පරිණාමවාදය හා අතරමැදි ෆොසිල

අද සිටින විවිධ ජීවීන් දෙස බැලීමේදී අපගේ මනසට නැඟෙන ප්‍රශ්නය වනුයේ “මෙම ජෛව විවිධත්වය ඇති වූයේ කෙසේද?” යන්නයි. මෙයට හේතුව පරිණාමය බව ඇතැමුන් පවසනවා. මෙම පරිණාමවාදය පිළිබඳව අබබෝධයක් ලබා ගැනීමට “පරිණාමවාදයේ පරිණාමය හා අතරමං වීම!” නම් ලිපිය කියවන්න.

පරිසරයේ ජීවින් ජීවත් වන බවත් එම ජීවින්ගෙන් ඇතිවෙන පසු පරම්පරාවේ වෙනස් වූ ලක්ෂණ සහිත පැටවුන්(ජීවින්) ඇතිවන බවත් මෙම නව පරම්පාරාවෙන් පරිසරයට ගැලපෙන ලක්ෂණ සහිත ජීවින් ස්වභාවය විසින් තෝරාගනු ලබන බවත් (ස්වභාවික වරණය) පරිණාමවාදය අපට කියා දෙනවා. මෙම පරිණාමය ක්ෂුද්‍ර පරිණාමය (Micro Evolution) ලෙස හඳුන්වන්න පුළුවන්. විද්‍යාත්මක පරීක්ෂණ තුළින්ද ක්ෂුද්‍ර පරිණාමය ජෛව ලෝකයේ තිබෙන බව අපට වටහා ගන්න පුළුවන්. ක්ෂුද්‍ර පරිණාමය පදනම් කරගෙන ගොඩනැගු තවත් සංකල්පයක් වනුයේ මහා පරිණාමයයි. එනම් මිනිසා ඇතුළුව අද සිටින සෑම ජීවියෙකුම අද සිටින තත්වයට පැමිණ ඇත්තේ වසර ගණනාවකට පෙර සිටි ඒක සෛලික ජීවියෙකුගෙන් බව මහා පරිණාමවාදය පවසනවා. එනම් මෙම මුල් ඒක සෛලික ජීවියාගේ සිට අද සිටින මිනිසා දක්වා අනන්ත ප්‍රමාණයක්(අති විශාල ප්‍රමාණයක්) අතරමැදි ජීවී විශේෂ ජීවත් වී තිබෙන බව මහා පරිණාමයෙන් පැවසෙනවා. මෙම මහා පරිණාමය ඇත්තෙන්ම සිදු වෙනවාද යැයි විද්‍යාත්මකව පරික්ෂා කරන්න බැහැ.

මෙසේ මහා පරිණාමයක් සිදු වුණා නම්, ජීවීන්ගේ විවිධ සංක්‍රාන්ති අවස්ථා ඉතා විශාල ප්‍රමාණයක් තිබිය යුතුයි. මෙවන් සංක්‍රාන්ති අවස්ථා තිබුණ බව අප දැන ගන්නේ කෙසේද? මහා පරිණාමය පිළිගන්නා පිරිස් පවසන්නේ ෆොසිල වාර්තා වලින් මේ බව දැන ගත හැකි බවයි. නමුත් ඔවුන්ට තිබෙන එක් අභියෝගයක් වන්නේ මෙවන් සංක්‍රාන්ති අවස්ථාව ෆොසිල හමුනොවීමයි. මේ බව පරිණාමවාදයේ පියා යැයි සැලකෙන චාර්ස් ඩාවින් මෙසේ පවසනවා:

..කිමද, පරම්පරාවෙන් පැවතීගෙන එන යම් වර්ගයක් තවත් වර්ගයකින් ඉතා සියුම් ලෙස පරිණාමනය වන්නේනම් අපට ඒවා අතරතුර සංක්‍රාන්ති අවස්ථාවේ ජීවින් සැමතැනම අපිරිමිතව හමුවිය යුතුය. අපි අද දකින ව්‍යාකූලතාවයක් නොමැති නිශ්චිත රූපයක් සහිත සත්ව කුලයන් ඒ ඒ වර්ගයාට ආවේණික ලක්ෂණ සමඟ ඇත්තේ මන්ද?….එහෙත් මෙම වාදයට අනුව අනන්ත සංඛ්‍යවක් අතරමැදි අවස්ථාවේ සත්වයන් පැවතිය යුතුව ඇත. කෙසේ වෙතත් මේ මිහිතලය තුළ එවැනි පොසිල කිසිවක් හමුවී නොමැත…..පොළෝ තලයේ සෑම ස්ථරයකින්ම මෙවන් විශාල අතරමැදි අවස්ථා නොදකින්නේ මන්ද? ඇත්තෙන්ම කිසිම කැණීමකින් එවන් සම්බන්ධතාවයන් අනාවරණය කරගෙන නොමැත. ඇතැම්විට මෙය මගේ මේ වාදයට එල්ල විය හැකි බලවත්ම විරෝධතාවය විය හැකිය. [1]

කෙසේනමුත් මහා පරිණාමය සත්‍යයක් යැයි පිළිගන්නා ඇතැම් පරිණාමවාදීන් ජීවීන්ගේ සංක්‍රාන්ති අවස්ථා පිළිබිඹු කරන ෆොසිල වාර්තා තිබෙන බව පවසනවා. මෙය ඇත්තක්ද?

ආර්කියෝප්ටෙරික්ස් (Archaeopteryx)

archaeopteryxපරිණාමවාදීන් පවසන්නේ ආර්කියෝප්ටෙරික්ස් යනු උරහයෙකුගේ සිට පක්ෂියෙක් බවට සංක්‍රාන්ති වන අතරමැදි ජීවියෙකු බවයි. මෙයට හේතුව මෙම ෆොසිලයේ ඉන්න සත්තවයා  උරග ලක්ෂණ මෙන්ම පක්ෂියෙකුගේ ලක්ෂණයත්  පෙන්වීමයි. මෙම ජීවියා ජීවත් වී තිබෙන්නේ අවුරුදු මිලියන 140 කට පෙර ජුරාසික් අවධියේ බව විද්‍යාඥයන් පවසනවා. මෙම ජීවියාට පියාසර කළ නොහැකි බව විද්‍යාඥයින් කලින් පැවසුවා.

නමුත් වසර 1992 දී සොයාගත් ආර්කියෝප්ටෙරික්ස්ගේ හත් වන නිදර්ශකය අනුව මෙම ජීවියාට පියාසර කළ හැකි බවත් මෙම ලක්ෂණය පෙර සොයාගෙන නොතිබුණු බවත් නේචර් (Nature) සඟරාව පවසනවා[2].

ඒවගේම පාෂාණීය ධාතු විද්‍යාඥයෙකු වන කාර්ල්. ඕ. ඩන්බර් පවසන්නේ මෙම ජීවියා මනා ලෙස පියාසර කිරීමේ හැකියාව ඇති පක්ෂියෙක් බවයි[3].

2000 වසරේ චීනයෙන් සොයාගත් Longisquama ලෙස හැඳින්වෙන ෆොසිලය අපට කියා දෙන්නේ ආර්කියෝප්ටෙරික්ස් යනු සංක්‍රාන්ති අවස්තාව පිළිබිඹු කරන ජීවියෙකු නොවන බවයි.

Longisquama Longisquama යනු අවුරුදු මිලියන 220 කට පෙර ජීවත් වූ ආකාශ තරණ හැකියාවක් ඇති ජීවී විශේෂයක් බව විද්‍යාඥයින් පවසනවා. එනම් ආර්කියෝප්ටෙරික්ස්ට අවුරුදු මිලියන 75 කට කලින්ම ආකාශ තරණ හැකියාවක් තිබු ජීවීන් ජීවත් වූ බව අපට පහසුවෙන්ම අවබෝධ කරගන්න පුළුවන් [4].

මෙවන් හේතු නිසා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පාෂාණීය ධාතු විද්‍යාඥයන් දෙදෙනෙකු වන ස්ටීවන් ජේ ගොඋල්ඩ් හා නයිල්ස් එල්ඩ්රෙජ් පවසන්නේ ආර්කියෝප්ටෙරික්ස් යනු අතරමැදි අවස්තාවක් නොව විවිධ ලක්ෂණවලින් සමන්විත “මොසයික්” (mosaic) වර්ගේ ජීවියෙක් බවයි. [5]

ආර්කියෝප්ටෙරික්ස්මෙන් තවත් අතරමැදි අවස්ථා තිබෙන බව මහා පරිණාමය පිළිගන්නා ඇතැමුන් පවසනවා. මේ පිළිබඳව එකින් එක ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

ආර්කියෝප්ටෙරික්ස් යනු අතරමැදි අවස්තාවක් ලෙස කලකදී ඇතැම් අය විශ්වාස කළත් නව විද්‍යාත්මක ගවේෂණ තුළින් පෙර ස්ථාවරය බිඳ වැටී තිබෙනවා. මෙයට හේතුව “උද්ගමනය”(Induction) නම් ක්‍රමය තුළින් විද්‍යාත්මක ප්‍රකාශයන් ගොඩ නැගී තිබෙන නිසා විද්‍යාත්මක ප්‍රකාශයන් 100%ක් නිශ්චිත බව අපට පැවසිය නොහැකි වීමයි. මෙම ගැටලුව හඳුන්වන්නේ “උද්ගමනය පිලිබඳ ප්‍රශ්නය” (Problem of Induction) ලෙසයි.

එනම් මහා පරිණාමය සනාත කරන අතරමැදි අවස්ථා සඳහා ඉදිරිපත් කරන ෆොසිල සාක්ෂි, මහා පරිණාමයට සාක්ෂියක් නොවන බව ඉදිරියේදී විද්‍යාවට සොයාගැනීමට පුළුවන් වෙවී. ඒ වගේම මෙවන් සංක්‍රාන්ති අවස්ථා තිබෙන බව සනාථ කිරීමට ඇතැමුන් ව්‍යාජ උත්සාහයන්ද ගන්නා බවද නොරහසක්.

මූලාශ්‍රයන්

[1] Charles Darwin, The Origin of Species, pp. 172, 280

[2] Kevin Pedian, “Early Bird in Slow Motion,” Nature, 1 August 1996, p. 401.

[3] Carl O. Dunbar, Historical Geology, New York: John Wiley and Sons, 1961, p. 310.

[4] http://news.bbc.co.uk/2/hi/science/nature/802009.stm

[5] S.J. Gould & N. Eldredge, Paleobiology, Vol. 3, 1977, p. 147.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *