මිනිස් උණ්ඩුකපුච්ඡය නිර්මාණකරුවාගේ අතපසුවීමක්ද?

එක් ජීවී කාණ්ඩයකින් තවත් ජීවී කාණ්ඩයක් පරිනාමය විය හැකියි යැයි පිළිගන්නා පරිනාමවාදීන් මිනිසා යනු පූර්වජ ජීවී කාණ්ඩයකින් පරිණාමය වූ ජීවීයෙක් බව පවසනවා. ඔවුන්ගේ මතය ඔප්පුකිරීම සඳහා ඇතැම් හේතුන් ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් එකක් නම්, ඔවුන් පවසන මිනිසා සතුව ඇති මිනිසාට අනවශ්‍ය අවයවයි. මූලික වශයෙන් මෙහිදී උණ්ඩුකපුච්ඡය නම් අවයවය මිනිසාට අනවශ්‍ය අවයවයක් බවත් එය මිනිසා සතුව තිබෙන්නේ ඔහු උණ්ඩුකපුච්ඡයක් තිබෙන පූර්වජ ජීවියෙකුගෙන් පරිණාමය වුනු නිසා බවත් මෙම පරිනාමවදීන් පවසනවා. ඒ වගේම මිනිසා යම් ඉහල බුද්ධියක (දෙවි කෙනෙකුගේ) නිර්මාණයක් නම් “උණ්ඩුකපුච්ඡය” එම නිර්මාපකයා අතින් සිදු වූ අතපසුවීමක් බවත් ඔවුන් පවසනවා.

ඇත්තෙන්ම උණ්ඩුකපුච්ඡය මිනිසාට අනවශ්‍ය අවයවයක්ද?

මිනිසාගේ උණ්ඩුකපුච්ඡය කියන්නේ මිනිසාගේ මහා බඩවැලුත්, කුඩා බඩවැලුත් එකතුවන තැන තිබෙන අඟල් 2ක පමණ පුංචි පසක්. මිනිස් සිරුරේ සෑම ඉන්ද්‍රියකටම, සෑම අවයවයකටම නිශ්චිත කාර්යයක් පැවරිලා තිබෙනවා. නමුත් අතීත වෛද්‍යවරුන්ගේ මතය වුණේ උණ්ඩුකපුච්ඡය මිනිසාට අනවශ්‍ය අවයවයක් බවයි. ඔවුන් එසේ පැවසීමට හේතුව මොන තරම් ගැඹුරින් සොයා බැලුවත් උණ්ඩුකපුච්ඡය යම් කාර්යයක් කරනවාය කියලා එම වෛද්‍යවරුන්ට සොයාගන්න බැරි වීමයි.

කෙසේවෙතත් උණ්ඩුකපුච්ඡයටත් නියමිත භාරදූර කාර්යයක් තිබෙන බව දැන් පර්යේෂණ වලින් තහවුරු වී තිබෙනවා. ඒ කියන්නේ නිර්මාණකරුවාට අතපසු වීමක් වෙලා නැහැ. උණ්ඩුකපුච්ඡයේ මෙම කාර්ය පිළිබඳ පැහැදිලි කිරීමක් වෛද්‍ය ලිලානි සෙල්ලහේවා “වෛද්‍යවරයා” නම් සඟරාවේ ඉදිරිපත් කර තිබෙනවා.

උන්දුකපුච්ඡය ජීර්ණක පද්ධතියට විෂබීජ ඇතුළු වූ විට ඒවා අක්‍රීය කරමින් ජීර්ණක පද්ධතියේත්, සමස්ථ ශරීරයේත් සුවසෙත පවත්වාගැනීමට අපූරු සහයෝගයක් ලබාදෙන බව මෑතකදී විද්වතුන් සොයාගෙන ප්‍රත්‍යක්ෂයෙන් සනාථ කර තිබෙනවා.අපේ ශරීරයේ ජීර්ණක පද්ධතියට කෑම-බීම ප්‍රවිෂ්ඨ වුණාම ඒවා බින්දහෙලන්න “මයික්‍රෝබ” නම් ද්‍රව්‍යයක් උපකාරී වෙනවා. මේ බිඳහෙලීමේ ක්‍රියාවලියෙන් පසුවයි අප ගන්නා අහාර පෝෂක හා පදාර්ථ ලෙස විවිධ ස්ථාන වලට යොමුවන්නේ. මයික්‍රෝබ තමයි මෙකී බිඳහෙලීමේ ක්‍රියාවලියේ අණ දෙන්නා ලෙස කටයුතු කරන්නේ. මේ මයික්‍රෝබ වල ක්‍රියාකාරීත්වයට උණ්ඩුකපුච්ඡයෙන් ජනිත වන බැක්ටීරියාවන් හේතු වෙනවා. මේ බැක්ටීරියාවන් මයික්‍රෝබ නිරෝගිව පවත්වාගන්නවා. මයික්‍රෝබ වල ක්‍රියාකාරීත්වය සුසර කරනවා. ශරීරයෙන් බහිස‍්‍රාවී අපද්‍රව්‍ය ඉවත් වූ විගස උණ්ඩුකපුච්ඡය ක්‍රියාකාරී වී අන්ත්‍ර වලට ඒ තුළ පවත්නා බැක්ටීරියා ගමන් කිරීමක් සිද්ධ වෙනවා. අන්ත්‍ර තුළදී ඒවා ගුණනය වී මේ ආහාර මාර්ග පද්ධතියට පිවිස තිබෙන හානිකර බැක්ටීරියාවන් වුණොත් ඒවා විනාශ කිරීමේ ක්‍රියාවලියක යෙදෙනවා. තවත් දෙයක්, උණ්ඩුකපුච්ඡයේ ජනිත වන බැක්ටීරියාවන් සෑම විටම හිතකර කාර්යයකම නිරත වන බවයි විද්වතුන්ගේ මතය. අහාර මාර්ග පද්ධතිය තුළ විවිධ ධූලක(Toxin) ශේෂ වීමේ ඉඩක බැහැරලීමට උණ්ඩුකපුච්ඡය විශාල මෙහෙයක් කරන බව ඔවුන්ගේ අදහසයි.

ජීර්ණක පද්ධතිය තුළ ශරීරයට මෙහෙයක් කරන හිතකර බැක්ටීරියා විශේෂද අපමණ සිටිනවා. මේ හිතමිත්‍ර බැක්ටීරියාවන් දෙස උණ්ඩුකපුච්ඡය, එහි විසුම්ගත බැක්ටීරියා බලන්නේ සැදැහැ සිතින්. මේ හිතකර බැක්ටීරියා සුරක්ෂිත කරන්නටත් උණ්ඩුකපුච්ඡය කටයුතු කරනවා [1].

කෙසේ නමුත් “ඇපෙන්ඩිසයිටිස්” හැදුනාම විසඳුමක් වශයෙන් සැත්කමක් කර එය ඒවත් කරන්න සිදු වෙනවා. මෙය වෛද්‍යවරුන් සලකන්නේ “හදිසි කටයුත්තක්” ලෙසයි. ඒ වගේම එය ඉවත් කරන්නේ රෝගියාගේ ජීවිතයට අවධානමක් තිබුනොත් පමණයි.

appendicitis appendicitis_surgery

අවයවයක් ඉවත් කිරීම උණ්ඩුකපුච්ඡයට පමණක් අදාළ දෙයක් නොවෙයි. අත් පා, වකුකඩු පවා ඇතැම් විට සැත්කම් මගින් ඉවත් කරන්න සිදු වෙනවා. ඒ නිසා හදිසි අවස්ථාවකදී උණ්ඩුකපුච්ඡය ඉවත් කළා කියල උණ්ඩුකපුච්ඡය මිනිසාට අවශ්‍ය නොවන අවයවයක් කියල පැවසීම නිවැරදි නැහැ.

එනිසා වෛද්‍ය ලිලානි සෙල්ලහේවා පවසන්නේ උණ්ඩුකපුච්ඡය ඉවත්කිරීම පිළිබඳව සියපාරක් හිතුවත් එය නිශ්ප්‍රයෝජනවත් සිතිවිල්ලක් ලෙසයි. ඒ වගේම උණ්ඩුකපුච්ඡය නිර්මාණකරුවා අතින් සිදු වූ වරදක් ලෙස සැලකිය නොහැකි බවත් වෛද්‍ය ලිලානි සෙල්ලහේවා තම ලිපියේ සඳහන් කරනවා.

මේ නිසා “උණ්ඩුකපුච්ඡය” ගැන සඳහන් කරමින් නිර්මාණ න්‍යාය ප්‍රතික්ෂේප කිරීමට තවදුරටත් පරිනාමවාදීන්ට පුළුවන්කමක් නැහැ.

මුලාශ්‍රයන්.
[1] වෛද්‍ය ලිලානි සෙල්ලහේවා, උණ්ඩුකපුච්ඡයේ රහස අනාවරණය වේ, වෛද්‍යවරයා 15වන කාණ්ඩය 2009 – 9 කලාපය, පිටු 17-19.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *