වැන්දඹු කාන්තාව ‘ඉද්දා’ සිටීම ඇයට කරන හිංසාවක්ද?

ඉස්ලාම් දහම කාන්තාව සදහා පනවා ඇති නීතින් අතර “ඉද්දා” යන්න ද එකකි. “ඉද්දා” යනු අරාබි වචනයක් වන අතර එහි අර්ථය “රැදීසිටීමේ කාලය, ගණනය කිරීම, බලාහිදීම…” යනාදීය වේ. ඉස්ලාමයට අනුව තම ස්වාමියා අහිමි වූ කාන්තාව විසින් කිසියම් කාලසීමාවක් තවත් විවාහයක් සිදු නොකොට ශෝක කාලයක් ලෙස ගෙවාදැමීම “ඉද්දා” ලෙස හැදින් වේ. තවද දික්කසාද වූ කාන්තාව යම් කාලයක් විවාහ නොවී සිටිය යුතු කාලයද ඉද්දා ලෙස හැඳින්වේ. මෙම ඉද්දා කාලය කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් යැයි පවසමින් ඉස්ලාම් දහම විවේචනය කිරීමට ඇතැමුන් උත්සහ දරති. නමුත් ඉද්දා කාලය මඟින් ඇගේ ගෞරවය වැඩිවනවා මිස ඇයට එයින් අයහපතක් සිදුවන්නේ නැති බව මධ්‍යස්තව මෙම විෂය දෙස බලන කෙනෙකුට වටහා ගත හැක.

දික්කසාද වූ කාන්තාවගේ ඉද්දා කාලය ඇයට කරන අසාධාරනයක්ද යන්න “ඉස්ලාමීය දික්කසාද නීතිය කාන්තාවන්ට අසාධාරණ ලෙස කටයුතු කරනවාද? – ගැඹුරු විග්‍රහයක්” නම් ලිපියේ සාකච්ඡා වී ඇත. එබැවින් මෙම ලිපියේ අරමුණ ස්වාමියා අහිමි වූ කාන්තාව විසින් සිටිය යුතු ඉද්දා කාලය පිලිබඳ සාකච්ඡා කිරීමයි. ස්වාමියා අහිමි වූ කාන්තාව සදහා ඉස්ලාම් යොජනා කරන “ඉද්දාව” ක්‍රියාත්මක වන ආකාරය පහත අවස්තාවන් වලට අනුව වෙනස් වේ.

  • ස්වාමියා අහිමි වනවිට කාන්තාව ගැබ්ගෙන සිටීම
  • ස්වාමියා අහිමි වනවිට කාන්තාව ගැබ් නොගෙන සිටීම

මේ පිළිබඳව අල් කුර්ආනයේ මෙසේ සඳහන් වේ:

…ගර්භිණීන්ගේ (ඉද්දා) කාල සීමාව ඔවුන් ප්‍රසූත කිරීම ය…. [ අල් කුර්ආනය 65:4]

එනම් ස්වාමියා මියදෙන විට ඇය ගැබ් නොගෙන සිටියේ නම් ඇය “ඉද්දා” කාලය ලෙස මාස 04යි දින 10ක් ගෙවීම අත්‍යඅවශ්‍ය වේ. ස්වාමිය අහිමි වූ කාන්තාව ගැබ් ගෙන සිටියේ නම් ඇය තම කුසේ සිටින දරුවා මෙලොව බිහිකරන තුරු මෙම “ඉද්දා” කාලය ගෙවීම අනිවර්ය වේ. නිදසුනක් ලෙස ඇය ගැබ් ගෙන මාසයක් ගෙවීයනවාත් සමඟ තම ස්වාමියා අහිමි වුයේ නම් තම දරුවා ඇය බිහිකරන්නේ මාස 10 දී නම් ඇය ඉතිරි මාස 09ක කාලයක් ඉද්දා කාලය ලෙස රැකීම අනිවාර්ය වේ. එසේම ඇය ගැබ් ගෙන මාස 09යි දින10 කින් ඇගේ ස්වාමියා ඇයට අහිමිවුයේ නම් හා ඇය තම දරුවා මාස 10 දී බිහි කලේනම් ඇයගේ “ඉද්දා” කාලය වන්නේ ඉතිරි දින 20 පමණි.

නුඹලා අතුරින් යම් කෙනෙක් භාර්යාවක් හැර දමා මරණයට පත් වුයේ නම් (නැවත විවාහ නොවී)‍ සිව් මසක් හා දින දහයක් බලාපොරොත්තුවෙන් යුතුව සිටිය යුතුය. එම කාල සීමාව සම්පූර්ණ කළේ නම් ඔවුන් තම විෂයෙහිලා නිසි පරිදි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් නුඹලා කෙරෙහි කිසිඳු වරදක් නැත. අල්ලාහ් නුඹලා කරන දේ ගැන ප්‍රවීණයෙකි. [ අල් කුර්ආනය 2:234]

මෙම මඟ පෙන්වීම ලැබී ඇත්තේ මනුෂ්‍යා ගැන හොඳින්ම දන්නා ඔහුගේම නිර්මාපකයා ගෙන් නිසා සැබැවින්ම මෙවැනි නීතියක් ඉස්ලාම් මිනිස් සමාජයට යෝජනා කරන්නේ එහි මනුෂ්‍ය දිවියේ සාර්ථකත්වයට බලපාන බොහෝ කරුණු කාරණා අන්තර්ගත නිසා යන්න මුස්ලීම්වරුන්ගේ විශ්වාසයයි. මීට සියවස් 13 කට පෙර මිනිස් සමාජයට පෙන්වාදෙන මෙම ආදර්ශයේ අරමුණූ පූර්ණ වශයෙන් අද එකවර අවබෝධ කර ගැනීම අපහසු වුවත් එහි පැහැදිලිවම පෙනෙන එක් සත්‍යයක් අපට මෙහිදී සාකච්ඡාවට ගතහැක. ඒ කාන්තාව තම කුසතුල දැන හෝ නොදැන දරාගෙන සිටින දරුගැබ පිලිබදව මෙම “ඉද්දා” තුළින්  ඉස්ලාම් දක්වන සැලකිල්ලයි.

ඉස්ලාමීය සමාජ ක්‍රමය තුළ ස්වාමි පුරුෂයා යනු තම භාර්යාවන් ආරක්ෂා කරන වගකීම පැවරී තිබෙන පුද්ගලයෙකි. විවාහක කාලයේදී ඇයගේ සියලු ජීවන වියදම්, හා අනෙකුත් අවශ්‍යතා සපුරා දිය යුත්තේ ස්වාමි පුරුෂයාය. එනිසා ඔහුට ගෞරව කිරීම බිරිඳකගේ වගකීමකි. නමුත් ඔහු මිය ගියේ නම් ඇය ඔහුට ගෞරව කරන්නේ කෙසේද? තම ස්වාමියාගේ දරුවන් රැක බලා ගැනීම බිරිඳකගේ වගකීමකි. (Saheeh al-Bukhaari bi Sharh al-‘Asqallaani, vol.9/513). එබැවින් සැමියා ගිය විට ඔහුට කරන ගෞරවය කළ හැකි උතුම් ක්‍රමයක් ලෙස ඇය තම සැමියා නිසා දරුවෙකු පිළිසිඳගෙන සිටියේ නම් එම දරුවා ප්‍රසූත කර හොඳින් හදා වඩා ගැනීම සැලකිය හැකිය. සැමියා මිය යන විට බිරිඳ ගර්භණී නම් එම දරුවා ප්‍රසූත කරන තෙක් විවාහ නොවී තම ගැබ තුළ සිටින දරුවා කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ මේ නිසාය. ස්වාමියා අහිමි වූ කාන්තාවක් සැමියා මිය යන විට ගැබ් ගෙන නොසිටියද පසුකාලීනව තමා ගැබ්ගෙන බව දැන ගත හැකිය. එනිසා තම ස්වාමියා මිය ගිය පසු අඩුම වශයෙන් එක් මාස් ශුද්දියක කාලයක් වත් තවත් විවාහයක් නොකර සිටීම ඉතා යෝග්‍ය බව බුද්ධිමත් කෙනෙකුට පහසුවෙන්ම වැටහෙන කරුණකි. ජීවවිද්‍යාත්මක වශයෙන් මෙම කාලය කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වේ. මෙම කාලය තුළදී ඇය තම මිය ගිය ස්වාමියා නිසා ගැබ් ගෙන සිටිනවාද නැද්ද යන්න දැන ගත හැකිය. එසේ දැනගත් විට ඇය ගැබ තුළ සිටින දරුවා කෙරෙහි අවධානය යොමු කර එම දරුවා ප්‍රසූත කරන තෙක් විවාහ නොවී සිටිය යුතුය. තම මිය ගිය සැමියාට මෙම කාන්තාවට කළ හැකි උතුම් ගෞරාවය මෙය වේ.

ස්වාමියා අහිමි වී දින කිහිපයකට පසුව තමා මියගිය සැමියාට දාව ගැබ්ගෙන බව සමාජයට ප්‍රකාශ කලත්, එසේත් නැත්නම් පසුකාලීනව සමාජය එය දැනගත්ත ද ඔවුන් එය කුතුහලයෙන් හා ඇය කෙරෙහි සැකයෙන් බැලීම වර්ථමානයේ අප හොදින් දන්නා කාරණයකි. ඒ ඇත්තටම මේ මියගිය තම ස්වාමියාගේ දරුවාද? නොඑසේ නම් වෙනයම් සම්බන්ධයක් තුලින් මෙම දරුවා බිහිවුණාද? යන්න ඒ සැකයයි. මෙය කාන්තාවකගේ ගෞරවය කෙලසන, ඇයව සමාජය තුල අසරණ කරවන, එසේම ඇය බිහිකරන දරුවා සමාජය තුල පහත් කොට සලකන තත්වයක් උදාකිරීමකි. නමුත් ඉස්ලාම් යෝජනා කරන “ඉද්දා” නම් නිතිය සමාජය තුල ක්‍රියාත්මක වනවිට ඉහත ආකාරයේ චෝදනාවන් වලින්ද ඇය ආරක්ෂා වේ. ඇය දරුවකු බිහිකල ද එම දරුවා තම මියගිය ස්වාමියාට දාව උපන් දරුවකු යන්න කිසිදු මතභේදයකින් තොරව තහවුරු වේ. මේ නිසා ඇයගේ ගෞරවයද ආරක්ෂා වේ.

ස්වාමියා මියගිය කාන්තාවක් තම ස්වාමියා මියගොස් දින කිහිපයකින් වෙනත් විවාහයක් කරගත්තා යයි උපකල්පනය කරමු. ඇය විවාහ වී සති කිහිපයකින් ඇය ගැබ්ගෙන බව තහවුරු වුවා යයිද සිතමු. එවිට මෙම දරුවා සැබවින්ම කාගේද යන ගැටලුව උදා වේ. තම දෙවන විවාහක ස්වාමියා මේ දරුවා තමාගේ නොවන බව පවසමින් එම දරුවා හා බිරිද ප්‍රතික්ෂේප කරන්නට පුළුවන, මේ තුලින් එම විවාහය දෙදරා යාමට පුළුවන, එසේම මේ ගැබ තුල සිටින දරුවාගේ පියා ඇයගේ ප්‍රථම ස්වාමියාගේ බව පවසමින් දෙවන ස්වාමියා හට මෙම වගකීමෙන් මඟ හැරීමට හැක. මෙම දරුවා සැබැවින්ම ප්‍රථම ස්වාමියාට දාව ඉපදුනු දරුවෙකු නම් එම දරුවා හට තම පියාගේ දේපලවල අයිතින් (කිසියම් අනුපාතයකට) හිමිවේ. එසේ අයිතින් ලබාදීමේ දී මියගිය ස්වාමියාගේ ඥාතීන්ට හිමි වූ දේපල කොටසෙන් කිසියම් අනුපාතයක් මේ දරුවා වෙනුවෙන් නැවත ලබාගැනීමට සිදුවේ. මෙවැනි අවස්ථාවක එම ඥාති පිරිස් තම වස්තූන් නැවත නොදී ආරක්ෂා කිරීම පිණිස “මේ දරුවා තම සහෝදරයාගේ (මියගිය තැනැත්තාගේ) නොවේ”. යයි පවසා ප්‍රතික්ෂේප කිරීමට පුළුවන, එසේම දරුගැබ තුල සිටින දරුවාගේ පියා (මියගිය පුද්ගලයා) යයි පවසමින් ප්‍රථම සැමියාට අයත් දේපල හා වස්තූන් දිනාගැනීමට ද දෙවන සැමියා කටයුතු කිරීමට පුළුවන, ඒ සදහා තම දරුවා වුවද ප්‍රථම ස්වාමියාගේ දරුවා යනුවෙන් වාද කිරීමට දෙවැනි ස්වාමියා පෙළඹීමට පුළුවන. මේ සියල්ල තුලින් අහිමි වී යන්නේ දරුවාගේ මූලික අයිතීන් හා කාන්තාවගේ ගෞරවයයි. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව දරුවකුගේ පියා යන්න කිසිසේත් වසන් නොකලයුතු කාරණයකි. එය ඉස්ලාම් මුස්ලිම් සමාජයට දැඩිව අවධාරණය කරන කාරණයකි. දරුවකු අරන් හදාවඩා ගත්තද එම දරුවාට තේරුමක් ඇති වයසට එනවිට තම සැබෑ පියා කවුරුන්ද යන්න ඔහුට හෝ ඇයට අවබෝධකර දීම අනිවාර්ය වේ. තම පියා කුමණ ජාතියක්, ආගමක්, තරාතිරමක් හෝ කුලයක් නියෝජනය කරනවාද යන්න මෙහි වැදගත් නොවේ. ඉස්ලාම් මෙම කාරණයේදී මෙතරම් සැලකිලීමත් වනවිට ඉහත ආකාරයට දරුගැබේ සිටින දරුවා කාහට හිමිද යන්නෙහි නොසැලකිලීමත් වනු ඇත්ද? අවසානයේ මේ සියළු අසාධාරණයන් සදහා මැදිවෙන්නේ කාන්තාව (මව) හා දරුවා පමණි. සැමියා අහිමි වූ කාන්තාව සැලකිය යුතු කාලයක් (අඩුම වශයෙන් එක් මාස් ශුද්දියක කාලයක්) විවාහ නොවී සිටීම තුළින් මෙම ව්‍යාකූල ගැටලුවෙන් ඇයට මිදිය හැක. ඉස්ලාම් යෝජනා කරන “ඉද්දා” තුලින් මේ ව්‍යාකූල තත්වයන් ඇහිරී යයි.

ඇතැම් විට එක් මාස් ශුද්දියක කාලයකට පසුව ඇය ගැබ් ගෙන නොමැති බව ඇයට අවබෝධ කර ගත හැකිය. එසේ වී නම් තම සැමියාට ගෞරවය දක්වනු පිණිස තවත් මාස 3ක පමණ කාලයක් විවාහ නොවී සිටිය යුතුය. මේ කාරණා දෙකම සැලකිල්ලට ගෙන දෙවිඳුන් ලබා දෙන කාල සීමාව වන්නේ මාස 4ක් හා දින 10ක් වේ.  මීට අමතරව මහළු (ඔසප් කාලය අවසන් වූ) කාන්තාවන්ද මාස 3ක “ඉද්දා” හි නිරතවීමට අවශ්‍ය බව ඉස්ලාමය පවසයි. මෙතුළින් තම සැමියාට ගෞරවය දැක්වීමට මෙම කාන්තාවන්ටද හැකියාව ලැබේ.

“…ගැහැණූන්ගෙන් කවුරුන් (වයොවෘද්ධී වි) ඔසප්වීම සිදුනොවී (ඉද්දා කාලය ගණනය කිරීමට නොහැකිව) සිටින පිරිසට හා ඔසප් සිදුනොවන පිරිසටද ඉද්දාවෙහි කාලය මාස තුනකි…” [අල් කුර්ආනය 65:4]

ඉස්ලාමයේ ඉද්දා කාල සීමාව පිලිබඳ ඉගැන්වීම සැකසී ඇත්තේ මේ සියලු කාරණා දෙස අවධානය යොමු කරමින්ය. මනුෂ්‍ය බුද්ධියට තවම ගෝචර නොවූ තවත් බොහෝ අවශ්‍යතාවයන් මේ “ඉද්දාව” තුල පැවතිය හැක. ස්වාමියා අහිමි වූ කාන්තාව දුර්භාග්‍යයක් ලෙසත් අවාසනාවන්ත සලකුණක් ලෙසත් දකින නූතන දියුණු සමාජය දෙස බලා නොව ඊටත් වඩා අරාජිකව පැවතී. කාන්තාව අලෙවි භාණ්ඩයක් ලෙස විකිණුනු සමාජයක් දෙස බලා ඇයගේ දෙවන විවාහ අයිතීන් සුරකින ආකාරයට “ඉද්දා” නීතිය යෝජනා කිරීම ඉස්ලාම් දහමේ ශ්‍රේෂ්ඨත්වය හා අසමසම බව මනාව පිළිඹිබු කරන්නකි. ඉස්ලාම් නිර්ණය කරන “ඉද්දා” කාලය ගැන බුද්ධිමත්ව කල්පනා කරන කෙනෙකුට එතුළින් කාන්තාවන්ට සිදු වන්නේ යහපතක් මිස අයහපතක් නොවන බව පැහැදිලිව වටහා ගත හැකිය.

වර්තාමානයේ මුස්ලිම් සමාජය තුළ තිබෙන “ඉද්දා” සම්ප්‍රදාය

මෙතෙක් ඉස්ලාම් පෙන්වාදෙන “ඉද්දා” නම් ආදර්ශය පිලිබදව තරමක් දුරකට අවබෝධයක් ලබාගත්ත ද මෙම මාතෘකාව පිලිබදව කථා කරවිට අනිවාර්‍යෙයන් සාකච්ඡාවට ගතයුතු මෙතෙක් සාකච්ඡාවට නොගැණුනු කාරණයක් ඇත. ඒ වර්ථමාන මුස්ලිම් සමාජය තුල මෙම විෂය ක්‍රියාත්මක වන ආකාරයයි. ආගමික මූලාශ්‍රයන් තුලින් දහම අවබෝධ කරගන්නවා වෙනුවට සමාජ සම්ප්‍රදායන් හා අනිකුත් සමාජවල ආදර්ශයන් පදනම් කරගෙන මුස්ලිම් සමාජය ඉස්ලාම් දහම ක්‍රියාවට නැංවීමට උත්සාහ කිරීම හේතු කොටගෙන එහි නොයෙකු අඩුපාඩුකම් දක්නට ලැබේ. වැන්දබු කාන්තාවක් සඳහා නිර්ණය වන ඉද්දා කාලයද එවන් තවත් එක් අවස්ථාවකි.

ඉද්දා කාලය යනු ඉහත සදහන් කාන්තා පාර්ශවයන් තවත් විවාහයක් සිදුනොකොට ගතකලයුතු කාලයයි. එනම් ඔවුන් වෙනත් විවාහයක් කර ගතයුත්තේ ඉහත සදහන් කාලපරාසයන් ගෙවීයාමෙන් අනතරුවය. මෙම කාලය තුල ඔවුන් අනුගමනය කලයුතු කොන්දේසි කිහිපයක්ද ඉස්ලාම් පවසා ඇත. ඒවායින් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • කාන්තාව ඉද්දා කාලය තුල තමාව අධික ලෙස අලංකාර (ඇස් අලංකාරව සැරසීම, සුවද විලවුන් භාවිතය, අධික වර්ණවත් වස්ත්‍ර යනාදියෙන්) සැරසීම සුදුසු නොවේ.
  • තම ඉදිරියේ දී සිදුකිරීමට නියමිත විවාහය පිලිබදව සෘජුවම කථා කිරීමෙන්ද වැලකී සිටිය යුතුය.

මේ ආකාරයට සරල කොන්දේසි කිහිපයකට යටත්ව ක්‍රියාවට නංවන “ඉද්දා“ නීතිය වැරදි ආකාරයට අවබෝධ කරගනෙ සිටින මුස්ලීම් සමාජයේ සමහරක් පිරිස් “ඉද්දා“ නමින් කාන්තා හිංසනයක් ක්‍රියාවට නංවන අවාසනාවන්ත තත්වයක් අද දක්නට ඇත. ඒ ඇය සූර්‍යාලෝකය නොවැටෙන ලෙස සිටිය යුතු බවත්, කළුවර කුටියක සිටිය යුතු බවත්, ඇය කිසිදු පිරිමියෙකු නොදැකිය යුතු බවත්, කුඩා පිරිමි දරුවන් පවා නොදැකිය යුතු බවත් පවසමිනි. එපමණක් නොව සමහරක් ප්‍රදේශවල තම පිරිමි දරුවාට පවා මව බැලීමට අවසර නොදෙන අවස්ථාවන් දක්නට ඇත. මුස්ලිම් නොවන කාන්තාවන් ඇය බැලීම නොසුදුසු බවට පවසන පිරිස් පවා අප සමාජයේ ඇත. එපමණක් ද නොව ස්වාමියා මියගිය වර්ෂය පූරාම එම කාන්තාව දුක්ක වර්ෂයක් ලෙස සලකා අලුත් ඇදුම් ඇදීම හෝ අවුරුදු උත්සව සැමරීම යනාදියෙන් වැලකී සිටිය යුතු බව තවත් සමහරුන් පවසයි. අනිකුත් සමාජවල වැන්දඹු කාන්තාවන්ට උරුම කරදී තිබෙන තත්වයට වඩා පහත් තැනක් ඉස්ලාමීය කාන්තාවට “ඉද්දා“ නමින් වර්ථමාන මුස්ලීම් සමාජය උදාකර දී ඇත. මෙවැනි ක්‍රියා කලාපයන් බොහෝමයක් එක් එක් ප්‍රදේශයන්ට ආවේනික ලෙස ක්‍රියාවට නැංවේ. මේවා සියල්ල සම්පිණ්ඩනය කොට පවසනා නම් “මේ කිසිවක් ඉස්ලාම් නොවන අතර මේවා සියල්ල කාන්තා හිංසනයන් පමණි.“ සමස්ථ ලොකයම මෙම කාරණයේ දී කාන්තාව පහත්කොට සලකන විට ඉස්ලාම් “ඉද්දාව“ තුලින් ඇය ආරක්ෂා කරන දහමකට උරුමකම් කියන මුස්ලීම් සමාජය එම “ඉද්දා“ නමින්ම ඇයගේ අයිතීන් උදුරාගැනීම කොතරම් අවාසනාවන්ත තත්වයක්ද? එබැවින් අල්ලාහ් (දෙවියන්) පවසන පහත කාරණය මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බැලීමේ වගකීම මේ මුස්ලීම් සමාජයට ඇත. එනම්,

(ඉද්දාවෙහි නිරත වී සිටින ඔබ ඉද්දා කාල තුල) විවාහ වීමට ඇති කැමැත්ත ප්‍රකාශ කිරීම හෝ ඉඟි මඟින් විවාහය යෝජනා ඉදිරිපත් කිරීම ඔබ කෙරෙහි වරදක් නැත. ඔවුන්ව නුඹ සිතින් ප්‍රියකරන බව අල්ලාහ් දන්නේය. යහපත් අයුරින් ඔවුන් හා කථා කරනවා මිස ඔවුනට පොරොන්දු නොදෙන්න!, නියමිත (ඉද්දා) කාලය අවසන් වනතුරු විවාහ විමේ තීන්දුවකට නොඑළඹෙන්න. නුඹලාගේ සිත්තුල ඇති දෑ අල්ලාහ් දන්නේය යන්න අවබෝධ කරාගන ඔහුට බියවන්න!, [අල් කුර්ආනය 2:235]

ඉහත කුර්ආන් වාක්‍යය වචනයෙන් වචනය හොදින් විමසා බැලුවේ නම් වර්ථමාන මුස්ලිම් සමාජය “ඉද්දා“ නමින් කරන්නේ කුමක්ද? “ඉද්දාව“ මඟින් ඉස්ලාම් අපේක්ෂා කරන්නේ කුමක්ද? යන්නත් පැහැදිලිවම වටහාගත හැක. මෙම තත්වය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා පහත හදීසය දෙස අවධානය යොමු කරමු.

ජාබිර් (රලි) තුමා මෙසේ පවසන ලදි. “මාගේ මවගේ සහෝදරියක් “ඉද්දා“ කාලය ගෙවමින් සිටින අවස්ථාවක තම රටඉදි ගසේ පලදාව ඇය විසින්ම නෙලන්නට සිතුවේය. එම මොහොතේ කෙනෙකු “මේ කාලයේ ඔබ කොහේවත් නොයායුතුයි“ යනුවෙන් ඇයට අවවාද කරන ලදී. ඒ මොහොතේ ඇය නබිතුමාණන් හමුවට පැමිණ සිදුවූ දෑ පැවසූ විට නබිතුමාණන් “ඔව් ඔබ යන්න ගිහින් රටඉදි පල නෙලාගන්න. මන්ද එයින් ලැබෙන ආදයමින් නුඹට දානධර්ම (පරිත්‍යාගයන්) කරන්න එසේත් නැත්නම් යහපත් කටයුතුවලට එය යොදවන්න.“ යනුවෙන් පවසන ලදි. [මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්]

ඉහත හදීසයට තවත් විග්‍රහයක් අවශ්‍ය නොවේ. මෙම හදීසය තුලින් අවධාරණය කරන කාරණය හා වර්ථමාන (ලාංකීය හා ඉන්දියානු) මුස්ලිම් සමජය සිදුකරන කාරණය හොදින් විමසා බැලුවේ නම් මෙම “ඉද්දාව“ සම්බන්ධයෙන් කොතරම් මිත්‍යාවන් තුල මුස්ලීම් සමාජය කොටු වී සිටිනවාද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. මෙම තත්වයන් වෙනස් කලයුතුය. මුස්ලීම්වරැන්ගේ මෙම මිත්‍යදෘෂ්ඨික ක්‍රියා කලාපයන් නිසා විවේචනයට ලක්වන්නේ ඉස්ලාම් දහම මිස එම ජන සමාජය නොවේ. මෙවැනි දෑ තුලින් සිදුවන්නේ ඉස්ලාම් දහමේ පවතින යහපත් ආදර්ශමත් ඉගෙන්විමන් පවා විකෘති වී සමාජගත වීම පමණි. අවසාන වශයෙන් මේ ආකාරයට ඉස්ලාම් පේනවා නොදෙන නීතිරීති යොදාගෙන මුස්ලීම් සමාජය තුල ඉස්ලාම් නමින් විවිධ දෑ ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් මුහම්මද් (සල්) තුමානන් විසින් සමාජයට කල අවවාදාත්මක එක් හදීසයක් දෙස අපගේ අවධානය කරමු.

වරක් නබිතුමාණ්න් ජනතාව හමුවේ නැඟීසිට අල්ලාහ් (දෙවියන්)ට ප්‍රසංශා කොට අනතුරුව “මේ සමහරක් මිනිසුන්ට කුමක් සිදුවෙලාද? අල්ලාහ් (දෙවියන්)ගේ නීතියෙහි නොමැති කොන්දේසි පවා (ජනතාව අතර) ක්‍රියාවට නංවනවා නේ, දැනගන්න අල්ලාහ් (දෙවියන්)ගේ නීතියෙහි නොමැති කිසිවක් වලංගු නොවේ. එය සියක් වාරයක් ප්‍රකාශ වුවද කම්නැත. අල්ලාහ් (දෙවියන්)ගේ තින්දු තමා පිලිගෙන ක්‍රියාකිරීමට සුදුසු ඒවා වන්නේය. [මූලාශ්‍ර ග්‍රන්ථය – බුහරී]

සීමාව නොඉක්මවා ඉස්ලාමයේ නීති නිසියාකාරව ක්‍රියාවට නැංවීම මුස්ලිම්වරුන්ගේ වගකීම බව ඉහත පුවතෙන් අපට අවබෝධ කර ගත හැක.

මෙම ලිපිය යහමඟ අඩවියේ  ඉද්දා යනු කුමක්ද? ඒ කුමක් සදහාද?” නම් ලිපිය සංශෝදනය කර සකස් කළ ලද ලිපියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *