳ හොඳ දැනුමක් තිබෙනවා නම් අල් කුර්ආනයට එරෙහිව ඇතැම් විවේචකයන් යොමු කරන චෝදනා පදනම් විරහිත බව අපට තේරුම් ගන්න පුළුවන් වන අතර එම චෝදනා වලට නිවැරදි පිළිතුරු අපට ලබා දීමට පුළුවන් වෙනවා.

මූලාශ්‍රයන්

[1] Ahmad von Denffer, Ulum al Qur’an

[2] P.J, ඇතැම් වැකි වෙනස් කරන ලද්දේ ඇයි? අල් කුර්ආන් විග්‍රහයන් (අංක 30), http://sinhalaquran.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *