මුස්ලිම් කාන්තාවන්ට පල්ලියට ගොස් නැමදුම් කිරීමට අනුමැතියක් ඉස්ලාමය තුළ නොමැති බවත් මෙය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් ලෙසත් ඇතැමුන් චෝදනා කරති. ඔවුන් දකින පල්ලි වල කාන්තාවන් නොමැති බව පවසමින් තම චෝදනාව නිවැරදි බව සනාත කිරීමට මෙම විවේචකයින් උත්සහ කරති. කෙසේනමුත් මුස්ලිම් කාන්තාවන්ට පල්ලියට පැමිණ නමස්කාර කිරීමට කිසිඳු තහනම් ඉස්ලාම් පනවා නොමැත. කාන්තාවන්ට පල්ලියට පැමිණ නමස්කාර කිරීම සඳහා පූර්ණ අයිතිය මුහම්මද් තුමාණෝ කාන්තාවන්ට ලබා දුන්නේය.
මුහම්මද් තුමා “කාන්තාවන් පල්ලියට පැමිණීම නොවළක්වන්න” යයි පවසා ඇත. [1]
අලුයම නැමදුම සඳහා කාන්තාවන් සහභාගී වූ බව මුහම්මද් තුමාගේ බිරිඳ වන ආයිෂා තුමිය පවසා ඇත. [2]
මුහම්මද් තුමා මෙසේ පැවසුවේය “දීර්ඝ නැමදුමක් හැසිරවීමේ චේතනාවෙන් සිට ගනිමි, පසුව ළදරුවෙකු හඬන ශබ්දය ඇසුනේ නම් ළදරුවාගේ මවගේ සිත ගැන සළකා (අල් කුරානයේ) කුඩා පරිච්ඡේදයන් (පරායණය කිරීම) තුළින් නැමදුම අවසන් කරන්නෙමි. [3]
වරක් මුහම්මද් තුමා නැමදුම හැසිරවීම සඳහා පැමිණීමට පමා විය. එවිට උමර් තුමා කාන්තාවන් හා ළදරුවන් නිදි බව පැවසුවේය [4]
ආයිෂා තුමිය පැවසුවාය: අල්ලාහ්ගේ දූතයාණන් (මුහම්මද් තුමාණන්) අලුයම නැමදුම අවසන් කළ පසු කාන්තාවන් තම වස්ත්‍රයෙන් වසාගෙන පිටත් වන අතර කළුවර හේතුවෙන් ඔවුන් කවුරුන්දැයි හඳුනාගත නොලැබිණි. [5]
මුහම්මද් තුමාගේ කාලයේ පල්ලියේ නැමදුම අවසන් කළ පසු කාන්තාවන් පල්ලියෙන් පිටත්ව යන තුරු පිරිමීන් රැඳී සිටියහ. [6][7][8]
තවද නැමදුම මෙහෙයවන්නා යම් වැරැද්දක් සිදු කළේ නම් එම වැරැද්ද පෙන්වා දීම පිණිස “සුබාහ්නල්ලාහ්” යයි පිරිමින් පැවසිය යුතු වන අතර කාන්තාවන් අත්පුඩි ගසා ඒ බව පෙන්වා දිය යුතු බව මුහම්මද් තුමා පවසා ඇත. [9]
ආයිෂා තුමිය මෙසේ පැවසුවාය: “කාන්තාවන් හැසිරෙන අකාරය අල්ලාහ්ගේ දූතයාණන් දැක තිබුනේ නම් ඉස්රායෙල් ජනයාගේ කාන්තාවන්ට (ඔවුන්ගේ) පල්ලියට යාමට (ඔවුන්ට දෙවිඳුන් අනාවරණය කළ නීතිය අනුව) තහනම් කරනු ලැබුවා සේ පල්ලියට යෑමට තහනම් කරනු ඇත”[10]
ඉහත පුවත් තුළින් පෙනී යන්නේ කාන්තාවන්ට පල්ලියට පැමිණ නැමදුම් කිරීම සඳහා මුහම්මද් තුමා පැහැදිලි ලෙසම අනුමැතිය දී ඇත බවය. මුහම්මද් තුමා එලෙස අනුමැතිය දී ඇත්නම් කිසිවෙකුට මෙම අයිතිය කාන්තාවගෙන් උදුරා ගත නොහැකිය. කාන්තාවක් තම සැමියාගෙන් අනුමැතිය ඉල්ලා සිටින්නේ නම් ඒ සඳහා තහංචි පැනවීමට සැමියාට අයිතියක් නොමැත.
මෙම කරුණු නිසිආකාරව නොදන්නා ඇතැම් මුස්ලිම්වරුන් පවා මුස්ලිම් කාන්තාවන් පල්ලියට පැමිණීම වළක්වති. මොවුන්ගේ මෙම වැරදි ක්‍රියා පෙන්වමින් ඉස්ලාමයට චෝදනා කිරීම සාධාරණ නොවේ. සෞදී අරාබියාව, මැලේසියාව, එංගලන්තය, වැනි බොහෝ රටවල කාන්තාවන් පල්ලියට ගොස් නැමදුම් කරති. ඔවුන් සඳහා විශේෂ පහසුකම් එම රටවල ලබා දී ඇත. මක්කාවේ තිබෙන පල්ලියේ කාන්තාවන් නැමදුම් කිරීම අවුරුද්ද පුරාවටම දැක ගත හැකිය. තවද රමළාන් මාසයේදී (මුස්ලිම් වරුන් අනිවාර්ය උපවාස ශීලය රක්ෂා කරන මාසයේ) රාත්‍රී කාලයේදී පල්ලියට පැමිණ නැමදුම් කිරීම සෑම පල්ලියකම වාගේ දැක ගත හැකිය.
කාන්තාව පල්ලියට පැමිණියේ නම් ඇය නමස්කාර කළ යුත්තේ පිරිමීන්ට පිටු පසිනි. නොඑසේනම් ඔවුන් සඳහා වෙන් වූ පෙදෙසේය. මෙය යම් ආකාරයක කාන්තාවන්ව පහත් කොට සැලකීමක් ලෙස ඇතැමුන් චෝදනා කරන්න උත්සහ දරති. නමුත් මෙම උපදෙස බුද්ධිමත්ව බලන කෙනෙකුට මෙහි කාන්තාවන්ට ලබා දී උසස් ස්ථානය කුමක්ද යැයි තේරුම් ගත හැකිය. කාන්තාවන්ට පිටුපසින් පිරිමීන් නමස්කාර කිරීමේදී කාන්තාවන්ගේ විවිධ ඉරියව්වන් බැලීම වැළැක්වීමට ඔවුන් පිටු පසින් නමස්කාර කිරීම ඉතා යෝග්‍ය බව කවුරුත් ප්‍රතික්ෂේප කරන්නේ නැත. මේ නිසාම පිරිමි පාර්ශවයට නායකත්වය දීමට කාන්තාවට නොහැක. එසේ කිරීමේදී පිරිමියා ඉදිරියේ සිටීමට සිදු වේ. තිරයක් පිටුපස සිට නමදුම් කල නොහැකියි කෙනෙකු ප්‍රශ්න කළ හැක. නමුත් නැමදුම හසුරවන්නා වැරැද්දක් කරනවාද නැද්ද යන්න මෙවිට සොයා ගත නොහැක.
කාන්තාවන්ට පල්ලියට යාමට අනුමැතිය ඉස්ලාමය තුළ තිබෙනවා යන්න ඉතා පැහැදිලි කරුණකි. කෙසේනමුත් පිරිමීන්ට අනිවාර්ය කලාක් මෙන් කාන්තාවන් අනිවාර්යයෙන්ම පල්ලියට පැමිණ දිනකට අනිවාර්ය වූ පංච කාල නමස්කාරය ඉටු කළ යුතු බව ඉස්ලාම් දහම අනිවාර්ය නොකරන අතර කාන්තාවන් නිවසේ නමැදුම් කිරීම ඉතා යෝග්‍ය බව ඉස්ලාමය පවසයි. මෙය ඇත්තෙන්ම කාන්තාවන්ට ලබා දී ඇති සහනයකි. කාන්තාව හැකිතාක් දුරට තමාට ඇති විය හැකි කරදර වලින් තමාව මුදවා ගත යුතුය. ඇතැම් විට කාන්තාවන්ට අදාළ පහසුකම් ඇතැම් පල්ලි වල නොමැත. හදිස්සි අවස්ථාවකදී වැසිකිලි, කැසිකිලි යාමට. නමස්කාරයට පෙර සිදු කළ යුතු වුළු දෝවනය නම් පිරිසිදු වීමේ දෝවනය සිදු කර ගැනීමට නිසි පහසුකම් ඇතැම් පල්ලි වල නොමැත. තවද කාන්තාවක් තම ගේ දොර වැඩ කළ යුතුව ඇත. එබැවින් කාන්තාවක් පල්ලියට ගොස් අපහසුතාවයකට ලක් විය යුතු වන්නේ නැත.
මූලාශ්රයන්
[1] සහිහ් බුහාරි (පුවත් අංක 865,899)
[2] සහිහ් බුහාරි (පුවත් අංක 372,578, 867,872)
[3] සහිහ් බුහාරි (පුවත් අංක 707‐710,862,868)
[4] සහිහ් බුහාරි (පුවත් අංක 569,862,864,866)
[5] සහිහ් බුහාරි (පුවත් අංක 867)
[6] සහිහ් බුහාරි (පුවත් අංක 837)
[7] සහිහ් බුහාරි (පුවත් අංක 866)
[8] සහිහ් බුහාරි (පුවත් අංක 875)
[9] සහිහ් බුහාරි (පුවත් අංක 684)
[10] සහිහ් බුහාරි (පුවත් අංක 869)