ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සමාජ ආධ්‍යාත්මික විප්ලවයේ නායකයාණන්ව හඳුනා ගනිමු

ප්‍රමාණාත්මක බවක් දැක්විය නොහැකි අති ශ්‍රේෂ්ඨ චරිතය, අසමසම පෞරුෂය, අති උත්තරීතර පරමාදර්ශය, කෙසේ නම් සීමිත භාවයක් ඇති අපගේ වදන් වලින් විස්තර කරන්නේද යන අභියෝගය අවබෝධ කර ගනිමින් මහා කාරුණික දෙවිඳුන්ගේ මඟ පෙන්වීම හා උපකාරය කෙරෙහි විශ්වාසය ඇතිව මෙම ලිපිය ආරම්භ කරමි.

තෝරා ගැනීමේ නිදහස මෙන්ම යහ අයහ කම් දෙකම උරුම වී සිටි මිනිසා ව යහමඟ තුළ ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිව මිනිසාගේ නිර්මාතෘ විසින් මිනිස් ඉතිහාසයේ වරින් වර මිනිසුන් අතුරින් තෝරා ගත් නියෝජිතයෙකු වෙත තම මඟ පෙන්වීමේ පණිවිඩය පහළ කොට මිනිසුන්ව යහ මඟට ආරාධනා කිරීමේ කටයුත්ත නිරන්තරව සිදුකරමින් තිබිණි. නුහ් ඉබ්‍රාහිම් ඩේවිඩ් (දාවුද්) මොසෙස්‌ (මුසා) ජේසුස්(ඊසා) යන නම් මේ අතුරින් කැපී පෙනෙන දෙවිඳුන්ගේ ධර්ම දුතයන්ය. එක් යුගයකට, එක් ජන සමාජයකට සීමාවූ මෙම ධර්ම දුත ක්‍රියාවලිය, ලොව අවසන් වනතුරු පවතින සෑම යුගයකටම මෙන්ම සෑම මිනිසෙකුටම එක සේ පිළිගත හැකි ආකාරයේ පණිවිඩයක අවශ්‍ය තාව මතුවෙමින් තිබිණි. මිහිතලය මත තම ජීවිතයේ මුලික හරය අවබෝධ කර නොගැනීමෙන් මිනිසා නන්නත්තාර වී යහමඟ නොපෙනෙන ඝන අඳුරක ඔහු මංමුළා වී සිටි යුගයක මෙම ආලෝකයේ අරුණෝදය දැනට ශත වර්ෂ 14 කට පෙර දිනක මක්කාහ් නගරයේදී බිහි විය.

මෙම සුවිශේෂී දරුවා බිහි වෙන්නට මාස කිහිපයකට පෙර ඔහුගේ පියා වූ අබ්දුල්ලාහ් මෙලොවින් සමු ගෙන තිබිණි. ඔහුගේ සීයා වූ අබ්දුල් මුත්තලීබ් විසින් මෙයට පෙර අරාබි සමාජයේ භාවිතයේ නොතිබූ ‘මුහම්මද්’ යන නම මෙම දරුවාට තබන ලදී. ‘මුහම්මද්’ යන්නෙහි සමීපතම සිංහල පරිවර්තනය ‘ප්‍රශංසාවට ලක් වූ පුද්ගලයා’ යන්නයි. අනාථ කම උපතින්ම උරුම කර ගෙන බිහි වූ මෙම දරුවා රැක බලා ගත්තේ එතුමාගේ සීයා වූ අබ්දුල් මුත්තලිබ් විසිනි. වයස අවුරුදු හය වන විය ආදරණීය මවද මෙලොවින් සමුගත්තාය. එතුමාගේ අට වන වියේදී රැක බලා ගත් සීයාගේද මෙලොව ජීවිතයේ අවසානය ඇති විය. ඉන් පසු එතුමාව රැක බලා ගත්තේ පියාගේ සහෝදරයෙකු වූ අබු තාලිබ් විසිනි. කිසි සම්මත අධ්‍යාපනයක් නොලැබූ එතුමා එඬේර කම හා සුළු ව්‍යාපාරයන්ට සම්බන්ධ වීම තමාගේ ජීවිතයේ චර්යාව බවට පත් කර ගත්තේය. උපතින්ම  අනාථකම උරුම කරගෙන බිහි වී ජීවිතයේ අන් කිසිවෙකු බොහෝ විට අත් නොවිඳි දුෂ්කරතාවන්ට මුහුණ දුන් එතුමා වර්තමාන ලෝක ජනගහනයෙන් බිලියන 1.8 ක නැතිනම් සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකුගේ පරමාදර්ශී චරිතය පමණක් නොව අසමසම ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ උතුම්ම මිනිසා බවට පත් වී තිබීම සැබැවින්ම අප සැමගේ විමසුමට ලක් විය යුතු කාරණයක් යන්න අපගේ නිහතමානී මතයයි. එතුමාගේ මෙම අද්විතීය ශ්‍රේෂ්ඨත්වයට හේතු විමසන ප්‍රංශ ජාතික ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයෙකුවූ ලාමාර්ටිනි 1854  දී ලියු “History of Turkey”  නම් ග්‍රන්ථයේ (2 කාණ්ඩය 276 – 277 පිටුව) පහත සඳහන් අයුරින් කරුණු දක්වා ඇත.

“මිනිස් හැකියාවන් වල ශ්‍රේෂ්ඨ බව මිනිය හැකි මිනුම් දණ්ඩ ලෙස :

  1. අරමුණේ විශාලත්වය
  2. ඒ සඳහා ඇති පහසුකම් වල අල්ප බව හා
  3. ලද ජයග්‍රහණයන් හි අති විශිෂ්ටත්වය

යනාදිය නම් මුහම්මද් හා ඉතිහාසයේ සසඳන්නට පොහොසත් විය හැක්කේ කව්රුන්ටද? ලොව සුප්‍රකට මිනිසුන් තැනුවේ අවි ආයුධ, නීතීන් හා අධිරාජ්‍යයන් පමණි. මුහම්මද් සලිත කළේ හමුදාවන්, නීතීන්, අධිරාජ්‍යයන්, ජනයින් හා කුලපතියන් පමණක් නොවේ. එවකට ලොව තුනෙන් කොටසක් වූ මිලියන සංඛ්‍යාත ජනයින්ද, අල්තාරයන්ද, දෙවිවරුන්ද, ආගම්ද, අදහස්ද, විශ්වාසයන් හා ආත්මයන්ද මුහම්මද් විසින් සොලවා දමන ලදී. තවද ජයග්‍රහණයේදී එතුමා පෙන් වූ චාම් බව, එකම පිවිතුරු අධිෂ්ඨානයක් සඳහා මිස රාජ්‍යයන් අත්පත් කර ගැනීම මුල් කර නොගත් එතුමාගේ කැපවීම, එතුමාගේ නිමක් නැති වන්දනය, දෙවිඳුන් සමග එතුමා කළ අධ්‍යාත්මික කථනයන්, මරණය හා මරණයෙන්ද එතුමා ලද ජය, මේ සියල්ල අපට දක්වන්නේ මුළාවක් නොව සකල මනුෂ්‍ය වර්ගයාටම යෝග්‍ය වූ නීති පද්ධතියක් ගොඩ නැගීමට එතුමාට සහාය වූ ශක්තියයි. එක් අතකින් දෙවිඳුන් කව්රුන්දැයි කියන අතර, කව්රුන් දෙවිඳුන් නොවන්නේද යන්නත් අපට එතුමා පවසයි. දාර්ශනිකයා, කථිකයා, දෙවිඳුන්ගේ නියෝජිතයා, නීති සම්පාදකයා, සටන්කාමියා, ප්‍රතිපත්තීන් ගොඩනැඟූ පුද්ගලයා, තර්කානුකුල සංකල්පයන් ස්ථාපිත කළ මිනිසා, පිළිම නැති දහමක් ඇති කළ නායකයා, රාජ්‍යයන් විස්සක් හා එක් ආධ්‍යාත්මික අධිරාජ්‍යයක් ගොඩ නැඟූ සෙන්පතියා, එතුමා නම් මුහම්මද් වේ. මිනිස් හැකියාවන් මිනිය හැකි සියලුම මිනුම් උපයෝගී කිරීමෙන් පසු මුහම්මද් ට වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් තවත් විසුවේ දැයි අපට නොබියව ඇසිය හැක. මුහම්මද් ආගමික ගුරුවරයෙක් විය, සමාජ ප්‍රතිසංස්කරණය කරන්නෙක් විය, යහපත් මඟ පෙන්වන්නෙක් විය, දක්ෂ පාලකයෙකු විය. එතුමා කුළුපග මිතුරෙකු, අගනා සගයෙකුද, හොඳ පියෙකු, ආදරවන්ත සැමියෙකු, යනාදී මෙම සියලු චරිත වල අති උත්තරීතර සම්මිශ්‍රණයක් විය. එතුමාගේ මෙම ගුණාංග වලින් එකක් හෝ මෙතරම් රමණීය ලෙස පිහිටි එකම පුද්ගලයෙකුවත් මුළු මිනිස් ඉතිහාසයේම නොමැති තරම්ය. මෙතරම් සුවිශාල ජයක් එතුමාට හිමි කර දුන්නේ එතුමා සතු ව තිබු අසීමිත පරාර්ථකාමී බවයි.”

මෙය ඉස්ලාමිකයෙකු නොවන ප්‍රංශ ජාතික ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයෙකු වූ ලාමාර්ටිනි 1854 දී ලියු “History of Turkey”  නම් ග්‍රන්ථයේ  එතුමා පිළිබඳව සඳහන් කර තිබූ ආකාරයයි. ශත වර්ෂ 14 කට පෙර වූ සිදුවීම් අප දැන ගන්නේ ඓතිහාසික ලේඛන මගිනි. ශ්‍රේෂ්ඨ චරිත වටා අතිශයෝක්තිය, සත්‍යයෙන් බැහැරවූ තොරතුරු ගොනු වීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බව අප බොහෝ විට දැක ඇති කරුණකි. නමුත් මුහම්මද් ධර්ම දුතයානන්ගේ (නබිවරයාගේ) ජීවිතයේ සියලු තොරතුරු ඉතා නිවැරදිව හා නිසියාකාරව ලේඛන ගත ව තිබීම අද දින අප කරණ මෙම සාකච්ඡාව වඩාත් අර්ථ ගැන්වීමට හේතු සාධක වී ඇත.

මුහම්මද් නබිතුමාගේ චරිතාපදානය සකස් කළ කිතුනු කන්‍යා සොයුරියක්ව සිටි ප්‍රසිද්ධ ලේඛිකාවක් වූ කැරන්  ආම්ස්ට්‍රෝන්ග් මෙනවියගේ (Muhammed – A Prophet for our Time) “මුහම්මද් – අපගේ යුගය සඳහා වූ නබි වරයෙක්” යන ග්‍රන්ථයේ ප්‍රස්තාවනාවට සපයා ඇති තොරතුරු වලින් බිඳක් ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

“මුහම්මද් නබි තුමාගේ ජීවිතය පිළිබඳව ලියු පළමු මුස්ලිම් ඉතිහාසඥයින් වන්නේ මුහම්මද් ඉබ්න් ඉෂාක් (ක්‍රි. ව. 767) මුහම්මද් ඉබ්න් උමර් අල් වකීදී (ක්‍රි. ව. 820) මුහම්මද් ඉබ්න් සාද් (ක්‍රි. ව. 845) සහ අබු ජරීර් අල් තබාරී (ක්‍රි. ව. 923) යන අයය. මෙම ඉතිහාසඥයින් තමන්ගේ මතකයන් හා හැඟීම් මත පමණක් විශ්වාසය නොතබා සැබෑ ඵෙතිහාසික පුනර්නිර්මාණයක නියැලුණහ. ආරම්භක වකවානුව ට අයත් ලේඛන හා වාචික සාක්ෂි එහි මුලාශ්‍රයන් දක්වා විමසා නිවැරදි ලෙස සොයා බලා කරුණු අන්තර්ගත කළහ. මුහම්මද් තුමා කෙරෙහි දෙවිඳුන්ගේ නබි වරයා වශයෙන් ඔවුන්ගේ සිත් තුළ අති විශාල ගෞරවයක් තිබුණද, තමන්ගේ ලේඛන සහමුලින්ම විවේචනයෙන් තොර වුවක් නොවීය. ඔවුන්ගේ මෙම අවංක උත්සාහය නිසා ලොව අනිකුත් ප්‍රධාන ආගම් කර්තෘ වරුන් සම්බන්ධ ව ඇති තොරතුරු වලට වඩා නිවැරදි තොරතුරු මුහම්මද් තුමා සම්බන්ධයෙන් අපි දන්නෙමු. මෙම ආරම්භක මුලාශ්‍රයන් ඕනෑම අයෙකුට මුහම්මද් තුමා පිළිබඳව චරිතාපදානයක් ලිවීමේදී කිසිසේත්ම නොසලකා හැරිය නොහැක” (14 වන පිටුව)

කැරන්  ආම්ස්ට්‍රෝන්ග් මෙනවිය මෙයින් දන්වා සිටින්නේ නුතනයේ මුහම්මද් තුමා සම්බන්ධව ඇති තොරතුරු ආරම්භක කාලයේ සිටම නිවැරදිව ලේඛන ගත කොට සුරක්ෂිතව පවතින බවය. කිසිවෙකුගේ මනඃකල්පිතයන්ට මෙහි කිසිසේත්ම ඉඩක් නොමැති බව ඇය සාක්ෂි දරන්නීය. මෙවන් තත්වයක් අනෙකුත් ආගමික නායකයින් සමබන්ධව නොමැති බවද ඇය අදහස් ඉදිරිපත් කරන්නීය.

මෙවන් තත්වයක් තුළ මුහම්මද් තුමා ඉපදුන යුගයේ එම සමාජයේ ස්වභාවය පිළිබඳව තොරතුරු අල්පයක් විමසා බැලීම වැදගත් යැයි සිතන්නෙමු. ගෝත්‍රික සමාජයක්වූ එහි ගෝත්‍ර අතරේ ඉතා සුළු සිදුවීම් ජීවිත රාශියකගේ විනාශයට හේතු වන වර්ෂ ගණනාවකට ඇදීයන ගෝත්‍රික ගැටුම් බවට පත්වීම, ගැහැනු දරුවන් පණපිටින් වළලා දැමීම, දුප්පතුන්ව හා ගෝත්‍රයන්ට සම්බන්ධ නොවුවන්ව අසීමිත ලෙස දුෂ්කරතාවන්ට පත් කිරීම, සුරාව, ලිංගික අපචාරය, අසීමිත ස්ත්‍රීන් සංඛ්‍යාවක් විවාහ කර ගැනීම, වැනි භයානක සමාජ දුරාචාරයන්ගෙන් පිරුණු එකක් විය.

මෙම තත්වය ඉතා තියුණු ආකාරයකින් විස්තර කරන අයුරු ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු එඩ්වඩ් ගිබන් (Edward Gibbon) විසින් වෙළුම් අටකින් ලියන ලද (Decline and Fall of the Roman Empire) එනම් “රෝම අධිරාජ්‍යයේ වැටීම හා විනාශය” යන අරුත ඇති ග්‍රන්ථයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“කිසිදු මිනිස් ලක්ෂණයන්ගෙන් නොයුක්තවු මෙම මිනිස් තිරිසනුන් හා අනිකුත් සත්ව ලෝකයේ සාමාජිකයින් අතරේ පැවතියේ ඉතාමත් අල්ප වෙනස් කමකි. එම යුගයේ ජීවත් වු මිනිසා හා තිරිසනා අතරේ කිසිදු වෙනස් කමක් දැකිය නොහැකි ආකාරයෙන් ජිවත් වු මෙම මිනිස් පරපුර සැබැවින්ම මිනිස් වෙස් ගත් තිරිසන් පිරිසක් පමණකි.”

මෙවන් වූ මිනිස් සමාජයක් එලෙස අතහැර දැමීම දෙවිඳුන්ගේ සැලැස්ම නොවන බව ඉන් පසු ඇති වූ සිදුවීම් වලින් මනාව ඔප්පු වෙයි. අල් කුර්ආනය පහළ වීමට පෙර තිබු සමාජ යථාර්තයයි ඉහතින් විස්තර කරනු ලැබුවේ. අල් කුර්ආනය පහළ වීමෙන් පසු එනම් මුහම්මද් තුමාව දෙවිඳුන්ගේ අවසාන පණිවිඩය මිනිස් වර්ගයා වෙත දැන්වීමේ ධර්ම දුතයා  ලෙස පත් කොට එමගින් සිදු වූ සමාජ විප්ලවය තවත් ඉතා ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු ස්කොට්ලන්ත ජාතික තෝමස් කාලයිල් (Thomas Carlyle) විසින් On Heroes, Hero-Worship, and The Heroic in History නමින් පොතක් පළ කරමින් අල් කුර්ආනය පහළ විමෙන් පසු ඒ අනුව ජිවත් වු ජනයාගේ ස්වභාවය විග්‍රහ කරන කොටස එම පොතෙන්  උපුටා දක්වන්නට කැමැත්තෙමු.

 “ඉතා පහත් ම්ලේච්ඡ තත්වයේ සිට මුළු මහත් මිනිස් වර්ගයාටම අන්ධකාරයේ සිට ආලෝකයට එන මඟ එළි පෙහෙළි කළ සහ උසස් දැනුමේ භාරකාරයින් බවට මුහම්මද් විසින් මේ ජනයාව පත් කරවන ලදී. ලොව බිහිවු දා සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවී කාන්තාරයේ තැන් තැන්වල තාවකාලිකව ජීවත් වෙමින් සිටි දුගී එඬේර ජන සමාජය ඉතා කෙටි කාලයක් තුළ ලොව සැමගේ අවධානය දිනාගන්නට සමත් වූ අතර  ලොව ශ්‍රේෂ්ඨ ජන සමාජයක් ලෙසත් ගෞරවය ලබන්නටද සුදුසුකම් උරුම කර ගත්තේය.”

මිනිස් ඉතිහාසයේ සිදු වූ උසස්ම සමාජ විප්ලවය සඳහා මුල් වූ මෙම ශ්‍රේෂ්ඨ නායකයා පිලිබඳ විස්තර දෙස අපගේ අවධානය දැන් යොමු කරමු.

තමා ජීවත් වූ සමාජයේ පැවති සමාජ දුරාචාරයන්, මිනිසාගේ ජීවිතයේ හරය, ආදී කරුණු පිළිබඳව තම චින්තනය නිරන්තරයෙන් යොමු කරමින් සිටි මුහම්මද් තුමා හිරා ගුහාවේ තනිව වාඩි වී මෙනෙහි කරමින් ධ්‍යානගතව කල් ගෙවන්නට පුරුදු වී සිටියේය.

එතුමාණන් අසරණයින්ට පිහිට වීමට උත්සුක වූ තරුණ පිරිස් හා බැඳුනු අතර තරුණ අවධියේ පටන් එතුමා විදහා දැක් වූ ශ්‍රේෂ්ඨ ගුණාංග හේතුවෙන් එම සමාජය විසින් “අල් අමීන් – විශ්වාස වන්තයා” හා “අස් සිද්දීක් – සත්‍ය වන්තයා” යන ගෞරවනීය නාමයන්ගෙන් එතුමාණන්ව ඇමතීමට ඉදිරිපත් වුහ. එතුමා විසි පස් වන වියේදී කදීජා නම් ධනවත් වැන්දඹු කාන්තාවකගේ වෙළෙඳ කටයුතු වල නිරත වුණු අතර එතුමාගේ අවංකත්වය හා ශ්‍රේෂ්ඨ ගති ගුණ කෙරෙහි පැහැදුණු ඇය එතුමා හා විවාහ වීමට යෝජනා කළාය. ඔවුන් අතර වැඩි වයස් පරතරයක් තිබුණද වඩාත් සතුටින් වසර විසි පහක පවුල් ජීවිතයක් ගෙවූ ඔවුනට දරුවන් හය දෙනෙක් සිටියහ. එතුමාණන් වගකීම් සහිතව ක්‍රියා කළ කරුණාභරිත ස්වාමියෙක් හා පියෙකු වූ අතර එතුමාණන්ගේ පවුලේ අයද එතුමා වෙනුවෙන් බොහෝ කැප වී සිටියහ. ස්වේඡාවෙන්ම දිළිඳුකම ප්‍රිය කළද, තම වගකීම් නිසි ලෙස ඉටු කරමින් සිය පවුල හොඳින් රැක බලා ගත්තේය. “නුඹලා අතුරින් ශ්‍රේෂ්ඨ පුද්ගලයා වන්නේ තම පවුලට ශ්‍රේෂ්ඨ වූ පුද්ගලයා” යැයි එතුමා ප්‍රකාශ කළේය.

මුහම්මද් නබි තුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) වෙත තම වයස අවුරුදු හතළිහේදී ප්‍රථම වරට ජිබ්රීල් නම් දේව දුතයාගේ (මලක් වරයාගේ) මාර්ගයෙන් දෙවිඳුන්ගේ පළමු දේව පණිවිඩය පහළ කරන ලදී. වසර විසි තුනක් මුළුල්ලේ පහළ වුණු එම දේව පාඨයන් තුළ අල්ලාහ් ගේ ඒකීය භාවය, පෙර සිටි ධර්ම දුතයින් හා එම ජන සමුහයන් පිළිබඳ විස්තර, ආචාර ධර්ම, මෙලොව හා මතුලොව ජය ගැනීම සඳහා වූ මඟ පෙන්වීම්, ජීවිතයේ හා මරණයේ අර්ථයන්, යනාදී කරුණු අඩංගුය. මෙම දේව පාඨයන් අල්-කුර්ආනය නමින් හැඳින් වේ. මෙහි අන්තර්ගතය දෙවිඳුන්ගේ ශුද්ධ වූ වදන් වන අතර, මුස්ලිම් මෙන්ම මුස්ලිම් නොවන විද්වතුන්ගේ මතය වන්නේ අතරමැදි කාලයේදී වෙනස් කිරීම්, අඩු වැඩි කිරීම් යනාදියට භාජනය නොවී ශත වර්ෂ දාහතරක් එලෙසම සුරක්ෂිතව ඇති එකම ග්‍රන්ථය අල්-කුර්ආනය පමණක් බවයි. මෙයට ඇති  ප්‍රධානතම සාක්ෂිය වන්නේ මුහම්මද් නබිතුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) ගේ ජීවිත කාලය තුළ සකස් කළ පිටපත් අදටත් සුරක්ෂිතව තිබීමයි. මුහම්මද් නබිතුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) ගේ අනුමැතිය ලද මෙන්ම කළ ක්‍රියාවන් හා වදන් ඇතුළත් “සුන්නා” නමින් හැඳින් වෙන දෙවන මුලාශ්‍රය අල්-කුර්ආනයට අමතරව වෙනමම එක්රැස් කොට විද්වතුන්ගේ අනුමැතිය සහිතව සුරක්ෂිත කොට ඇත.

ඒක දේව වාදය හා සමාජ ප්‍රතිසංස්කරණය උදෙසා එතුමා කළ ඇරයුම මක්කා වාසී කුරෛෂ් වරුන්ගේ දැඩි විරෝධයට ලක් වූ අතර එතුමාගේ දේශනයන් පිළි ගත් දුබල, දිළිඳු බහුතරයට අනේක විධ වද හිංසාවන්ට මුහුණ පෑමට සිදු විය. ඉස්ලාමයට එරෙහි වූ මක්කාහ් වාසීන්ගේ සියලු තාඩන පීඩන විඳ දරා ගනිමින් මෙම නව ඉස්ලාමීය සමාජය ශීඝ්‍රයෙන් වර්ධනය වන්නට විය. කුරෛෂ් නායකයින් තමන්ගේ බලය යෙදවීමෙන් ඉස්ලාමයේ වර්ධනය වළක්වන්නට නොහැකි බව අවබෝධ කරගෙන මුහම්මද් තුමා සමග සම්මුතියකට එළඹෙන්නට සාකච්ඡා කළහ. ඔවුන්ගේ පළමු යෝජනාව වුයේ එක් වර්ෂයකට ඔවුන්ගේ බහුදේව වාදී වන්දනයට සියල්ල සහභාගී වියයුතු අතර අනෙක් වර්ෂයේ ඉස්ලාමීය පිළිවෙත අනුගමනය කරමින් සියල්ල කටයුතු කළ යුතු බවය. මෙයට පිළිතුරු වශයෙන් දෙවිඳුන් අල් කුර්ආනයේ 109 වැනි පරිච්ඡේදය පහළ කරමින් එය ප්‍රතික්ෂේප කරන්නට උපදෙස් ලබා දුන්නේය. මෙය අසාර්ථක වූ පසු සම්මුතියකට එළඹීම සඳහා කුරෛෂ් නායකයින් ඉදිරිපත් කළ යෝජනාව වුයේ මුහම්මද් තුමා මෙම ප්‍රචාර මගින් අපේක්ෂා කරන්නේ අරාබි වරුන්ගේ රජු බවට පත් වීමට නම් එය ඔවුන් කැමැත්තෙන් ප්‍රදානය කරන්නට සුදානමින් සිටින බවය. එසේත් නොමැති නම් ධනය රැස් කර ගැනීම අපේක්ෂාව වුයේ නම් මුළු අරාබි කරයේ සියලු සම්පත් එතුමාගේ දෙපා අභියස ගෙනත් තබන්නට ඔවුන් කැමැති බවය. ඔවුන්ගේ මීළඟ යෝජනාව වුයේ මෙම ප්‍රචාර මගින් අපේක්ෂා කරන්නේ අති රූමත් ස්ත්‍රීන්ගෙන් සැදුම් ලත් අන්තඃපුරයක් සාදා ගැනීම නම් සියලු රූමත් ස්ත්‍රීන් එම අන්තඃපුරයට ගෙනැවිත් දෙන්නට ඔවුහු පොරොන්දු වුහ. ඔවුන්ගේ එකම කොන්දේසිය වුයේ ඉස්ලාමීය ප්‍රචාරය වහාම නැවැත්විය යුතු බව පමණි. එනම් ඉස්ලාමීය ප්‍රචාරය නවත්වන්නේ නම් මුහම්මද් තුමාට මුළු අරාබි කරයේ රජු වීමටත් එහි සියලු සම්පත් වල උරුමක්කාරයා බවට පත් වන්නටත් අලංකාර ස්ත්‍රීන්ගෙන් සැදුම් ලත් අන්තඃපුරයක් උරුම කර ගන්නටත් මාර්ගය විවෘත ව තිබිණි. එතුමාගේ දැඩි ස්ථාවරය වුයේ හිරු තම එක් අතකත් සඳු තම අනිත් අතෙහිත් ගෙන තැබුවත් ඉස්ලාමීය ප්‍රචාරය නොනවත්වන බවය. මේ කිසිම මඟකින් ඉස්ලාමීය ප්‍රචාරය නවත්වන්නට නොහැකි වූ බහු දේව වාදී කුරෛෂ් නායකයින් ඉස්ලාමිකයින් සම්බන්ධව ආර්ථික හා සමාජ සම්බාධක පනවන්නට තීරණය කළහ. අවුරුදු තුනක් පමණ මෙම සම්බාධක හේතුවෙන් අන්ත අසරණ තත්වයට පත් වූ ඉස්ලාමිකයින් දැඩි අධිෂ්ඨානයකින් යුක්තව තමා තෝරා ගත් නිවැරදි මාර්ගයේ සියලු පීඩාවන් හා ගැහැට විඳ දරාගනිමින් සිටියහ. මෙම ක්‍රියාවෙන්ද ඉස්ලාමිකයින්ව දුර්වල කරන්නට නොහැකි වූ කුරෛෂ් නායකයින් මුහම්මද් තුමාව අවසානයේදී මරා දමන්නට  තීරණය කළහ.

මෙම සිදුවීම් අතර තුර තවත් වැදගත් කරුණු කිහිපයක්ද සිදු විය. එම සමාජයේ ජීවත් වූ උමර් තුමා ඉස්ලාමය වැලඳ ගන්නට පෙර කුරෛෂ් නායකයින් අතර ඉතා බලගතු අයෙකු විය. දිනක් ඉතා තද බල ලෙස කෝප වූ උමර් තුමා මුහම්මද් තුමාව මරා දමන්නට අවියකුත් අතැති ව මුහම්මද් තුමා සිටින තැන සොයමින් මහමඟ යමින් සිටියදී අතර මඟ උමර් තුමාගේ මිතුරෙකු වූ නුඅඉම් බින් අබ්දල්ලාහ් හමු විය. උමර් ගේ කෝපාවිෂ්ට වූ මුහුණ දුටු නුඅඉම් බින් අබ්දල්ලාහ් බියපත් ව උමර්තුමාගෙන් හදිසියේ යන්නේ කොහේදැයි විමසු විට ඔහු පැවසුවේ අලුත් දහමක් ගෙනැවිත් කුරෛෂ් වරුන්ව භේද කළ මුහම්මද් ව අද දින අනිවාර්යයෙන්ම මරා දැමීමේ කටයුත්තට යන බවයි. නුඅඉම් බින් අබ්දල්ලාහ් එවිට උමර් තුමාට පැවැසුවේ මුහම්මද් ව මරා දමන්නට ප්‍රථම උමර්ගේ පවුලේ උදවිය ගැන සොයා බලන ලෙසය. තමන්ගේ සොහොයුරිය ඉස්ලාමය වැලඳ ගත් බව දැන ගත් උමර් තුමා නබි තුමානන්ව මරා දැමීමේ අදහස නවතා තම සොහොයුරියගේ නිවස බලා පිටත් වුයේය. තම නිවසේ අල් කුර්ආනයේ 20 වන පරිච්චේදය කියවමින් සිටි උමර් තුමාගේ සොයුරිය වූ ෆාතිමා හා මස්සිනා වූ කබ්බාබ් බින් අර්රාත් ට තම නිවසේ දොරට තට්ටු කරමින් සිටින්නා වූ අයෙකුගේ හඬ ඇසීමෙන් මස්සිනා ගේ තුළ සැඟවුණු අතර කුරානයේ කොටසද සඟවා ගත්හ. ගෙට ඇතුළු වූ උමර් තුමා තම සොයුරියගෙන් ඔවුන් කියවමින් සිටියේ කුමක්ද කියා විමසමින් ඇයට තද බල ලෙස පහර දෙන්නට විය. සොයුරියගේ මුහුණින් ලේ ගලන බව දුටු උමර් තුමාගේ කෝපය බොහෝ දුරට සංසිඳී ගියේය. ඉන් පසු නැවත ඔවුන් කියවමින් සිටි දෑ ඉල්ලු විට සොයුරියගේ පිළිතුර වුයේ ඔබ අපිරිසිදු තත්වයේ පසු වන නිසා එය ඔහුගේ අතට දීමට නොහැකි බවයි. පිරිසිදු වී ඇවිත් කුරානයේ කොටස කිය වූ උමර් තුමාගේ සිතුවිලි සහමුලින්ම වෙනස් වන්නට විය. මෙය කොහෙත්ම මනුෂ්‍ය චින්තනයේ නිර්මාණයක් නොවන බව අවබෝධ කර ගත් උමර් තුමා තමාව නබිතුමාණන් සිටින තැනට ගෙන යන ලෙස ඉල්ලා සිටියේය. නබි තුමානන්ව හමු වූ උමර් තුමා ඉස්ලාමය වැළඳ ගත් අතර තම මුළු ජීවිත කාලයම කැප කලේ දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසාය. උමර් තුමා ඉස්ලාමය වැලඳ ගැනීමත් සමග ඉස්ලාමිකයින්ට ප්‍රබල ශක්තියක් ඇති විය.

වසර දහතුනක් වැනි දීර්ඝ කාලයක් මක්කා වැසියන්ගේ දැඩි තාඩන පීඩනයන්ට මුහුණ දෙමින් කටයුතු කිරීමෙන් අනතුරුව එතුමාට හා මුස්ලිම් වරුන්ට මදීනා නගරයට  දෙශාන්තරණය කිරීමට දෙවිඳුන්ගේ අනුමැතිය ලැබිණ. මදීනා නගරය කි.මී. 450 ක් පමණ දුරකින් පිහිටි අතර පරම්පරා ගණනාවක් ගෝත්‍ර අතර පැවති ගැටුම් හේතුවෙන් විසිරී හා භේද වී ගිය ජන කොටස් ජීවත් වූ ප්‍රදේශයකි. මුහම්මද් නබි තුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) ඔවුනතර සමගියට මඟ පාදා දුන් අතර ඒ තුළින් සමාජ සහෝදරත්වය ගොඩ නැඟුවේය. මිනිස් ඉතිහාසයේ ලේඛන ගත පළමු රාජ්‍ය ව්‍යවස්ථාව හා මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ව වූ ලේඛනය, එනම් “මදීනා ප්‍රඥාප්තිය” සකස් කොට එමගින් එම නගරයේ ජීවත් වූ යුදෙව්, කිතුනු, ඉස්ලාමීය, හා අනෙකුත් ජනකොටස් වල ආගමික, සංස්කෘතික, ආර්ථික, දේශපාලන, හා සමාජ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට වගකීම් භාර ගත්තේය. එම ජනයා එතුමාගේ සෘජු මැදිහත්වීම හා නායකත්වය යටතේ එම වටිනා නීති රීති ක්‍රියාවට නැංවුහ.

“කිසිවෙක් තමන් ප්‍රිය කරන දෙය තම සොයුරාටද ප්‍රිය කරන තුරු ඔහු සැබෑ විශ්වාස වන්තයෙකු නොවේ” යැයි එතුමාණන් පැවසුහ. දහම තම පෞද්ගලික විශ්වාසය පමණක් නොව ජීවන මාර්ගයද කර ගත් එතුමාගේ නායකත්වය යටතේ මදීනා නගරය වැජඹෙන්නට විය. සාධාරණත්වය, යුක්තිය, මිනිසත්කම දේව භක්තිය ඇතුළු සියලුම අංශ වලින් පරිපුර්ණ වූ පරිපාලන ක්‍රමය සැමටම ආදර්ශයක් විය. එතුමා අසල්වැසි රටවල් හා ගෝත්‍ර සමග විවිධ ගිවිසුම් ඇති කර ගත්තේය. එතුමා පර්සියානු, ඊජිප්තු, අබිසීනියානු හා රෝමානු පාලකයින්ට තම පණිවිඩය වූ ඒක දේවත්වය සඳහා කැඳවමින් ඉස්ලාමය වෙත ඇරයුම් කරමින් ලිපි යැව්වේය. ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවන්, ළමුන්, අනාථයින්, වහලුන් හා විදේශිකයින්ට නිසි අයිතිවාසිකම් හා ආරක්ෂාව ලැබිණ. ජාතිවාදයට විරුද්ධත්වය පෙන් වූ එතුමාණන් ධර්මිෂ්ඨ බව හැර අරාබි ජාතිකයින්, අරාබි ජාතිකයින් නොවන අයට වඩා උසස් වන්නේ නැති බවත් පැවසුවේය.

ඉස්ලාමීය ඉගැන්වීම් පිළිගැනීමත් සමගම නබි තුමාණන්ගේ නායකත්වයෙන් සිදු වූ එක් ප්‍රධානතම සමාජ පෙරැළියක් වුයේ පැරණි ගෝත්‍ර සමාජ ක්‍රමය සහමුලින්ම වාගේ බිඳ වැටී ගොස් බිය බැතිමත්කමින්, අවංකකමින්, හා සහෝදරත්වයෙන් බැඳුනු ‘උම්මතය’ යනුවෙන් හැඳින් වෙන ප්‍රජාවක් බිහි වීමයි. මෙම ප්‍රජාවෙහි පැරණි ගෝත්‍රිය උස් පහත්කම්, ප්‍රබල දුබල වෙනස්කම්, කුලවාදය, වර්ණවාදය, ප්‍රදේශවාදය, ආදී මිනිසා දුරස්ථ කළ සියලු සාධක සහමුලින්ම පාහේ ඉවත් කොට, මිනිස්කම, බිය බැතිමත් භාවය, හා සහෝදරත්වය පදනම් කර ගත් උම්මතය නමින් වූ මෙම සදාචාර සම්පන්න එක්සත් මිනිස් පරපුර ආදර්ශයට ගනිමින් අදත් විශ්ව මුස්ලිම් ප්‍රජාව දැඩි සහෝදරත්වයකින් බැඳී සිටිති.

ගැහැනු දරුවන් ව පණපිටින් වළලා දැමු, එමෙන්ම ස්ත්‍රියව ලිංගික භාණ්ඩයක් ලෙස සැලකු පුර්ව ඉස්ලාමීය අරාබි සමාජය, ඉස්ලාමීය ඉගැන්වීම් සමග නබි තුමාණන්ගේ නායකත්වයෙන් හා මඟ පෙන්වීමෙන් කාන්තාවට සමාජයේ ගෞරවනීය ස්ථානයක් ලබා දුන්නේය. ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව තමාගේ සියලු දරුවන්ට සමාන ලෙස ආදරය දක්වන ලෙස නබි තුමාණන් උපදෙස් දුන්නේය. ගැහැනු දරුවන් පණපිටින් වළලා දැමු සමාජය වෙත, තමාගේ ගැහැනු දරුවන් දෙදෙනෙකුව ආගමානුකුලව, සදාචාර සම්පන්නව හදා වඩා යහ අයුරින් විවාහ කර දුන්නේ නම් ස්වර්ගයේ භාග්‍යය ලැබීමට මෙය හේතු වන බව දේශනා කළේය. දේපළ අයිතිය හා දේපළ ආවේණිකව උරුම කර ගැනීමේ අයිතිය ස්ත්‍රීන්ට ලබා දුන්නේය. දැනුම ලබා ගැනීම එනම් අධ්‍යාපනය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම වගකීම බවට පත් කළේය. බිරියගේ ධනය ඇගේ අනුමැතියෙන් තොරව පවුලේ නඩත්තුව සඳහා වියදම් කිරීම තහනම් කළේය. පවුලේ වගකීම සහමුලින්ම පුරුෂයා වෙත පවරා ඇයට පරිපුර්ණ ආර්ථික නිදහස සහතික කළේය. ගැහැනු දරුවෙකුව ඇගේ කැමැත්ත හා අනුමැතියෙන් තොරව විවාහ කර දීම තහනම් කළේය. විවාහය මෙන්ම දික්කසාදය පිළිබඳවද ඇයට පුර්ණ අයිතිවාසිකම් ලබා දෙන ලදී. පුරුෂාධිපත්‍යය පැවති සමාජයේ, මාතෘත්වයට උපරිම ශ්‍රේෂ්ඨත්වය ලබා දුන්නේය. තමාට වඩාත් සමීප සම්බන්ධතාවක් පවත්වා ගැනීමට වඩාත්ම සුදුස්සා කව්රුන්දැ’යි විමසු විට තෙවරක්ම පවසා සිටියේ එයට වඩාත්ම සුදුසු තමාගේ මව බවය. හතර වන වතාවට විමසු විටයි තමාගේ පියා බව පවසා සිටියේ. මෙයින් පියාගේ වැදගත්කම හෑල්ලුවට ලක් කිරීමක් සිදු කිරීම අපේක්ෂාව නොවන අතර මවගේ වැදගත්කම හා ගෞරවය ඉස්මතු කර පෙන්වීම බව අප අදහස් කර ගත යුතු වන්නේය. දෙවිඳුන්ගේ තෘප්තිය පියාගේ තෘප්තිය මත රැඳී ඇතැයි පැහැදිලිවම වරක එතුමාණන් ප්‍රකාශ කර සිටියේය.

කුඩා දරුවන් සම්බන්ධව එතුමාණන් කටයුතු කළ ආකාරය අප සැමට ඉතා අලංකාර පුර්වාදර්ශයක්ව පවතී. දිනක් ගමනක් යමින් සිටි නබි තුමානන්ට තම සුරතල් කුරුල්ලා මිය යෑම හේතුවෙන් දුකට පත් වී සිටි දරුවෙකු දකින්නට හැකි විය. එතුමාණන් තම ගමන නවතා මෙම දරුවාගේ දුක ඉවත් කොට ඔහු ව සතුටට පත් කිරීමට කාලය මිඩංගු කරමින් කටයුතු කළේය. වැඩිහිටියන්ට ගෞරව නොකරන්නාත් කුඩා දරුවන්ට ආදරය නොකරන්නාත් තමන්ගේ පිළිවෙතට සම්බන්ධ නොවූවන් බව එතුමාණන් ප්‍රකාශ කර සිටියේය. මෙයට පෙර සඳහන් කළාක් මෙන් තමන්ගේ සියලු දරුවන්ට කිසිම වෙනස්කමකින් තොරව සමසේ ආදරය කරන ලෙස දෙමව්පියන්ට උපදෙස් දුන්නේය.

වහල් වෙළඳාම, වහල් මෙහෙය ධනවත් හා ප්‍රභූ පැළැන්තිය බුක්ති විඳි සමාජ වරප්‍රසාදයක් ලෙස සැලකු යුගයක වහලුන් නිදහස් කිරීම සඳහා ඉස්ලාමය අනුගමනය කළ පිළිවෙත සැමගේ ප්‍රශංසාවට ලක් වුවකි. ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා ආගමික අධ්‍යයන අංශයේ සහායක මහාචාර්ය ජොනතන් බ්‍රොකොප් මහතා පවසන අන්දමට සමාජ ව්‍යුහයේ ව්‍යාකුලත්වයක් ඇති නොකොට සමහර පාපයන්ට ප්‍රතිකර්මයක් ලෙස මෙන්ම දානමය මුදල් වහලුන් නිදහස් කිරීමට යෙදවීම පිළිබඳව ඇති ඉස්ලාමීය ඉගැන්වීම සැබැවින්ම අද්විතීය එකක් බවය. වහල් කමින් නිදහස් වූ බිලාල් ඉබ්නු රබාහ් තුමාව ඉස්ලාමීය සමාජයේ ඉතාම උසස් අයෙකු ලෙස ගෞරව ලැබීමටද ආගමික මෙන්ම රාජ්‍ය පාලන කටයුතු වල උසස් වගකීම් දරන්නටද තෝරා ගන්නා ලදී. වරක් අබුමසුඩ් අල් බද්රි නැමැත්තෙක් තමාගේ වහලාට නිර්දය ලෙස පහර දෙනවා දුටු නබිතුමාණන් ‘මෙම වහලා කෙරෙහි ඔබ සතු බලය හා හැකියාවට වඩා දෙවිඳුන්ට ඔබ කෙරෙහි බලය හා හැකියාව ඇති බව’ පවසා සිටියේය. අබුමසුඩ් අල් බද්රි නබි තුමාණන්ගේ මෙම වදන් ඇසු විගසම දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා මෙම වහලාව නිදහස් කරන බව පවසා සිටියේය.

මිනිස් අයිතිවාසිකම් සුරැකෙන අයුරු සියලු කටයුතු සිදුකළ යුතු බව ඉස්ලාමීය ඉගැන්වීම් නබි තුමාණන් විසින් ඉදිරිපත් කරන ලදී. මෙහිදී අල් කුර්ආනයේ වැකි කිහිපයක් සියලු දෙනාගේම අවධානය පිණිස ඉදිරිපත් කිරීම මගේ වගකීම බව සලකන්නෙමි.

“යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල්-කුර්ආන් 5:32)

“(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙසද ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක් වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙහි) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබා ගත යුතු යැයි ඔහු(අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (අල්-කුර්ආන් 16:90)

“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙහි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේශය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබව පොළඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බියබැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බියවවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල්-කුර්ආන් 5:8)

නබි තුමාණන් මිනිස් අයිතිවාසිකම් මෙන්ම අනෙකුත් සතුන්ගේ හා පරිසරය සුරැකීමේ වගකීම පිළිබඳවද මනුෂ්‍ය වර්ගයාව දැනුවත් කළේය. සත්ව වර්ගයා තම පැවැත්ම සඳහා පමණක් මිහිතලය හා එහි පරිසරය සීමිත අයුරින් ප්‍රයෝජනයට ගන්නා අතර මිනිසාගේ තත්වය මෙයට හාත්පසින්ම වෙනස් වූ එකක් බව අප සැවොම හොඳින් දන්නා සත්‍යයකි. මිහිතලය හා එහි අඩංගු සියලු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා නිර්මාණය කර ඇති බවද එහි පාලකයා හා භාරකාරයා ලෙස ද ඔහු ක්‍රියා කරන බවද මෙයින් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති සත්‍යයකි. මෙම සුවිශේෂී හැකියාව මිනිසාට නොලැබී තිබුනා නම් මිහිතලය මත සිදුවී හා සිදුවෙමින් පවතින අදහාගත නොහැකි වෙනස්වීම් දකින්නට අපට අවස්ථාව නොලැබී යන්නට ඉඩ තිබුණි. අල් කුරානය මෙම අදහස ඉතා අලංකාර ලෙස පැහැදිලි කර තිබෙන අයුරු බලමු.

“ඔහුමය (අල්ලාහ්මය) ඔබව මිහිතලය මත (පරපුරෙන් පරපුරට) උරුමක්කාරයින් බවට පත් කෙරුවේ.” (අල් කුර්ආන් 35:39)

මෙයින් පැහැදිලි වන්නේ පරිසරය හා එහි අඩංගු සියලු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා උපයෝගී කර ගැනීමට හැකියාව හා අයිතිය ඔහුට ලැබී තිබෙන බවය. නමුත් මෙම අයිතිය හා නිදහස පිළිබඳව වැරදි මතයක් සිත් හි දරා ගෙන පරිසර විනාශයකට තුඩු දෙන කිසිම ආකාරයේ කිසිම ක්‍රියාවකට ඉස්ලාමය අනුමැතිය දී නොමැති බව අවධාරණයෙන් පැවසිය යුතුව ඇත්තේය.

“මිනිසුන්ගේ දෑත් වලින් උපයා ගත් (සිදු කළ) දෙයින් මිහිතලයේ හා සාගරයේ දුෂණය (කලහකම්) දෘශ්‍යමානවී ඇත. ඔවුන් ආපසු හැරී (යහ මඟට) එනු පිණිස (අල්ලාහ්) ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් කොටසක් භුක්ති විඳින්නට ඉඩ හරිනු ඇත” (අල් කුර්ආන් 30:4)

“අප මිහිතලය ව්‍යාප්ත කර එහි නොසෙල්වන හා ස්ථාවර කඳු ස්ථාපිත කළෙමු. තවද (එහි) සියලු දැය නිසි ප්‍රමාණයන්ගෙන් හට ගැන්වුයෙමු” (අල් කුර්ආන් 15:19)

“ගසක් සිටු වීමෙන් හෝ බීජ අස්වැද්දීමෙන් එහි ඵලය කුරුල්ලන්, සතුන් හෝ මිනිසුන් අනුභව කරන්නේ නම් එය ඔහුට දන් දීමේ යහ විපාක ගෙන දෙන්නක් වන්නේය (නබි වදන් – ග්‍රන්ථය බුහාරි)

“කිසිවෙකුට අයත් නැති ඉඩමක් යමෙක් වගා කරෙන්නේද, ඔහුට එම ඉඩමට අයිතිය කියා පෑමට උරුමකම් ඇත්තෙක් වන්නේය” (නබි වදන් – ග්‍රන්ථය බුහාරි)

එක තැන රැඳුනු ජලය මත හා මිනිසුන්ට සෙවණ ලබා දෙන ගස් යට මුත්‍රා කිරීමෙන් වළකින ලෙස එතුමාණන් උපදෙස් දුන්නේය.

වයෝවෘධයෙක් ගසක් සිටුවා එයින් ඵල බුක්ති විඳින්නට මේලොවේදී නොහැකි වුවද, එම ගසින් බුක්ති විඳින්නන් හේතුවෙන් ඔහුට මරණින් පසුත් කුසල් ලැබෙන බව එතුමාණන් ප්‍රකාශ කර සිටියේය.

මෙවන් ඉගැන්වීම් රාශියක් ඇති අතර මේ සියල්ලෙන් අපේක්ෂා කරන්නේ මිනිසා පරිසරය සුරැකීමේ වගකීම දරන්නා බවත්, එය නිසි ලෙස කළමනාකරණය කොට මතු පරපුරට සුරක්ෂිත කර දීමේ වගකීමද ඔහු වෙත පැවරී ඇති බවත්ය.

සත්ව ප්‍රජාව පිළිබඳවද නබි තුමාණන්ගේ හා අල් කුර්ආනයේ ඉගැන්වීම් විමසා බැලීම මෙම අවස්ථාවේදී වැදගත් යැයි සිතමි.

“සියලු සත්වයින් දෙවිඳුන්ගේ නිර්මාණයන්ය. දෙවිඳුන්ගේ නිර්මාණයන්ට යමෙක් කාරුණික වන්නේද ඔහු කෙරෙහි දෙවිඳුන්ගේ කරුණාව ඇත්තේය.” (මිෂ්කාත් අල් මසාබිහ් – 3:1392)

සියලු සත්වයින් කෙරෙහිම කරුණාවෙන් කටයුතු කිරීම ඉස්ලාමයේ වැදගත්ම ඉගැන්වීමක් වන්නේය. මේ පිළිබඳව බුහාරි හා මුස්ලිම් හදීස් ග්‍රන්ථයන්හි සඳහන් මුහම්මද් නබි තුමාණන්ගේ (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේව) ප්‍රකාශයක් විමසා බලමු.

“මෙයට පෙර ජීවත් වූ නබි වරයෙක්ව කුහුඹියෙකු දෂ්ට කිරීමෙන් ඇති වූ කෝපය හේතුවෙන් සියලු කුහුඹි තුඹස් පුලුස්සා විනාශ කරන්නට එම නබි වරයා උපදෙස් දීම නිසා දෙවිඳුන්ගේ දැඩි කෝපයට ඔහු පත් වුණි. ‘එක් කුහුඹියෙකු ඔබව දෂ්ට කිරීම හේතුවෙන් මට තුති පුදමින් සිටිය මහා කුහුඹි සමුහයක්ම විනාශ කරන්නට ඔබ ඉදිරිපත්ව ඇතැ’යි දෙවිඳුන් කෝපයෙන් පැවසු බවද දන්වා සිටියේය”. (බුහාරි – 3072)

ඉහත කරුණු වලින් පැහැදිලි වන්නේ සත්වයින් ඇතුළු පරිසරයේ පාලනය හා ප්‍රයෝජනය මිනිසාට හිමි වී තිබුණද එය ඔහු විසින් යුක්තිය හා සාධාරණය මත පදනම් වූ දෙවිඳුන්ගේ ඉගැන්වීම් අනුව ඉටු කළ යුතු බවය. ඉස්ලාමයේ සත්ව කරුණාව පිළිබඳව ඇති ඉගැන්වීම් සියල්ල විස්තර කරන්නට මෙම ලිපියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා ඒ පිළිබඳව තවත් කරුණු කිහිපයක් පමණක් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

සතුන් සම්බන්ධව හිංසනය, කෘරත්වය හා දැඩිභාවයකින් යුක්තව කටයුතු කිරීම ඉස්ලාමය සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. අශ්වයින්ගේ කේශරය හෝ වලිගය කැපීම, සතුන්ගේ මුහුණට පහර දීම, සතුන්ව ඉතා දැඩි වේදනාවකට පත්කරමින් කරන්නා වූ හංවඩු ගැසීම, අශ්වයින්ගේ පිට මත නිකරුනේ සෑදලය බැඳ තැබීම, සතුන්ට දරන්නට බැරි තරම් බර පැටවීම, සතුන්ට යහ අයුරින් ආහාර, ජලය හා අවශ්‍ය පෝෂණය ලබා නොදීම, සතුන්ගෙන් ප්‍රමාණයට වඩා වැඩ ගැනීම, කුරුලු කුඩු වලින් පැටවුන් අරගැනීම, මවගෙන් පැටවුන් ඈත් කිරීමේ ක්‍රියාවන්, සතුන්ට ප්‍රමාණවත් නොවන කුඩු වල උන්ව තැබීම, කිරි දෙමින් ඉන්නා සතුන් ආහාරය සඳහා කැපීම වැනි කරුණු සම්බන්ධව නබි තුමාණන් ඉතා දැඩි ලෙස අවවාද කොට ඇත. සතුන්ට කරන්නා වූ හිංසනයන් දුටු විට එතුමාණන් එම සතුන්ගේ අයිතිකරුවන් හමු වී “සතුන්ට යහ අයුරින් සලකන්න. උන්ට කරන්නා වූ හිංසනයන් පිළිබඳව දෙවිඳුන්ගේ දඬුවමට බියවන්න” යැයි උපදෙස් දී ඇති බව සහිහ් මුස්ලිම් හදීස් ග්‍රන්ථයෙහි ඉතා පැහැලිදිව සඳහන් කොට ඇත. සතුන් යොදවා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී හා අනිකුත් වැඩ ගැනීමේදී උන්ට හිංසනයක් වන ලෙස පහර නොදෙන ලෙසද අවවාද කොට ඇත. සත්ව පොර හා සතුන්ව ඉලක්කයන් ලෙස තබා ක්‍රීඩාවක් ලෙසින් විදීමද වෙඩි තැබීමද තහනම් කොට ඇත. සතුන්ට උපත් පාලන ක්‍රියාවලියක් ලෙසින් කරන්නා වූ කර ඇඹීමද ඉස්ලාමය තහනම් කර ඇත.

සතුන්ට කරුණාව දැක්වීමේ යහ ආනිසංසද ඉස්ලාමීය ඉගැන්වීම් තුළ විශාල වශයෙන් අපට දක්නට හැකිය. එක් උදාහරණයක් දෙස අපගේ අවධානය යොමු කරමු.

“පිපාසයෙන් පීඩිතව මිය යන්නට ආසන්නව සිටි බල්ලෙකු සම්බන්ධව එක් පව්කාර කාන්තාවක් සානුකම්පිත හැඟීමෙන් යුක්තව ළිඳකට බැස තම පාවහනේ දිය පුරවා ගෙනැවිත් එම බල්ලාගේ පිපාසය සංසිඳුවීමේ පින හේතුවෙන් ඇගේ සියලු පාපයන්ට දෙවිඳුන් පාප ක්‍ෂමාව ලබා දුන් බව නබිතුමාණන් පවසා ඇත.” (බුහාරි හදීස් ග්‍රන්ථය 3208)

එලෙසම සතුන්ට කරන්නා වූ හිංසනයන්ට දුන්නා වූ දඬුවම් පිළිබඳවද ඉස්ලාමය උගන්වා ඇත්තේ අප සැමට එවැනි කටයුතු වලින් වැළකී ජීවත් වීම සඳහා වූ අවවාදයක් ලෙසිනි.

“කාන්තාවක් පුසෙකුව කුඩුවක වසා තබා ආහාර ලබා නොදී හා කුඩුවෙන් පිටත ගොස් ආහාර සොයා ගන්නට ද ඉඩ නොදී කුසගින්නේ මියයන්නට ඉඩහැරීම හේතුවෙන් එම කාන්තාවට නිරයට යන්නට සිදු වූ බව නබිතුමාණන් වරෙක පවසා සිටියේය (බුහාරි 4:54:535).

ඉහත අල් කුර්ආන් වැකි හා නබි වදන් අපට මතක් කර දෙන්නේ පරිසරය මිනිසාගේ භාරකාරත්වයේ පවතින්නක් වන හෙයින් ඔහු එහි යහ පැවැත්මට වගකීම් දැරිය යුතු බවය. අවාසනාවට, මිනිසාගේ දෑත් විසින් සිදුකරන්නා වූ නොමනා ක්‍රියා මගින් මිහිතලයේ හා සාගරයේ නොසන්සුන්තාවන් ඇති වී තිබෙන බවද අපට මතක් කර දෙන්නේය. මිහිතලය උණුසුම්වීම හා දේශගුණික වෙනස්වීම් අද අප අත් විඳින්නේ මෙම වැරදි ක්‍රියාකාරකම් නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එක් පරම්පරාවක් තුළ සිය ජීවිත කාලයේදීම එතුමාණන් සාර්ථක ලෙස එම විශ්වාසය ගොඩ නගමින් අරාබිකරයේ ජනාතාවට යහපත් සංස්කෘතියකට මග පෙන්වූයේය. වඩාත් නිහතමානී ජීවිතයක් ගෙවූ එතුමාණන්, මා දෙවිඳුන්ගේ සේවකයෙකි, මා එක් ගුරුවරයෙක් පමණි, යැයි පැවසුහ. ශ්‍රමණ, තාපස, බ්‍රහ්මචාරී හා අනගාරික ජීවිතයක් අනුගමනය කිරීමෙන් තම අනුගාමිකයින් ව වැළක්වීය. දේව සවිඤාණකත්වයෙන් යුත් යහකමින් පිරුණු ගිහි ජීවිතයකට ඔවුන්ව දිරිගැන්වීය. එතුමාණන්ගේ ඉගැන්වීම් වලින් බිඳක් විමසා බලමු.

නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “තමා හරි වුවද එය වෙනුවෙන් කලහකම් කර ගැනීමෙන් වැළකී සිටින පුද්ගලයාට ස්වර්ගය අවට නිවසක් ලබා දෙන බවටද, විහිළුවකට හෝ බොරුවක් නොකියන පුද්ගලයාට ස්වර්ගය මැද නිවසක් ලබා දෙන බවටද, තම චරිතය යහපත්ව තබා ගන්නා පුද්ගලයාට ස්වර්ගයේ ඉහළම කොටසේ නිවසක් ලබා දෙන බවටද මම සහතික වන්නෙමි.” (සුනාන් අබු දාවුද්)

නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “(තමන්ට කරනු ලබන උපකාරයන් වෙනුවෙන්) මිනිසුන්ට ස්තුති කිරීමට පසුබට වන්නා අල්ලාහ්ටද ස්තුති වන්ත වීමට පසුබට වන්නෙකි” (අහමද් සහ අත්තිර්මිදී)

නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “පහත සඳහන් ගුණාංග හතර ඔබට තිබේ නම් ඔබට ලොවෙහි කිසිවිටෙකත් අලාභයක් ඇති නොවන්නේය. ඔබගේ භාරකාරත්වයේ තබන ලද දෑ රැකගැනීම, කථාවෙහි සත්‍යවාදී වීම, අලංකාර වූ හා යහපත් හැසිරීම, ආහාර අනුභවයෙහි මධ්‍යස්ථභාවය එම ගුණාංගයි” (අහමද් සහ බයිහාකි)

නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “කරුණු පහක් හට ගන්නට පෙර කරුණු පහකින් ප්‍රයෝජන ලබා ගන්න. මහලු විය ඇති වන්නට පෙර තරුණ වියෙන් ප්‍රයෝජන ලබා ගන්න. රෝගී වීමට පෙර ශරීර සුවයෙන් ප්‍රයෝජන ලබා ගන්න. දිළිඳු බව ඇති වන්නට පෙර ඔබගේ ධනයෙන් ප්‍රයෝජන ලබා ගන්න. කාර්ය බහුල වන්නට පෙර විවේක කාලයෙන් ප්‍රයෝජන ලබා ගන්න. මරණයට පෙර ජීවිතයෙන් ප්‍රයෝජන ලබා ගන්න”.

නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “(මරණින් මතු) අවසාන විනිශ්චය දිනයෙහි අල්ලාහ් අසන ප්‍රශ්න පහකට පිළිතුරු දෙන තෙක් අල්ලාහ්ගේ කිසිම ගැත්තෙකුට (මනුෂ්‍ය වර්ගයාට) තමා සිටි තැනින් පය ඔසවන්නට හැකි වන්නේ නැත. ඔහුගේ ආයු කාලය, ඔහු එය කෙසේ ගත කළේද? ඔහුගේ දැනුම, එයින් කෙතරම් තම ජීවිතයේ ක්‍රියාකාරකම් බවට පත් කර ගත්තේද? ඔහුගේ ධනය, එය තමා කෙලෙස උපයා ගත්තේද? එය කෙලෙස වියදම් කළේද? ඔහුගේ ශරීර සුවය, එය කෙලෙස තමා ප්‍රයෝජනයට ගත්තේද? (යනාදිය එම ප්‍රශ්න 5 වේ) (මුස්ලිම්)

නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමාණන් මෙසේ පැවසූහඃ “යහපත් කීකරු දරුවෙකු ඔහුගේ දෙමව්පියන් දෙස කාරුණිකව බලන සෑම විටම පිළි ගනු ලැබූ හජ්- වන්දනයකට ලැබෙන කුසලට සමාන කුසලක් අල්ලාහ් ඔහුට පිරිනමන්නේය”. (මුස්ලිම්)

නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමානන් මෙසේ පැවසූහඃ “ඉතාමත්ම අංගසම්පූර්ණ විශ්වාසිකයා කවුරුන්දයත් ඔහුගේ ගතිගුණ යහපත් වූ තැනැත්තාය. ඔබගෙන් විශිෂ්ටතම පුද්ගලයා කවුරුන්ද යත් සිය බිරිය සමග කාරුණිකව හැසිරෙන්නාය.” (අත් තිර්මිදි)

නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමානන් මෙසේ පැවසූහඃ “තවත් කෙනෙකුට යහක්‍රියාවක් කිරීමට උනන්දූ කරවන්නාටද එම ක්‍රියාව කරන්නාට සමාන යහ විපාක ලැබෙනු ඇත”. (මුස්ලිම්)

නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමාණන්ගේ භාර්යාවක් වූ ආයිෂා තුමිය මෙසේ පැවසූවායඃ “නබි තුමාණන්ගේ පාවහන් තමන්ම අලුත්වැඩියා කර ගන්නේය. එතුමන්ගේ ඇඳූම් තමන්ම මසා ගන්නේය. නිවසේ වැඩද අන් සැවොම කරන්නාක් මෙන් එතුමන්ද කරන්නේය.  එතුමන් හැසිරුණේ සාමාන්‍ය කෙනෙකු මෙනි. තමන්ගේ ඉරුණු ඇඳූම් එතුමන්ම මසා ගන්නා අතර එළුවන්ගෙන් කිරි දෙවීමද එතුමන්ම කරමින් නිවසේ සියලුම වැඩ වල එතුමන්ද නිරත වන්නේය.”  (අත්තිර්මිදි)

ආයිෂා තුමිය මෙසේ පැවසූවායඃ “නබිතුමන්ගේ දියණිය ෆාතිමා තුමිය නිවසට පැමිණෙන විට නබි තුමන් හුන් අසුනින් නැගිට සිට ඇය සිප පිළිගෙන ඇයට අසුනක් පිරිනමනු ඇත. නබිතුමන් මරණාසන්නව ඔත්පළ වී සිටි විට ෆාතිමා තුමිය පැමිණි විට නබිතුමන් ඇය පිළිගෙන සිප ගත්තේය”.  (අල් බුහාරි සහ මුස්ලිම්)

“මිනිසෙකු පැමිණ ‘ඕ අල්ලාහ්ගේ දුතයාණෙනි, මගේ දෙමව්පියන් මරණයට පත් ව මගෙන් වෙන් වී ගිය පසු ඔවුන් වෙනුවෙන් මට කළ හැකි කිසිවක් තිබේදැ’ යි නබි තුමානන්ගෙන් ඇසුවේය. එයට පිළිතුරු දූන් නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමාණන් මෙසේ පැවසූහඃ එසේය ඔබට කළ හැකි කරුණු හතරක් ඇත. ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම. ඔවුන්ට පාපක්‍ෂමාව ලබා දෙන මෙන් අල්ලාහ්ගෙන් අයැද සිටීම. ජීවතුන් අතර සිටි විට ඔවුන් විසින් කරන ලද පොරොන්දූ ඉටු කිරීම. ඔවුන්ගේ මිතුරන් හට ගෞරවාදරය දැක්වීම. තමන්ගේ ඥාතීන් සමග සම්බන්ධතාවන් පවත්වා ගෙන යාම. ඔවුන් නොමැති නම් ඔබට ඥාතීන් යැයි කිසිවෙකු සිටිනු නොමැත.”    (අල් බුහාරි)

“අබ්දූල්ලාහ් ඉබ්නු හාරිත් මෙසේ දන්වා සිටියිඃ නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමාණන් තරම් නිතර සිනහ මුසු මුහුණින් සිටි තවත් කෙනෙකුව මා දැක නැත.” (අත්තිර්මිදී)

“නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමාණන් මෙසේ පැවසූහඃ වියදම් කිරීමෙහි චාම් බවක් අනුගමනය කිරීම දිවි පෙවතෙන් අඩකි.” (බයිහකී)

 “නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමාණන් මෙසේ පැවසූහඃ උඩඟුකමින් ණය බරින් සහ වංචාව යනාදියෙන් තොරව මරණයට පත් වන්නෙක් නිශ්චය වශයෙන්ම ස්වර්ගයට ඇතුල්වනු ඇත”.  (අද් දාරිමීල ඉබ්නු මාජා සහ අත් තිර්මිදි)

එතුමාගේ චරිතයේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව අල් කුර්ආනය මගින් දෙවිඳුන් පවසන කරුණුද ඔබවෙත ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

“සැබවින්ම, (මුහම්මද් නබිවරය) ඔබ ශ්‍රේෂ්ඨ වූ යහ චර්යාවන්ගෙන් යුක්තව සිටින්නේය” (අල් කුර්ආන් 68 : 04)

අසල්වැසියන් සම්බන්ධව එතුමාණන් ක්‍රියාකළ ආකාරය අප සැවොම ආදර්ශයට ගත යුතු පිළිවෙතක් ව පවතී. නබි තුමාණන්ගේ අසල් වැසියෙකු වූ යුදෙව් ජාතිකයෙක් එතුමාණන් සම්බන්ධව කාරුණිකව කටයුතු නොකළ අයෙකුව සිටියේය. නමුත් දිනක ඔහු අසනීපයෙන් සිටින බව දැන ගත් නබිතුමාණන් මෙම යුදෙව් ජාතිකයාගේ සුව දුක් විචාරනට ඔහුගේ නිවසට පැමිණීමෙන් පසු නබි තුමාණන් පිළිබඳව තිබු වැරදි ආකල්පය සහමුලින්ම වෙනස් කර ගත්තේය. දිනපතාම එතුමාණන්ගේ ගමන් මගෙහි රැක සිටිමින් එතුමාණන්ගේ හිස මතට කුණු විසි කිරීම පුරුද්දක් කර ගත් යුදෙව් කාන්තාවක් සිටියාය. මෙම ක්‍රියාව පිළිබඳව එතුමාණන් කිසිම කෝපවීමකින් තොරව ඉවසීමෙන් යුක්තව දරා ගනිමින් කටයුතු කළේය. දිනක් එතුමාණන්ගේ හිස මතට නියමිත ස්ථානයේදී කුණු නොවැටුණු නිසා මෙයට හේතුව කුමක්ද කියා තම මිතුරන්ගෙන් විමසු විට එම යුදෙව් කාන්තාව රෝගී වී සිටින බව දැන ගත් විගස ඇයගේ සුව දුක් විමසන්නට නබි තුමාණන් වහාම පිටත් ව ගියේය. තම නිවසට පැමිණි අසාමාන්‍ය අමුත්තා දුටු විගස එම කාන්තාව කඳුළු සලමින් මෙවන් ශ්‍රේෂ්ඨ මිනිසෙකුටද තමා හිරිහැර කළේ කියා පවසමින් දැඩි වේදනාවට පත් වුවාය.

තමන්ට සතුරුකම් කළ අය සමගද එතුමාණන් ඉතාමත්ම කාරුණික අයුරින් කටයුතු කළේය. දිනක් මෙයට පෙර දැක නොමැති වයෝවෘද්ධ කාන්තාවක් ඇයට ඔසවන්නට නොහැකි තරම් වූ බඩු පොට්ටනියක් සමග කෝපයෙන් අයෙකුට බැණ වදිමින් සිටිනා දුටු නබි තුමාණන් ඇය කෙරෙහි ඇති කරගත් කාරුණිකත්වය හේතුවෙන් ඇයගේ බඩු පොට්ටනිය ඇයට යෑමට ඇති තැනට ගෙන ගොස් දීමට ඉදිරිපත් වුවේය. මෙසේ යමින් සිටින විටයි නබි තුමාණන්ට අවබෝධ වුයේ ඇය බැණ වදිමින් සිටියේ වෙන කිසිවෙකුට නොව තමන්ට බව. ගමන අවසානයේදී නබි තුමාණන්ට ස්තුති කළ කාන්තාව පුතේ නුඹ කව්රුන්දැයි මට තවම කිව්වේ නැතැයි පැවසු විට එතුමාණන් මුහම්මද් බව පැවසු විගසම මෙම කාන්තාව දැඩි දුකකට පත් වී එක් එක් ඇයගේ කීම් අසා නොදැනුවත්කම තුළ මෙවන් උතුම් කෙනෙකුටද තමන් බැණ වදිමින් පැමිණියේ යැයි පවසමින් තම ගමන නවතා ආපසු එන්නට තීරණය කළාය. තමන් පැමිණ ඇත්තේ යහකම පරිපුර්ණත්වයට පත් කිරීමට බවද වරෙක එතුමාණන් පවසා සිටියේය.

එතුමාණන්ගේ යහ ගුණයන් හා යහ චර්යාවන් පිළිබඳව නිමක් නොමැතිව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත්  කරන්නට කරුණු තිබුණද ලිපියේ සීමාවන් ගැන සැලකිල්ලට ගෙන එතුමාණන් පිළිබඳව විවේචනය කරන්නන්ගේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී ඇති ජිහාද් පිළිබඳව අදහස් කෙටියෙන් ඉදිරිපත් කිරීම වඩාත් සුදුසුයි යැයි සිතේ.

ජිහාද් පිළිබඳ මතය මුස්ලිම් හා මුස්ලිම් නොවන ක්ෂේත්‍රයන්හි මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළින් ද නිරන්තර සාකච්ඡාවට හා විග‍්‍රහයට ලක් වූ මාතෘකාවකි. විවාදාත්මක මෙන්ම මතභේදයට ලක් වූ විෂයයක් ලෙස ද මෙය සැලකේ. නමුත් නිවැරදි හා පිළිගැනීමට ලක් වූ මූලාශ‍්‍රයන් උපයෝගි කර ගෙන විමසීමක් කිරීමේ දී එහි සැබෑ තොරතුරු ඉතා පහසුව හා සරලව අවබෝධ කර ගැනීමට හැකි වේ යැයි විශ්වාස කරන්නෙමු.

‘ජිහාද්’ යන අරාබි වචනයේ මුල් පද අක්ෂර වන්නේ ජ-හ-ද යන්නය. ප‍්‍රයත්නය, වෑයම, ආයාසය, උත්සාහය යන පදයන්ගෙන් මෙහි අර්ථය එක්තරා ප‍්‍රමාණයකට හුවා දැක්විය හැකිය. ඉස්ලාමීය කෝණයෙන් ‘ජිහාද්’ යනු හුදෙක් ප‍්‍රයත්නය යන අර්ථය පමණක් ගෙන දෙන්නක් නොවේ. එය යහ විපාක අපේක්ෂාවෙන් දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා කරන්නා වූ නැමදුමක් ද වන්නේය. තවත් අතකින් පීඩාකාරී, හිංසාකාරී හා දුෂ්කරත්වය මැද දහමේ නියමයන්ට අනුකූලව කටයුතු කිරීම ද ජිහාදය ලෙස විග‍්‍රහ කළ හැක. ජිහාදයේ අනු ප‍්‍රභේද කිහිපයක් ඉස්ලාමීය විද්වතුන් විසින් විස්තර කොට ඇතත් බහුතරයේ මතය අනුව එහි ප‍්‍රභේද තුනක් ඇති බව පිළිගෙන ඇත.

  1. චෛතසිකයෙන් කරන්නා වූ ජිහාදය (චිත්ත පාරිශුද්ධිය උදෙසා අකුසලයට නැඹුරු වූ හැඟීම් සමඟ කරන්නා වූ චෛතසික අරගලය.)
  2. ශරීරය හා වස්තුව උපයෝගි කරගෙන කරන්නා වූ ජිහායද. (සාමය හා යුක්තිය ස්ථාපිත කිරීම වැනි යහ අරමුණකින් කරන්නා වූ සටනකට සහභාගි වීම, තම ශරීරය වෙහෙසා අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් කටයුතු කිරීම, තම වස්තුව අල්ලාහ්ගේ මඟෙහි යහ විපාක අපේක්ෂාවෙන් වියදම් කිරීම.)
  3. දිව උපයෝගි කරගෙන කරන්නාවූ ජිහාදය. (සත්‍යය අන් අයට පැහැදිලි කරදීමට හා යහමඟට ජනයාව ආරාධනා කරන්නට කරන්නා වූ පැහැදිලි කිරීම් ආදිය.)

මුහම්මද් නබි තුමා (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ සාමය හා ආශිර්වාදය අත්වේවා) විවිධ අවස්ථාවන්හි දී ශ්‍රේෂ්ඨ ජිහාදය කුමක් ද කියා පැහැදිලි කොට ඇත. වරෙක ශ්‍රේෂ්ඨ ජිහාදය තම චෛතසිකයේ මතු වන අකුසලයට නැඹුරු වූ හැඟීම් සමඟ චෛතසික අරගලයක යෙදීම බව පවසා ඇත. තවත් වරෙක අසාධාරණ දුෂ්ට පාලකයෙකු ඉදිරියේ නිර්භයව සත්‍යය ප‍්‍රකාශ කර සිටීම ශ්‍රේෂ්ඨ ජිහාදය බව පවසා ඇත. ඉස්ලාමයේ නිර්දේශිත අනිවාර්යය (දෛනිකව කරන්නා වූ පස්වේල සලාතය වැනි) කටයුතු සම්බන්ධව අඛණ්ඩව හා සැලකිලිමත් භාවයෙන් යුතුව කටයුතු කිරීම ශ්‍රේෂ්ඨ ජිහාදය ලෙස දක්වා ඇත. දෙමව්පියන්ට උවැටැන් කිරීම ද ජිහාදයක් බව තවත් වරෙක අදහස් පළ කර ඇත. හජ් නැමදුම (විශේෂයෙන් ස්ත‍්‍රීන් සම්බන්ධව) ජිහාදයක් ලෙස දක්වා ඇත. මෙම තොරතුරු උපුටා ගත්තේ පහත සඳහන් හදීස් ග‍්‍රන්ථයන්ගෙනි. හදීස් යනුවෙන් දැක්වෙන්නේ මුහම්මද් තුමාගේ (එතුමාට අල්ලාහ්ගේ සාමය හා ආශිර්වාදය අත්වේවා) ප‍්‍රකාශිත මෙන්ම එතුමාගේ ක‍්‍රියා හා අනුමත කළ දෑටය. ඉහත නබි වදන් හි මූලාශ‍්‍රයන් වන්නේ සහීහුල් බුහාරි: 1423, අබූ දාවූද්: 3781, තබරානි: 20821 යන්නය.

අල්-කුර්ආනය උපයෝගි කරගෙන ජිහාදයේ යෙදෙන ලෙස පහත සඳහන් වැකියෙන් දෙවිඳුන් උපදෙස් දෙන්නේය.

“එබැවින් (නබිවරය) නුඹ මෙම ප‍්‍රතික්ෂේප කරන්නන්ට අවනත නොවවු. තවද එය (අල්-කුර්ආනය) උපයෝගි කරගෙන ප‍්‍රයත්නයන්ගෙන් (ජිහාද්) ශ්‍රේෂ්ඨ ප‍්‍රයත්නයක ඔවුන් සමඟ යෙදෙවු.” (අල්-කුර්ආන් 25:52)

ඉහත නබි වදන් හා අල්-කුර්ආන් වැකිය තුළින් ජිහාද් යන සංකල්පයේ මූලික අදහස අවබෝධ කර ගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු. අවාසනාවට මාධ්‍ය විසින් ජිහාද් යන වචනයට සමානාර්ථ පදයන් ලෙස ශුද්ධ යුද්ධය, දහම් යුද්ධය යනාදිය උපයෝගි කර ගෙන ඇත. ශුද්ධ යුද්ධය යන්න අරාබි බසින් දැක්වෙන්නේ ‘හර්බ් මුකද්දසා’ යනුවෙනි. මෙය හදීස් ග‍්‍රන්ථයන්හි හෝ අල්-කුර්ආනයේ හෝ දක්නට ඇති පදයක් නොවේ.

තමන්ගේ ජීවිත, දහම, වස්තුව හා ගෞරවය යනාදියට තර්ජනයක් එල්ල කරමින් යම් කණ්ඩායමක් සටනට එන්නේ ද ඔවුන් සමඟ සටන් වැදීමද ජිහාදයක් ලෙස දැක්විය හැක. මෙවන් තත්ත්වයකදී සටනට පිවිසීම ලොව සියලූ රටවල් අනුමත කරන්නා වූ ක‍්‍රියා මාර්ගයකි. මේ සම්බන්ධව අල්-කුර්ආනයේ සඳහන් වැකි එහි සන්දර්භයෙන් බැහැරව අර්ථ දක්වා විකෘත වූ මතයක් ගොඩ නගන්නට විශාල ප‍්‍රයත්නයක් ජාත්‍යන්තරව දක්නට ඇත. ඉස්ලාමය අසිපතින් ව්‍යාප්ත කරන ලද්දක් බවත් ඉස්ලාමීය රාජ්‍යයක් තුළ මුස්ලිම් නොවන ජනයාගේ මූලික අයිතිවාසිකම් කඩ කරමින් අසාධාරණ ලෙස කටයුතු කිරීමට එම දහමේ අනුමැතියක් ඇති බවත් දක්වන්නට මෙයින් වෑයම් කොට ඇත. මෙම මතයන් හි මිථ්‍යාව ඉතා හොඳින් හෙළිදරව් කරමින් ආගමික බහුත්වය හා නිදහස කොතෙක් දුරට ඉස්ලාමීය ඉගැන්වීම් අනුමත කර ඇත්තේ ද යන්න සැමගෙන් විමසුම පිණිස ඉදිරිපත් කරන්නට අදහස් කරන  අල්-කුර්ආන් වාක්‍යයන්ගෙන් පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

“දහම සම්බන්ධව බලකිරීමක් නොමැත. අයහ මඟින් යහ මඟ පැහැදිලිව ඇත.” (අල්-කුර්ආන් 2: 256)

“නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටින සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරයාණනි,) ඔවුන්ට බල කරන්නෙහි ද?”  (අල්-කුර්ආන් 10:99)

“(නබිවරය,) නුඹ මෙසේ පවසවු. ‘මනුෂ්‍යයිනි, සැබැවින්ම නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය (අල්-කුර්ආනය) ඔබ වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු (එය අනුගමනය කර) යහමඟ (තෝරා) ගන්නේ ද එහි යහ ඔහුටමය. යමෙක් නොමඟ (තෝරා) ගන්නේ ද එහි අයහ ඔහුටමය. තවද මම ඔබව (බලකර) පාලනය කිරීමට බලයක් ඇත්තෙකු නොවන්නෙමි.” (අල්-කුර්ආන් 10:108)

“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය,) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා, කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා” (අල්-කුර්ආන් 18:29)

ප‍්‍රචණ්ඩත්වයට හා සමාජ අසාධාරණයට එරෙහිව ඉස්ලාමිය අරගලය යුද වාදයක් නොවන බව “ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ දෙසට නැඹුරු වවු. අල්ලාහ් කෙරෙහිම විශ්වාසය තබවු. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ‍්‍රාවකය සර්ව ඥානීය.” (අල්-කුර්ආන් 8:61) යන

අල්-කුර්ආන් වැකියෙන් ඉතාමත්ම නිරවුල්ව පැහැදිලි වන්නේය. මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම සාමයෙන් ජීවත් විය හැකි යුද මුක්ත ලොවක් ඉස්ලාමය අපේක්ෂා කරයි.

සතුරන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් එවිට මුස්ලිම්වරුන් ද ශක්තිමත්ව හා බලයෙන් පසු වුවද සමාදානය වෙත නැඹුරු විය යුතු බව මෙම වැකිය පැහැදිලි කරයි. යුද්දයකදී අනුගමනය කළ යුතු චර්යාවන් පිළිබඳව ඉස්ලාමය ඉතා පැහැදිලිව කරුණු ඉදිරිපත් කොට ඇත. මෙය හදීස් මූලාශ‍්‍රයන් රාශියකින් උපුටා ගත් කරුණු හෙයින් එහි සංක්ෂිප්ත අදහස් ඉදිරිපත් කරන්නට අදහස් කරන්නෙමු.

  1. කිසිවෙකුව ගින්නෙන් පුලුස්සා මරා දැමීම හෝ ගින්නෙන් වද හිංසාවට පත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය.
  2. සටන් කිරීමට නොහැකි හෝ සටන් කළ හැකි ආබාධිත සතුරු සොල්දාදුවන්ට පහර නොදිය යුතුය.
  3. යුද සිරකරුවන් මරා නොදැමිය යුතුය.
  4. බැඳ තබා ඇති හෝ රඳවා තබා ඇති කිසිවෙකුව මරා නොදැමිය යුතුය.
  5. ජනාවාසයන්ට පහර දීම, මංකොල්ල කෑම, දේපළ හානි සිදු කිරීම, සපුරා තහනම්ය. තමන් සමඟ සටනට එන්නන් සමඟ පමණක් සටන් කළ යුතුය.
  6. තමන් යටතට පත් වූ රටක වැසියන්ගෙන් එහි වටිනාකම නොගෙවා කිසිවක් ලබා නොගත යුතුය.
  7. මෘත දේහයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම හෝ අංගචේදනයන් කිරීම සපුරා තහනම්ය.
  8. සතුරු මෘත දේහ ඔවුන්ගේ කඳවුරට භාරදිය යුතුය.
  9. එළැඹ ඇති කිසිම ගිවිසුමක් කඩ නොකළ යුතුය.
  10. මහලු අය, රෝගීන්, ස්ත‍්‍රීන්, දරුවන් ආදීන් ආරක්ෂා වන අයුරින් කටයුතු කළ යුතුය.
  11. අන් ආගමික ස්ථාන හා පූජක පක්ෂයට කිසිම හානියක් සිදු නොකළ යුතුය.

මුස්ලිම් නොවන්නන් සමග නබිතුමාණන් ඔවුන්ගේ ආගමික, සමාජයීය හා ආර්ථික අයිතිවාසිකම් සුරැකෙන පරිදි නිරන්තරයෙන් කටයුතු කොට ඇත. නජ්රාන් ප්‍රදේශයෙන් පැමිණි කිතුනු ආගමික නියෝජිතයින්ට මදීනාවේ තමන්ගේ මස්ජිදයේ නවාතැන් පහසුකම් සලසා දී ඔවුන් ගේ සියලු අවශ්‍යතාවන් සපයා දී ඔවුන් සමග දින කිහිපයක සාකච්ඡාවකට සහභාගි වුයේය. අවසානයේදී ඔවුන් සමග එළඹුණු සම්මුතියට අනුව ඔවුන්ගේ දහම පිළිබඳ නිදහස සුරක්ෂිත කරමින් ඔවුන්ගේ ආගමික ස්ථාන හා පුජකයින් හට කිසිම ආකාරයක හානියක් ඇති නොවන පරිදි කටයුතු කරන්නට ගිවිසුමකටද එළැඹුණේය. මදීනා නගරයට මක්කාහ්වේ සිට දෙශාන්තරණය කළ විගස එහි ජීවත් වූ මුස්ලිම් යුදෙව් කිතුනු හා බහු දේව වාදීන් ආදී සියල්ලන්ගේ ආගමික හා සමාජයීය අයිතිවාසිකම් සුරැකෙන පරිදි ඉතිහාසයේ ලේඛනගත පළමු ව්‍යවස්ථාව එනම් මදීනා ප්‍රඥාප්තිය සකස් කොට එය ක්‍රියාත්මක කළේය.

එතුමා රාජ්‍ය නායකයින් ට යැවූ ලිපි වලින් එකක් පිළිබඳව ඇති වූ තත්වයක් ගැන මා සඳහන් නොකළා නම් එය මාගේ වගකීම පැහැර හැරීමක් ලෙස සලකන්නට සිදුවන හෙයින් ඒ පිළිබඳව කෙටි විස්තරයක් ඔබ ඉදිරියේ තබන්නට අදහස් කරමි. රෝම අධිරාජ්‍යයේ පාලකයෙකු වූ හෙරක්ලියස් වෙතද නබිතුමාණන් ලිපියක් යවා තිබුණේය. මේ පිළිබඳව තතු දැන ගැනීම පිණිස අරාබිකරයෙන් පැමිණ සිටි වෙළෙඳුන්ගෙන් පිරිසකට රාජ සභාවේ පෙනී සිටින ලෙසට දන්වා යවන ලදී. මෙම පණිවිඩය අනුව රාජ සභාවේ පෙනී සිටීමට සිදු වුයේ නබිතුමාණන්ගේ පරම සතුරෙකු ලෙස සිටි මක්කාවේ කුරයිෂ් වරුන්ගේ ප්‍රධාන පෙළේ නායකයෙකු වූ අබු සුෆියාන්ට සහ ඔහුගේ පිරිසටය. මෙම  දෙබස හෙරක්ලියස් සමග නබිතුමාණන්  පිළිබඳව එම යුගයේ සිටි නබි තුමාණන්ගේ ප්‍රධාන පෙළේ නායකයෙකු විසින් කරන ලද්දක් නිසා සතුරන් පවා එතුමාණන් පිළිබඳව දැරූ මතය අවබෝධ කර ගැනීමට පහසු වේවි යැ’යි සිතන්නෙමු. අබු සුෆ්යාන් පසු කාලීනව ඉස්ලාමය වැලඳ ගත් අතර පසුව නබි තුමාණන්ගේ මිතුරෙකු හා ඥාතියෙකු වූ ඉබ්න් අබ්බාස් තුමා මගින් වාර්තා වූ තොරතුරුයි මෙහිදී ඉදිරියේ ඔබ තබන්නට බලාපොරොත්තු වන්නේ.

අබු සුෆ්යාන් පවසන අන්දමට හෙරක්ලියක් විසින් අපව කැඳවා නුඹලා අතුරින් කවරෙකුටද දෙවිඳුන්ගේ ධර්ම දුතයා යැයි කියා ගන්නා පුද්ගලයාට වඩාත් සමීප ඥාතිත්වයක් ඇත්තේ යැ’යි විමසු විට මා  ඉදිරිපත් වී මටයි ඔහු සමීප ඥාතිත්වයක් ඇත්තේයැ’යි පැවැසුවෙමි. එවිට මට මුල් අසුනක් ලබා දී මගේ පිරිසට මා පිටිපසින් වාඩිවෙන්නට සලස්වන ලදී. ඉන් පසු හෙරක්ලියක් අපව අමතා දෙවිඳුන්ගේ ධර්ම දුතයා යැයි කියාගන්නා පුද්ගලයාට සමීපතම ඥාතියා යැයි කියන්නාගෙන් ඔහු ගැන තොරතුරු විමසන්නට බලාපොරොත්තු වෙනවා. ඔහු අසත්‍යය තොරතුරු සැපයුවහොත් වහාම ඔහුට පිටිපසින් වාඩිවී සිටින සහායකයින් මට ඒ බව දන්වා සිටිය යුතු යැයි ප්‍රකාශ කළේය. හෙරක්ලියක්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්, මුහම්මද් මක්කාවේ වංශවත් පවුලකින් පැවැත එන්නෙක්, ඔහුගේ පවුලේ කිසිවෙක් පෙර හෝ දැනට රජ වරයෙකු ලෙස කටයුතු කොට නොමැත, ඔහුගේ අනුගාමිකයින් සමාජයේ දුර්වල පිරිසක්, නමුත් අනුගාමිකයින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී, ඔහු කිසි දිනෙක අසත්‍ය ප්‍රකාශ කොට නොමැත, කිසිවෙකුව පවාදීද නොමැත, අප අතර ගැටුම් ඇති වී ඇති අතර ජය මාරුවෙන් මාරුවට දෙපාර්ශවයටම ලැබී ඇත යනුවෙන් පවසා සිටියේය. අබු සුෆ්යාන් තව දුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ඔහු අපට සත්‍යය එකම දෙවිඳුන්ට නැමදුම් කරන ලෙසද දෙවිඳුන්ට සමානයන් තැබීමෙන් වැළකී සිටින්නටද උපදෙස් දෙයි. සලාතය ඉටු කරන ලෙසත් අවංකකම හා සත්‍යවාදීකම අනුගමනය කරන ලෙසත් ඥාති සබඳතාවන් අඛණ්ඩව පවත්වා ගෙන යන ලෙසත් ඔහු අපට උපදෙස් දෙයි යනුවෙන් පවසා සිටියේය.

මෙය ඇසීමෙන් පසු හෙරක්ලියස් දෙවිඳුන්ගේ ධර්ම දුතයන් පෙර සෑම විටම පත් කරනු ලැබුයේ වංශවත් පවුල් වලින්ය, ඔහුගේ පවුලේ කිසිවෙකු රජ වරයෙකු ලෙස කටයුතු කර නොමැති හෙයින් නැති වී ගිය රජකම නැවත ලබා ගැනීම පිණිස කරන්නා වූ ව්‍යාජ ව්‍යායාමයක් ලෙස මෙය කොහෙත්ම සැලකිය නොහැක, ඔහු කිසිවිටෙක ජනයාට අසත්‍යය ප්‍රකාශ නොකරන්නෙක් නිසා ඔහු දෙවිඳුන් පිළිබඳව අසත්‍යය ප්‍රකාශ කිරීමට කිසිසේත්ම හැකියාව ඇත්තෙක් විය නොහැක, දහම අත හැර යන්නන් කිසිවෙක් පිළිබඳව වාර්තා නොවීමත් මෙම සත්‍යය සනාථ කරන තවත් සාධකයක් බවට පත් වී ඇත යනුවෙන් පවසා සිටියේය. දෙවිඳුන්ට සමානයන් කිසිවෙක් නොතබා සත්‍යය එකම දෙවිඳුන්ට නැමදුම් කිරීමට දිරි ගැන්වීම, කිසිම පාවා දීමක් නොකිරීම, සලාතය ඉටු කිරීම, අවංක වීමට උපදෙස් දීම, පරිපුර්ණ සදාචාර සම්පන්න ජීවිතය, බහුදේව නැමදුමෙන් වැළකෙන ලෙස ඉල්ලා සිටීම යනාදිය ඔහු සත්‍යය වශයෙන්ම දෙවිඳුන්ගේ ධර්ම  දුතයෙකු වශයෙන් පිළිගැනීමට ඇති නොබිඳිය හැකි සාධකයන්ය යැ’යි ද පවසා සිටියේය. ඉන් පසුව හෙරක්ලියස් විසින් නබි තුමාණන්ගේ ලිපිය කියවන්නට අණ කළ අතර ලිපිය කියවා අවසන් වනවාත් සමග රාජ සභාවේ පුජකයින් විසින් විශාල නොසන්සුන්තාවක් ඇති කළ නිසා අපට පිටත් වන ලෙස දන්වා රාජ සභාවේ දොරටු වසන ලදී. රාජ සභාවෙන් පිට වෙමින් අබු සුෆියාන් ඔහුගේ  සහායකයින්ට පවසා සිටියේ මුහම්මද් ට රජවරු පවා ගෞරව කරන අතර ඔහුට බිය වන බවය. ඔහුගේ සිතේද ඔහු සත්‍යය වශයෙන්ම දෙවිඳුන්ගේ ධර්ම දුතයෙකු විය හැකිය යන මතය මතු වෙමින් තිබිණි බව ද පවසා සිටියේය. මෙය පරම සතුරෙකුව සිටි අවධියේ අබු සුෆ්යාන් හා හෙරක්ලියස් නම් පාලකයා අතර සිදු වූ දෙබසේ සාරාංශයයි. මෙම සිදුවීම තමා ජීවත් ව සිටි යුගයේ සතුරාට පවා තමා බොරුකාරයෙකු නැතිනම් සමාජය නොමග යවන්නෙකු බව පැවැසීමට නොහැකි වන අයුරින් එතුමාගේ සියලු කටයුතු සැකසී තිබුණු බවට ඇති ප්‍රබල සාක්ෂියකි.

එතුමා පිළිබඳව ලොව මුස්ලිම් නොවන විද්වතුන්, නායකයින්, ඉතිහාසඥයින්, රාජ්‍ය පාලකයින්, ප්‍රශංසාත්මක අදහස් පළකර තිබුණද එයින් එක් වැදගත් ප්‍රකාශනයක්  උපුටා දක්වන්නට අදහස් කරන්නෙමි. අප සියලු දෙනාගේම ගෞරවයට පාත්‍ර වූ මහාත්මා ගාන්ධි තුමා නබි තුමාණන් පිළිබඳව දක්වා තිබු අදහස් දෙසට අපගේ අවධානය යොමු කරමු.

මහාත්මා ගාන්ධි තුමා මුහම්මද් තුමාගේ චරිතය පිළිබඳව “Young India” සඟරාවට අදහස් දක්වමින්:

“අද ලොව සිටින දස ලක්ෂ සංඛ්‍යාත හදවත් වල රැඳී සිටිනා ශ්‍රේෂ්ඨතම පුද්ගලයා පිළිබඳව දැන ගැනීමට මට අවශ්‍ය විය. එය කියවන විට ඉස්ලාම් දහම බහුතරයක් මනුෂ්‍ය හදවත් වල විශේෂ තැනක් ගැනීමට හේතු වුයේ අසිපත නොවන බව වැටහුණි. එයට හේතු වුයේ නබි වරයාගේ චාම් ජීවිත රටාවයි. තමන් ගැන කිසිවිටෙක නොතකන  පරාර්ථකාමී ගුණාංගයයි. එතුමාගේ පොරොන්දු වලට එතුමා දැක් වූ වැදගත් කමයි. එතුමාගේ සගයින්ට හා අනුගාමිකයින්ට එතුමා දැක් වූ කැපවීමයි. එතුමාගේ නොබියවන සුළු ස්ථිර බව, දෙවිඳුන් කෙරෙහි එතුමා තැබූ අචල විශ්වාසය, එතුමාගේ අරමුණු කෙරෙහි එතුමාට තිබුණු අධිෂ්ඨානය යනාදිය එතුමන් ඉදිරියේ තිබු සියලු බාධක සුනුවිසුණු කළා මිස එය කලේ අසිපත නොවේ. නබි තුමාගේ ජීවිත කතාවේ අවසාන කොටස මා කියවා නිම කළ විට, එතුමා ගැන මට කියවන්නට යමක් නැති බව දැක මා ඉමහත් ශෝකයට පත් වීමි.”

එතුමා අනක්ෂර වුවෙකු බව අල් කුර්ආනය සාක්ෂි දරයි.

“නබිවරය, මෙයට පෙර කිසිම ග්‍රන්ථයක් ඔබ කියවා නැත, ඔබේ දකුණතින් කිසිවක් ලියාත් නැත. එසේ වූයේ නම් අසත්‍යවන්තයින්ට (ඔබ මගින් පහළ කරන ලද අල් කුර්ආනය පිළිබඳව) සැක කරන්නට ඉඩ තිබිණ” (අල් කුර්ආන් 29:48)

නමුත් මෙම අනක්ෂර පුද්ගලයා මගින් විශ්වයේ අධිපති දෙවිඳුන් මනුෂ්‍යය වර්ගයාගේ අවසන් මාර්ගෝපදේශකය වූ අල් කුර්ආනය මනුෂ්‍යය වර්ගයා වෙත ඉදිරිපත් කරන්නට කටයුතු කරන ලදී. මෙම අනක්ෂරභාවය නොවුයේ නම් මෙම අවසන් මාර්ගෝපදේශකය එතුමාගේ නිර්මාණයක් ලෙස පවසන්නට අසත්‍යවන්තයින් ඉදිරිපත් වන්නට ඉඩ තිබුණු බවද එම වැකියෙන් ම කරුණු පැහැදිලි කොට ඇත. අල් කුර්ආනයේ ප්‍රාතිහාර්ය ස්වභාවය පිළිබඳව ලොව සුපතළ  විද්‍යාඥවරයෙකුගේ අදහස් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

ප්‍රංශ විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයෙකු වුද ජාත්‍යන්තර කීර්තියට පත් විද්‍යාඥයෙකු වුද මහාචාර්ය මොරිස් බුකෙයිල් විසින් නුතන තාක්ෂණික ශිල්ප ක්‍රම උපයෝගි කර ගනිමින් ඊජිප්තුවේදී හමු වූ මෝසස් නබි තුමාගේ කාල වකවානුවේ ජීවත් වූ  ෆීර්අවුන් ගේ (Pharaoh) මළ සිරුර පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වනු ලැබිණි. මෙම මළ සිරුර පිළිබඳව අල් කුර්ආනයේ නිශ්චිත සඳහනක් තිබෙන බව මුස්ලිම් විද්‍යාඥයින් එතුමාට දන්වා සිටින ලදී. සියලු පර්යේෂණ අවසානයේදි විස්මයට පත් ඔහු විසින් පහත සඳහන් ප්‍රකාශනය නිකුත් කරන ලදී.

“නුතන දත්ත අතර ශුද්ධ වු ග්‍රන්ථ පිළිබඳව සාධක සොයන පිරිස ෆිර්අව්න්ගේ සිරුර පිළිබඳව කුර්ආන් වැකි පවසන අතිශයින් විස්මය ජනක සාධක දැක ගන්නට නම් කයිරෝ  නුවර ජාතික කෞතුකාගාරයේ රාජකිය මෘතදේහ තබා ඇති කාමරයට යා යුතුයි”.

තම රට බලා ගිය මොරිස් බුකෙයිල් විසින් කුර්ආන් හා බයිබලය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමකට යොමු කොට The Bible Quran and Modern Science නැමැති ග්‍රන්ථය 1978 ප්‍රකාශයට පත් කළේය. මධ්‍යස්ත විග්‍රහයක යෙදෙන  ජාත්‍යන්තර කිර්තියට පත් ප්‍රවීණ විද්‍යාඥයෙකු වු මහාචාර්ය මොරිස් බුකෙයිල් තම ග්‍රන්ථයේ පහත සදහන්  අයුරින් කරුණු පැහැදිලි කිරීමක යෙදිණ.

අල්-කුර්ආනය මුහම්මද් තුමන්ගේ කෘතියක් යැයි පවසන්නන්ගේ කල්පිතය සාවද්‍ය එකක් බව ඉහත සදහන් කරුණු (ඔහු විසින් අල්-කුර්ආනය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසීමෙන් සොයා ගත් කරුණු) වලින් පෙනේ. අකුරු නොදන්නෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ  විශිෂ්තම සාහිත්‍යධාරියා විය හැක්කේ කෙසේද? නුතන යුගයේ අන් කිසිදු මිනිසෙකු නොදැන සිටි විද්‍යාත්මක සත්‍යයන් අල්ප මාත්‍ර වරදකින් තොරව  ශත වර්ෂ 14 කට පෙර හෙළිදරව් කළ හැක්කේ කෙසේද? (125 පිටුව)

මෙම මිනිසත්කමේ ශ්‍රේෂ්ඨතමයා පිළිබඳව මුස්ලිම් නොවන විද්වතුන්ගේ තවත් අදහස් විමසා බලමු.

මහාචාර්ය මෛකල් එච්. හාට් නමැති විද්වතා ලොව ඉපදුනු  සියලු නායකයින් පිළිබඳව ඉතා ගැඹුරු පර්යේෂණයක නියැළී 1978 දී “The 100 : A Ranking of the Most Influential Persons in History” නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය. එහි දී ඔහු විසින් අංක එකට තෝරා ගනු ලැබුවේ මුහම්මද් තුමාණන්වය. එයට හේතු පහත සඳහන් අයුරින් ඔහු ඉදිරිපත් කර ඇත්තේය.

“මා විසින් මුහම්මද් තුමාව ලොව ජීවත්වූ, ජන සමාජයේ යහපතට බලපෑම් කළ නායකයින්ගේ ලැයිස්තුවේ අංක එකට තෝරා ගැනීම ඇතැමුන්ගේ ආශ්චර්යට හා ප්‍රශ්න කිරීම් වලට ලක් විය හැක. නමුත් ආගමික මෙන්ම ලෞකික ක්‍ෂේත්‍රයේ ශ්‍රේෂ්ඨ වූ සාර්ථකත්වයක් ලබා ගත් තවත් නායකයෙක් මිනිස් ඉතිහාසයේ නොමැත.”

මහාචාර්ය කේ. එස්. රාමක්‍රිෂ්න රාඕ සිය Muhammed, The Prophet of Islam” යන කෘතියේ මෙසේ පවසයි:

“මුහම්මද්ගේ චරිතය නම් පරිමාණයට ඇතුල් වී එය සම්පුර්ණයෙන් වටහා ගැනීම ඉතා දුෂ්කර බව පෙනේ. ඇත්තෙන්ම මට ග්‍රහණය කරන්නට ලැබුණේ ඉන් බිඳක් පමණි. එය කෙතරම් මනස්කාන්ත සිද්ධි මාලාවක එකතුවක්ද? වරෙක දෙවිඳුන්ගේ යටහත් දුතයෙක් එතුමා තුළින් පිළිබිඹු වෙයි. මොහොතින් එතුමා වීර සෙන්පතියෙකි. විටෙක ඔහු වෙළෙන්දෙකි. සැණින් එතුමා රාජතාන්ත්‍රිකයෙකි, කථිකයෙකි, සමාජ ප්‍රතිසංස්කරණය කරන්නෙකි. තවත් එතුමා අනාථයින්ගේ රැකවලෙකි. වහලුන් නිදහස් කරන්නට වෙර  දරන්නෙකි. ස්ත්‍රීන්ගේ ගැලවුම්කරුවෙකි. විනිසුරුවෙකි. සැදැහැවත් පුද්ගලයෙකි. එපමණක් නොව මෙම චරිත සියල්ලේම එතුමා එක හා සමාන කතානායකයෙකි.”

දාර්ශනිකයෙකු වූ ජෝර්ජ් බර්නාඩ් ෂෝ ඔහුගේ The Genuine Islam” නම් 1936 දී ලියු පොතේ අදහස් දක්වමින්:

“එතුමා මිනිස් වර්ගයාගේ ගැලවුම්කරුවා යැයි අමතනු ලැබිය යුතුය. එතුමා වැනි පුද්ගලයෙකු මෙම ලෝකයේ අධිරාජයා බවට පත් වුවහොත් වර්තමාන ලොව මුහුණ පා සිටින සියලුම ගැටලු  වලින් එතුමා ලොව මුදවා ලොවට අද අත්‍යවශ්‍ය වී ඇති සාමය හා සතුට ගෙනෙනු ඇත යැයි මා තරයේම විශ්වාස කරමි. ලොව මෙතෙක් පා තබා ඇති විශිෂ්ටතම පුද්ගලයා එතුමාය. එතුමා දහමක් දෙසුවේය. රාජ්‍යයන් ස්ථාපිත කළේය. ජාතියක් ගොඩ නැගුවේය. ගුණ යහපත් බවට නව මුහුණු වරක් ඉදිරිපත් කළේය. අලුත් දේශපාලනමය හා සමාජයීය ප්‍රතිසංස්කරණයන් ආරම්භ කළේය. ප්‍රබල හා ක්‍රියාශීලී සමාජයක් ගොඩ නැගුවේය. එම සමාජය මුහම්මද්ගේ දෙසුම් සියල්ල ක්‍රියාවට නංවමින් ඒ සියල්ල ප්‍රායෝගික බව ලොවට සනාථ කරමින් සිටින අතර, සදාකල් පවතින සේ මනුෂ්‍ය වර්ගයාගේ සිතුම් පැතුම්හි හා හැසිරීම් රටාවන් අතින් මහත් ඵලදායී පෙරළියක් ඇති කර ඇත්තේය. තිරිසන් කල්ක්‍රියා වලින්ද අඥාණයේ අඳුරෙන්ද එකිනෙකා කුළල් කා ගැනීමෙන් හා වහල් බවෙන් පෙළී ආර්ථික අහේනියේ හිනිපෙත්තේ සිටි අරාබීන්ව එයින් නිදහස් කර සමෘධිමත් දියුණුවක් කරා උසස් කරමින් මානුෂික සානුකම්පාව හා ශ්‍රේෂ්ඨ ගුණ දම් වලින් හෙබි සමාජයක් පෙරදැරි කොට ගත් උතුම් දහමක ධජය යටතේ එතුමා ජනයාව එක්සත් කළේය. සිවුපාවුන්මෙන් ජීවත් වෙමින් සිටි මිනිස් රංචුවක් මේසා විශාල අනගිභවනීය තලයකට පත් කිරීම සඳහා එතුමන්ට ගත වුයේ දශක දෙකක කාලයක් පමණක් වීම මෙම විපර්යාසය වෙත නැණවත් ලෝකයාට ඇති වන විමතිය සිය දහස් වාරයකින් වැඩි කරනු නියතය.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *