ක්වන්ටම් භෞතික විද්‍යාව නිර්මාණන්‍යාය අසත්‍ය කරනවාද?

“ආරම්භයක් ඇති ඕනෑම දෙයකට හේතුවක් තිබිය යුතුයි” යන ප්‍රත්‍යාස්තූපය විශ්වයේ ආරම්භයට හේතුවක් තිබිය යුතුයි යන නිගමනය සනාථ කරනවා. නමුත් මෙම “ආරම්භයක් ඇති ඕනෑම දෙයකට හේතුවක් තිබිය යුතුයි” යන ප්‍රත්‍යා ස්තූපය නිවැරදි නොවන බව ඇතැම් පුද්ගලයින් පවසනවා. මෙසේ පැවසීමට හේතුව ක්වන්ටම් රික්තකයක් තුළ කිසිම හේතුවක් නොමැතිව සිදුවන අණු පරමාණුක ක්‍රියාවන් පිළිබඳව නූතන විද්‍යාව නිරීක්ෂණ ඉදිරිපත් කිරීමයි. ඒ වගේම ශුන්‍යයකින් යමක් බිහිවිය හැකියි යැයි පැවසීමටද ක්වන්ටම් රික්තකය තුළ සිදුවන ක්‍රියාවන් උපකාර වන බව ඇතැම් අයගේ අදහසයි. මේ නිසා මේ පිළිබඳ හොඳ අවබෝධයක් අප තුළ තිබිය යුතුයි.

ශුන්‍යයකින් යමක් බිහිවිය හැකියි යැයි පැවසීමට ක්වන්ටම් රික්තකය තුළ සිදුවන සිදුවීම් ඇත්තෙන්ම සාක්ෂි දරනවාද?

නූතන දාර්ශනිකයෙකු වන විලියම් ලේන් ක්‍රෙයිග් ක්වන්ටම් රික්තකය තුළ සිදුවන ක්‍රියාවන් ගැන මෙසේ සඳහන් කරනවා:

A quantum mechanical vacuum spawning material particles is far from the ordinary idea of a “vacuum” (meaning nothing). Rather, a quantum vacuum is a sea of continually forming and dissolving particles, which borrow energy from the vacuum for their brief existence. This is not “nothing,” and hence, material particles do not come into being out of nothing. ක්වන්ටම් යාන්ත්‍රික රික්තකය තුළ පදාර්ථ හට ගැනීම සාමානය රික්තකයක් තුල (කිසිවක් නොමැති ශුන්‍ය තත්වයක) පදාර්ථ හටගන්නවාට වඩා ඉතාමත් වෙනස්. ක්වන්ටම් රික්තකය යනු නිරතුරුව පදාර්ථයන් ඇති වී විනාශ වී යන සාගරයකි. මෙහිදී පදාර්ථයන්ගේ තාවකාලික පැවැත්මට අවශ්‍ය ශක්තිය රික්තකයෙන් ලබා ගන්නවා. මෙම රික්තකය කිසිවක් නොමැති ශුන්‍යයක් නොවේ. එනම් පදාර්ථයන් ශුන්‍යයකින් බිහිවන්නේ නැහැ. [1]

මේ අනුව බැලීමේදී ක්වන්ටම් රික්තකය තුළ පදාර්ථයන් ඉබේම බිහි වන්නේ නැහැ. මෙහිදී සිදුවන්නේ ශක්තිය සැනකින් පදාර්ථ බවට පත්වන අතර නැවත පදාර්ථ ශක්තිය බවට සැනකින් පරිවර්තනය වීමයි. එනම් ශුනයකින් දෙයක් බිහිවිය හැකියි යැයි පැවසීමට ක්වන්ටම් රික්තකය තුළ සිදුවන ක්‍රියාවන් සාක්ෂි දරන්නේ නැහැ.

මෙනිසා බොහෝ විද්‍යාඥයින් ශුන්‍යකින් විශ්වය බිහි වුණා කියන වාදය පිළිගන්නේ නැහැ. ක්‍රිස්ටෝෆර් ජේ ඉශාම් නමැති විද්‍යාඥයා මෙසේ පවසනවා : “මෙම ආකෘතිය අසීරුතා රාශියක් ගෙන දෙන නිසා මෙය පිළිගැනෙන්නේ නැහැ” [2]. ඒ වගේම ශුන්‍යයකින් විශ්වය බිහි විය හැකියි යන වාදය යෝජනා කළ බ්‍රඋට්(Brout) හා ස්පින්ඩල් (Spindel) පවා මෙම වාදය අත්හැර දමා තිබෙනවා. [3]

දැන් අපි, “හේතුවක් නොමැතිව යමක් ආරම්භවිය හැකියි” යන ප්‍රකාශයට අවධානය යොමු කරමු.

මෙම තර්කයට ප්‍රති විරුද්ධ තර්ක කිහිපයක් අපට ඉදිරිපත් කරන්න පුළුවන්.

1. පළමුව, අනියතවාදය(indeterminism) ලෙස සැලකෙන “ඇතැම් සිදුවීම්(ක්‍රියාවන්) ඉබේම හේතුවක් නොමැතිව සිදු වුණා” යන මතය කිසිම ආකාරයෙන් සනාථ කරන්න බැහැ. ක්‍රියාවකට හේතුවක් සොයා ගැනීමට අපට නොහැකි වුන නිසාම එම ක්‍රියාවට හේතුවක් කිසිසේත්ම තිබිය නොහැකියි යැයි පවසන්න බැහැ. එසේ පැවසීම නිවැරදි ප්‍රකාශයක් නොවන බව බුද්ධිමත් කෙනෙකුට වටහා ගන්න පුළුවන්.

2. දෙවනුව, ක්වන්ටම් රික්තකය තුළ සිදුවන අණු පරමාණුක ක්‍රියාවන් පැහැදිලි කිරීම සඳහා භෞතික විද්‍යාඥයින් නියතිවාදි (deterministic) දෘෂ්ටිකෝණයක්ද හඳුන්වා දි තිබෙනවා.

නිදසුනක් ලෙස වර්ෂ 1950දි David Bohm නියතිවාදී ක්වන්ටම්වාදයක් ඉදිරිපත් කළ හැකි බව පෙන්වා දි තිබෙනවා[4]. David Bohmගේ මෙම වාදයට විවරණයක් ලෙස Polkinghorne නමැති විද්වතා මෙසේ ප්‍රකාශ කරනවා:

“In Bohm’s theory there are particles which are as unproblematically objective and deterministic in their behaviour as Sir Isaac Newton himself might have wished them to be. However, there is also a hidden wave, encoding information about the whole environment. It is not itself directly observable, but it influences in a subtle and highly sensitive manner the motions of the particles in just such a way as to induce the experimentally observed probabilistic effects.” (අයිසෙක් නිවුටන් බලාපොරොත්තු වූ අකාරයෙන්ම Bohm ගේ වාදයට අනුව පදාර්ථයන්ට ඇත්තේ කිසිම ගැටලුවකින් තොරවූ නිරපේක්ෂ හා නියතිවාදී හැසිරීමකි. කෙසේනමුත් සැඟවුණු තරංගයක්ද මෙහි තිබෙනවා. මෙම තරංග මුළු පරිසරයේම ඇති තොරතුරු කේතීකරණය කරනවා. මෙය ඍජුවම නිරීක්ෂණය කරන්න බැහැ. නමුත් පරීක්ෂණාත්මකව ගවේෂණය කළ සසම්භාවී ප්‍රතිඵලයන් මෙන් මෙම තරංග සියම් හා ඉතා සංවේදී අකාරයෙන් පදාර්ථයන්ගේ චලනය පාලනය කරනවා.)[5]

මේ අනුව පෙනී යන්නේ අනියතවාදී ලෙස පෙනන ක්වන්ටම් තත්වයේ ඇති වන සිදුවීම් සැඟවුණු තරංග යන දෘෂ්ටිකෝණයෙන් නියතවාදී ලෙස පැහැදිලි කල හැකි බවයි. කෙසේනමුත් ක්වන්ටම්වාදය පිළිබඳ මෙම දෘෂ්ටිකෝණයක් දෙකම ආනුභූතික වශයෙන් සමාන නිසා මෙම දෘෂ්ටිකෝණ දෙකෙන් එකක් තෝරාගැනීම විද්‍යාත්මක තීරණයක් විය නොහකි අතර එය පැහැදිලිවම අභිධර්මීය තීරණයකි (metaphysical decision). එනිසා “ආරම්භයක් ඇති ඕනෑම දෙයකට හේතුවක් තිබිය යුතුයි යන ප්‍රත්‍ය ස්තූපය වැරදි යන මතය” නිවැරදි නොවන බව පැවසීමට දාර්ශනික ප්‍රවේශයක් ගත යුතු වෙනවා.

දර්ශනවෙදයට අනුව හේතුඑල නියාමය ප්‍රාග්-අනුභූත දැනුමකි (a priori knowledge), එනම් කිසිම අත්දැකීමකින් තොරව අප සතුව තිබෙන දැනුමකි. මෙම හේතුඑල නියාමය නොමැතිව අපගේ නිරීක්ෂණ හා අත්දැකීම් තේරුම්ගැනීමේ හැකියාවක් අපගේ මනසට නැහැ. හේතුඵල නියාමය සත්‍ය බව අප දන්නේ අපගේ අත්දැකීම් තේරුම්ගැනීමට එය භාවිතා කරන නිසා මිස අපගේ අත්දැකීම් තුළින් හේතුඵල නියාමය තේරුම් ගන්න නිසා නොවේ. එනිසා ක්වන්ටම් රික්තකය තුළ කිසිම හේතුවක් නොමැතිව ක්‍රියාවන් සිදුවුණා යැයි පැවසීම අපගේ අත්දැකීම් ප්‍රතික්ෂේප කිරීම හා සමානයි.

මූලාශ්‍රයන්
[1] William Lane Craig, Cosmos and Creator, Origins & Design, Spring 1996, vol. 17, p. 20
[2] Christopher Isham, “Space, Time and Quantum Cosmology”, paper presented at the conference “God, Time and Modern Physics”, March 1990, Origins & Design, Spring 1996, vol. 17, p. 27
[3] R. Brout, Ph. Spindel, “Black Holes Dispute”, Nature, vol 337, 1989, p. 216
[4] D. Bohm and B. J. Hiley. The Undivided Universe. Routledge, 1993.
[5] John Polkinghorne. Science and Religion in Quest of Truth. SPCK. 2011, page 39

Leave a Reply

Your email address will not be published. Required fields are marked *