ඉස්ලාමීය දික්කසාද නීතිය කාන්තාවන්ට අසාධාරණ ලෙස කටයුතු කරනවාද? – ගැඹුරු විග්‍රහයක්

ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බවත් කාන්තාවන්ට අසාධාරණයක් සිදු කරන බවත් ඉස්ලාම් දහම විවේචනය කරන ඇතැම් නූතන විවේචකයන් පවසති. කෙසේනමුත් ඉස්ලාමය කාන්තාව සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න නිසි ආකාරව අබබෝධකර ගන්නවා නම් මෙවන් චෝදනාවලට කිසිඳු ඉඩක් නොමැති බව ඕනෑම කෙනෙකුට වටහා ගන්න පුළුවන්. මේ සඳහා මුලින්ම අල් කුර්ආනයේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමේ නිවැරදි ක්‍රමවේදය අප දැන සිටිය යුතුයි. මීට අමතරව ඉස්ලාමය කාන්තාවන්ට ලබා දුන් නිසි තැන යන ලිපියද කියවන්න. මෙම ලිපිය තුළින් ඉස්ලාමය කාන්තාවන්ට ලබා දුන් මඟපෙන්වීම් වල පදනම තේරුම් ගන්න පුළුවන්. මෙම කරුණු පිළිබඳව මනා අවබෝධයක් අප සතුව තිබෙනවා නම් විවෙචයක් එල්ල කරන පහත චෝදනා සඳහා වූ නිසි පිළිතුරු මොනවාද යන්න අපට තේරුම් ගන්න පුළුවන්.

ඉස්ලාමීය දික්කසාද නීතිය කාන්තාවන්ට අසාධාරණ ලෙස කටයුතු කරනවාද?

මනුෂ්‍යයා අනිකුත් ජීවින් මෙන් නොව ඔවුනට හුදෙකලාව ජීවත්වීම මෙන්ම බහු බැදීම් සහිත ජීවත්වීම ප්‍රායෝගික නොවේ. ඔහු යුගල් (ජොඩු) වශයෙන් ජීවත් වන ජීවි කොට්ඨාශයකි. එසේ නම් දික්කසාදය යන්න එම ස්වාභාවික නීතිරීතිවලට පටහැනිය. ජීවිත කාලය පුරාවට සහයෝගයෙන් හා එකමුතුවෙන් ජීවත්වීමට තීරණයකරගත් (විවාහ) ගිවිසුම අවලංගු කරගැනීම මිනිසා නිර්මාණය කරනු ලැබූ ස්වභාවයට පටහැනි වීමකි. එසේ නම් ඒ තුල පුද්ගල පරිහානි මෙන්ම සමාජ පරිහානියන් නිර්මාණය වනවා යන්නෙහි විවාදයක් නැත. විවාහයක් දික්කසාදයක් දක්වා යාමේදී එයින් අසරණ වන්නේ එම යුවල පමණක් නොව ඔවුන්ගේ දූදරුවන් පවා මෙයින් අසරණභාවයට පත්වේ. නමුත් විවාහක යුවලක් අතර කිසිදු ආකාරයකට නිවරැදි කල නොහැකි ගැටළුවක් පැනනැඟෙන්නේ නම් එවැනි අවස්ථාවකදී අනිවාර්යයෙන්ම විසදුමක් යෝජනා කලයුතුමය. එහි දී පවතින්නේ විකල්ප දෙකක් පමණි. එනම්,

  • අකමැත්තෙන් වුවද අවසානය දක්වා එක්ව ජීවත්වීම
  • දෙදෙනා වෙන්ව නිදහස් තීරණ ගැනීම

ඉහත විකල්ප දෙක අතුරින් කුමක් තීරණය කලත්, එය මනුෂ්‍යයන් වශයෙන් අප හදවතට සුන්ද හෝ ප්‍රියමනාප තීරණයක් නොවේ. නමුත් මේ දෙකෙන් එකක් තෝරාගැනීම හැර වෙන විකල්පයක් නැත. එසේනම් අපගේ සංවාදය මෙතැන් පටන් ගොඩනැඟිය යුත්තේ මේ දෙකෙන් කුමක් තෝරාගන්නවාද? යන්න පිලිබදවයි. එහිදී ඉහත තීරණ දෙක සංසන්දනාත්මකව මෙන්ම බුද්ධිමත් ලෙස අධ්‍යනය කරන විට පළමු තීරණයට වඩා දෙවන තීරණය යහපත් තීරණයක් යන්න ඔබට අවබෝධ වනු ඇත. එනම් විවාහ ගිවිසුමකින් බැදෙන දෙනදනෙකු දීර්ඝ කාලයක් එක්ව ජීවත්වීමේ දී ඔවුන් අතර විවිධ මත ගැටුම් ඇතිවීම කිසිවිටෙකත් වැලැක්විය නොහැක. නමුත් එවැනි අවස්ථාවල දෙපාර්ශවයම එකින් එකා පිලිබදව අවබෝධයෙන් පරස්පර සහයෝගයකින් හා කැපකිරීමන් සහිතව කටයුතු කරන විට එය බොහෝදුරට සමතයකට පත්කරගත හැක. එසේ නොවන අවස්ථාවල එවැනි පවුල් ජීවිත බොහෝ දුරට දෙදරායාමට ලක්වේ. එහි දී දික්කසාදය වැනි දැඩි තීරණවලට යොමු වන පිරිසද ඒ අතර සිටී. මේ තත්වය නිවරැදිව හදුනාගත් ඉස්ලාම් දික්කසාදයට අනුමැතිය ලබා දෙන අතර ඒ සඳහා විවිධ නීති රීති මිනිසාට ලබා දී ඇත.

දික්කාසදය යනු අවසාන විකල්පයයි. මෙය බුද්ධිමත්ව හා වගකීමක් ඇතුව ගතයුතු තීරණයක් මිස එය හැඟීම්වලට හෝ අවේගවලට වහල්ව ගතයුතු තීරණයක් නොවේ. කෙසේනමුත් මෙහි ඇති විපත නිසා දික්කසාදය හැකි තරම් වළක්වාලීම සඳහාත් ඉස්ලාම් උපක්‍රමශීලිව කටයුතු කරයි. ප්‍රථමයෙන් විවාහය තුලින් ඇති වන බැදීම වඩාත් හොදින් තහවුරු කිරීම සඳහා වූ උපදෙස් විවාහක සැමියාට හා බිරිඳට ලබා දේ. දෙවනුව  දික්කසාදයකට යෑමට ප්‍රථම ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ඉස්ලාම් දහම කරුණු දිරිපත් කරයි. ඉන් පසුවද දික්කසාද යෝජනාව ඉදිරිපත් කරන්නේ පිරිමියා නම් එම දික්කසාදය අධියර කිහිපයකට වෙන් කර දෙදෙනාව නැවත එක් කිරීමේ වැඩ පිළිවෙලක් ඇති කර ඇත. අවසාන වශයෙන් දික්කසාදය සිදු වුනේ නම් එහිදී කාන්තාවගේ අවශ්‍යතා සපුරා දීමට අදාළ වැඩපිළිවෙලක් දියත් කර ඇත.

මෙම කරුණු කිසිවක් සැලකිල්ලට නොගෙන ඇතැමුන් ඉස්ලාම් දහමේ දික්කසාද නීතිය විවේචනය කරන්න උත්සහ දරති. නමුත් ඉස්ලාමීය දික්කසාද නීතිය නිවැරදි ලෙස අධ්‍යයනය කරන්නෙකුට මෙම විවේචකයන්ගේ විවේචන නිවැරදි නොවන බව පහසුවෙන් තේරුම් ගත හැක. මේ අනුව මෙම ලිපියේ මින් ඉදිරියට ඉහත ලැයිස්තුගත කර ඇති අංශ තුන ඔස්සේ කරුණු සාකච්ඡා කරමු.

දික්කසාදය සිදුවීමට පෙර එය වැළැක්වීම සඳහා ඉස්ලාම් ලබා දෙන මඟපෙන්වීම

දික්කසාදය යන විෂයේදී කාන්තාව හා පිරිමියා තීරණ ගන්නා ආකාරය එකින් එකට වෙනස්ය. විශේෂයෙන් දික්කසාදවීම වැනි තීරණයක් ගැනීමේ දී පිරිමියාට සාපේක්ෂව කාන්තාව බොහෝ දුරට ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරනවා යන්න අප සමාජය තුල නිරන්තරයෙන් දකින කාරණයකි. එහෙත් පිරිමි පාර්ශවය ඉතා සුළු කාරණයන් සදහා පවා ක්ෂණිකව දැඩි තීරණවලට යොමු වීමද අප සමාජය තුල දිකින කාරණයකි. එය කොතරම් ද යයි පවසනවා නම් බත් පිඟානයේ තිබෙන ගලක් වුවද ඔවුනට ප්‍රමාණවත්ය. මේ දෙපාර්ශවයට උපතින් උරුම මේ ගුණාංගය හා ස්වභාවය හොදින් හදුනාගත් ඉස්ලාම් මීට වසර 1400  කට පෙරම මිනිසාට දික්කසාද නීති හදුන්වා දෙන්නේ වර්ථමාන සමාජය පවා මවිත කරවමිනි. දික්කසාදයක් සඳහා තීරණ ගැනීමේ දී එම තීරණ ගැනීමේ අයිතිය මනාලයා හා මනාලිය යන දෙපාර්ශවයටම සමසේ ඉස්ලාම් ලබාදෙයි. පිරිමියා හා කාන්තාව අතර  මානසික හා ශාරීරික වෙනස්කම් බොහෝ තිබෙන නිසා දික්කසාද වීමට තීරණය කල මොහොතේ පටන් මේ දෙපාර්ශවය සදහා නීති ක්‍රියාත්මක වන ආකාරය තුල විවිධ වෙනස්කම් කිහිපයක් පවතී. විශේෂයෙන් දික්කසාදය සදහා මුල්ම තීරණය ගන්නා පාර්ශවය අනුව එහි නීතිරීති තවදුරටත් වෙනස් වේ.

වර්ථමාන විවාහ බන්ධන බිදීයාම දෙස බලන විට එහි බොහෝවිට මූලික වී ඇත්තේ පිරිමි පාර්ශවය වීමත් ඒ සදහා ඔවුන් පවසන හේතූන් සරල කාරණයන් වීමත් මීට සියවස් ගනනාවකට පෙර අවබෝධ කරගත් ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනයේ  වාක්‍යයෙන් මෙසේ අවධාරණය කරන ලදී.

පුරුෂයිනි !, ඔබලාගේ භාර්යාවන් සමග කරුණාවෙන් හා යුක්ති සහගතව කටයුතු කරන්න. ඔබ ඔවුන්ගෙන් යමක් ප්‍රිය නොකරන්නේ නම් ඔබට දෙවියන් වහන්සේ ආශීර්වාද කිරීමට එම කරුණම හේතු වන්නට පුළුවන. [අල් කුර්ආනය 4:19]

ඉහත වාක්‍යයෙන් දෙවියන් ආමන්ත්‍රණය කරන්නේ “පුරුෂයිනි !” යනුවෙනි. ඊට පසුව පවසන්නේ තම බිරිද සමඟ කරුණාව, දයාව හා සාධාරණව කටයුතු කරන්න යන්නයි. ඊටපසුව පවසන කාරණය වඩාත් වැදගත් කාරණයකි. එනම් “…ඔබ ඔවුන්ගෙන් යමක් ප්‍රිය නොකරන්නේ නම්….” යන්නයි. අද බොහෝ පවුල් ජීවිත දෙදෙරායාමට බලපාන සාධකයක් තමා මෙය.  එනම් පිරිමියෙකු තම බිරිදගේ කිසියම් නොහැකියාවක්, දුර්වලතාවයක් හේතුවෙන් ඔහු දික්කසාදයක් දක්වා යොමු වේ. ඒ මොහොතේ ඇය හමුවේ ඉතා හොද ගුණාංග බොහෝමයක් තිබෙන්නට පුළුවන නමුත් ඒ සියල්ල පසෙක දමා සුළු කාරණයක් හේතු කොටගෙන ඔහු දැඩි තීරණවලට යොමුවේ. මෙම දුර්වලතාවය හදුනාගත් ඉස්ලාම් ඉහත 4-19 මඟින් එවැනි පටු තීරණවලට යොමු නොවන ලෙස සමාජයට අවධාරනය කරයි. මේ ආකාරයට පිරිමි ස්වභාවය අවබෝධයට ගෙන ඔවුනට අවවාද කරන ගමන් කාන්තාවගේ කැපකිරීමේ හා ඉවසිලිවන්ත වීම වැනි විශේෂ ගුණාංගය පිලිබදව නිසි අවබෝධයක් ඇති ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනයේ 4-128 වාක්‍යය මඟින් ඇයට ද මෙසේ පවසයි.

ස්වාමි පුරුෂයා වෙතින් අකාරුණික බවක් හෝ අලස කමක් දුටුවිට තමන් අතර සමථයක් ඇති කර ගැනීම වඩා හොඳ ය. මන්ද සාමය වඩාත් හොඳ ය.

ඉහත 4-19 හා 4-128 වාක්‍යයේ සදහන් ආකාරයට කටයුතු කිරීම ද අසාර්ථක වන්නේ නම් එහිදීත් ඔවුන් දික්කසාදයට යොමු නොකොට තවත් විකල්පයක් ඉස්ලාම් යෝජනා කරයි. එය ශුද්ධ වූ කුර්ආනයේ 4-35 වාක්‍යයේ මෙසේ පවසයි.

“ඔවුන් අතර භේද ඇති විය හැකි යැයි ඔබ බියවන්නෙහු නම් පුරුෂයාගේ ඥාතීන්ගෙන් (විශ්වාසවන්ත) කෙනෙකු හා ස්ත්‍රියගේ ඥාතින්ගෙන් (විශ්වාසවන්ත) කෙනෙකු පත් කරන්න. එම මධ්‍යස්ථ දෙදෙනා සාමකාමී විසඳුමක් සඳහා කටයුතු කරන්නේ නම් අල්ලාහ් එම දෙපළට ආශිර්වාද කරන්නෝ ය.

4-35 යෝජනා කරන්නේ ඒ යුවල අතර තවදුරටත් සාකච්චාවන් ගොඩනැඟීම පලක් නොවන නිසා ඒ දෙදෙනා වෙනුවෙන් නියෝජිතයන් දෙදෙනෙකු පත් කලයුතුය යන්නයි. එහි ද කොන්දේසියක් ඇත. එනම් පත්කරන දෙදෙනාම ඔවුන්ගේ ඥාතීන් වියයුතුය. ඒ දෙදෙනා මේ දෙදෙනා අතර ඇති ප්‍රශ්නය සමථයකට පත්කිරීම පිණිස උපරිමයෙන් හා විශ්වාසනීයව කැප වී සාකච්චා කලයුතු ආකාරයේ පිරිස් වියයුතුය. මොහොතක් මේ තත්වය සිතා බලන්න විවාහක යුවලක් අතර කිසියම් මත ගැටුමක් නිර්මාණය වුයේ නම් එහි දී (4-19 හා 4-128 ආකාරයට) ඉවසිලීවන්තව හා අන්‍යයෝන්‍ය සහයෝගයෙන් ක්‍රියා නොකරන විට ඒ දෙදෙනා අතර කුමණ ආකාරයේ සංවාදයක් ඇති වුවත් එහි ප්‍රථිපලයක් අත් නොවේ. කිසියම් සාකච්චාවක් ගොඩනැඟුව ද ඉන් සිදුවන්නේ මෙම තත්වය තව තවත් සංකීර්ණ වීම පමණි. එම දුර්වලතාවය නිසි තැන හදුනාගත් ඉස්ලාම් 4-35 මඟින් යෝජනා කරන විකල්පය සැබැවීන්ම ආදර්ශමත් නොවේද? ඉස්ලාම් දික්කසාදය යෝජනා කිරීමට මත්තෙන් එම විවාහ බැදීම ආරක්ෂා කරගන්න ගනු ලබන උත්සාහය බුද්ධිමත් ඔබ බුද්ධිමත් ලෙස දැකිය යුතුය.

දෙපාර්ශවයම නියෝජනය වන ලෙස පත්වන ඥාතී පාර්ශවකරැවන් දික්කසාදය වලක්වා ඔවුන් තවදුරටත් එක්ව ජීවත්වීමට අවශ්‍ය පරිසය උදාකරදීම සදහා ඔවුන් අතර මතු වී තිබෙන හේතු කාරකය දෙස විශ්ලේෂණාත්මකව සොයා බලා ප්‍රායෝගිකව දෙපළ අතර පවතින ආවේග, සෙනෙහස පරාර්ථකාමී බව, ඉවසිලිමත් බව, අවංකභාවය, සහයෝගය හා අන්‍යයෝන්‍ය අවබෝධය පිලිබදව සැලකිලිමත් වියයුතුය. එහිදී ඔවුන්ගේ ඉතා පුද්ගලික රහස්‍ය කරැණු පිලිබදව (ලිංගික ජීවිතය වැනි) පවා ඉහත පාර්ශවකරුවන් සැලකිලිමත් වියයුතුය. එසේ ක්‍රියා කොට මොවුන් අතර සමථයක් ඇති කිරීමට කටයුතු කලයුතුය. මේ උත්සාහයන් සියල්ල අසාර්ථක වූ කල වෙනින් විකල්පයක් නොවූ නිසා දික්කසාදය පිළිබඳව තීරණයකට එළඹීමට අවසර ලැබේ.

ඉස්ලාම් 4-19, 4-128 හා 4-35 මඟින් කරන ලද උත්සාහයන් අසාර්ථක වුයේ නම් දික්කසාදය සදහා ඉස්ලාම් අවසර ලබාදෙයි. එහිදී අවසරයක් ලබාදීමට පමණක් සීමා නොවී ඒ දෙදෙනාට කොන්දේසි කිහිපයක්ද පැනවෙයි. එනම්,

  • දික්කසාදයේ දී ඒ සදහා සාක්ෂිකරැවන් දෙදෙනෙකු සිටිය අත්‍යඅවශ්‍ය බව,

කිසිඳු බල කිරීමකින් තොරව අවංක සාක්ෂි දෙකක් ඉදිරිපිට තලාක් ප්‍රකාශ කිරීම සිදු වේ. මෙහිදී තලාක් ප්‍රකාශ කරන්නට පෙර කළ යුතු දේවල් ඔහු සිදු කළේ ද? දික්කසාද කළ යුත්තේ තාවකාලිකව යහනෙන් ඉවත් කිරීම, අනුශාසනා කිරීම, පවුල් දෙකේ විනිශ්චයකරුවන් හරහා සමඟි කරවීමට උත්සහ දැරීම වැනි දේවල් සිදු කිරීමෙන් පසුවද යන දේවල් ගැන දන්නා කෙනෙක් පමණක් සාක්ෂිකරුවෙක් විය යුතුය. එසේ නොවූයේ නම් ඔහු සාක්ෂි දරන්නේ අපරාධකයට ය. එබැවින් දෙදෙනාගේ ප්‍රශ්න පිළිබඳව නොදන්නා කෙනෙක් තලාක් වලට සාක්ෂිකරුවෙක් නොවිය යුතුය. එක් පුත්‍රයෙකුට පමණක් දේපළ පිරිනමා අනෙක් දරුවන්ට නොදී මෙයට නබි නායක (සල්) තුමාණන් නබි මිත්‍රවරු සාක්ෂිකරුවෙකු කළ විට ‘‘මම අසාධාරණයට සාක්ෂිකරුවෙක් නොවෙමි’’ යනුවෙන් නබි නායක (සල්) තුමාණන් ප්‍රතික්ෂේප කළහ. [සහීහ් බුහාරි – පුවත් අංක 2650] පුරුෂයෙක් ධර්මයේ නීති රීති අනුගමනය නොකර තලාක් ප්‍රකාශ කරන විට එයට සාක්ෂි දැරීමත් මෙවැන්නකි. එබැවින් මෙම කොන්දේසිය අවධානයට ගතහොත් හදීසියේ ගනු ලබන බොහෝ දික්කසාද සිදු නොවනු ඇත.

  • ස්ත්‍රීන්ගේ ඔසප් (මාස් ශුද්ධිය) කාලය තුල දී දික්කසාද සිදු කිරීම තහනම් යන්න,

මෙහිදී දික්කසාද ප්‍රකාශ කිරීම ප්‍රමාද වන බැවින් එම කාලය අතර තුර ස්වාමියාගේ අදහස වෙනස් විය හැක. මෙමඟින්ද හදීසියේ ගනු ලබන බොහෝ දික්කසාද වලක්වා ගත හැක.

මනුෂ්‍යයන් අතර නිර්මාණය වන සියළු ගැටළු සදහා විසදුම් ඉස්ලාමය තුළ ඇත. ඒ අනුව ඉස්ලාම් “දික්කසාදය” හුදෙක් අනුමැතියක් ලෙස ලබානොදී විවිධ නීතිරීති හා කොන්දේසිවලට යටත් කොට එම අවසරය ලබාදීම අවධානයට යොමු කලයුතුම කාරණයකි. කිසියම් අඹුසැමි යුවලක් අතර නිසි බන්ධනයක් නොපවතී නම් ඔවුන් ගිවිසුමකට යටත් කොට තවදුරටත් එක්කොට තැබීම නිෂ්පල කාරණයකි. එවැනි දෑ තුලින් සිදුවන්නේ එහි තත්වය තව තවත් සංකීර්ණ වීම පමණි. සර්ව ඥාන දෙවියන්ගෙන් පහල වූ දිව්‍යමය දහමක් වන ඉස්ලාම් දික්කසාදය සදහා කොන්දේසි සහිතව අනුමැතිය ලබාදෙන්නේ මේ හේතුව නිසාය. ඒ වගේම මෙවන් තත්වයකදී කටයුතු කළ යුත්තේ කෙසේද යන්නත් ඉස්ලාමය ඉතා අලංකාර ලෙස පැහැදිලි කර ඇත.

දික්කසාදය අතරමග නැවැත්වීම සඳහා වූ වැඩපිළිවෙල

ඉස්ලාමීය දික්කසාද නීති තුළද දෙදෙනාව එක් කිරීමේ වැඩපිළිවෙලක් තිබෙන බව බුද්ධිමත් කල්පනා කරන ඕනෑම කෙනෙකුට වැටහෙන කරුණකි. මෙය තේරුම් ගැනීමට ඉස්ලාමීය දික්කසාද නීතියේ එක් අංශයක් දෙස අවධානය යොමු කරමු.

පිරිමි පාර්ශවයේ (ස්වාමියාගේ) යොජනාව මත විවාහයක් අවලංගු කිරීම

“මම නුඹව දික්කසාද කරමි” යනුවෙන් භාර්යාවට සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපිට ස්වාමි පුරුෂයා පැවසීම දික්කසාදයේ පළමු පියවරයි. මේ සඳහා කිසිඳු චාරිත්‍රයක් නැත. රටක් තුළ ඉස්ලාමීය විවාහ අධිකරණයක් තිබෙන අවස්ථාවාදී මෙම දික්කසාද ප්‍රකාශය එම ස්ථානයේ සිදු වේ. කෙසේනමුත් මෙසේ පැවසීමත් සමඟම විවාහ බන්ධනය සහමුලින් ම නිමා වන බව කව්රුත් නොසිතිය යුතුය. මෙම ප්‍රකාශයෙන් පසු මාස් ශුද්ධි තුනක් හට ගන්නා කාලයක් ස්වාමියාගේ නිවසේම පෙර සේ ජීවත් විය යුතුය. ඇය ගර්භිණීයක් නම් ඇගේ ප්‍රසව කාලය තෙක් සැමියා සමඟ සැමියාගේ නිවසේම ජීවත් විය යුතුය. මෙම කාන්තාව සැමියාගෙන් වෙන්ව වෙනත් ස්ථානයක වාසය නොකළ යුතුය. ස්වාමි පුරුෂයා ඇය බැහැර නොකළ යුතුය. එනම් මෙහිදී ක්‍රියාත්මක වන්නේ තාවකාලික දික්කසාදයක් එසේත් නැත්නම් අවලංගු කළ හැකි දික්කසාදයක් පමණි. මෙම කරුණු ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ සඳහන් වේ:

දික්කසාද කරන ලද ස්ත්‍රීන් මාස් ශුද්ධි තුනක කාලයක් (ඉද්දා කාලය – වෙනත් විවාහයක් සිදු නොකර) බලාපොරොත්තුවෙන් යුතුව සිටිය යුතුය…. [අල් කුර්ආනය 2 : 228]

නබිවරය, නුඹලා ස්ත්‍රීන් දික්කසාද කළහොත් ඔවුන් ඉද්දා සිටිය හැකි ලෙසින් දික්කසාද කරන්න. ඉද්දාව ගණන් කර ගන්න. නුඹලාගේ දෙවියන් වන අල්ලාහ්ට බිය වන්න. ඒ ස්ත්‍රීන් ප්‍රකට අශිෂ්ට සම්පන්න ක්‍රියාවක් කළහොත් මිස ඔවුන්ගේ නිවෙස් වලින් ඔවුන් බැහැර නොකරන්න. ඔවුන් ද බැහැර නොවිය යුතුය. මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවන්නා තමන්ට ම අපරාධ කර ගත්තේ ය. මෙයට පසුව අල්ලාහ් අණක් පැනවිය හැකි බව ඔබ නොදන්නෙහි ය. [අල් කුර්ආනය 65:1]

ඉද්දා කාලයේදී විවාහ බන්ධනය තව වන තුරු බිඳී නොපවතින නිසා භාර්යාවට ස්වාමි පුරුෂයාගේ නිවසේ සිටීමේ අයිතිය ඇත. නුඹලාගේ නිවෙස් වලින් ඔවුන් බැහැර නොකරන්න’ යනුවෙන් නොපවසා ‘නුඹලාගේ භාරයාවන් ඔවුන්ගේ නිවෙස් වලින් බැහැර නොකරන්න’ යනුවෙන් අල්ලාහ් පවසන්නේ මේ හේතුවෙනි.  ඔවුන්ගේ නිවෙස් යනුවෙන් අල්ලාහ් පවසන්නේ විවාහ බන්ධනය මුළුමනින් ම බිඳී නොමැති නිසා ඔවුන්ට ද ඒ නිවෙස් වල අයිතිය තිබෙන බැවින් ය. නිවසෙන් බැහැර නොකරන්න යන කාරණාවෙන් ඇගේ ජීවන වියදමට ද ස්වාමි පුරුෂයා වගකිව යුතුය යන්නත් අන්තර්ගත වේ.

දික්කසාද කිරීමෙන් පසුත් ස්වාමි පුරුෂයාගේ නිවසේ ඉද්දා කාලය තෙක් භාර්යාව නතර විය යුත්තේ කුමක් නිසා ද යන හේතුව ද අල්ලාහ් මෙ වැකියේ පවසයි. ඒ හේතුව නම් යම් කිසි (හොඳ) කටයුත්තක් අල්ලාහ් ඇති කරයි යන්නයි. දික්කසාද කිරීමෙන් පසුව භාර්යාව තම මවගේ නිවසට ගියා නම් ඒ වෙන්වීම සදාකාලික වීමට බොහෝ ඉඩකඩ ඇත. ඇය ස්වාමි පුරුෂයාගේ නිවසේ ම සිටියා නම් දෙදෙනා අතර සබඳකම් ඇති වී පළමු දික්කසාදය අවසානයට පත් වීමට බොහෝ සෙයින් ඉඩ කඩ ඇත. අල්ලාහ් දෙදෙනා අතර සමඟියක් ඇති කිරීමට ඉඩ කඩ සැලසිමේ අරමුණින් නිවසෙන් බැහැර නොකරන්න යනුවෙන් ද කාන්තාවන් ද බැහැර නොවන්න යනුවෙන් ද අණ පනවයි. මෙම වැඩ පිළිවෙල තුළින් දෙදෙනා නැවත එක් වීමේ අවස්තාවක් ඉස්ලාමය උදා කර ඇත. දික්කසාද යෝජනාව පුරුෂයා ප්‍රකාශ කළද යම් හේතුවක් නිසා මෙම කාලය තුළදී ඔහු තම බිරිඳට නැවත ආකර්ෂණය විය හැක. එනිසා මෙම කාලයේදී දෙදෙනා තුළ නැවත අවබෝධයක් ඇති වුවහොත් නව විවාහ බන්දනයකින් තොරවම නැවත එක් විය හැක. නමුත් මෙම කාලය පසු වූ පසු දෙදෙනා එක්ව ජීවත් වීමට අදහස් කලේ නම් එයද ඉස්ලාමය වළක්වන්නේ නැත. නමුත් මෙහිදී නැවත “මහර්” ධනය තීරණය කොට, කාන්තාවගේ කැමැත්ත ඇතිව ඇයගේ භාරකරුගේ අනුමැතිය සහිතව නව විවාහ ගිවිසුමකට එළඹිය යුතු වේ. මේ පිළිබඳව අල් කුර්ආනයේ මෙසේ සඳහන් වේ:

ඔවුහු තමන්ට නියමිත කාලය අත්පත් කර ගන්නා විට යහපත් ලෙසින් ඔවුන් රඳවා තබා ගන්න. නැතහොත් යහපත් ලෙසින් ඔවුන්ගෙන් වෙන් වන්න. නුඹලාගෙන් යුක්තිසහගත දෙදෙනෙකු සාක්ෂිකරුවන් කර ගන්න. අල්ලාහ් වෙනුවෙන් සාක්ෂිය පිහිටුවන්න. අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස කරන අයට මෙසේ අනුශාසනා කරනු ලැබේ. අල්ලාහ්ට බිය බැතිමත් වන අයට ඔහු පිට වීමේ මාර්ගයක් ඇති කරයි. [අල් කුර්ආනය 65:2]

“…දෙදෙනා ම යහ සමගියක් ප්‍රිය කළේ නම් (එම කාලය) තුළ ඔවුන් ආපසු එක් කර ගැනීමේ පූර්ණ අයිතිය ඔවුන්ගේ ස්වාමි පුරුෂයින්ට ඇත…”[අල් කුර්ආනය 2 : 228]

ඉද්දා සමයේදී හෝ නව විවාහ ගිවිසුමෙන් දෙදෙනා නැවත එක් පවුල් ජීවිතය රැගෙන යෑමේදී යම් හේතුවක් නිසා නැවත ස්වාමි පුරුෂයා තම බිරිඳව දික්කසාද කරන්නේ නම් එවිටද පළමු අවස්ථාවේදී මෙන් කටයුතු කළ යුතුය. “(නැවත කැඳවිය හැකි) මෙවැනි තලාක් දෙවතාවක් ය” (2:229) යන දේව වැකියෙන් මෙය දැනගත හැකිය. එනම් මාස් ශුද්ධි තුනක් හට ගන්නා කාලයක් ස්වාමියාගේ නිවසේම පෙර සේ ජීවත් විය යුතුය. ඇය ගර්භිණීයක් නම් ඇගේ ප්‍රසව කාලය තෙක් සැමියා සමඟ සැමියාගේ නිවසේම ජීවත් විය යුතුය. මෙම කාලයේදී දෙදෙනාට නව විවාහ ගිවිසුමක් නොමැතිවම දෙදෙනාට එක් විය හැක. මෙම කාලය අවසාන වුවහොත් පෙර පරිදිම නව විවාහ ගිවිසුමක් තුළින් දෙදෙනාට එක් විය හැක. මෙසේ දෙවන වතාවටත් එක් වීමෙන් පසු තුන්වන වතාවකත් ස්වාමි පුරුෂයා දික්කසාද ප්‍රකාශ කරන්නේ නම් භාර්යාව සමඟ එක් ව ජීවත් වීමේ දොරටුව වසා දමනු ලැබේ. ඉන් අනතුරුව ඒ දෙපලට යලි එක්වීම යන්න ප්‍රායෝගිකව ඉතා දුෂ්කර වූ කාර්යයක් බවට පත්වේ. එනම් එම ස්ත්‍රිය ස්වභාවික යොජනාවක් මත වෙනත් කෙනෙකු විවාහ වී කිසියම් සාධාර්ණ හේතුවක් මත එම විවාහය ඉහත සදහන් ආකාරයට අවලංගු වීමෙන් අනතුරැව මොහු විසින් ඇයට කරන මංගල යොජනාවකට ඇයගේ කැමැත්ත හිමිවේ නම් නව විවාහයක් ලෙස එහි සියළු නීතිරීති පිලිපදිමින් එය සිදුකල යුතුය. මෙය සැබැවින්ම ප්‍රායෝගික නොවූ කාර්යයකි.

(දෙවරක් දික්කසාද වී නැවත එක් වූ පසු තෙවන වරත්) ඔහු ඇය දික්කසාද කළේ නම් ඇය වෙනත ස්වාමි පුරුෂයෙකු විවාහ කර ගන්නා තෙක් ඇය ඔහුට අනුමත කරන ලද ස්ත්‍රියක් නොවන්නී ය. (දෙවැනි ස්වාමි පුරුෂයා වන) ඔහු ද ඇය දික්කසාද කර (නැවත පළමු ස්වාමි පුරුෂයා හා ඇය යන) දෙදෙනා ම අල්ලාහ්ගේ සීමාවන් පිහිටුවා ගත හැකි වේ‍ යැයි අදහස් කළේ නම් (නැවත විවාහය තුළින්) එක් වීම ඔවුන් දෙදෙනා කෙරෙහි වරදක් නොවේ. මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. අවබෝධ කර ගන්නා ජනතාවට ඔහු මේවා පැහැදිලි කරයි. අල් [කුර්ආනය 2 : 230]

මෙම ක්‍රමය  තුළ සැමියාව නැවත තම බිරිඳ සමඟ එක් කරවීමට අනර්ග වැඩපිළිවෙලක් තිබෙන බව බුද්ධිමත් ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැක.

දික්කසාදය සිදු වුනේ නම් එය සිදු විය යුතු නිවැරදි ක්‍රමවේදය

ඉස්ලාමීය දික්කසාද නීතිය ඉතා පුළුල්ව කතා කළ යුතු මාතෘකාවකි. මෙයට හේතුව මෙම මාතෘකාව තුළ උපමාතෘකා කිහිපයක්ම තිබීමයි. නමුත් මේ සියලු කරුණු කාරණා ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. මෙම ලිපියේ ඉදිරිපත් වී ඇත්තේ නොදැනුවත්කම නිසා විවේචනය වන ඉස්ලාමීය දික්කසාද නීතියේ ඇතැම් අංශ ගැන පමණි.

  • දික්කසාද කිරීම කාන්තාවන්ට කරන අසාධාරනයක්ද?
  • දික්කසාදයකට පසු කාන්තාවට ජීවන වියදමක් ලබා දීම පිලිබඳ ඉස්ලාමීය ස්ථාවරය
  • ඉස්ලාමය කාන්තාවන්ට දික්කසාද අයිතිය ලබා දී තිබෙනවාද?
  • ඉද්දා යන කාල සීමාව කාන්තාවන්ට සිදු කරන අසාධාරනයක්ද?
  • දික්කසාදයට පසු දරුවන්ගේ අයිතිය ලැබෙන්නේ කාටද?
  • තලාක් තුනම එකවර පැවසීම ඉස්ලාමීය ක්‍රමවේදයක්ද?

යනාදී කරුණු පිලිබඳව මෙම ලිපියේ කරුණු ඉදිරිපත් වී ඇත.

දික්කසාද කිරීම කාන්තාවන්ට කරන අසාධාරනයක්ද?

දික්කසාදයකදී දික්කසාද වන පිරිමියාට හා ගැහැණිය යන දෙදෙනාටම හානියක් සිදු වුවද කාන්තාවට සිදු වන හානිය අධිකය. දික්කසාද වූ පිරිමියෙකුට නැවත විවාහ වීම එතරම් අපහසු කාර්යයක් නොවූවද දික්කසාද වූ කාන්තාවකට නැවත විවාහ වීම තරමක් අපහසු කාර්යයකි. එනිසා ස්වාමි පුරුෂයා තම බිරිඳව දික්කසාද කිරීම කාන්තාවන්ට සිදු කරන අසාධාරණයක් ලෙස ඇතැමුන් සිතිය හැක. කෙසේනමුත් ස්වාමි පුරුෂයාට භාර්යාව එපා වන විට දික්කසාද කිරීමට අවසර නොමැති නම් හෝ දික්කසාද නීතිය දරුණු වූයේ නම් හෝ එමගින් ස්ත්‍රීන්ට යහපතට වඩා සිදු වන අයහපත අධික ය.

  1. දික්කසාදයක් ලබා ගත නොහැකි තත්ත්වයකට ද ඉතා දරුණු ලෙස වෙහෙස මහන්සි වී දික්කසාදයක් ලබා ගත හැකිය යන තත්ත්වයකට ද මුහුණ දෙන කෙනෙක් භාර්යාව සමඟ ජීවත් නොවී අනියම් සබඳතා පවත්වා ගනියි. භාර්යාවට වධ හිංසා කරයි¦ නඩත්තු නොකරයි.
  2. නැතහොත් දික්කසාදයක් ලබා ගැනීමට අශීලාචාර කාන්තාවක් යැයි භාර්යාව මත බොරුවෙන් චෝදනා පවරයි.
  3. නැතහොත් භාර්යාව ගිනි බත් කර සිය දිවි නසා ගැනීමක් යනුවෙන් හෝ හදිසි අනතුරක් යනුවෙන් හෝ පවසා ගැලවෙයි.

ඉස්ලාම් නොවන වෙනත් ආගම් වල දික්කසාදය අනුමත නොකරන විටත් දික්කසාදයේ කොන්දේසි දරුණු වන විටත් මෙවැනි ප්‍රතිවිපාක සිදු වීම අපි දිනපතා දකින්නෙමු. එබැවින් කාන්තාවන්ගේ ජීවිතය, දේපළ, මානය, ගෞරවය යනාදිය සුරැකිය යුතුයැයි සිතා ඉස්ලාම් දික්කසාදයට අවසර ලබා දී එහි කොන්දේසි ද ලිහිල් කර ඇත. ඉස්ලාමය තුළ දික්කසාද නීතිය ලිහිල් කර තිබුණද ඕනෑවට එපාවට දික්කසාද කරන මෙන් ඉස්ලාම් පැවසන්නේ නැත. හැකිතාක් දුරට දික්කසාදයක් නොකර එකට සතුටින් ජීවත් වීමට උත්සහ දැරිය යුතු අතර දික්කසාදය යනු අවසාන විකල්පය වේ. (මේ පිළිබඳව ලිපියේ මුල් කොටසේ සාකච්ඡා වී ඇත) දික්කසාද වීම අප්‍රසන්න දෙයක් වුවද වෙනත් විකල්පයක් නොමැති විට දික්කසාද වීම පිරිමියාට මෙන්ම කාන්තාවට අයහපතව වඩා යහපත ගෙන දෙන බව පැහැදිලිය. එබැවින් පුරුෂයින්ට පිරිනමා තිඛෙන දික්කසාද වීමේ අයිතිය කාන්තාවන්ට සිදු කරනු ලබන මහා අපරාධයක් යැයි සිතීම නිවැරදි නොවේ.

කෙසේනමුත් දික්කසාද වූ කාන්තාවට අවශ්‍ය නිසි වැඩපිළිවෙලක් සකස්කර දීම අත්‍යාවශ්‍ය දෙයක් වන අතර ඉස්ලාමීය දික්කසාද නීතිය තුළ ඉතා සාර්ථක වැඩපිළිවෙලක් මේ සඳහා ඇත.

දික්කසාදයකට පසු කාන්තාවට නඩත්තු ගාස්තු ලබා දීම පිලිබඳ ඉස්ලාමීය ස්ථාවරය

ඉස්ලාමීය විවාහ නීතියට අනුව විවාහයක් සම්පූර්ණ වීමට මනමාලයා මනමාලියට දිය යුතු ධනය මහර් ලෙස හඳුන්වනු ලැබේ. මෙය මනමාලිය ඉල්ලා සිටින ඕනෑම ප්‍රමාණයක් විය හැක. නොඑසේනම් මනමාලයා යෝජනා කරන ප්‍රමාණයට මනමාලිය එකඟ විය හැක.

ස්ත්‍රීන්ට ඔවුන්ගේ මංගලදායාදයන් (මහර්) අනිවාර්යයෙන් මපිරිනමන්න. ඔවුන් සිය කැමැත්තෙන් එයින් යමක් නුඹලාට ආපසු ලබා දුනහොත් එය තාප්තිමත් ව ද ප්‍රීතිමත්ව ද අනුභව කරන්න [අල් කුර්ආනය 4 : 4]

විවාහ ගිවිසුම සිදු කරන මොහොතේ මනමාලිය හා මනමාලයා එකඟ වන මෙම මහර් ප්‍රමාණය පූර්ණ ලෙස මනමාලියට ලබා නොදී විවාහක පුරුෂයාට තම බිරිඳව දික්කසාද කළ නොහැක. එනිසා ස්වාමි පුරුෂයෙක් තම බිරිඳව දික්කසාද කරන මොහොතේදී මහර් ප්‍රමාණයේ හිඟ ඇත්නම් එම හිඟ ප්‍රමාණය දික්කසාද කිරීමට යන කාන්තාවට මුලින්ම ලබා දිය යුතුය. මෙම මහර් ධනයේ එක් ප්‍රයෝජනයක් වන්නේ යම් හේතුවක් මත ස්වාමියා තම බිරිඳව දික්කසාද කළහොත් ඇයගේ වියදමට හා ආරක්ෂාවට මෙම ධනය පිහිටක් වීමයි. එබැවින් විවාහ සමයේදී මෙම ධනය වියදම් කිරීමේදී කාන්තාවන් ඉතා සුපරික්ෂාකාරී විය යුතුය. මෙම ධනය නාස්ති නොකර ආරක්ෂා කිරීම ඉතා යෝග්‍ය ක්‍රමයකි. මනමාලිය හා මනමාලයා මහර් ප්‍රමාණය තීරණය කර විවාහ ගිවිසුම සිදු කිරීමෙන් පසුව දෙදෙනා ශාරීරිකව එක් වීමට ප්‍රථමව හෝ තනියෙන් කාලය ගත කිරීමට ප්‍රථමව ස්වාමි පුරුෂයා තම බිරිඳව දික්කසාද කළද මෙම මහර් ප්‍රමාණයෙන් අඩක් විවාහ ගිවිසගත් කාන්තාවට හිමි වේ.

නුඹලා ඔවුනට දිය යුතු මහ්ර් ප්‍රමාණය තීරණය කොට ඔවුන් ස්පර්ශ කිරීමට පෙර දික්කසාද කළේ නම් නිශ්චය කළ දැයින් අඩක් දිය යුතුය. එම ස්ත්‍රීන් හෝ විවාහ ගිවිසුමෙහි බලය සතු (ස්වාමි) පුරුෂයා හෝ ත්‍යාගශීලිව කටයුතු කළේ නම් මිස, (පුරුෂයින් වන) නුඹලා ත්‍යාගශීලී වීම දේව බිය බැතියට ඉතා සමීපය. නුඹලා අතර (ඇතැමුන් කෙරෙහි) පවතින උසස්කම අමතක නොකරන්න. අල්ලාහ් නුඹලා කරන දේ ගැන බලන්නෙකි. [අල් කුර්ආනය 2 : 237]

මේ අනුව දික්කසාද වූ පසු මෙම මහර් ප්‍රමාණය දික්කසාද වූ කාන්තාවගේ නඩත්තු ගාස්තුවක් ලෙස ක්‍රියා කරයි.

තවද ඉස්ලාමීය නීතියට අනුව ස්වාමි පුරුෂය දික්කසාදය ප්‍රකාශ කළ පසුව කාන්තාව මාස් ශුද්ධි කාල තුනක් වෙනත් විවාහයක් හෝ විවාහ යෝජනාවක් නොකර පුරුෂයාගේ නිවසේම සිටිය යුතු අතර මෙම කාලයේදීද දික්කසාද වීමට යන කාන්තාවට පෙර සේම වියදම් කිරීම දික්කසාදය ප්‍රකාශ කළ පුරුෂයාගේ වගකීමකි. මාස් ශුද්ධිය නතර වූ කාන්තාවක් නම් මෙම කාලය මාස තුනකි.

දික්කසාද කරන ලද ස්ත්‍රීන් මාස් ශුද්ධි තුනක කාලයක් (වෙනත් විවාහයක් සිදු නොකර) බලාපොරොත්තුවෙන් යුතුව සිටිය යුතුය…. [අල් කුර්ආනය 2 : 228]

නබිවරය, නුඹලා ස්ත්‍රීන් දික්කසාද කළහොත් ඔවුන් ඉද්දා සිටිය හැකි ලෙසින් දික්කසාද කරන්න. ඉද්දාව (වෙනත් විවාහයක් සිදු නොකර සිටින කාලය) ගණන් කර ගන්න. නුඹලාගේ දෙවියන් වන අල්ලාහ්ට බිය වන්න. ඒ ස්ත්‍රීන් ප්‍රකට අශිෂ්ට සම්පන්න ක්‍රියාවක් කළහොත් මිස ඔවුන්ගේ නිවෙස් වලින් ඔවුන් බැහැර නොකරන්න. ඔවුන් ද බැහැර නොවිය යුතුය. මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවන්නා තමන්ට ම අපරාධ කර ගත්තේ ය. මෙයට පසුව අල්ලාහ් අණක් පැනවිය හැකි බව ඔබ නොදන්නෙහි ය. [අල් කුර්ආනය 65:1]

දික්කසාදය ප්‍රකාශ කරන විට ඇය ගැබ්ගෙන සිටින්නේ නම් හෝ ඉද්දා කාලයේදී ඇය ගැබ් ගෙන සිටින බව දැන ගැනීමට ලැබුණේ නම් මෙම කාලය දරුවා ප්‍රසූත කරන තෙක් දීර්ඝ වේ. මෙම කාලයේදීද එම කාන්තාවට හා කුසේ සිටින දරුවාට වියදම් කිරීම දික්කසාදය ප්‍රකාශ කළ ස්වාමියාගේ වගකීම වේ.

නුඹලාගේ භාර්යාවන්ගෙන් මාස් ශුද්ධිය මුළුමනින් ම නතර වූ අය ගැන නුඹලා සැක කළහොත් ඔවුන්ගේ ද මාස් ශුද්ධිය හට නොගත් අයගේ ද කාල සීමාව මාස තුනකි. ගර්භිණීන්ගේ කාල සීමාව ඔවුන් ප්‍රසූත කිරීම ය. අල්ලාහ්ට බිය බැතිමත් වන අයට ඔහුගේ කටයුත්ත ඔහු පහසු කරයි. [අල් කුර්ආනය 65 : 04]

නුඹලාගේ වත්කමට අනුව නුඹලා වාසය කරන තැන ඔවුන් පදිංචි කරවන්න. ඔවුන් අසීරුතාවට පත් කොට ඔවුනට වධ හිංසා නොකරන්න. ඔවුහු ගර්භිණීයන් නම් ඔවුන් ප්‍රසූත කරන තෙක් ඔවුනට වියදම් කරන්න. ඔවුහු නුඹලා වෙනුවෙන් කිරි පොවන්නේ නම් ඔවුන්ගේ කුලිය ඔවුනට පිරිනමන්න. නුඹලා අතර (මේ ගැන) හොඳින් තීරණය කර ගන්න. එකිනෙකා (මෙය) අපහසුවක් යැයි අදහස් කළේ නම් ඔහු වෙනුවෙන් වෙනත් ස්ත්‍රීයක් කිරි දෙත්වා. [අල් කුර්ආනය 65 : 06]

මීට අමතරව අල් කුර්ආනයේ  2:236, 2:241, 33:49, යන වැකි වලට අනුව දික්කසාද කරන ලද කාන්තාවන්ට අලංකාර ලෙසින් ජීවන පහසුකම් සලසා දිය යුතු යැයිද සඳහන් වේ. පරිශුද්ධ වූ අල් කුර්ආනයේ 2:236 වැකියේ ධනවතා තම වත්කමට අනුව ද දිළින්දා තම වත්කමට අනුව ද සුරක්ෂිත මුදල් ප්‍රමාණයක් ලබා දිය යුතු බව දෙවිඳුන් අල් කුර්ආනයේ සඳහන් කර ඇත. දික්කසාද කරන විට කාන්තාවන්ට ඇති වන ප්‍රති විපාක සැලකිල්ලට ගෙන ප්‍රමාණවත් නඩත්තු ගෙවීමක් ලබා දීම ඉස්ලාමීය අධිකරණයේ යුතුකමකි. දික්කසාද කරන්නා පොහොසතෙක් නම් ඔහුගේ වත්කමට අනුව කෝටි ගණනින් ලබාගෙන කාන්තාවට පිරිනැමිය යුතු අතර ඔහුට ලබා දිය හැක්කේ දහස් ගණනින් නම් එය ලබාගෙන ඇයට දිය යුතුය. සර්ව බලධාරී දෙවියන්ට බිය බැතිමත් වන අයට මෙය අනිවාර්ය යුතුකමකි.

ඉස්ලාමීය නීති ක්‍රියාත්මක නොවන ඇතැම් රටවල දික්කසාද කරන ලද කාන්තාවන්ට මාසිකව සහනාධාරයක් පිරිනැමිය යුතු යැයි නීතියක් ඇත. මෙම නීතිය මුස්ලිම්වරුන්ට ද ක්‍රියාත්මක කළ යුතුය යන ඉල්ලීමක් ද බහුලව සිදු කරනු ලැබේ. මුස්ලිම්වරුනට පවතින ඉස්ලාමීය නීතිය ඉවත් කර පොදු නීතිය යටතට ඔවුන් ද ගෙන ආ යුතුය යන ප්‍රචාරය ද මෙයට සමගාමීව ගෙන යනු ලැබේ. මෙම මාසික නඩත්තු ගාස්තු ක්‍රමයේ ගැටළු කිහිපයක් ඇත. මාසිකව නඩත්තු මුදල් ලබා ගැනීම සඳහා ඉන් අඩක් ම අධිකරණ නඩු සඳහා කාන්තාවට වියදම් වේ. මෙය කාන්තාව මත පැටවෙන අනවශ්‍ය බරකි. තවද දික්කසාද වූ කාන්තාවකට නඩත්තු මුදල් ගෙවිය යුතුයැයි නීති සම්පාදනය කර තිඛෙන රට වල ඒ කාන්තාව නැවත විවාහ නොවිය යුතුය යන කොන්දේසිය මත නඩත්තු ගෙවනු ලැබේ. ඇය නැවත විවාහ වූවා නම් නඩත්තු ගෙවිය යුතු නැතැයි මේ රටවල පවතින නීතිය පවසයි. එබැවින්, නඩත්තු නිසි පරිදි ලැබේ නම් ඒ කාන්තාව නැවත විවාහ නොවී සිටීමට පෙළඹෙන්න පුළුවන. හේතුව නැවත විවාහ වූවා නම් නඩත්තු ගෙවීම් නොලැබී යාම වේ. නඩත්තු වලින් ඇගේ ආර්ථීක ප්‍රශ්න යම් තරමකට විසඳුණ ද ඇගේ හැඟීම් වලට කිසිඳු විසඳුමක් නැත. මේ නිසා ඇතැමුන් නොමනා හැසිරීම් වලට යොමු වීමට ද මෙය මග පාදයි. ඇය විවාහ නොවී වසර 10ක් ජීවත් වුවද ඇයට නඩත්තු ගාස්තු ගෙවීමට දික්කසාද වූ පුරුෂයාට සිදු වේ. මෙය ඔහුට කරන අසාධාරණයකි. මොහු මෙම කාන්තාව දික්කාසාද කර ඇත්තේ ඇය සමඟ තවදුරටත් ජීවත් විය නොහැකි නිසාය. නමුත් දික්කසාද කිරීම තුළින් ඔහුට මෙවන් අසාධාරණයක් ඇති වෙනවා නම් ඔහු මෙම කාන්තාව දික්කසාද නොකරම ඇයට හිරිහැර කිරීම, වෙනත් රහස් කාන්තා සම්බන්ධකම් පවත්වා ගැනීම යනාදී වැරදි ක්‍රියා වලට යොමු වෙන්න පුළුවන.

ඉස්ලාමීය දික්කසාද නීතියට අනුව මෙවන් මාසික නඩත්තු ගාස්තුවක් නොමැත. නමුත් ස්වාමි පුරුෂයා දික්කසාදය ප්‍රකාශ කළ පසු කාන්තාවට මාස් ශුද්ධි තුනක කාලයක් දික්කසාද ප්‍රකාශ කළ සැමියාගේම නිවසේ සිට ඔහුගෙන්ම යැපිය හැක. පසුව මාස් ශුද්ධි තුනක කාලය තුළදී දෙදෙනා එක් නොවී දික්කසාදය පූර්ණ වූ පසු දික්කසාද කරන පුද්ගලයාගේ වත්කම අනුව නඩත්තු ගාස්තුවක් මුලින්ම තීරණය කර එය මෙම දික්කසාද වූ කාන්තාවට ලබා දෙනු ලැබේ. මෙලෙස තීරණය වූ නඩත්තු ගාස්තුව මාසිකව ගෙවා අවසන් කිරීමට ඉස්ලාමය තහංචි පනවන්නේ නැත. මෙම නඩත්තු ගාස්තුවට අමතරව මහර් ධනයද කාන්තාවට හිමි වේ. මහර් ධනයේ හිඟ ඇත්තනම් නඩත්තු ගාස්තුවට අමතරව එම හිඟ ප්‍රමාණයද අවසානයේදී දික්කසාද වූ කාන්තාවට හිමි වේ. දික්කසාදය ප්‍රකාශ කරන විට ඇය ගැබ්ගෙන සිටින්නේ නම් හෝ ඉද්දා කාලයේදී ඇය ගැබ් ගෙන සිටින බව දැන ගැනීමට ලැබුණේ නම් මෙම කාලය දරුවා ප්‍රසූත කරන තෙක් දීර්ඝ වේ. මෙම කාලයේදීද එම කාන්තාවට හා කුසේ සිටින දරුවාට වියදම් කිරීම දික්කසාදය ප්‍රකාශ කළ ස්වාමියාගේ වගකීම වේ. මීට අමතරව දික්කසාද වන මොහොතේ විවාහක යුවලට දරුවන් සිටී නම් එම දරුවන්ගේ නඩත්තු ගාස්තු ගෙවිය යුත්තේ පියාය පියාටය. මෙම දරුවන් වැඩිවියට පත්ව නොමැති නම් එම දරුවන්ගේ අත්භාරය මවට හිමි වන අතර එවිටද එම දරුවන්ගේ වියදම් දැරිය යුත්තේ එම දරුවන්ගේ පියාය, එනම් දික්කසාද වූ පිරිමියාය. මවගේ අත්භාරයේ සිටින මෙවන් දරුවන් කිරිබොන වයසේ සිටින්නේ නම් මෙම දරුවන්ට මව් කිරි දීම වෙනුවෙන්ද මුදලක් දික්කසාද වූ මෙම දරුවන්ගේ පියාගෙන් ලබා ගැනීමට දික්කසාද වූ මවට හැක.

නුඹලාගේ වත්කමට අනුව නුඹලා වාසය කරන තැන ඔවුන් පදිංචි කරවන්න. ඔවුන් අසීරුතාවට පත් කොට ඔවුනට වධ හිංසා නොකරන්න. ඔවුහු ගර්භිණීයන් නම් ඔවුන් ප්‍රසූත කරන තෙක් ඔවුනට වියදම් කරන්න. ඔවුහු නුඹලා වෙනුවෙන් කිරි පොවන්නේ නම් ඔවුන්ගේ කුලිය ඔවුනට පිරිනමන්න. නුඹලා අතර (මේ ගැන) හොඳින් තීරණය කර ගන්න. එකිනෙකා (මෙය) අපහසුවක් යැයි අදහස් කළේ නම් ඔහු වෙනුවෙන් වෙනත් ස්ත්‍රීයක් කිරි දෙත්වා. [අල් කුර්ආනය 65 : 06]

දික්කසාදයට පසු භාර්යාවට මාසිකව නඩත්තු ගෙවීම ඉස්ලාම් පිළි නොගන්නේ කාන්තාවන්ට අයුක්තියක් සිදු කිරීමට නොවන බව ඉහත කරුණු දෙස බලන ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැක. මෙවන් මාසික නඩත්තු ගාස්තුවකට වඩා විශිෂ්ට ක්‍රමයක් ඉස්ලාමය තුළ තිබෙන අතර එයින් දික්කසාද වූ කාන්තාවට මෙන්ම පිරිමියාට අසාධාරණයක් සිදු වන්නේ නැත.

ඉහත කොටසේ සාකච්ඡා වී ඇත්තේ පිරිමියා දික්කසාද යෝජනාව ප්‍රථමව ඉදිරිපත් කළ විට කටයුතු කළ යුතු ආකාරය පිලිබඳවය. බිරිඳගේ යම් ඉස්ලාමයට පටහැනි ක්‍රියාවක් මොනයම් ක්‍රමයකින් වත් නැවැත්විය නොහැකි අවස්ථාවකදී හෝ බිරිඳ සමඟ ජීවත් වීමට අධික අප්‍රියක් තිබෙන අවස්ථාවකදී පිරිමියා තම බිරිඳව දික්කසාද කරනු ඇත. (මෙවන් අවස්ථාවකදී දෙදෙනා එක් කිරීමට අනර්ග ක්‍රමවේදයක් ඇති අතර එය මෙම ලිපියේ මුල් කොටසේ සාකච්ඡා වී ඇත) දික්කසාදයේදී දික්කසාද වන පිරිමියා හා කාන්තාව යන දෙදෙනාටම හානියක් සිදු වුවද එයින් විශාල හානියක් සිදු වන්නේ කාන්තාවටය. ඉස්ලාමීය දික්කසාද නීතිය සැකසී ඇත්තේ මෙම කරුණ සැලකිල්ලට ගනිමින්ය. කාන්තාවකගේ වැරැද්දක් නිසා පුරුෂයා තම බිරිඳව දික්කසාද කළද දික්කසාද කළ කාන්තාවට නඩත්තු ගාස්තු ඇතුළු පෙර සඳහන් කළ අනෙකුත් වියදම්ද දැරිය යුත්තේද මේ හේතුව නිසාය. කෙසේනමුත් එම වැරැද්ද දුරාචාර්යක් නම් එවිට එම කාන්තාව මාස් ශුද්ධි තුනක කාලයක් තම නිවසේ තබා වියදම් කිරීමෙන් වැළකිය හැක. නමුත් නඩත්තු ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් දැරීම පිරිමියාගේ වගකීමයි. තවද දික්කසාද යෝජනාව ඉදිරිපත් කරන්නේ පිරිමියා බැවින් දික්කසාදයට පසු ඔහු දික්කසාද බිරිඳට ඔහුගේ වත්කමට අනුව වියදම් කිරීම අසාධාරණයක් ලෙස සැලකිය නොහැක. පිරිමියා යනු ආර්ථික බර දැරීමට සුදුසු මානසිකත්වයකින් හා ශාරීරික සැකසුමකින් යුත් පුද්ගලයෙකි. ඉස්ලාමයට අනුව ආර්ථික වගකීම් පිරිමියා මත පැවරෙන්නේ මේ නිසාය.

දික්කසාද කාන්තාවන් සඳහා නඩත්තු ගාස්තු ලබා දීම පිළිබඳව බොහෝ උගතුන් වැරදි විග්‍රහයක් ලබා දී තිඛෙන බව මෙහි දී සඳහන් කළ යුතුය. දික්කසාද කරන ලද කාන්තාවන් තෙමසක් දක්වා යළි විවාහයක් සිදු නොකර සිටිය යුතුය. මෙය ඉද්දා යයි හඳුන්වනු ලැබේ. ඒ උගතුන් පවසන්නේ මෙම ඉද්දා කාලය හෙවත් මාස තුනකට පමණක් නඩත්තු ගෙවීම් සිදු කළ යුතු බවයි. මෙසේ විග්‍රහයන් ලබා දීමට පරිශුද්ධ වූ අල් කුර්ආනයේ 65:6 වැකිය සාධකයක් කර ගනිති. මෙම වැකියේ දික්කසාද කිරීමෙන් පසු ගර්භිණි කාන්තාවන් නම් ප්‍රසවය දක්වා වියදම් කරන මෙන් ප්‍රකාශ වේ. එබැවින් නඩත්තු ගෙවීම් සිදු කළ යුත්තේ ඉද්දා කාලයට පමණක් යයි තර්ක කරති. මොවුන්ගේ මෙකී තර්කය සම්පූර්ණයෙන් ම වැරදි සහගත ය. ඔහුගේ කළලයක් ඇස උසුලාගෙන සිටින නිසා ඇයට ලබා දිය යුතු නඩත්තු ගෙවීමත් සමඟ අමතරව ඔහු දැරිය යුතු වියදම් ගැන ඒ වැකිය පවසයි. 65:6 වැකිය සැලකිල්ලට ගත් අය, මෙම වැකියේ යෙදී තිඛෙන වචන ගැන සැලකිලිමත් වූයේ නම් මෙසේ විග්‍රහයන් ලබා දී සිටින්නේ නැත. මෙම වැකියේ අල්ලාහ් පවසන්නේ ඉද්දා කාලයට අදාළ නඩත්තු ගෙවීම නම් “ඉද්දා කාලයේ දී” යනුවෙන් පවසන්නට තිබුණි. සර්ව බලධාරී දෙවියන් එසේ ප්‍රකාශ නොකර “අලංකාර ලෙසින්”, “යුක්ති සහගත ලෙසින්” යනුවෙන් පවසයි. කාන්තාවන් සමඟ ජීවත් වී ඇගේ යෞවනය භුක්ති විඳීමෙන් පසුව මාස තුනක් සඳහා වියදමට මුදල් ලබා දීම අලංකාර මහක් හෝ යුක්ති සහගත මගක් හෝ නොවනු ඇත. තම පවුලේ කාන්තාවකට මෙසේ සිදු වූයේ නම් එවිට යුක්තියහපත වන්නේ කවරක් ද එය ම යුක්ති සහගත මගවේ.

දික්කසාදයෙන් පසු ඇතැමුන් දික්කසාද ස්ත්‍රීයට ලබා දෙන්නේ ස්වාමි පුරුෂයාගේ නිවැසියන් ලබා ගත් දෑවැදි පමණි. නමුත් මනමාලිය විසින් මනමාලයාට දෑවැදි දීම ඉස්ලාමය අනුමත කරන්නේ නැත. මෙවන් දෑවැදි නිසා කාන්තාවන්ට විවාහ වීම අපහසු කාර්යයක් බවට පත් වී ඇත. මෙම දෑවැදි ක්‍රමය සමාජයෙන් තුරන් විය යුතු වැරදි ක්‍රියාවකි. එබැවින් ඔවුන් දෙදෙනො දික්කසාද නොකර එකට ජීවත් වන විට දීම භාර්යාවගේ දෑවැදි නැවත ඇයට ලබා දීම ජමාඅත් වල යුතුකමකි. එබැවින් දෑවැදි ආපසු ලබා දීමටත් දික්කසාදයටත් කිසිඳු සම්බන්ධතාවක් නැත.

දික්කසාද වූ කාන්තාවගේ යහපත සඳහා ඉතා අගනා මඟපෙන්වීමක් ඉස්ලාම් දහම තුළ ඇත. නමුත් මුස්ලිම් ජන සමාජය මෙම දේව නියෝගය ක්‍රියාත්මක නොකළ නිසා නානාප්‍රකාර විවේචන වලට මුහුණ දීමට සිදු වී ඇත. මෙය ඉස්ලාම් විරෝධී ප්‍රචාර වලට උපයෝගී කර ගනු ලැබේ. මාසිකව ගෙවනු ලබන ප්‍රෝඩාකාරී නඩත්තු ගෙවීම මුස්ලිම්වරු කෙරෙහි ද බලෙන් පැටවීමට වෙර දරනු ලැබේ. එබැවින් ජමාඅත් සංවිධාන වල අය මෙම වැකියේ එක් එක් වචනයක් ම සලකා බලා අල්ලාහ්ට බිය බැතිමත් වී කාන්තාවන්ට සාධාරණයක් ඉටු කළ යුතුය.

ඉස්ලාමය කාන්තාවන්ට දික්කසාද අයිතිය ලබා දී තිබෙනවාද?

ඉස්ලාමීය නීති තුළ දික්කසාද වීමේ අයිතිය ලබා දී තිබෙන්නේ පුරුෂයාට පමණක් බව ඉස්ලාම් දහම විවේචනය කරන ඇතැමුන් පවසති. නමුත් ඉස්ලාමයේ නීති මූලාශ්‍ර නිසි ලෙස අධ්‍යයනය කරන කෙනෙකුට ඉස්ලාමය කාන්තාවන්ටද දික්කසාද අයිතිය ලබා දී තිබෙන බව පහසුවෙන් වටහා ගත් හැක. පිරිමියා හා ගැහැණිය අතර තිබෙන වෙනස්කම් සලකා දික්කසාදය පිලිබඳ පුරුෂයාට හා කාන්තාවට වෙන් වෙන් වශයෙන් ඇතැම් නීති තිබුණද දික්කසාද වීමේ අයිතිය දෙදෙනාටම ඉස්ලාමය ලබා දී ඇත.

නබි නායක මුහම්මද් තුමාණන්ගේ කාලයේ සාබිත් ඉබ්නු කයිස් තුමාගේ භාර්යාව නබි නායක මුහම්මද් තුමාණන් වෙත පැමිණ “අල්ලාහ්ගේ දූතයාණනි, මාගේ ස්වාමි පුරුෂයාගේ යහපත් හැසිරීමට හෝ යහපත් ගති ගුණ වලට හෝ මම දොස් නොකියමි. නමුත් ඉස්ලාමයේ සිටිමින් (දෙවියන්ට) පටහැනි වීමට මම පිළිකුල් කරමි”යි කීවාය. (එනම්, ස්වාමි පුරුෂයා යහපත් කෙනෙක් වූවත් ඔහු සමඟ එක් ව ජීවත් වීමට තමාට අකැමති යයි කීවාය.) වහාම නබි නායක මුහම්මද් තුමාණන් “එසේ නම් (ඔහු නුඹට මහ්ර් වශයෙන් දුන්) ඔහුගේ උයන නැවත ඔහුට ලබා දෙන්නෙහි දැ”යි ඇසූ හ. එයට ඒ ස්ත්‍රීය “එසේ යැ” යි කීවාය. වහාම නබි නායක මුහම්මද් තුමාණන් ඇගේ ස්වාමි පුරුෂයාට “උයන ලබා ගෙන ඇය එකවර ම මුදා හරින්නැ”යි කීහ. [සහිහ් බුහාරි, පුවත් අංක 5273, 5275, 5277]

ඉහත පුවත මගින් නබි නායක (සල්) තුමාණන්ගේ කාලයේ පැවති පිළිවෙත කුමක්දැයි දැනගත හැකිය. කාන්තාවකට ස්වාමි පුරුෂයා එපා වේ නම් ඇය සමාජයේ නායකයා වෙත ගොස් පැමිණිළි කළ යුතුය. ඒ නායකයා ඇය ස්වාමි පුරුෂයාගෙන් ලබා ගත් මහර් ප්‍රමාණය නැවත දෙන ලෙසත් ඒ මහර් ප්‍රමාණය ලබාගෙන ස්වාමි පුරුෂයාට ඇගෙන් වෙන් වන ලෙසත් අණ කළ යුතුය. විවාහ බන්ධනය ද අවලංගු කළ යුතුය යන්න මෙම පුවතෙන් වටහාගත හැකිය. මෙලෙස සිදු වන දික්කසාදයට “කුලා” යැයි හඳුන්වනු ලැබේ.

මෙහිදී කාන්තාවන් තමන් විසින් ම විවාහ ගිවිසුම කඩ නොකර ඉස්ලාමීය අධිකරණය ඉදිරිපිට පැමිණිලි කිරීම අත්‍යාවශ්‍ය ය. මන්දයත් කාන්තාවන් ස්වාමි පුරුෂයින්ගෙන් ප්‍රසිද්ධියේ මහ්ර් ප්‍රමාණය ලබාගෙන තිඛෙන නිසාත් එය ප්‍රසිද්ධියේ ස්වාමි පුරුෂයාට භාර දිය යුතු නිසාත් මෙම කොන්දේසිය නියම කර ඇත. තව ද දික්කසාදය ලැබූ පසු ඔවුන් අධික ව දුෂ්කරතාවට පත් වන නිසා ඔවුන් එවැනි තීරණයකට හදිසි නොවිය යුතු බැවින් ද මෙම පිළිවෙත අත්‍යාවශ්‍ය ය. ඉස්ලාමීය අධිකරණය විසින් ඇයට උපදෙස් දීමට මෙයින් මගක් පෑදේ. එබැවින් ඉස්ලාමීය අධිකරණයට දන්වා ඒ මාර්ගයෙන් ම වෙන් වීම ඇයට වඩාත් යහපත් ය. කාන්තාවන් දික්කසාද වීමට මීටත් වඩා පහසු මගක් ලොවේ කිසිඳු තැනක දැකගත නොහැකිය. විසි එක් වන සියවසේ පවා නොදෙන ලද අයිතිවාසිකම් ඉස්ලාම් වසර 1400 කට පෙර දී ම කාන්තාවන්ට පිරිනමා ඇත. පිරිමියාගේ කැමැත්ත අනුව දික්කසාද යෝජනාවක් ඉදිරිපත් වූ විට අදියර කිහිපයක්ම පසුකිරීම අනිවාර්ය වූ කාරණයක් වුවද එම යොජනාව ස්ත්‍රී පාර්ශවයෙන් ඉදිරිපත් වන්නේ නම් එහිදී එම විවාහ ගිවිසුම ඒ මොහොතේම අවලංගු වී යයි. මෙසේ කාන්තාවන් දික්කසාදයක් ලැබීමට ප්‍රධාන හේතු කිසිවක් තිබීමට අවශ්‍ය නැත. ඉහත දැක් වූ පුවතේ ඒ කාන්තාව ස්වාමි පුරුෂයා කෙරෙහි කිසිඳු චෝදනාවක් පැවරුවේ නැත. තමාට අකැමති යැයි පමණක් ඇය පවසන්නීය. එයට හේතුව කුමක් දැයි පවා මුහම්මද් තුමාණන් විමසුවේ නැත. අකමැති වීමට හේතු දැක්වීම අත්‍යාවශ්‍ය නම් මුහම්මද් තුමාණන් එය අනිවාර්යයෙන් ම විමසා සිටිය යුතුය. එතුමාණන් කිසිවක් නොවිමසා දික්කසාදය ලබා දීම තුළින් මෙය අවබෝධ කරගත හැකිය. විවාහය වෙන් කළ නොහැකි බන්ධනයක් ලෙස ඉස්ලාම් අදහස් කළේ නැත. ඉස්ලාම් විවාහය දකින්නේ ජීවන ගිවිසුමක් ලෙස ය. “ඒ ස්තී්‍රහූ නුඹලාගෙන් ස්ථීර ගිවසුමක් ගෙන, කෙනෙක් තවත් කෙනෙකු සමඟ මිශ්‍ර වූවෙහුය..” (4:21) යනුවෙන් ද, ස්වාමි පුරුෂයන්ට භාර්යාවන් කෙරෙහි වූ අයිතිවාසිකම මෙන් භාර්යාවනට ද ස්වාමි පුරුෂයන් කෙරෙහි අයිතිවාසිකමක් ඇත.” (2:228) යනුවෙන් ද පරිශුද්ධ වූ අල් කුර්ආන් පවසයි. කාන්තාවන්ට දික්කසාද අයිතිය ලබා නොදුන්නේ නම් එයින් ද නොයෙකුත් අයහපත් ප්‍රතිවිපාක හට ගැනේ. ස්වාමි පුරුෂයින් එපා වූ කාන්තාවන් දික්කසාද නීතිය දරුණුව තිඛෙන බැවින් ස්වාමි පුරුෂයින් සමඟ ඝාතනය කරන සිද්ධීන් වැඩිවෙමින් පවතී. විෂ දී ස්වාමි පුරුෂයින් ඝාතනය කරති. නැතහොත් අනියම් පෙම්වතුන් සමඟ එක් වී ස්වාමි පුරුෂයින් ඝාතනය කරති. ස්වාමි පුරුෂයාගෙන් පහසුවෙන් දික්කසාදයක් ලබා තමන්ට කැමති කෙනෙක් නීත්‍යානුකූල ව විවාහ කර ගැනීමට මගක් ඇත්නම් මෙවැනි අක්‍රමිකතා සිදු නොවේ. ඉස්ලාම් පුරුෂයින්ට මෙන් ම ස්ත්‍රීන්ට ද දික්කසාද නිතිය ඉතාමත් ලිහිල් කර ඇත්තේ මේ නිසා ය. පුරුෂයින්ට ලබා දී තිඛෙන අයිතිවාසිකමට සුළුවෙන් හෝ අඩු නොවන අයුරින් ඉස්ලාම් ස්ත්‍රීන්ට ද අයිතිවාසිකමක් ලබා දී තිඛෙන බව මෙයින් දැනගත හැකිය.

නමුත් “කුලා” නම් මෙම දික්කසාදය සිදු වන අවස්ථාවල දී කාන්තාව තම ස්වාමියා විසින් තමාහට ලබාදුන් “මහර්” තොගය නැවත ලබා දීම සිදු කළ යුතුය. තවද කාන්තාව සඳහා නඩත්තු ගාස්තු ගෙවීමක් “කුලා” ක්‍රමය තුළින් දික්කසාද කරන පිරිමියාට පැවරෙන්නේ නැත.

“දික්කසාදය දෙවතාවක් පමණක් කිරීමට අවසර දෙනු ලැබේ. ඉන් අනතුරුව දෙපළ යහපත් අයුරින් එකතු වී සිටිය හැකිය. නැතිනම් කාරුණිකව වෙන් වී යා හැකිය. දේව නියමයන් රැකීමට (යහපත් අයුරින් ජීවත්වීමට) අපහසු වනු ඇතැයි දෙපාර්ශ්වයම බිය වූ විට මිස, පුරුෂයා විසින් ස්ති‍්‍රයට ලබා දුන් (මහර් තොගය) දායාදයෙන් කොටසක් හෝ ලබා ගැනීම නීතිවිරෝධිය. එහෙත් ඇය විසින් විවාහ බන්ධනයෙන් නිදහස් වීම සඳහා සිය කැමැත්තෙන් කොටසක් ලබා දීම හා එය ලබා ගැනීම වරදක් නොවේ. මේවා දේව කියමන් නිසා, ඒවා උල්ලංඝනය නොකරන්න. මන්ද එසේ කිරීමෙන් ඔබලා ඔබලාට සෙසු අයට ද පීඩන ඇතිකර ගන්නෙහුය.” [අල් කුර්ආනය 2:229]

මෙලෙස මහර් තොගය නැවත ලබා දීම කාන්තාවට කරන අසාධාරණයක් ලෙස කෙනෙකු සැලකිය හැක. නමුත් පුරුෂයා දික්කසාද යෝජනාව ඉදිරිපත් කිරීමේදී මෙම මහර් ප්‍රමාණය නැවත නොගන්නා අතර ඇයගේ නඩත්තු ගාස්තු, ඇයට දරුවන් සිටීනම් ඒ සඳහා වියදම් යනාදියද පුරුෂය ලබා දිය යුතු බව සැලකිල්ලට ගත යුතුය. (මේ පිළිබඳව පෙර සාකච්ඡා වී ඇත). මෙම ප්‍රමාණය “කුලා” දික්කාසදයේදී කාන්තාව නැවත ලබා දෙන මහ්ර් ප්‍රමාණයට වඩා බොහෝ විට වැඩි අගයක් ගනී. තවද මහර් ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් තම ස්වාමියා ඇයට විවාහ ජීවිතයේදී වියදම් කර තිබිය හැක. “කුලා” දික්කසාදය සිදු වන විට කාන්තාව ගැබ් ගෙන සිටින්නේ නම් ඇයට හා කුසේ සිටින දරුවාට වියදම් කිරීම දික්කසාද වූ පිරිමියාගේ වගකීමවේ. තවද මෙම අවස්ථාවේදී දරුවන් කිරිබොන වයසේ සිටී නම් එම දරුවන්ට කිරි දීම වෙනුවෙන් දික්කසාද කාන්තාවට තම වත්කම අනුව කුලියක් ලබා දීමද දික්කසාද වූ පිරිමියාගේ වගකීමයි. “කුලා” දික්කසාදයෙන් පසුවද වැඩිවියට පත් නොවූ දරුවන් ඔවුන්ගේ මවගේ භාරයේ සිටින අතර ඔවුන්ගේ වියදම දැරීමද දික්කසාද වූ පියාගේ වගකීමයි. එබැවින් කිසිම විශේෂ හේතුවක් නොමැතිව හුදෙක්ම අකමැත්තක් නිසා දික්කසාද යෝජනාව ප්‍රථමයෙන් ඉදිරිපත් කරන කාන්තාව තමාට ලැබුණු මහර් ප්‍රමාණය නැවත ලබා දිය යුතුයි යන කොන්දේසිය අසාධාරණ කොන්දේසියක් ලෙස සැලකිය නොහැක. ඒ වගේම මෙහිදී ඉහත සඳහන් හේතු (ගැබ්ගෙන සිටීම, දරුවන්ට කිරි දීම, වැඩිවියට පත් නොවූ දරුවන්ගේ වියදම) නොමැතිව කාන්තාවට පමණක්  නඩත්තු ගාස්තු නොලැබීමද අසාධාරණයක් ලෙස සැලකිය නොහැක.

ඇතැම් විට කාන්තාව දික්කසාද යෝජනාව ප්‍රථමයෙන් ඉදිරිපත් කරන්නේ ස්වාමි පුරුෂයාගේ බරපතල වැරැද්දක් නිසා විය හැක. උදාහරණයක් ලෙස ස්වාමි පුරුෂයා බිරිඳට හිරිහැර කිරීම, ඇයගේ අවශ්‍යතා සඳහා වියදම් නොකිරීම, ලිංගික අවශ්‍යතා සපුරා නොදීම, බිරිඳගෙන් වෙන්ව ජීවිතය ගත කිරීම යනාදී හේතු සැලකිය හැක. මෙවන් අවස්තාවකදී මේ පිළිබඳව කාන්තාවට ඉස්ලාමීය අධිකරණයට පැමිණි කළ හැකි අතර. ඔවුන් කරුණු විමසා බලා විවාහ බන්ධනය අහෝසි කිරීම තුළින් දික්කසාදය සිදු කරනු ලබයි. මෙම දික්කසාද ක්‍රමය “ෆසහ්” ලෙස හැඳින්වේ. “ෆසහ්” දික්කසාදයේදී දික්කසාද යෝජනාව ප්‍රථම ඉදිරිපත් කරන්නේ කාන්තාව වුවද “මහර්” ප්‍රමාණය දික්කසාද වන පුරුෂයාට ලබා දිය යුතු වන්නේ නැත. තවද විවාහ ගිවිසුම සිදු කරන මොහොතේ මනමාලිය හා මනමාලයා එකඟ වූ  මහර් ප්‍රමාණයේ හිඟ ඇත්නම් එම හිඟ ප්‍රමාණය “ෆසහ්” දික්කසාදය ඉල්ලා සිටින කාන්තාවට ලබා දිය යුතුය. මෙයට අමතරව “කුලා” දික්කසාදයේදී කටයුතු කරන අකාරයෙන්ම දික්කසාද වන කාන්තාව ගැබ් ගෙන සිටින්නේ නම් ඇයට හා කුසේ සිටින දරුවාට වියදම් කිරීම දික්කසාද වූ පිරිමියාගේ වගකීමවේ. තවද මෙම අවස්ථාවේදී දරුවන් කිරිබොන වයසේ සිටී නම් එම දරුවන්ට කිරි දීම වෙනුවෙන් දික්කසාද කාන්තාවට තම වත්කම අනුව කුලියක් ලබා දීමද දික්කසාද වූ පිරිමියාගේ වගකීමයි. “කුලා” දික්කසාදයෙන් පසුවද වැඩිවියට පත් නොවූ දරුවන් ඔවුන්ගේ මවගේ භාරයේ සිටින අතර ඔවුන්ගේ වියදම දැරීමද දික්කසාද වූ පියාගේ වගකීම වේ. පුරුෂයාගේ වැරැද්දක් පදනම් කරගෙන “ෆසහ්” දික්කසාදය සිදු වන නිසා මෙම දික්කසාදයෙන් පසු පුරුෂයාට පැවරෙන වගකීම් අසාධාරණ බව තර්ක කළ නොහැක.

කෙසේනමුත් කාන්තාවකගේ වැරැද්දක් නිසා පුරුෂයා තම බිරිඳව දික්කසාද කළද දික්කසාද කළ කාන්තාවට නඩත්තු ගාස්තු ඇතුළු පෙර සඳහන් කළ අනෙකුත් වියදම්ද දැරිය යුතුය. (මේ පිළිබඳව ඉහත සාකච්ඡා වී ඇත)

ඉහත කරුණු දෙස අවධානයෙන් බලන කෙනෙකුට ඉස්ලාමය කාන්තාවටද දික්කසාද අයිතිය ලබා දී ඇති අතර ඇයගේ ආරක්ෂාවට විශිෂ්ට වැඩපිළිවෙලක් සකස්කර දී ඇති බව ඉතා පහසුවෙන් වටහා ගත හැක.

ඉද්දා යන කාල සීමාව කාන්තාවන්ට සිදු කරන අසාධාරනයක්ද?

ඉස්ලාමීය දික්කසාද නීතියට අනුව දික්කසාද වූ කාන්තාවට ඉද්දා කාල සීමාව (එනම් විවාහ නොවී සිටිය යුතු කාල සීමාව) පැනවීම කාන්තාවන්ද සිදු කරන අසාධාරණයක් බව ඉස්ලාම් දහම විවේචනය කිරීමට උත්සහ දරන ඇතැම් විවේචකයන් පවසති. නමුත් දික්කසාද වූ කාන්තාවකට මෙවන් කාල සීමාවක් නිර්ණය කිරීම ඉතා අත්‍යවශ්‍ය දෙයක් බව බුද්ධිමත්ව කල්පනා කරන ඕනෑම කෙනෙකුට වටහා ගත හැක.

දික්කසාදයකදී ඉද්දා කාල සීමාව යනු විවාහ නොවී සිටිය යුතු කාල සීමාවයි. දික්කසාදය සිදුවන ක්‍රමය මත මෙම කාල සීමාව වෙනස් වේ. එනම් දික්කසාද යෝජනාව ප්‍රථමව ඉදිරිපත් කරන්නේ කාන්තා පාර්ශවය නම් දික්කසාදය ප්‍රකාශ කිරීමෙන් පසු ඇය තම සැමියාගේ නිවසෙන් බැහැර විය යුතු අතර එක් මාස් ශුද්ධියක කාලයක් විවාහ නොවී සිටිය යුතුය.

ඉබ්නු අබ්බාස්ගෙන් ලද පුවතකට අනුව: නබි (මුහම්මද්) තුමාගේ කාලයේදී තාබිත් ඉබ්නු කයිස්ගේ බිරිඳ “කුලා” නම් ක්‍රමයට තම සැමියාගෙන් දික්කසාද විය. නබි තුමා ඇයට එක් මාස් ශුද්ධියක කාලයක් ඉද්දා සිටින ලෙස (විවාහ නොකර සිටින ලෙස) අණ කළේය. [තිර්මිදී – පුවත් අංක 1185, අබූ දාවුද් – පුවත් අංක 2229, අන් නසායි – පුවත් අංක 3497] (මෙම පුවත පිළිගත හැකි පුවතක් බව හදීස් විද්වතෙකු වන අල් බානි තුමා තම සහීහ් අබී දාවුද් නම් ග්‍රන්ථයේ සඳහන් කරයි, මෙම පුවත විශ්වාසනීය පුවතක් බව ඉබ්නුල් කය්යූම් තුමාද පවසයි)

මෙවන් කාලයක් සිටීම තුළින්  ඇය තම දික්කසාද වූ සැමියා හේතුකොටගෙන ගැබ්ගෙන සිටිනවාද නැද්ද යන්න හඳුනා ගත හැක. එසේ ඇය ගැබ් ගෙන සිටිනවා නම් දරුවා ප්‍රසූත කරන තෙක් ඇය තවකෙනෙකු සමඟ විවාහ නොවිය යුතුය. ගැබ් ගෙන සිටින කාලයේදී ඇය තව කෙනෙකු විවාහ කර ගත්තේ නම් එය ඇතැම් විට තම කුසේ සිටින දරුවාට සිදු කරන හානියක් විය හැක. තවද නව සැමියාගේ අවශ්‍යතාවයන් නිසි ලෙස සපුරාදීමට ඇයට නොහැකි වෙන්න පුළුවන. මෙමගින් නව විවාහයද අසාර්ථක විය හැක.  ඒ වගේම එම කාන්තාවට මෙන්ම කුසේ සිටින දරුවාට වියදම් කිරීම දික්කසාද වූ සැමියාගේ වගකීම වුවද ඇය නව විවාහයක් සිදු කරගත් නිසා ඔහු මෙලෙස වියදම් කිරීමට උනන්දු නොවන්න පුළුවන. හේතුව නව විවාහක සැමියාද එම කාන්තාවට වියදම් කිරීමට බැඳී සිටීමයි. දික්කසාද වූ සැමියා එසේ වියදම් කලත් එය ඔහුට කරන අසාධාරණයක් වේ. හේතුව එවිට ඔහු තවකෙනෙකුගේ බිරිඳකට වියදම් කරන තත්වයක් උදා වීමයි. දවද දරුවා ප්‍රසූත කරන මොහොතේ පෙර සැමියා හා නව සැමියා යන දෙදෙනාම එම අවස්ථාවට සහභාගීවීමේ අප්‍රසන්න තත්වයක් උදා වේ. මෙම ව්‍යාකුල තත්වයෙන් මිදීමට නම් ඇය දරුවා ප්‍රසූත කරන තෙක් වෙනත් කෙනෙකු සමඟ විවාහ නොවිය යුතුය.

දික්කසාද යෝජනාව ප්‍රථමව යොමු කරන්නේ ස්වාමියා නම් කාන්තාවගේ ඉද්දා කාලය මාස් ශුද්ධි තුනක කාලයකි. (මේ පිළිබඳව මෙම ලිපියේ මුල් කොටසේ සාකච්ඡා වී ඇත) මෙම කාලයේ තව විවාහයක් සිදු නොකර සිටීම තුළින්ද ඇය තම දික්කසාද වූ සැමියා හේතුකොටගෙන ගැබ්ගෙන සිටිනවාද නැද්ද යන්න හඳුනා ගත හැක. මීට අමතරව මෙම ඉද්දා කාලය මාස් ශුද්ධි තුනක කාලයක් බැවින්ද එම කාලයේ ඇය ජීවත් වන්නේ සැමියාගේ නිවසේ බැවින් මෙම දික්කසාදය අහෝසි කරගැනීමට ඇති හැකියාව මෙහිදී අධිකය. එනම් දික්කසාද යෝජනාව ප්‍රථම යොමු කර ඇත්තේ ස්වාමියාය. මෙම තීරණය වෙනස් කර ගැනීමට වැඩි කාලයක් ලබා දීම තුළින් දෙදෙනා නැවත එක්ව ජීවත් වීමට හැකියාවක් ඇත.  ස්වාමියා ප්‍රථමව දික්කසාද යෝජනාව ඉදිරිපත් කළද ඉද්දා කාලය එක් මාස් ශුද්ධියක කාලයක් ලෙස ඉස්ලාමය පවසා ඇත්නම් දෙදෙනාම නැවත එක්වීමට සැලැස්විය හැකි  අවස්තාව එක් මාස් ශුද්ධියක කාලයකට පමණක් සීමා වී යයි. තවද මෙම කාලයේදී එම කාන්තාව ගැබ් ගෙන සිටිනවා නම් දරුවා ප්‍රසූත කරන තෙක් මෙම කාලය දීර්ඝ වේ. එබැවින් මෙයින් වාසි ලබන්නේද කාන්තාවය.

මෙම කාරණා දෙස බැලීමේදී ඉස්ලාමීය දික්කසාද නීතියට අනුව කාන්තාවට නිර්ණය වන ඉද්දා කාල සීමාව ඔවුන්ට සිදු කරන අසාධාරණයක් ලෙස කිසිසේත්ම නොසැලකිය හැකි බව සනාත වේ.

දික්කසාදයට පසු දරුවන්ගේ අයිතිය ලැබෙන්නේ කාටද?

ඉස්ලාමයට අනුව දික්කසාදයට පසු දරුවන්ගේ අයිතිය මවට කිසිසේත්ම හිමි නොවන බව ඇතැමුන් සිතති. මෙසේ සිතීමට මූලික හේතුව ඇතැම් දික්කසාදවලින් පසු දරුවාගේ අයිතිය පියාට හිමි වූ අවස්ථා වාර්තා වීම විය හැක. කෙසේනමුත් ඉස්ලාමීය ඉගැන්වීම්වලට අනුව විවාහක යුවලක් දික්කසාද වන විට ඔවුන්ට වැඩිවියට පත් නොවූ දරුවන් සිටී නම් ඔවුන්ව අත්භාරයට ගැනීමට පියාට වඩා මවට වැඩි අයිතියක් ඇත. මේ බව මුහම්මද් තුමාගේ ඉගැන්වීම් වලින් වටහා ගත හැක.

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් තුමා සඳහන් කරන පරිදි කාන්තාවක් මෙසේ පැවසුවාය: “අල්ලාහ්ගේ දූතයාණෙනි!, මාගේ මේ දරුවා සඳහා මාගේ ගැබ යාත්‍රාවක් ලෙස තිබුනේය. මාගේ ළය ඔහුට කිරි දුන්නේය. මාගේ ඔඩොක්කුව ඔහුට රක්ෂාස්ථානය ලෙස තිබුනේය. නමුත් ඔහුගේ පියා මාව දික්කසාද කළ අතර ඔහුව මාගෙන් ගෙන යෑමට ඔහුට (පියාට) අවශ්‍යව තිබේ. අල්ලාහ්ගේ දූතයාණන් ඇයට මෙසේ පැවසුවේය : “ඔබ නැවත විවාහ නොවන තුරු ඔහු (දරුවා) පිලිබඳ වැඩි අයිතියක් ඔබට තිබේ” [අහ්මද් – පුවත් අංක 6707, අබූ දාවුද් – පුවත් අංක 2276] (මෙම පුවත විශ්වාසනීය පුවතක් බව අල් බානි නම් විද්වතා විශ්වාසනීය අබී දාවුද් නම් ග්‍රන්තයේද, ඉබ්නු කතීර් නම් විද්වතා ඉර්ශාද් අල් ෆකීහ් නම් ග්‍රන්තයේ 2/250 කොටසේද සඳහන් කර ඇත)

මෙලෙස මවට වැඩි අයිතියක් හිමි වන්නේ මව හා පියා යන දෙදෙනාම හොඳ ගතිගුණ සහිත ඉස්ලාමයට ලැදි පුද්ගලයන් නම් පමණි. මව සතුව හොඳ චරිතයක් නොමැති නම් හෝ වැඩිවියට පත් නොවූ දරුවාව රැකබලා ගැනීමට මව අකමැති නම් මෙම දරුවාගේ අයිතිය පියාට හිමිවේ. මෙහිදී දරුවාව හොඳින් හදා වඩා ගැනීම යන කාරණය දෙස අවධානය යොමු කර නිවැරදි තීරණයක් ගැනීම ඉස්ලාමීය අධිකරණයේ වගකීමකි.

දික්කසාද වූ මව (ඉද්දා කාලයට පසුව) තව කෙනෙකු සමඟ විවාහ වූවා නම් මෙහිදී දරුවා තම අත්භාරයේ තබා ගැනීමේ අයිතිය මවට වඩා පියාට හිමි වේ. විවාහයෙන් පසු කාන්තාවගේ අවධානය බොහෝ විට නව සැමියාට යොමු විය හැක. මෙනිසා දරුවාට හානියක් සිදු විය හැක.  එබැවින් සුදුසු කෙනෙකුට දරුවාගේ අත්භාරය හිමි වීම ඉතා යෝග්‍ය ක්‍රමයකි. කෙසේනමුත් මෙම අවස්ථාවේදීද දරුවා පියා ළඟ සිටීම දරුවාට හානිකර නම් දරුවාගේ භාරකාරත්වය සුදුසු පුද්ගලයෙකුට ලබා දීම ඉස්ලාමීය අධිකරණයේ වගකීමකි.

දරුවා වැඩිවියට පත් වූ පසු ඔහු කා ළඟ සිටිය යුතුදැයි තීරණය කිරීමේ අයිතිය දරුවාටම හිමි වේ.

එක් අවස්ථාවකදී කාන්තාවක් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ “මාගේ පිය හා මව ඔබ වෙනුවෙන් කැප විය යුතුය! මාගේ පුත්‍රයා මට උදව් කරන්නේය, අබු අන්බා නම් ලිඳෙන් මට වතුර ගෙනත් දෙන්නේය, නමුත්  ඔහුව මාගෙන් ගෙන යෑමට මාගේ සැමියාට අවශ්‍ය වී ඇත.” යැයි පැවසුවාය. ඇයගේ සැමියා පැමිණ “මාගේ පුත්‍රයාගේ විෂයේදී මා සමඟ ආරවුල් ඇති කරගන්නේ කවුරුන්ද?” යැයි පැවසුවේය. (එවිට මුහම්මද් තුමා) “දරුවා!, මේ ඔබගේ පියා වේ, මේ ඔබගේ මව වේ. ඔබට අවශ්‍ය කෙනාගේ ඇත අල්ලා ගන්න.” යැයි පැවසුවේය. ඔහු (පිරිමි දරුවා) ඔහුගේ මවගේ අත අල්ලා ගත අතර ඇය ඔහු සමඟ පිටවී ගියාය. [අන් නසායි – පුවත් අංක 3496, අබූ දාවුද් – පුවත් අංක 2277] (මෙම පුවත විශ්වාසනීය පුවතක් බව අල් බානි නම් හදීස් විද්වතා සහීහ් අබී දාවුද් නම් ග්‍රන්ථයේ සඳහන් කර ඇත)

ඉහත කරුණු තුළින් පෙනී යන්නේ දික්කසාදයකදී දරුවාගේ අත්භාරය හිමි වන්නේ කාටද යන්න තීරණය කිරීමට ඉතා අනර්ග ක්‍රමවේදයක් ඉස්ලාමය තිබෙන බවයි. එබැවින් ඉස්ලාමයට අනුව දික්කසාදයට පසු දරුවන්ගේ අයිතිය මවට කිසිසේත්ම හිමි නොවන බව සිතීම නිවැරදි නොවේ.

තලාක් තුනම එකවර පැවසීම ඉස්ලාමීය ක්‍රමවේදයක්ද?

ඉස්ලාමීය දික්කසාද නීතියට අනුව පිරිමියාට තම බිරිඳව දික්කසාද කිරීමට අවස්ථා තුනක් ලබා දී ඇත. මේ බව මෙම ලිපියේ කොටසක මනා ලෙස සාකච්ඡා වී ඇත. ඉස්ලාම් පිරිනමා තිඛෙන මෙම නීතිය නිවැරදිව අවබෝධ කර නොගත් ඇතැම් මුස්ලිම්වරු තම ගිහි ජීවිතය නාස්ති කරගෙන සිටිති. එක ම අවස්ථාවේ දී “තලාක් තුනක්” යැයි හෝ “මුත්තලාක්” යැයි පවසා භාර්යාව දික්කසාද කර ගනිති. ඉන් පසු එක් වී ජීවත් වීමට කිසිඳු මගක් නැතැයි ද සිතති. මෙය සම්පූර්ණයෙන් ම වැරදි ය. එක ම අවස්ථාවේ දී තලාක් තුනක් යනුවෙන් හෝ තලාක් තුන් සියයක් යනුවෙන් හෝ පැසුව ද එහි දී සිදු වී ඇත්තේ එක් දික්කසාදයක් පමණි. එක් දික්සාදයක් සිදු වූ පසු නියමිත කාල සීමාවක් තුළ භාර්යාව සමඟ එක් විය හැක්කේ කෙසේ ද නැතහොත් නියමිත කාල සීමාවක් අවසන් වූ පසු දෙදෙනා ම විවාහ කර ගත හැක්කේ කෙසේ ද එසේ දැනුත් සිදු කරගත හැකිය. මන්දයත් මුහම්මද් තුමාණන්ගේ කාලයේ එක් අවස්ථාවක දී තලාක් තුනක් කීම සලකනු ලැබුවේ එක් තලාකයක් ලෙස යැ”යි ඉබ්නු අබ්බාස් තුමා දැනුම් දෙයි. [සහීහ් මුස්ලිම් – පුවත් අංක 3746, 3747, 3748] එක ම අවස්ථාවක දී තලාක් තුනක් පවසා එය තලාක් තුනක් ම යැයි සලකනු ලැබීම මුහම්මද් තුමාණන්ට පසු කාලීනව ඇති කරන ලද වැරදි පිළිවෙතකි. මෙම ක්‍රමයෙන් දික්කසාද වන පිරිමියාට හා කාන්තාවට නැවත එක් වීමට ඇති මඟ වැසී යයි. මෙය පිරිමියාට මෙන්ම කාන්තාවට ඇතිවන අවාසි සහගත තත්වයකි. එම නිසා මෙම ක්‍රමයෙන් මුස්ලිම්වරුන් බැහැර විය යුතුය.

සාරාංශය

ඉස්ලාමීය දික්කසාද නීතිය කාන්තාවට අසාධාරණයන් සිදුකරනවා යයි පවසන සියළු දෙනා ඉස්ලාමීය දික්කසාද නීතිය පිලිබඳව බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුය. මෙලෙස මධ්‍යස්ථ ලෙස විමසා බැලුවේ නම්, ඉස්ලාමීය දික්කසාද නීතිය තුළ ඇත්තෙන්ම අසාධාරණයක් සිදු වන්නේ පිරිමි පාර්ශවයට බව සිතෙන තරමට ඉස්ලාමීය දික්කසාද නීතිය තුළ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා වී ඇති බව වටහා ගත හැක. සියළු කාරණා පිලිබදව පූර්ණ ඥානයක් ඇති අල්ලාහ් (දෙවියන්) ස්ත්‍රී හා පුරැෂ හැඟීම්, ඔවුන් සිතන පතන ආකාර, ශරීර ස්වභාවය, අවශ්‍යතාවයේ විශමතාවය, තීන්දු තීරණ ගැනීමේ ස්වභාවය වැනි කරුණුවල ඇති විවිධත්වය අවබෝධ කරගෙන ඉහත ආකාරයට නීතිරීති පැනවීම ඉස්ලාම් දිව්‍යමය දහමක් යන්න තවතවත් තහවුරු කරන්නකි. තවද ඉස්ලාමීය දික්කසාද නීතිය අනෙකුත් දික්කසාද නීති වලට වඩා අගය කළ යුතු නීතියක් බවත් ඉස්ලාමීය දික්කසාද නීතිය ඉතා ප්‍රයෝගික නීතියක් බවත්  මධ්‍යස්තව සිතන ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම වටහා ගත හැක. ඇතැම් බොරු සාක්ෂි, බොරු චෝදනා ඉදිරිපත් කරමින් අනෙක් පාර්ශවයට අසාධාරණයක් සිදු විය හැක. මෙය ඉස්ලාමීය නීතියට පමණක් සීමා වූ දෙයක් නොවේ. නමුත් ලෝක විනාශයෙන් පසු පැමිණෙන විනිශ්ච දිනයේදී මෙවන් මෙවන් බොරු සාක්ෂි හා බොරු චෝදනා පිළිබඳව අල්ලාහ් විභාග කරනු ඇත. එවිට අල්ලාහ්ට බොරු කිරීමට කාටත් නොහැක.

ඇතැම් රටවල ඉස්ලාමීය අධිකරණ තුළ ඉස්ලාමීය දික්කසාද නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන අවස්ථා ඇතැම් විට අපට දැක ගත හැක. මෙම වැරැද්ද නොකර සිටීම ඉස්ලාමීය අධිකරණයේ වගකීමකි. එම අධිකරණය නිවැරදිව කටයුතු කරනවාද නැද්ද යන්න සොයා බැලීම ලොව සිටින සියලු ඉස්ලාමීය විද්වතුන්ගේ වගකීමකි.

මෙම ලිපියේ ඉදිරිපත් වී ඇත්තේ දික්කසාද නීති රීති පිළිබඳව ඉස්ලාම් පවසන මූලික කරුණු වල විග්‍රහයක් පමණි. මෙම ලිපියේ සාකච්ඡා නොවූ විවිධ සංකීර්ණතා දික්කසාදයකදී හට ගත හැක. මෙම සියලුම අවස්ථා සඳහා ඉස්ලාමයේ විසඳුම් ඇත. එනිසා දික්කසාදයකදී ඊට අදාළ සියලු කරුණු කාරණා විමසා බලා නිවැරදි තීන්දුවක් ලබා දීම ඉස්ලාමීය විද්වතුන්ගෙන් සමන්විත ඉස්ලාමීය අධිකරණයේ වගකීමයි.

අවසාන වශයෙන් ඉස්ලාම් ප්‍රායෝගික වූත් සැමට ගැලපෙන්නා වූත් නීති මාලාවක් යන්නත්, දික්කසාදය එහි විශිෂ්ඨ සැලසුම් කරණයක් යන්නත් ප්‍රකාශ කරන විද්වත් අදහසකින් මෙම ලිපිය අවසන් කරන්නෙමු. එනම් විද්වතෙකු වන වෝල්ටේයාර් මහතා මෙසේ පවසයි. “ඉස්ලාමයට පෙර පැවැති යුගයේ පුරුෂයින් අසීමිත සංඛ්‍යාත්මක භාර්යාවන් සරණ පාවා ගෙන ස්ත්‍රීන් වහල් ජීවිතයක් ගත කළ විට, මුහම්මද් නබිතුමා විසින් කෙනෙකුට විවාහ විය හැකි භාර්යාවන් සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා සීමා කෙරුණි. ලෝකයේ  ඕනෑම යුගයක සිටි ආගමික, දේශපාලන හා සමාජ විද්වතුන් හා අධිකාරීන් විසින් සම්පාදනය කරනු ලැබූ නීති හා ප්‍රතිපත්තිවලට වඩා, එතුමන් විසින් විවාහය සහ දික්කසාදය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ නීති රීති ඉතා ශ්‍රේෂ්ඨ හා සම්පූර්ණ එකක් විය.”


මෙම ලිපිය සංකරණය කර ඇත්තේ මූලික වශයෙන් පහත මූලාශ්‍ර පදනම් කරගනිමින්ය.

  • P.J, දික්කසාදය : තලාක්- නීතිය යුක්ති සහගත ද? අල් කුර්ආන් විග්‍රහයන් (අංක 66), http://sinhalaquran.lk/
  • P.J, දික්කසාදයෙන් පසුව නඩත්තු ගෙවීමක් තිබේ ද? අල් කුර්ආන් විග්‍රහයන් (අංක 74), http://sinhalaquran.lk/
  • P.J, දික්කසාදයට සාක්ෂි දෙකක්. අල් කුර්ආන් විග්‍රහයන් (අංක 386), http://sinhalaquran.lk/
  • P.J, කාන්තාවන්ට ඉද්දා කුමට ද? අල් කුර්ආන් විග්‍රහයන් (අංක 69), http://sinhalaquran.lk/
  • P.J, ගර්භිණී කාන්තාවන්ගේ ඉද්දාව. අල් කුර්ආන් විග්‍රහයන් (අංක 360), http://sinhalaquran.lk/
  • P.J, ඉද්දා කාලයේ දී නිවසෙන් බැහැර නොවිය යුතුය. අල් කුර්ආන් විග්‍රහයන් (අංක 424), http://sinhalaquran.lk/
  • අබූ අර්ශද්, දික්කසාදය නීති පිලිබද විමසුමක් II, www.yahamaga.com
  • Shaykh Muhammad Saalih al-Munajjid, Divorce, https://islamqa.info/en/cat/358
  • Shaykh Muhammad Saalih al-Munajjid, Custody, https://islamqa.info/en/cat/359

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *