කිතුනු සභාවන්ට පිළිතුරු

ලොව තිබෙන ප්‍රධාන ආගම් අතුරින් ක්‍රිස්තියානි ආගමද එකකි. ක්‍රිස්තියානි ආගම අනුගමනය කරන්නන් මූලික වශයෙන් කතෝලික හා කතෝලික නොවන යයි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන අතර මෙම කොටස් තුළද නොයෙකුත් කිතුනු සභා ඇත. කෙසේනමුත් මූලික වශයෙන් මොවුන්ගේ විශ්වාසය යේසුස් ක්‍රිස්තූන් නම් දේව පණිවුඩකරුවා මුල් කරගෙන බිහි වී ඇත. දෙවිඳුන් නිර්මාණය කළ මුල් මිනිසා වන ආදම් (ශාන්තිය ඔහුට හිමි වේවා) තුමා දේව අණ කඩ කිරීමෙන් පාපයක් සිදු කළ අතර එම පාපයට දඬුවම ලෙස මරණය හිමි වන බව කිතුනුවන් විශ්වාස කරති. තවද මෙම පාපය ආදම් තුමාගෙන් මිනිස් පරම්පරාවට ඇතුළු වී නිසා මිනිසා පාපයේ සිටින බවත් මෙම පාපයෙන් මිනිසා මුදවා ගැනීමට දෙවිඳුන් යේසුස් ලෙස මොලොවට පැමිණ කුරුසයේ මිය ගොස් මුළු මිනිස් සංහතියම පාපයෙන් මුදවා ගත් බවත් කිතුනුවන් විශ්වාස කරති. එනම් මිනිසාගේ ගැලවුම්කරුවා යේසුස් බව කිතුනුවන් විශ්වාස කරති. කෙනෙකුගේ පරලොව ජයග්‍රහණය ඇත්තේ ක්‍රිස්තියානි දහමේ බව කිතුනුවන් විශ්වාස කරති. එනිසා මෙම ගැලවුම්කරුවා ගැනත් ඔහු මිනිස් සංහතිය පාපයෙන් මුදවා ගත්තේ කෙසේද යන්නත් අනෙකුත් ජනයාට කියා දීමට කිතුනු සභා ඉමහත් උත්සහයක් ගන්නා බව පැහැදිලි කරුණකි. ඒ අනුව බොහොමයක් කිතුනු සභා කිතුනු දහම මුස්ලිම්වරුන්ටත් කියා දෙන්න උත්සහ දරති. ඇතැම් විට විවිධ ප්‍රශ්න යොමු කිරීම තුළින් කිතුනු දහම සත්‍ය බවත් එය ඉස්ලාම් දහමට වඩා උසස් බවත් මුස්ලිම්වරුන්ට ඒත්තු ගැන්වීමට උත්සහ දරති. මෙම උත්සාහයේ කිසිඳු ගැටළුවක් නොමැත. නමුත් ඔවුන් පවසන කාරණා සත්‍ය කාරණාද යන්න අප සොයා බැලිය යුතු නොවේද? කිතුනු සහෝදර සහෝදරියන් ඉදිරිපත් කරන ධර්මය බුද්ධිමත් ලෙස ගවේෂණයකට ලක් කිරීම අප විසින් සිදු කළ යුතු කාර්යයකි. මේ පිළිබඳව දෙවිඳුන් තම අවසාන දේව අනාවරණයේ මෙසේ සඳහන් කර ඇත.

‘යුදෙව්වන් ලෙස හෝ  ක්‍රිස්තියානිවරුන් ලෙස සිටි අය හැර අන් අය ස්වර්ගයෙහි ඇතුළු නොවන්නෝමය යි ඔවුහු කියති. මෙය හුදෙක් ඔවුන්ගේ කල්පනය වේ. (මෙහි) ඔබලා  සත්‍යවන්තයින් නම් (එම කරුණ තහවුරු කරන) ඔබලාගේ මූලාධාරය ගෙන එන්නැ’ යි (නබි!) ඔබ (ඔවුනට) පවසන්න. [අල් කුර්ආනය 2:111]

දෙවිඳුන්ගේ මෙම මඟ පෙන්වීමට අනුව කිතුනු සභා ඉදිරිපත් කරන කරුණු පිලිබඳ ශාස්ත්‍රීය ලෙස ගවේෂණය කර ඔවුන්ට අදාළ පිළිතුරු මෙම අංශයේ විවිධ මාතෘකා යටතේ ගොනු කර ඇත. මෙම අංශයේ කරුණු ඉදිරිපත් වී ඇත්තේ යම් දහමකට අපහස කිරීමේ අරමුණින් නොවන බව මෙහිදී සඳහන් කළ යුතුය. මෙම කාරණා සත්‍ය සොයා යන ගවේෂකයකුට ප්‍රයෝජනවත් වන බව නිසැකය.

  1. බයිබලය ගැන දැන ගනිමු
  2. යේසුස් ක්‍රිස්තූන් යනු කවරෙක්ද?
  3. යේසුස් ක්‍රිස්තූන් දේශනා කළ ධර්මය කුමක්ද?
  4. මුල් පාපය, ලෙයින් පාපය සෝදා හැරීම, කුරුස මරණය
  5. යේසුස් කුරුසය මත මිය ගියාද?
  6. බයිබලයේ සඳහන් මුහම්මද් තුමාණෝ
  7.  ගැලවීම
  8. කිතුනු සභාවන් වල ඉතිහාසය

Comments are closed