ඔටුවන්ගේ මුත්‍රා හා වෙදකම

මුහම්මද් ﷺ තුමාගේ ඉගැන්වීම් ගැන කියවීමේදී ඇතැම් අවස්තාවලදී ඇතැම් වෙදකම් පිලිබඳ කරුණුද අපට දැක ගන්න පුළුවන්. කෙසේනමුත් මුහම්මද් ﷺ තුමා මූලිකගේ මෙහෙය වූයේ වෛද්‍ය විද්‍යාව මිනිසාට කියා දීම නොවේ. ඔහුගේ දේව මෙහයේ අරමුණ වූයේ ව්‍යාජ දේව වන්දනාවෙන් මිනිසා මුදවා ගෙන විශ්වයේ නිර්මාණකරු වූ එකම සත්‍ය දෙවියන් වන අල්ලාහ්ට පමණක් නැමදුම් කරන මෙන් මිනිසාට අරාධනා කිරීමයි. එනිසා දහම යන විෂයේ ඔහුට අනෙකුත් පුද්ගලයින්ට වඩා ඉහළ දැනුමක් තිබුණද අනෙකුත් ලෞකික විෂයන් වල දැනුම ඔහුට වඩා අනෙකුත් පුද්ගලයින්ට තිබෙන්න පුළුවන්. මේ බව එක් අවස්ථාවකදී මුහම්මද් ﷺ තුමාම පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

මූසා ඉබ්නු තල්හා මෙසේ පවසනවා: මා හා අල්ලාහ්ගේ දූතයාණන් රට ඉඳි ගස් පසු කරමින් ගියෙමු. ඔහු (මුහම්මද් ﷺ තුමා) “මෙම මිනිසුන් කරන්නේ කුමක්ද?” යැයි විමසුවේය. “ඔවුන් බද්ධ කරන්නෝය. ඔවුන් ස්ත්‍රී ගස, පිරිමි ගස සමඟ එකට සම්බන්ධ කරන්නෝය. එවිට අස්වැන්න අධිකව ලැබෙන්නේය” යැයි ඔවුන් පැවසුවෝය. මෙය ඇසූ අල්ලාහ්ගේ දූතයාණන් “මෙහි කිසිඳු ප්‍රයෝජනයක් තිබෙන බව මම නොදකිමියි” යැයි පැවසුවේය. මේ පිළිබඳව ඔවුන්ට දැනුම් දෙනු ලැබූ අතර ඔවුන් මෙම පුරුද්ද නවතා දැමුවෝය. පසු අවස්ථාවකදී රට ඉඳි වල අස්වැන්න අඩු වූ බව අල්ලාහ්ගේ දූතයාණන්ට දැන ගැනීමට ලැබුණි. මෙය දැනගත් ඔහු “එහි (බද්ධ කිරීම) යම් ප්‍රයෝජනයක් තිබුණේ නම් ඔවුන් එය කළ යුතුය, එය (නොකළ යුතුයි යැයි මා පැවසු ප්‍රකාශය) මාගේ පෞද්ගලික මතයක් පමණි. මාගේ පෞද්ගලික මත පසුපස නොයන්න. නමුත් අල්ලහ්ගෙන් පැමිණි යමක් මා කියන විට එය පිළිගන්න, හේතුව පාරිශුද්ධ වූ අල්ලාහ් ගැන කිසිඳු බොරුවක් මම නොපවසන්නෙමි. [1]

ඉහත සිදුවීම ගැන සඳහන් තවත් පුවතක මුහම්මද් ﷺ තුමා “ලෞකික විෂයන් වල දැනුම (තාක්ෂණික දැනුම) ඔබලාට මනා ලෙස තිබෙන්නේය”  යැයි පවසා තිබෙනවා [2].

මේ කරුණු මතකයේ තබා ගනිමින් මුහම්මද් ﷺ තුමා ඔටුවන්ගේ මූත්‍රා පිළිබඳව පැවසු කරුණකට අවධානය යොමු කරමු.

අනස් ඉබ්නු මාලික් මෙසේ පවසනවා: උරෛනා නම් ගෝත්‍රයට අයත් ඇතැම් මිනිසුන් අල්ලාහ්ගේ දූතයාණන්ව මදීනා නගරයේදී හමු වුණි. නමුත් එහි තිබූ කාලගුණය ඔවුන්ට හිතකර වූයේ නැත. එනිසා “ඔබ කැමතියි නම්,  සදාකා හි ඔටුවන් වෙත ගොස් ඔවුන්ගේ කිරි හා මුත්‍රා (බෙහෙත් වශයෙන්) පානය කරන්න” යැයි අල්ලාහ්ගේ දූතයාණන් පැවසුවේය. ඔවුන්ට එසේ කළ අතර ඔවුන් සුවය ලැබුවෝය.[3]

එකළ වෛද්‍ය ක්ෂේත්‍රය තිබුණේ ප්‍රාථමික මට්ටමකයි. එනිසා අසනීප වූ පිරිසට ඔවුන් කැමති නම් එකළ තිබූ වෙද ක්‍රමයට අනුව ඔටුවන්ගේ කිරි හා මුත්‍රා (බෙහෙත් වශයෙන්) පානය කර බලන මෙන් මුහම්මද් ﷺ තුමා පවසනවා. මෙය ඔහුගේ පෞද්ගලික මතයක් බව ඉහත පුවත කියවන කෙනෙකුට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. අද තිබෙන තාක්ෂණික දියුණුව සමඟ මෙම වෙදක්‍රමය තුළ යම් සාර්ථකත්වයක් තිබෙනවාද නැද්ද යන්න පරිෂාකර බලන්න පුළුවන්. නූතන පරීක්ෂකයන් පවසන්නේ මෙම ක්‍රමය තුලින් ලෙඩ සුව කළ හැකි බවයි [4][5].

කෙසේනමුත් ඉතාමත් යෝග්‍ය ක්‍රමය වන්නේ ඔටුවන්ගේ කිරි හා මුත්‍රා (බෙහෙත් වශයෙන්) එලෙසම පානය කිරීමට වඩා එහි යම් ඖෂධීය ගුණයක්, සංඝටකයක් තිබෙනවාද යන්න ගවේෂණය කිරීමයි. උදාහරණයකට ඇතැම් බෙහෙත් වලට ඇතුලත් කරන PREMARIN නම් සංඝටකය ගැන සලකන්න පුළුවන්. මෙය ලබා ගන්නේ සත්ව මුත්‍රා වලිනුයි[6]. මෙවන් දෙයක් ඔටුවන්ගේ මුත්‍රා වලත් තිබෙන්න පුලුවන්. මෙය වෛද්‍ය විද්‍යාවේ දියුණුවට උපයෝගී කරගන්නත් පුළුවන්.

කෙසේනමුත් අද සිදු කරන විද්‍යාත්මක ගවේෂණ තුලින් ඔටුවන්ගේ කිරි හා මූත්‍රා මිශ්‍ර කර බෙහෙතක් වශයෙන් පානය කිරීම නොසුදුසුයි යන්න තහවුරු කළේ නම් මෙම ක්‍රියාව කිසි විටකත් අප නොකළ යුතුයි. මෙයට හේතුව වෙන කිසිඳු විකල්පයක් නොමැති අවස්ථාවේදී කැමති නම් පමණක් එකළ තිබූ ප්‍රාථමික වෙද ක්‍රමය අනුව ඔටුවන්ගේ කිරි හා මූත්‍රා මිශ්‍ර කර බෙහෙතක් වශයෙන් භාවිතා කරන ලෙස යෝජනාවක් මුහම්මද් ﷺ තුමා ඉදිරිපත් කළා මිස අනිවාර්යයෙන්ම එසේ භාවිතා කරන මෙන් මුහම්මද් ﷺ තුමා අණ කර නැහැ. ඒ වගේම එම යෝජනාව ඔහුගේ පෞද්ගලික මතයක් නිසා ඔහුගේ යෝජනාව අනිවාර්යයෙන්ම පිළිගත යුතු වන්නේද නැහැ.

ඉහත සඳහන් කරුණු ගැන කිසිඳු ගවේෂණයකින් තොරව ඇතැම් නූතන ඉස්ලාම් විරෝධීන් “ඉස්ලාමය අපිරිසිදු ඔටු මූත්‍රා බොන්න අණ කරනවා” යැයි පවසමින් ඉස්ලාම් දහම විවේචනය කරනවා. නමුත් ඔවුන්ගේ විවේචනයේ ගත යුතු කිසිවක් නොමැති බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි.

මූලාශ්‍රයන්

[1] සහිහ් මුස්ලිම්, පුවත් අංක 5830

[2] සහිහ් මුස්ලිම්, පුවත් අංක 5832

[3] සහිහ් මුස්ලිම්, පුවත් අංක 4130

[4] https://islamqa.info/en/83423

[5] http://news.bbc.co.uk/2/hi/middle_east/1702393.stm

[6] http://www.premarin.org/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *