විදේශ තානාපතිවරුන් ඝාතනය කිරීම ඉස්ලාමය අනුමත කරනවාද?

මිනිස් ජීවිතයේ සියලුම අංශ සඳහා මඟ පෙන්වන ඉස්ලාම් දහම තුළ රාජ්‍ය පාලනය පිළිබඳවද ඉගැන්වීම් ඇතුලත් වී තිබේ. මේ අනුව ඉස්ලාමීය රටක් තම අසල්වැසි රටක් සමඟ ක්‍රියා කල යුත්තේ කෙසේද යන්නත් ඉස්ලාම් දහමේ සඳහන් වී ඇත. මෙම කරුණු අතුරින් අන් රටවල නියෝජිතයන්,තානාපතිවරුන්, පණිවුඩකරුවන් යනාදී පුද්ගලයින් සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද යැයි සාකච්ඡා කිරීම මෙම  කෙටි ලිපියේ අරමුණ වේ.

ඇතැම් විට රටවල් අතර යුදමය ගැටුම් ඇති වීම වැළැක්විය නොහැක. එවන් අවස්ථාවකදී එක් රටක නියෝජිතයන්, තානාපතිවරුන් තම සතුරු රටට යම් විශේෂ අරමුණක් සඳහා ඇතුල් වූ විට ඔවුන්ව ඝාතනය කිරීමට ඔවුන් ඇතුල් වූ රටේ සාමාජිකයන් පෙළඹෙති. මෙවන් සිදුවීම් පදනම් කර ගනිමින් ඉස්ලාම් දහම මෙවන් ත්‍රස්ත ක්‍රියා වලට අනුබල දෙන බව ඇතැම් විවේචකයන් පවසති. නමුත් රටක නියෝජිතයන්, තානාපතිවරුන් ඝාතනය කිරීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැත. මුහම්මද් ﷺ තුමාගේ ඉගැන්වීම් දෙස බලන විට මේ බව අපට පැහැදිලිවම අවබෝධ කර ගත හැක.

මුසෛලමා යනු තමුන් දේව පණිවුඩකරුවෙකු බව පවසා මිනිසුන් රැවටීමට උත්සහ දැරූ පුද්ගලයෙකි. මොහු තමා ජීවත් වූ ප්‍රදේශය පාලනය කළ අතර මුස්ලිම්වරුන්ට බලපෑම් කළේය. එනිසා මොහු මුස්ලිම්වරුන්ගේ සතුරෙකු බවට පත් විය. මොහු මුහම්මද් ﷺ තුමාට දන්වා සිටියේ මොහුවද දේව පණිවුඩකරුවෙකු ලෙස පිළිගෙන රාජ්‍ය පාලනයේ කොටසක් තමාටද ලබා දෙන ලෙසය. මේ බව දන්වමින් නියෝජිතයන් දෙදෙනෙක් ඔහු මුහම්මද් ﷺ තුමා කරා ඒවා සිටියේය.

මුහම්මද් ඉබ්නු ඉස්හාක් මෙසේ පැවසුවේය: “මුසෛලමා, අල්ලාහ්ගේ දූතයාණන්ට ﷺ (හසුනක්) ලියන ලදී” නුඅයිම් ඉබ්නු මසූද් මෙසේ පැවසුවේය: (දේව දූතයෙක් ලෙස ව්‍යාජ ලෙස පැවසු) මුසෛලමාගේ ලියුම (වෙනත් කෙනෙකු ලවා)  කියවූ පසු  අල්ලාහ්ගේ දූතයාණන් ﷺ මුසෛලමාගේ නියෝජිතයන් හට “ඔබ දෙදෙනා පවසන්නේ කුමක්ද?” යයි පැවසුවේය. “මුසෛලමා පවසන දේම අපිද පවසමු” යයි ඔවුන් පිළිතුරු දුන්නෝය. එවිට මුහම්මද් ﷺ දේව දූතයාණන් මෙසේ පැවසුවේය: “අල්ලාහ් මත දිවුරා පවසමි, නියෝජිතයන් (තානාපතිවරුන්, පණිවුඩකරුවන්) ඝාතනය නොකළ යුතුයි යයි නොතිබේ නම් මා නුඹලාගේ ගෙල සිඳ දමා ඇත්තෙමි[1]

ඉහත සඳහන් වී ඇත්තේ ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට සතුරෙකු වූ පුද්ගලයාගේ නියෝජිතයන් ඉස්ලාමීය පාලන භූමිය තුලට පැමිණියද ඔවුන් ඝාතනය නොකළ අවස්ථාවකි. තවද යම් රටක නියෝජිතයන් ඉස්ලාමීය රටේ පාලකයන්ගේ දැනුම ඇතිව ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ පසු ඔවුන් ඝාතනය කිරීම ඉතා බරපතල පාපයකි. මේ බව මුහම්මද් ﷺ තුමාගේ පහත ඉගැන්වීමෙන් පිළිබිඹු වේ:

අල්ලාහ්ගේ දූතයාණන් පැවසු බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් මෙසේ පවසා ඇත: ” මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව සහතික කළ පුද්ගලයෙකුව කවුරුන් හෝ ඝාතනය කරන්නේද ඔහුට ස්වර්ගයේ සුවඳ ආග්‍රහණය කල නොහැක, ස්වර්ගයේ අග්‍රහණය වර්ෂ 40ක දුරකදී පවා ස්වර්ගයේ සුවඳ අග්‍රහණය කළ හැකි වුවද (ඔහුට ස්වර්ගයේ සුවඳ ආග්‍රහණය කල නොහැක)” [2] (එනම් මෙම ඝාතකයාට ස්වර්ගයට යෑමට අපහසු බව මෙම පුවතෙන් පැවසේ)

මෙම කරුණු පදනම් කරගනිමින් ඉස්ලාමීය විද්වතුන් පවසා සිටින්නේ මුස්ලිම් රටකට ඇතුළු වන වෙනත් රටක නියෝජිතයන්, තානාපතිවරුන් යනාදී පුද්ගලයින් ඝාතනය කිරීම ඉස්ලාමයට අනුව සම්පූර්ණයෙන්ම තහනම් බවය [3]. මෙම නියෝජිතයන් පැමිණෙන්නේ මුස්ලිම්වරුන්ට දැඩි ලෙස සතුරුකම් කරන රටකින් වුවද මෙම නියෝජිතයන් ඝාතනය කිරීමට ඉස්ලාම් දහම අනුමැතිය ලබා දෙන්නේ නැත. තවද මෙවන් නියෝජිතයන් මුස්ලිම් රටකට පැමිණ යම් යම් කුපිත කිරීම්, ඉස්ලාම් විරෝධී ක්‍රියා කරන්නේ නම් පොදු ජනතාව ඒ පිලිබඳ අදාළ බලධාරීන්ට පැමිණිලි කල යුතු අතර ඔවුන්ට නීතිය අතට ගැනීමට කිසිම අයිතියක් නොමැත. එවිට එම බලධාරීන්ට මෙම නියෝජිතයන් ඉස්ලාමීය පාලන භූමියෙන් ඉවත් කිරීමට කටයුතු කළ හැක.

මූලාශ්‍රයන්

[1] සුනන් අබූ දාවුද්, පුවත් අංක 2761

[2] සහිහ් බුහාරි, පුවත් අංක 6914

[3] Majmoo’ Fatāwa ash-Shaikh Ibn Bāz 8/207

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *