බලහත්කාරයෙන් සිදු වන විවාහ ඉස්ලාමය අනුමත කරනවාද?

ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බවත් කාන්තාවන්ට අසාධාරණයක් සිදු කරන බවත් ඉස්ලාම් දහම විවේචනය කරන ඇතැම් නූතන විවේචකයන් පවසනවා. කෙසේනමුත් ඉස්ලාමය කාන්තාව සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න නිසි ආකාරව අබබෝධකර ගන්නවා නම් මෙවන් චෝදනාවලට කිසිඳු ඉඩක් නොමැති බව ඕනෑම කෙනෙකුට වටහා ගැනීමට පුළුවන්. මේ සඳහා මුලින්ම අල් කුර්ආනයේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමේ නිවැරදි ක්‍රමවේදය අප දැන සිටිය යුතුයි. මීට අමතරව ඉස්ලාමය කාන්තාවන්ට ලබා දුන් නිසි තැන යන ලිපියද කියවන්න. මෙම ලිපිය තුළින් ඉස්ලාමය කාන්තාවන්ට ලබා දුන් මඟපෙන්වීම් වල පදනම තේරුම් ගන්න පුළුවන්. මෙම කරුණු පිළිබඳව මනා අවබෝධයක් අප සතුව තිබෙන්නේ නම් විවේචකයන් එල්ල කරන චෝදනා සඳහා වූ නිසි පිළිතුරු මොනවාද යන්න අපට තේරුම් ගන්න පුළුවන්.

බලහත්කාරයෙන් සිදු වන විවාහ ඉස්ලාමය අනුමත කරනවාද?

තම ගැහැණු දරුවන්ව බලහත්කාරයෙන් විවාහ කර දෙන මෙන් ඉස්ලාමය පවසන බව ඉස්ලාම් දහම විවේචනය කරන ඇතැම් විවෙචයන් චෝදනා කරති. මෙලෙස චෝදනා කිරීමට ප්‍රධාන හේතුව වන්නේ ලෝකයේ ඇතැම් ප්‍රදේශවල මෙවන් සිදුවීම් වාර්තා වීමයි. කෙසේනමුත් ඉස්ලාමීය මූලාශ්‍ර නිසි ලෙස අධ්‍යයනය කරනවා නම් මොවුන්ගේ චෝදනාවට කිසිඳු ඉඩක් නොමැති බව ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම වටහා ගත හැක. එබැවින් මුස්ලිම්වරුන්ගේ වැරදි ක්‍රියා උපුටා දක්වමින් ඉස්ලාමීය ඉගැන්වීම් විවේචනය කිරීම පදනම් විරහිත ක්‍රියාවකි.

ඉස්ලාම් තුළ පරිපූර්ණ ජීවන ක්‍රමයක් සඳහා මඟපෙන්වීම් තිබෙන නිසා විවාහය පිළිබඳවද ඉගැන්වීම්, නීති රීති ඉස්ලාම් දහමේ දැක ගත හැක. මෙම විවාහ නීති රීති අතුරින් ලිපියේ මාතෘකාවට අදාළ කරුණු පමණක් මෙම ලිපියේ ඉදිරිපත් වී ඇත.

ඉස්ලාමයට අනුව භාරකාරයකුගේ අනුමැතිය නොමැතිව කාන්තාවකට විවාහයක් සිදු කර ගත නොහැක.

මුහම්මද් ﷺ තුමා “වලී කෙනෙකු (භාරකරු) නොමැතිව විවාහ ගිවිසුමක් සිදු නොවිය යුතුය” යැයි පවසා ඇත. [1][2][3] (මෙම පුවත විශ්වාසනීය පුවතක් බව, හදීස් විද්වතෙකු වූ අල්බානි පවසා ඇත[4])

සාමාන්‍යයෙන් මෙම භාරකාරත්වය හිමි වන්නේ කාන්තාවගේ පියාටය. කාන්තාවක් සඳහා මෙවන් භාරකරුවෙකු අවශ්‍ය වන්නේ ඇයගේ ආරක්ෂාව සඳහාය. මෙවන් භාරකරුවෙකු සිටින බැවින් විවාහ කරන පුද්ගලයාට, මෙම කාන්තාවට හානියක් කළත් සොයා බැලීමට කවුරුවත් නොමැත යන සිතුවිල්ල හට ගන්නේ නැත. තවද විවාහය අසාර්ථක වී දික්කසාද වන තත්වයක් උදාවූයේ නම් කාන්තාවගේ අයිතිවාසිකම් ලබා ගැනීමට මෙවන් භාරකරුවෙකුගේ මැදිහත්වීම අවශ්‍ය වේ. කෙසේනමුත් කාන්තාවගේ කැමැත්ත නොමැතිව එම කාන්තාව විවාහ කර දීමට මෙම භාරකරුවන්ට කිසිඳු අයිතියක් නොමැත. එනම් ඉස්ලාමයට අනුව, විවාහ වන කාන්තාවගේ කැමැත්ත විවාහයකදී අනිවාර්ය කොන්දේසියකි. එබැවින් කාන්තාවගේ කැමැත්ත නොමැතිව විවාහයක් සිදු වී ඇත්නම් එය නිවැරදි විවාහයක් ලෙස ඉස්ලාමය සලකන්නේ නැත. මුහම්මද් ﷺ තුමාගේ ඉගැන්වීම් තුළින් මේ බව අපට පහසුවෙන් තේරුම් ගත හැක.

මුහම්මද් ﷺ තුමා මෙසේ පැවසුවේය : “කන්‍යාවියක් තම කැමැත්ත ලබා දෙන තුරු විවාහ කර නොදිය යුතුය” [5][6]

කාන්තාවක් තමා වෙත පැමිණ “සමාජයේ තමාගේ තරාතිරම උසස් කර ගැනීම පිණිස මාගේ පියා ඔහුගේ සහෝදරයාගේ පුත්‍රයාට මාව විවාහ කර දුන්නේය. මට මෙම විවාහය අවශ්‍ය වූයේ නැත” යැයි පැවසු බව ආයිෂා තුමිය වාර්තා කළාය. “මුහම්මද් ﷺ තුමා පැමිණෙන තුරු මෙහි සිටින්න යැයි” ආයිෂා තුමිය (මෙම කාන්තාවට) පැවසුවාය. මුහම්මද් ﷺ තුමා පැමිණියේය. ඇය (ආශිෂා තුමිය) මෙම කාන්තාවගේ පුවත ඔහුට පැවසුවාය. කාන්තාවගේ පියාට පැමිණෙන ලෙස පැවසු මුහම්මද් ﷺ තුමා කුමක් සිදු විය යුතුද යැයි තීරණය කිරීමට කාන්තාවට අවස්තාව ලබා දුන්නේය. ඇය,  “අල්ලාහ්ගේ දූතයාණෙනි! මාගේ පියා කළ දේ මා අනුමත කරමි. නමුත් අනෙකුත් කාන්තාවන්ට යමක් ඔප්පු කරන්න මට අවශ්‍ය විය” යැයි පැවසුවාය. [7]

ඉහත සිදුවීම බුරෛදා ඉබ්නු අල් හසීබ් මෙසේ පැවසු බවට කියැවේ: කාන්තාවක් මුහම්මද් ﷺ තුමා වෙත පැමිණ “තමාගේ තරාතිරම උසස් කර ගනු පිණිස මාගේ පියා ඔහුගේ සහෝදරයාගේ පුත්‍රයාට මාව විවාහ කර දුන්නේය” යැයි පැවසුවාය. මුහම්මද් ﷺ තුමා ඇයට තීරණයක් ගැනීමට අවස්තාව දුන්නේය. ඇය මෙසේ පැවසුවාය “මාගේ පියා කළ ක්‍රියාව අනුමත කරන්නෙමි, නමුත් තම පියවරුන්ට මෙලෙස ක්‍රියා කිරීමට කිසිඳු අයිතියක් නොමැති බව අනෙකුත් කාන්තාවන්ට දැනගැනීමට සැලැස්වීමට මට අවශ්‍ය විය.” [8]

ඉහත සිදුවීමට අනුව මෙම කාන්තාවගේ පියා ඇයව ඇයගේ කැමැත්ත නොමැතිවම විවාහ කර දී ඇති බව පැහැදිලිය. මෙහිදී මෙම කාන්තාවට තීරණයක් ගැනීමට මුහම්මද් ﷺ තුමා අවස්තාව ලබා දී ඇත. එනම් මෙම විවාහය ඇය අනුමත නොකරනවා නම් එම විවාහය අවලංගු කර ගැනීමේ පූර්ණ අයිතිය මුහම්මද් ﷺ තුමා මෙම කාන්තාවට මෙම අවස්ථාවේදී ලබා දී ඇත. එනම්, කාන්තාවක් විවාහ වීම සඳහා තම භාරකරුවන්ගේ අනුමැතිය අවශ්‍ය වුවද කාන්තාවක් විවාහයට කැමති නොමැති නම් ඇයව බලහත්කාරයෙන් විවාහ කර දීමේ අයිතිය භාරකරුවන්ට නොමැති බව ඉස්ලාමය පැහැදිලිවම සඳහන් කරයි.

තවද කාන්තාවක් යම් කෙනෙකු සමඟ විවාහ වීමට කැමති නම් ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීමක් පදනම් නොකරමින් මෙම විවාහයට අනුමැතිය නොදී සිටීමටද භාරකරුවන්ට නොහැක. එනම් භාරකරුවා මෙම විවාහයට අනුමැතිය නොදෙන්නේ නම් එය භාරකරුවාගේ හුදෙක් කැමැත්ත මත පදනම් නොවිය යුතුය. මේ බව පහත සිදුවීම තුළින් අපට තේරුම් ගත හැක.

අල් හසන් පැවසු බවට වාර්තා වේ: මෙම කුර්ආන් වැකිය තමා පිළිබඳව පහළ වූ බව මාකිල් ඉබ්නු යස්සාර් මට පැවසුවේය. ඔහු(මාකිල් ඉබ්නු යස්සාර්) මෙසේ පැවසුවේය: “මාගේ සහෝදරියව මා කෙනෙකුට විවාහ කර දුන්නෙමි. ඔහු ඇයව දික්කසාද කළේය. ඇයගේ ඉද්දා කාලය (විවාහ නොවිය යුතු කාල සීමාව) අවසන් වූ විට ඔහු පැමිණ ඇයව නැවත විවාහ කර ගැනීමට ඉල්ලා සිටියේය. ‘මා ඇයව ඔබට විවාහ කර දුන්නෙමි, ඔබට හොඳින් සැලකුවෙමි, ගරු කළෙමි, පසුව ඔබ ඇයව දික්කසාද කළේය. දැන් ඔබ ඇයව විවාහ කරගැනීමට පැමිණ ඇත. නැත! අල්ලාහ් මත දිවුරා පවසමි, ඇය නැවත ඔබ වෙත යන්නේ නැත!’ යැයි ඔහුට පැවසුවෙමි. ඔහු තුළ කිසිඳු වැරැද්දක් නොතිබුණි, තවද කාන්තාවට(සහෝදරියට) නැවත ඔහු වෙත යෑමට අවශ්‍ය විය. මෙම මොහොතේ අල්ලාහ් ‘….ඔවුන්ව නොවලක්වනු….’ නම්  වැකිය [අල් කුර්ආනය 2:232] පහළ කළේය. එබැවින් මා “දැන් මා එය කරන්නම්, අල්ලාහ්ගේ දූතයාණෙනි” යැයි පැවසුවෙමි. ඔහු ඇයව ඔහුට විවාහ කර දුන්නේය.[9]

නුඹලා ස්ත්‍රීන් දික්කසාද කළ පසු ඔවුන් තම කාල සීමාව සම්පූර්ණ කළහොත් ඔවුන් (තමන් ප්‍රිවකරන) පුරුෂයින්ට කැමති වී නිසි පරදි විවාහ කර ගැනීම නොවළක්වන්නග නුඹලා අතුරින් අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස කරන්නන්ට මෙසේ අනුශාසනා කරනු ලැබේ. මෙය නුඹලාට පිරිසිදු යත පිවිතුරු ය අල්ලාහ් දනියි. නුඹලා නොදන්නෙහු ය. [අල් කුර්ආනය 2:232]

ඉස්ලාමීය හේතුවක් නොමැතිව භාරකරුවෙකු විවාහයකට අනුමැතිය නොදෙන්නේ නම්, කාන්තාවට මේ පිළිබඳව ඉස්ලාමීය අධිකරණයට පැමිණිලි කළ හැක. අධිකරණ තීන්දුවට අනුවද භාරකරු විවාහය සඳහා ඉස්ලාමීය හේතුවක් නොමැතිව අනුමැතිය නොදෙන්නේ නම් විවාහයට අනුමැතිය දීමේ භාරකාරත්වය වෙනත් සුදුසු පුද්ගලයකුට හිමි වේ. නිදසුනක් ලෙස කාන්තාවගේ මූලික භාරකරුවා වන පියා ඉස්ලාමීය හේතුවක් නොමැතිව විවාහයට අනුමැතිය නොදෙනවා නම් භාරකාරත්වය කාන්තාවගේ සීයාට හිමි වේ. එවන් සුදුසු පුද්ගලයෙකු නොමැති විට ඉස්ලාමීය විද්වත් සභාවට හෝ ඉස්ලාමීය අධිකරණට හෝ රටේ නායකයාටම මෙම භාරකාරත්වය හිමි වේ.

මුහම්මද් ﷺ තුමා මෙසේ පවසා ඇත: වලීගේ (භාරකරුවාගේ) අනුමැතිය නොමැතිව යම් කාන්තාවක් විවාහ වන්නේ නම් ඇයගේ විවාහය වලංගු නොවේ, ඇයගේ විවාහය වලංගු නොවේ, ඇයගේ විවාහය වලංගු නොවේ. ඇයගේ ස්වාමි පුරුෂය (පවුල් ජීවිතය ආරම්භ කිරීම තුළින්) එම විවාහය පරිපූර්ණ කර ඇත්නම් ඒ වෙනුවට ඔහු දුන් මහ්ර් ධනය (මනමාලයා විසින් මනමාලියට දෙන ධනය) ඇයට හිමි වේ. ඇයට වලී කෙනෙකු (භාරකරුවෙකු) නොසිටියි නම් වලී කෙනෙකු නොමැති සියල්ලටම පාලකයා වලී (භාරකරුවා) වනු ඇත. [10][11][12].

මෙහිදී පාලකයා යන්නෙහි අදහස විවාහය සිදු කරන වගකිවයුත්තා යන්නයි. මේ සියලුම අවස්ථාවලදී ඉස්ලාමීය හේතුවක් නොමැතිව විවාහයට අනුමැතිය නොදීමට මෙම භාරකරුවන්ට අයිතියක් නොමැත.

කාන්තාවගේ අනුමැතිය නොමැතිව සිදු වන විශේෂ විවාහ ගිවිසුම

ඉස්ලාමීය විවාහය අධියර දෙකකට වෙන් කර සැලකිය හැක.

  1. විවාහ ගිවිසුම – කාන්තාවක් හා පුරුෂයෙක් අතර සිදුවන විවාහ ගිවිසුම
  2. විවාහය පරිපූර්ණ කිරීම – විවාහ ගිවිසගත් කාන්තාව හා පුරුෂයා එක් වී පවුල් ජීවිතය ආරම්භ කිරීම

වැඩිවියට පත් වූ විවාහයට සුදුසු කාන්තාවක් විවාහ ගිවිසුමක් තුළින් විවාහ කර දීමට ඇයගේ කැමැත්ත අනිවාර්ය කොන්දේසියක් වුවද ඇය වැඩිවියට පත්ව නොමැතිනම් ඇයගේ කැමැත්ත නොමැතිව විවාහ ගිවිසුම පමණක් සිදු කිරීමේ අනුමැතිය ගැහැණු දරුවාගේ පියාට පමණක් ඉස්ලාමය ලබා දී ඇත. මෙම පියා ඉතා දැහැමි පුද්ගලයෙකු විය යුතු අතර තම දරුවන්ගේ විෂයේ දැඩි සැලකිල්ලක් දක්වන පුද්ගලයෙකු විය යුතුය. එනම් මෙවන් පියෙක් නොමැති විට වැඩිවියට පත් නොවූ කාන්තාවක් සඳහා විවාහ ගිවිසුමක් සිදු කළ නොහැක. කෙසේනමුත් මෙම විවාහය පරිපූර්ණ විවාහයක් ලෙස සැලකෙන්නේ නැත. මෙම විවාහ ගිවිසුමෙන් පසු දැරිය සිටිය යුත්තේ තම භාරකරුවන් ළඟය. මෙම විවාහය පරිපූර්ණ වන්නේ මෙම දැරිය වැඩිවියට පත්වී විවාහයට සුදුසු මානසිකත්වයකින් හා ශාරීරික තත්වයකින් සිටින කාන්තාවක් බවට පත් වූ පසු ඇය වැඩිවියට පත් වීමට පෙර සිදු වූ විවාහ ගිවිසුම ඇය අනුමත කර විවාහ ගිවිසගත් පුද්ගලයා සමඟ පවුල් ජීවිතය ආරම්භ කළහොත් පමණි. එනම් තමා වැඩිවියට පත් වීමට පෙර සිදු වූ විවාහ ගිවිසුම අවලංගු කර දැමීමේ අයිතිය මෙම කාන්තාව වැඩිවියට පත්වී විවාහයට සුදුසු කාන්තාවක් බවට පත් වූ විය ඇයට හිමි වේ. එනිසා තමා අකමැති අයෙකු සමඟ ජීවත් විය යුතු තත්වයක් ඇයට උදාවන්නේ නැත. ඇය අකමැති නම් විවාහ ගිවිසුම අහෝසි කර දමා මාස තුනකට පසුව ඇයට තවත් කෙනෙකුව විවාහ කර ගත හැක[13].

ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වීමට පෙර විවාහ ගිවිසුම පමණක් සිදු කිරීමේ අනුමැතිය එම දැරියගේ පියාට ඉස්ලාමය ලබා දී ඇත්තේ ඉතා පැහැදිලි යහපතක් විවාහ ගිවිසුම ප්‍රමාද කිරීම තුළින් අහිමිවේදෝ යන බිය ඇති වන අවස්ථාවකදී පමණි. උදාහරණයක් ලෙස තම කුඩා ගැහැණු දරුවාව තමා හොඳින් දන්නා දැහැමි පිරිමි ළමයෙකුට ගිවිසුමක් තුළින් පමණක් විවාහ කර දීමෙන් අනාගතයේදී තම ගැහැණු දරුවාට හොඳ ස්වාමිපුරුෂයෙක් හිමි වන අතර මෙම ගිවිසුම ප්‍රමාද කළහොත් ඇතැම් විට මෙම දැහැමි පිරිමි දරුවාව තම ගැහැණු දරුවාගේ ස්වාමි පුරුෂයා බවට පත් කර ගැනීමේ අවස්තාව අහිමි වේදෝ යන බිය තිබෙන්නේ නම් මෙවන් ගිවිසුමක් ඇති කර ගැනීමේ අනුමැතිය ඉස්ලාමය මෙම ගැහැණු දරුවාගේ පියාට ලබා දී ඇත. කෙසේනමුත් ඉතා යෝග්‍ය ක්‍රමය වනුයේ කාන්තාව වැඩිවියට පත් වී විවාහයට සුදුසු මානසිකත්වයකින් හා ශාරීරික තත්වයකින් සිටින විට ඇයගේ කැමැත්ත අනුව විවාහ ගිවිසුම සිදු කර දීමය. මේ පිළිබඳව ඉස්ලාමීය විද්වතෙකු වන ඉමාම් නවවි තුමා ශරහ් මුස්ලිම් නම් ග්‍රන්ථයේ සඳහන් කර ඇත[14].

තවද කාන්තාවක් වැඩිවියට පත් වීමට පෙර සිදු වන විවාහ හිවිසුම් මනා ලෙස වාර්තා කර එම කාන්තාව වැඩිවියට පත් වූ පසු ඇයගේ කැමැත්ත විමසා බලා ඒ අනුව වැඩකටයුතු සිදු කිරීම ඉස්ලාමීය විවාහය සිදු කරන බලධාරීන්ගේ වගකීමකි. කාන්තාවට සිදු වන හානිය වැළැක්වීමට මෙවන් ක්‍රමවේදයක් අනුගමනය කිරීම ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කරන්නේ නැත.

මූලාශ්‍රයන්

[1] තිර්මිදී, පුවත් අංක 1101

[2] අබූ දාවුද්, පුවත් අංක 2085

[3] ඉබ්නු මාජා, පුවත් අංක 1881

[4] අල්බානි, ඉර්වා අල් ඝලීල්, 6/235

[5] සහිහ් බුහාරි, පුවත් අංක 6968

[6] සහිහ් මුස්ලිම්, පුවත් අංක 1419

[7] අන් නසායි, පුවත් අංක 3217

[8] ඉබ්නු මාජා, පුවත් අංක 1874

[9] සහිහ් බුහාරි, පුවත් අංක 4837

[10] තිර්මිදී, පුවත් අංක 1102

[11] අබූ දාවුද්, පුවත් අංක 2083

[12] ඉබ්නු මාජා, පුවත් අංක 1879

[13] අල් කුර්ආනය 65:4

[14] ශරහ් මුස්ලිම් 9/206

Leave a Reply

Your email address will not be published. Required fields are marked *