ඉස්ලාම් දහම නිකරුණේ සතුන් මරණ ලෙස පවසනවාද?

සතුන් යනු අල්ලාහ්ගේ තවත් නිර්මාණයක් වන අතර විවිධ ගණයේ සතුන් අපට දැක බලා ගන්න පුළුවන්. මේ සතුන් අතුරින් මිනිසාට ප්‍රයෝජන ගෙන දෙන සතුන් මෙන්ම මිනිස් ජීවිතයට බලපෑම් එල්ල කරන සතුන්ද සිටින බව සැබෑවක්. එනිසා මෙම විෂය පිළිබඳව මගපෙන්වීමක් ඉස්ලාම් දහම ලබා දී තිබෙනවා.

සත්ව අයිතිවාසිකම ගැන විවිධ කොණ වලින් ඉස්ලාම් දහම කතා කරනවා. සතුන් ඇතුළු ඕනෑම ජීවිතයක් බේරා ගන්නේ නම් එම පුද්ගලයාට ආනිසංස ලැබෙන බව මුහම්මද් ﷺ තුමා පවසා තිබෙනවා. එනිසා  කෙසේනමුත් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා සතුන් මැරීම ඇතැම් විට කිසිසේත්ම නොවැලැක්විය හැකි කාරණයක්. උදාහරණයක් ලෙස මිනිසාගේ ආහාර අවශ්‍යතා සඳහා මෙන්ම අනෙකුත් මූලික අවශ්‍යතා සඳහා සතුන් ඇතැම් විට ඝාතනය කරන්න සිදු වෙනවා. මෙවන් තත්වයකදී යම් මග පෙන්වීමක් තිබිය යුතුයි. එනිසා මෙම අවස්තාවේදී කටයුතු කළ යුත්තේ කෙසේද, සතාට වේදනාව අඩු අකාරයෙන් සතාව ඝාතනය කරන්නේ කෙසේද? අහාර සඳහා අනුමැතිය ලැබෙන්නේ කුමන අකාරයේ මාංශ වලටද යනාදී කරුණු ඉස්ලාම් දහම පහදා දෙනවා.

මීට අමතරව ඇතැම් විට සතුන්ගෙන් මිනිස් ජීවිතයට බලපෑම් ඇති වෙන අවස්ථාද තිබෙනවා. හූනන් කෑමට වැටීමෙන්, පිස්සු බල්ලන් සපා කෑමෙන්, විෂගෝර සර්පයින් දෂ්ට කිරීමෙන් මිනිසුන් ජීවිතක්‍ෂයට පවා පත් වෙන්න පුළුවන්. එනිසා මෙවන් අවස්තාවලදී මෙම සතුන්ව මරා දමා තම ජීවිතය බේරා ගැනීමට ඉස්ලාම් දහම අනුමැතිය ලබා දී තිබෙනවා. මෙය සත්ව හිංසනයක් ලෙස සැලකීම බුද්ධිමත් නිගමනයක් නොවේ.

ඉහත සඳහන් පරිදි කිසිම සාධාරණ හේතුවක් නොමැතිව සතුන් ඝාතනය කිරීම හා හිංසා කිරීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැහැ. උදාහරණයකට විනෝදාංශය සඳහා සතුන් දඩයම් කිරීම, සතුන්ට හිංසා කිරීමේ ක්‍රීඩා යනාදිය ඉස්ලාම් දහමේ සම්පූර්ණයෙන්ම තහනම්.

සුනඛයන්

සුනඛයා යනු අල්ලාහ්ගේ නිර්මාණයක්. ඒවගේම සුනඛයින් සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද යැයි ඉස්ලාම් දහම අපට කියා දෙනවා. සුනඛයින්ට ආහාර ලබා දීම ආනිසංස ලැබෙන ක්‍රියාවක්. මේ බව පහත පුවත් තුළින් අපට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.

නබිවරයා (මුහම්මද් ﷺ තුමා) මෙසේ පැවසුවේය: “එක් මිනිසෙක් පිපාසය නිසා මඩ ලෙවකන සුනඛයෙකු දුටුවේය. ඔහු තම සපත්තුව ගෙන එයට වතුර පුරවා සුනඛයාගේ පිපාසය නැති වන තුරු වතුර දුන්නේය. එනිසා අල්ලාහ් ඔහුගේ ක්‍රියාව අනුමත කළ අතර ඔහුව ස්වර්ගයට ඇතුල් වීමට සලස්වූයේය.”[1]

නමුත් සුනඛයන් සුරතල් සතුන් ලෙස ඇති කිරීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැහැ. නමුත් ආහාර සඳහා දඩයම් කිරීමට, නිවසේ ආරක්ෂාවට සුනඛයින් ඇති කරන්න පුළුවන් [2]. මෙම සුනඛයින් ඇති කලත් නිවස තුළ සුනඛයින් ඇති කරන්න අනුමැතියක් නැහැ. නිවසින් පිටත යම් දුරකින් මෙම සුනඛයින් ඇති කරන්න පුළුවන් [3]. මෙහි අදහස සුනඛයා යනු අපිරිසිදු සත්වයෙක් යන්න නොවේ. (මෙම වැරදි මතය ඇතැම් මුස්ලිම් වරුන් තුළ පවා තිබෙනවා) සුනඛයාගේ අපිරිසිදුව තිබෙන්නේ සුනඛයාගේ කෙල වලයි. එනිසා සුනඛයෙක්ව කෙනෙක් ස්පර්ශ කලොත් වතුරෙන් හෝ යම් ද්‍රව්‍යකින් සාමාන්‍ය අකාරයෙන් සෝදා ගන්න පුළුවන්. නමුත් සුනඛයා යම් අහාර බඳුනක් ලෙව කෑවේ නම් එම ආහාර බඳුන සත් වතාවක් වතුරෙන් සෝදා දම අවසාන වශයෙන් පිරිසිදු වැලි ටිකකින් බඳුන සෝදා දැමිය යුතුයි [4]. මෙසේ සොදන්නේ එහි යම් විෂබීජ තිබුනේ නම් ඒවා ඉවත් වීමටයි. මීට අමතරව අද කාලයේ තිබෙන සබන් යොදා සේදුවත් එහි කිසිඳු වැරැද්දක් නැහැ.

කෙසේනමුත් සුනඛයින් මරදමන ලෙස පැවසු මුහම්මද් ﷺ තුමාගේ ප්‍රකාශයක් හදීස් ග්‍රන්ථ වල සඳහන් වී තිබෙනවා.[5],[6],[7],[8] මින් ඇත්තෙන්ම අදහස් වන්නේ සියලුම සුනඛයින් මරා දමන ලෙසද? එසේ නොවන බව ඉහත කරුණු කියවීමේදී පහසුවෙන්ම අපට තේරුම් ගන්න පුළුවන්. සුනඛයින් සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද, දඩයමට හා ආරක්ෂාවට සුනඛයින් ඇති කරන්නේ කෙසේද යැයි ඉස්ලාම් දහම මගපෙන්වීම මෙම විෂය පිළිබඳව නිසි අවබෝධයක් නොමැති ඇතැම් නූතන විවේචකයින් මුහම්මද් ﷺ තුමාගේ මෙම ප්‍රකාශය උපුටා දක්වා ඉස්ලාමය සියලුම සුනඛයින් මරන මෙන් පවසනවා යැයි චෝදනා කරනවා. මෙලෙස එක් පුවතක් පමණක් උපුටා දක්වා ඉස්ලාමයට එරෙහිව චෝදනා එල්ල කිරීම මෙම විවේචකයන්ගේ පුරුද්දක්. කෙසේනමුත් ඉස්ලාමීය ඉගැන්වීම් තේරුම් ගැනීමේ නිවැරදි ක්‍රමය මෙය නොවේ. ඉස්ලාමීය ඉගැන්වීමක් අවබෝධ කළ යුත්තේ යම් විෂයක් පිළිබඳව සඳහන් වී ඇති සියලු තොරතුරු එක් රැස් කර ගවේෂණය කිරීමෙන් අනතුරුවයි. මුහම්මද් ﷺ තුමාගේ ප්‍රකාශ ඇතැම් විට විස්තරාත්මකවද ඇතැම් විට සංශිප්තව හදීස් ග්‍රන්ථ වල සඳහන් වෙලා තිබෙනවා. ඉහත පුවතේ සඳහන් වන්නේ මෙසේ සංශිප්තව කරුණු ඉදිරපත් වූ අවස්තාවක්. නමුත් විස්තරාත්මකව කරුණු ඉදිරිපත් වූ පුවත් තුළින් මෙම සංශිප්ත පුවතේ සැබෑ අදහස පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. එසේනම් සුනඛයින් මරාදමන ලෙස පැවසු මුහම්මද් ﷺ තුමාගේ ප්‍රකාශයේ අදහස කුමක්ද?

හදීස් ග්‍රන්ථ වල ඇති අනෙකුත් පුවත් වලට අනුව මුහම්මද් ﷺ තුමා අණ කර තිබෙන්නේ ආරක්ෂාව, දඩයම සඳහා ඇති සුනඛයින් හැර අනෙකුත් සුනඛයින් මරා දමන ලෙසයි [9][10][11]. මුහම්මද් ﷺ තුමා මෙම අණද පසුව අහෝසි කර දැමූ අතර භයානක වූ විශේෂිත කළු සුනඛයින් පමණක් මරා දමන ලෙස අණ කර සිටියා [12]. පසුව මෙම නීතියද සම්පූර්ණයෙන්ම අහෝසි කරනු ලැබුවා[13][14][15].

සුනඛයින් මැරීම අද වලංගු නීතියක් නොවේ. එය යම් විශේෂ කාලයකට පමණක් වලංගු නීතියක් ලෙස තිබුණා. සෑම සුනඛයෙක්ම නොමරා ඇතැම් සුනඛයින් මරණ ලෙස අණ කිරීම තුළින්ද පසු කාළයේ මෙම අණ අහෝසි වීම තුලින්ද මෙසේ කිරීමට යම් විශේෂ හේතුවක් තිබී තිබෙන බව අපට තේරුම් ගන්න පුළුවන්. ඇතැම් විට යම් භයානක රෝගයක් එම කාලයේදී මෙම සුනඛයින්ට හැදී තිබෙන්න පුළුවන්. එකළ වෙනත් කිසිඳු පිලියමක් නොතිබුණු නිසා මෙම සුනඛයින් මරා දමන ලෙස මුහම්මද් ﷺ තුමා අණ කර තිබෙන්න පුළුවන්. කෙසේනමුත් කිසිම සාධාරණ හේතුවක් නොමැතිව සුනඛයන් මරා දමන මෙන් ඉස්ලාම් දහම පැවසුවේ නැහැ. පහත පුවත ගැන අවධානය යොමු කරමු.

හම්සා බින් අබ්දුල්ලාහ් මෙසේ පවසනවා: “මාගේ පියා මෙසේ පැවසුවේය: ‘අල්ලාහ්ගේ දූතයාණන්ගේ කාලයේදී, සුනඛයින් මූත්‍රා කරමින් මස්ජිදය (නැම්දුම් කරන ස්ථානය-පල්ලිය) පහු කරමින් ගියද එය (සුනඛයින්ගේ මුත්‍රා) මත ඔවුන් ජලය ඉසුවේ නැත.[16]

ඉහත පුවතෙන් පැහැදිලිවම සනාත වන්නේ මුහම්මද් ﷺ තුමා ඇතුළු ඔහුගේ මිතුරන් සෑම සුනඛයෙක්ම හමු වෙන තැන මරා දැමිය යුතුයි යන ස්ථාවරයේ නොසිටි බවයි. මේ බව සුනඛයින් සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද, දඩයමට හා ආරක්ෂාවට සුනඛයින් ඇති කරන්නේ කෙසේද යැයි ඉස්ලාම් දහම මගපෙන්වීම තුළිනුත් පැහැදිලිවම සනාත වෙනවා. නමුත් මිනිසාට හානියක් කරනවා නම් අදටත් මෙවන් සතෙක් මරා දමන්න මුහම්මද් ﷺ තුමා අනුමැතිය ලබා දී තිබෙනවා [17][18][19][20][21][22][23]. අද කාළයේ පවා ඇතැම් සතුන් මරණ ලෙස රටක බලධාරීන් අණ කරන අවස්ථා අපට දැක ගන්න පුළුවන් [24].

සුනඛයාට අමතරව තවත් සතුන් පිළිබඳව ඉදිරියේදී අප සාකාච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

මූලාශ්‍රයන්

[1] Sahih Bukhari Volume 001, Book 004, Hadith Number 174

[2] Sahih Muslim, Hadith no. 1575

[3] Sunan Abu Dawood, Book 32, Number 4146 (http://www.usc.edu/org/cmje/religious-texts/hadith/abudawud/032-sat.php)

[4] Sahih Muslim, Hadith no. 279

[5] Saheeh Bukhari: Volume 4, Book 54, Hadith no. 540

[6] Saheeh Muslim: Book 010, Hadith no. 3809

[7] Saheeh Muslim: Book 010, Hadith no. 3810

[8] Saheeh Muslim: Book 010, Hadith no. 3811

[9] Saheeh Muslim: Book 010 Hadith no. 3812

[10] Saheeh Muslim: Book 010 Hadith no. 3814

[11]  Saheeh Muslim: Book 024, Hadith no. 5248

[12] Sahih Muslim Book 010, Hadith Number 3813

[13] Imam Nawawi’s Sharh Saheeh Muslim, Kitab: Al Masaaqa, Bab: Al Amr bi qatl Al Kilaab wa bayaan naskhahu wa bayaan tahreem iqtenaa’iha, Commentary on Hadith no. 2934, Source

[14] Muhammad Shams al-Haqq al-Adhim Abadi‘s Awn al-Mabud Sharh Sunan Abu Dawud, Kitab: Al Sayd, Bab: Fi Itikhaazh Al Kalb lil Sayd wa Ghayruh, Commentary on Hadith no. 2462, Source

[15] Kitab: Al Libaas, Bab: Fi Al Suwar, Hadith no. 3626, Source

[16] Sahih Bukhari Volume 001, Book 004, Hadith Number 174.

[17] Saheeh Bukhari: Volume 3, Book 29, Hadith no. 54

[18] Saheeh Bukhari: Volume 3, Book 29, Hadith no. 55

[19] Saheeh Bukhari: Volume 4, Book 54, Hadith no. 531

[20] Saheeh Muslim: Book 007, Hadith no. 2717

[21] Saheeh Muslim: Book 007, Hadith no. 2718

[22] Saheeh Muslim: Book 007, Hadith no. 2719

[23] Sunan Abu Dawud: Book 10, Hadith no. 1844

[24] http://www.sundaytimes.lk/120115/News/nws_24.html

Leave a Reply

Your email address will not be published. Required fields are marked *