පිරිමියකුගේ සාක්ෂිය කාන්තාවන්ගේ සාක්ෂි දෙකකට සමානය යැයි පැවසීම සාධාරණද?

ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බවත් කාන්තාවන්ට අසාධාරණයක් සිදු කරන බවත් ඉස්ලාම් දහම විවේචනය කරන ඇතැම් නූතන විවේචකයන් පවසනවා. කෙසේනමුත් ඉස්ලාමය කාන්තාව සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න නිසි ආකාරව අබබෝධකර ගන්නවා නම් මෙවන් චෝදනාවලට කිසිඳු ඉඩක් නොමැති බව ඕනෑම කෙනෙකුට වටහා ගන්න පුළුවන්. මේ සඳහා මුලින්ම අල් කුර්ආනයේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමේ නිවැරදි ක්‍රමවේදය අප දැන සිටිය යුතුයි. මීට අමතරව ඉස්ලාමය කාන්තාවන්ට ලබා දුන් නිසි තැන යන ලිපියද කියවන්න. මෙම ලිපිය තුළින් ඉස්ලාමය කාන්තාවන්ට ලබා දුන් මඟපෙන්වීම් වල පදනම තේරුම් ගන්න පුළුවන්. මෙම කරුණු පිළිබඳව මනා අවබෝධයක් අප සතුව තිබෙනවා නම් විවෙචයක් එල්ල කරන පහත චෝදනා සඳහා වූ නිසි පිළිතුරු මොනවාද යන්න අපට තේරුම් ගන්න පුළුවන්.

පිරිමියකුගේ සාක්ෂිය කාන්තාවන්ගේ සාක්ෂි දෙකකට සමානය යැයි පැවසීම සාධාරණද?

යම් සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි දැරීම අපගේ එදිනෙදා ජීවිතයේදී සිදුවන දෙයක්. රැකියාවකට අයදුම් කරන විට, ගනුදෙනු වලදී, විවාහ ගිවිසුම් වලදී, අපරාධයක් සනාත කිරීම සඳහා යනාදී විවිධ අවස්තාවලදී විවිධ පුද්ගලයින් සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වීම අවශ්‍ය වෙනවා. කෙසේනමුත් මෙසේ සාක්ෂි දැරීම පහසු කාර්යයක් නොවේ. මෙය ඉතාමත් වගකීමෙන් කළ යුතු කාර්යයක්. මේ නිසා මෙවන් අවස්තාවලදී සාක්ෂිකරුවන් වීමෙන් වැළකෙන්න ඇතැමුන් කැමතියි. ඒ වගේම යම් හේතුවක් නිසා සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වන්න සිදු වුණත් ඔවුන් සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වනුයේද තරමක බියකින් බව පැහැදිලි සත්‍යයක්.

ඉස්ලාම් දහම යනු පරිපූර්ණ ජීවන ක්‍රමයක් නිසා එහි සෑම අංශයකටම අදාළ ඉගැන්වීම් තිබෙනවා. උදාහරණයක් ලෙස දේපළ බෙදීමේ නීති, විවාහ නීති, ව්‍යාපාර නීති, අපරාධ නීති යනාදී සියලු දේවල් ඉස්ලාම් දහම තුළ තිබෙනවා. ඒ වගේම මෙම අංශ ගැන සැලකීමේදී පුද්ගල සාක්ෂි වල අවශ්‍යතාවයක් තිබෙන බව අපට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් වන අතර ඉස්ලාම් දහමද මෙම අවශ්‍යතාවය පිළිබඳව කරුණු ඉදිරිපත් කරනවා.

විශ්වාස කළ අයවලූනි. නියමිත කාල සීමාවක් නිශ්චය කොට නුඹලා එකිනෙකාට ණයක් දෙන විට එය ලියා තබන්න. ලියන්නා නුඹලා අතර යුක්තිසහගත ව ලියත්වා! අල්ලාහ් තමාට ඉගැන් වූ අයුරින් ලිවීමට ලියන්නා ප්‍රතික්ෂේප නොකර ලියත්වා! ණය ගැතියා ලිවීමට උචිත වගන්ති ප්‍රකාශ කරත්වා! තම දෙවියන් වන අල්ලාහ්ට බිය වෙත්වා! එයින් කිසිවක් අඩු නොකළ යුතුය. ණය ගැතියා අවබෝධයක් නොමැති කෙනෙකු නම් හෝ දුර්වල කෙනෙකු නම් හෝ ලිවීමට උචිත පරදි ප්‍රකාශ කිරීමට නොහැකි කෙනෙකු නම් හෝ ඔහුගේ භාරකරු යුක්තිසහගතව ප්‍රකාශ කරත්වා! නුඹලාගේ පිරිමින්ගෙන් දෙදෙනෙකු සාක්ෂිකරුවන් ලෙස පත් කර ගන්න. පිරිමින් දෙදෙනෙකු නොමැති නම් සාක්ෂිකරුවන් ලෙස නුඹලා තෘප්තිමත් වන පිරිමියෙකු හා ස්ත්‍රීන් දෙදෙනක් (පත් කර ගන්න.) ඒ ස්ත්‍රීන් දෙදෙනාගන් එක් තැනැත්තියක් වරදවා ප්‍රකාශ කළහොත් අනෙක් තැනැත්තිය සිහිපත් කරවන්නී ය. කැඳවනු ලබන විට සාක්ෂිකරුවන් ප්‍රතික්ෂේප නොකළ යුතුය. සුළු වූවත් විශාල වූවත් (ණය බේරුම් කරන) නිශ්චිත කාල සීමාව ලියා තැබීමට උදාසීන නොවන්න. මෙය අල්ලාහ් හමුවේ යුක්තිසහගත යත සාක්ෂිය තහවුරු කිරීමට උචිත ය. එකිනෙකා කෙරෙහි සැක දුරු කිරීමට ද උචිත යග නුඹලා අතර එක ම තැන අවසන් වන වෙළඳ ගනුදෙනුවක් වුවහොත් මිස. (අත් පිට) වෙළඳ ගනුදෙනු ලියා තබා නොගැනීම නුඹලා කෙරෙහි වරදක් නොවේ. ගිවිසුමක් ඇති කර ගැනීමේ දී ද සාක්ෂිකරුවන් තබා ගන්න. ලියන්නෙකුට හෝ සාක්ෂිකරුවෙකුට හෝ කිසිඳු හිරිහැරයක් කරනු නොලැබිය යුතුය. එසේ කළෙහු නම් එය නුඹලා කෙරෙහි වරදකි. අල්ලාහ්ට බිය වන්නග අල්ලාහ් නුඹලාට උගන්වයි. අල්ලාහ් සියලූ දේ ගැන සර්වඥයෙකි. [අල් කුර්ආනය 2:282]

ඉහත වැකියට අනුව ව්‍යාපාර ගනුදෙනුවකදී ඒ බව ලිඛිත ගිවිසුමක සඳහන් කළ යුතු වන අතර මේ ගිවිසුම සඳහා පිරිමි සාක්ෂි කරුවන් දෙදෙනෙකු ඉදිරිපත් විය යුතු බව ඉස්ලාම් දහම පවසනවා. සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වීම බරපතල කාර්යයක් නිසා එසේ ඉදිරිපත් වීමට බොහෝ පිරිස් අකමැති වුණත් මෙම වගකීම මූලික වශයෙන් පිරිමීන් භාරගත යුතු බව ඉස්ලාම් දහම පවසනවා. ඉස්ලාමීය සමාජ ක්‍රමයට අනුව ව්‍යාපාර සිදු කිරීමේ වගකීම් හිමි වන්නේ පිරිමියාටයි. එනිසා ව්‍යාපාර ගැන මනා අත්දැකීමක් හා දැනුමක් පිරිමියා තුළ සාමාන්‍යයෙන් තිබෙන අතර ව්‍යාපාර ගිවිසුම් වලට මුල් වී කටයුතු කළ යුත්තේ ඔහුයි. ව්‍යාපාර වලදී සිදු වන විවිධ රැවටිලි හා අසාධාරණ අවම කර ගැනීමට මෙය උපකාර වෙනවා. ව්‍යාපාර ගිවිසුම් සඳහා පිරිමීන් දෙදෙනෙකුගේ සාක්ෂි අවශ්‍ය බව මුලින්ම සඳහන් වන්නේ මේ හේතුව නිසා බව අපට තේරුම් ගන්න පුළුවන්. මෙම වගකීම අනවශ්‍ය ලෙස කාන්තාවන්ට පැවරෙන්නේ නැහැ. කෙසේනමුත් සාක්ෂිකරුවන් ලෙස පිරිමීන් දෙදෙනෙකු ඉදිරිපත් නොවූ අවස්තාවලදී එක් පිරිමියෙක් හා කාන්තාවන් දෙදෙනෙකු සාක්ෂි දිය යුතු බව ඉස්ලාම් දහම පවසනවා. “ස්ත්‍රීන් නම් දෙදෙනෙකු සාක්ෂි දිය යුතු වන අතර පිරිමීන් නම් එක් කෙනෙක් ප්‍රමාණවත්” යන නීතිය වලංගු වන්නේ ව්‍යාපර ගනුදෙනු වලදී පමණයි. එනම් එක් පිරිමියෙක් දැරිය යුතු වගකීමක් කාන්තාවන් නම් මෙම වගකීම දෙදෙනෙකු අතර බෙදී යනවා. උදාහරණයකට එක්තරා සැත්කමකට විශේෂ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සහතික කිරීමක් අවශ්‍ය මොහොතක මෙලෙස විශේෂ වෛද්‍යවරු දෙදෙනෙක් හමු නොවුනේනම් දෙවන විකල්පය ලෙස එක් විශේෂ වෛද්‍යවරයෙකුගේ හා සාමාන්‍ය වෛද්‍යවරු දෙදෙනෙකුගේ සහතිකය ලබා ගැනීම සලකන්න පුළුවන්.

එනිසා මෙම විශයේදී පිරිමියෙකු වෙනුවට කාන්තාවන් දෙදෙනෙක්  සාක්ෂි කරුවන් ලෙස ඉදිරිපත් වීම ඇත්තෙන්ම කාන්තාවන්ට ලැබී ඇති සහනයක් මිසක් කාන්තාවන්ව පහත කොට සැලකීමක් නොවේ. කෙසේනමුත් සාමාන්‍යයෙන් කාන්තාවන් තුළ අසීමිත ආදරය, සංවේදීභාවය හා අනුකම්පා කිරීමේ ස්වභාවය යනාදී යහපත් ගුණාංග තිබෙනවා. එනිසා කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් කාන්තාව සාක්‍ෂිදීමේ දී ඇයගේ සාක්‍ෂි කිසියම් පාර්ශවයක් කෙරෙහි ආදරයක් හෝ අනුකම්පාවක් නිසා සත්‍ය වසන් වී එම තීන්දුවට අසාධාරණයක් සිදු වෙන්න පුළුවන්. මෙම විශයේදී මෙවන් හැසිරීමක් එක්තරා ආකාරයක දුර්වලතාවයක් වුවද මෙය කාන්තාවන්ගේ දුර්වලතාවයක් ලෙස නොසලකා එය ඔවුන්ගේ සාමානය ස්වභාවය ලෙස සලකමින් ව්‍යාපාර ගිවිසුමකදී කාන්තා සාක්‍ෂි ලබාගැනීමේ දී දෙදෙනෙකු අවශ්‍ය බව ඉස්ලාම් අවධාරණය කරනවා.

ඒ වගේම ඉස්ලාමීය සමාජය තුළ කාන්තාව අනවශ්‍ය ගමන් බිමන් නොයන අතර අවශ්‍ය ගමනක් යන්නේද ඉස්ලාමය අනුමත කරන (මහ්රම් නම් විවාහ කිරීමට අනුමැතිය නොමැති) අය සමඟ පමණයි. ඒ වගේම කාන්තාව ඇතැම් විට ඇයගේ මාසික ඔසප් සමය ගත කරනවා වෙන්නත් පුළුවන්. මේ සමයේදී ඇතැම් කාන්තාවන් සිටින්නේ ශාරීරික මෙන්ම මානසික පීඩනයකින්. එනිසා කාන්තාවක් සාක්ෂි දීමේදී, අවශ්‍ය වූ විට නැවත සාක්ෂි කැඳවීම කාන්තාවන්ට සිදු කරන කරදරයක් වෙන්නත් පුළුවන්. නමුත් කාන්තාවන් දෙදෙනෙක් සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වනවා නම් මෙම ගැටලුව අවම කර ගන්න පුළුවන්. මෙය කාන්තාවන්ට ලැබෙන එක්තරා විදිහක සහනයක් බව පැහැදිලියි.

ඇතැම් අවස්තාවලදී සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වන පුද්ගලයින්ට විවිධ අකාරයේ තර්ජන වලට මුහුණ දීමට සිදු වන්න පුළුවන්. සාක්ෂි ඉදිරිපත් කරන විට බොහෝ විට අවාසි ඇති වන පාර්ශවය ඇතැම් විට සාක්ෂි කරුන්වන්ට කරන මෙවන් බලපෑම් වලදී සාක්ෂි කරුවන් සාක්ෂි දීමෙන් වැළකෙන්න පුළුවන්. තර්ජන වලට බය වීමේ ස්වභාවය පිරිමීන්ට සාපේක්ෂව කාන්තාවන් තුළ අධිකව තිබීම සාමාන්‍ය දෙයක්. එනිසා කාන්තාවන් සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වන විට ඔවුන්ට එක්තරා විදිහක සහනයක් මෙන්ම ආරක්ෂාවක් තිබිය යුතුයි. මෙය කාන්තාවන් දෙදෙනෙකු සාක්ෂිකාරියන් ලෙස ඉදිරිපත් වීමෙන් අවම කරගන්න පුළුවන්.

ඒ වගේම සාක්ෂිකරුවන් ලෙස එක් පිරිමියෙක් හා එක් කාන්තාවක් පමණක් ඉදිරිපත් වී සාක්ෂි ඉදිරිපත් කිරීමේදී මෙම සාක්ෂිකරුවන් අතර යම් විෂයක (උදා: ගිවිසුමේ සඳහන් මුල්‍යමය අගය, කොන්දේසි) එකඟතාවයක් ඇති නොවුනා යැයි සිතමු. එවිට පිරිමි සාක්ෂිකරුවා කාන්තා සාක්ෂිකාරියට විරුද්ධව හෝ කාන්තා සාක්ෂිකාරිය පිරිමි සාක්ෂිකරුවාට විරුද්ධව කතා කළ යුතු අවස්තාවක් උදා වෙනවා. මෙහිදී කාන්තාවට අමතර පීඩනකාරී තත්වයක් උදා වන අතර මින් කාන්තාවට යම් සහනයක් තිබිය යුතුයි, කාන්තාව ආරක්ෂා විය යුතුයි. එනිසා මෙම කාන්තා සාක්ෂිකාරියට අමතරව තවත් කාන්තා සාක්ෂිකාරියක් සිටීම කාන්තා සාක්ෂිකරුවන්ට සහනයක් බව බුද්ධිමත් කවුරුත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පළමු සාක්ෂිකාරියට යම් දෝෂයක් ඇති වුණහොත් දෙවැනි සාක්ෂිකාරියට එම දෝෂය නිවැරදි කරන්න පුළුවන්. පළමු සාක්ෂිකාරියට යම් දෙයක් අමතක වූයේ නම් දෙවැනි සාක්ෂිකාරියට එය මතක් කර දෙන්න පුළුවන්. නමුත් මෙවන් සහනයක් පිරිමියාට මෙම විශයේදී නැති බව සඳහන් කළ යුතයි.

කෙසේනමුත් මෙම නීතිය වලංගු වන්නේ ව්‍යාපාර ගිවිසුම් වලදී පමණක් බව ඉහත කරුණු තුළින් අපට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. අනෙකුත් අවස්ථාවලට මෙම නීතිය වලංගු වන්නේ නැහැ. ඇතැම් අවස්තාවලදී කාන්තාවන් පමණක් සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වුණත් එය පිළිගත යුතු බව ඉස්ලාමීය ඉගැන්වීම් තුළින් අපට අවබෝධ කර ගන්න පුළුවන්.

1. බිරිඳ තම ස්වාමි පුරුෂයාට හෝ ස්වාමි පුරුෂයා තම බිරිඳට යම් චෝදනාවක් (උදා දුරාචාරයේ යෙදුනා යැයි චෝදනා කළේ නම්) එල්ල කළේ නම් එහිදී තනි පුද්ගලයෙකුගේ සාක්ෂිය ප්‍රමාණවත් බව අල් කුර්ආනය පවසනවා. එනම් බිරිඳ තම පුරුෂයාට එල්ල කරන චෝදනාව සඳහා වූ සාක්ෂිය ඇය පමණක්ම වෙන්න පුළුවන්.

තමන් හැර වෙනත් සාක්ෂි නොමැති අවස්ථාවක තම භාර්යාවන්ට චෝදනා කරන අය තමන් සත්‍යවන්තයින් බව සිව් වරක් අල්ලාහ් මත (දිවුරා) සාක්ෂි දැරිය යුතුය. “තමා අසත්‍යද පවසන්නෙක් නම් තමා කෙරෙහි අල්ලාහ්ගේ ශාපය පහළ වේවා`”යි පස් වැනි වතාවේ දී (ඔහු ප්‍රකාශ කළ යුතුයි). “අසත්‍ය පවසන්නා ඔහු ම යැ”යි එම ස්ත්‍රිය සිව් වරක් අල්ලාහ් මත (දිවුරා) සාක්ෂි දැරීම දඬුවමින් ඇය ආරක්ෂා කරයි.“ඔහු සත්‍ය වන්තයෙක් නම් තමා කෙරෙහි අල්ලාහ්ගේ කෝපය පහළ වේවා`”යි පස් වැනි වතාවේ දී (ඇය ප්‍රකාශ කළ යුතුයි). [අල් කුර්ආනය 24 : 06-09]

මේ සම්බන්ධ තවත් තොරතුරු සහිහ් බුහාරි නම් ග්‍රන්ථයේ පුවත් අංක 4746,4748,5311 වල සඳහන් වෙනවා.

මෙහිදී තවත් වැදගත් කරුණක් වන්නේ පුරුෂයා සිව්වරක් සාක්ෂි කි පසු එය බිරිඳ සිව් වරක් සාක්ෂි කීමෙන් ප්‍රතික්ෂේප කළේ නම් ප්‍රමුකත්වය දෙනු ලබන්නේ බිරිඳගේ සාක්ෂියටයි. එනම් කාන්තාවකගේ සාක්ෂියටයි.

2. ඉස්ලාමීය දින දර්ශනය තීරණය වන්නේ සඳ බැලීම පදනම් කර ගෙනයි. මේ සඳහා එක් කාන්තාවකගේ සාක්ෂියක් පවා ප්‍රමාණවත් බව ඉස්ලාමීය විද්වතුන් පවසනවා.

3. මිය ගිය කාන්තා ශරීරයක් නැවීමේදී (ගසල් ස්නානය) මෙයට සහබාගි විය යුත්තේ කාන්තාවන් පමණයි. එනම් මෙහිදී සාක්ෂිකරුවන් ලෙස ක්‍රියා කරන්නේ කාන්තාවන් පමණයි.

අල් කුර්ආනයේ 2:282 වැකියේ සඳහන් පරිදි ව්‍යාපාර ගිවිසුමකදී කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂිය පුරුෂයෙකුගේ සාක්ෂියකට සමාන යැයි පැවසීම කාන්තාවන් පහත් කොට සැලකීමක් නොව සාක්ෂි දැරීමේ බරපතලකම හා කාන්තාවන්ගේ ස්වභාවය සලකමින් කාන්තාවන්ට සහනයක් දෙනු පිණිස පිරිමියෙක් දැරිය යුතු වගකීමක් කාන්තාවන් දෙදෙනෙකු අතර බෙදා දීමක් බව ඉහත කරුණු කියවන බුද්ධිමත් කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වීමේ වගකීම මූලික වශයෙන් පිරිමීන්ට පැවරෙන අතර පිරිමීන් දෙදෙනෙකු නොමැති විට පමණක් එම වගකීම කාන්තාවටද පැවරෙනවා. නමුත් මෙම වගකීම කාන්තාවට ලබා දෙනුයේ ඔවුන්ට අනවශ්‍ය පීඩනයක් නොදෙන අන්දමින් හා ඔවුන්ව ආරක්ෂා කරන අන්දමිනුයි.

මෙහිදී තවත් එක් හදීසයක් (මුහම්මද් තුමාගේ ප්‍රකාශයක්) දෙස අවධානය යොමු කිරීම ප්‍රයෝජනවත් වෙනවා.

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ خَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي أَضْحَى أَوْ فِطْرٍ إِلَى الْمُصَلَّى فَمَرَّ عَلَى النِّسَاءِ فَقَالَ يَا مَعْشَرَ النِّسَاءِ تَصَدَّقْنَ فَإِنِّي أُرِيتُكُنَّ أَكْثَرَ أَهْلِ النَّارِ فَقُلْنَ وَبِمَ يَا رَسُولَ اللَّهِ قَالَ تُكْثِرْنَ اللَّعْنَ وَتَكْفُرْنَ الْعَشِيرَ مَا رَأَيْتُ مِنْ نَاقِصَاتِ عَقْلٍ وَدِينٍ أَذْهَبَ لِلُبِّ الرَّجُلِ الْحَازِمِ مِنْ إِحْدَاكُنَّ قُلْنَ وَمَا نُقْصَانُ دِينِنَا وَعَقْلِنَا يَا رَسُولَ اللَّهِ قَالَ أَلَيْسَ شَهَادَةُ الْمَرْأَةِ مِثْلَ نِصْفِ شَهَادَةِ الرَّجُلِ قُلْنَ بَلَى قَالَ فَذَلِكِ مِنْ نُقْصَانِ عَقْلِهَا أَلَيْسَ إِذَا حَاضَتْ لَمْ تُصَلِّ وَلَمْ تَصُمْ قُلْنَ بَلَى قَالَ فَذَلِكِ مِنْ نُقْصَانِ دِينِهَا

අබූ සෛද් අල් කුද්රි මෙසේ පවසනවා:

අල්ලාහ්ගේ දූතයා(මුහම්මද් තුමා) දිනක් ඊදුල් අල්හා හෝ ඊදුල් ෆිතර් නැමදුම සඳහා මුස්සල්ලා නම් ස්ථානයට ගියේය. (නැමදුමෙන් පසු) කාන්තාවන් දෙසට ගිය ඔහු මෙසේ පැවසුවේය. “කාන්තාවනි! දන් දෙන්න, හේතුව නිරයේ අධික වශයෙන් කාන්තාවන් සිටිනවා මම දුටුවෙමි.” “අල්ලාහ්ගේ දූතයාණෙනි! මෙයට හේතුව කුමක්ද?” යැයි ඔවුන් විමසුවෝය. මෙයට ඔහු (මුහම්මද් තුමා) මෙසේ පිළිතුරු දුන්නේය: “ඔබලා අධික වශයෙන් ශාප කරන අතර ඔබලාගේ ස්වාමි පුරුෂයින්ට ඔබ කෘතඥ ලෙස කටයුතු නොකරන්නෝය. ඔබලාට වඩා බුද්ධියෙන් හා දහමෙන් අඩු කෙනෙක් කෙනෙක් මා දැක නැත. පරික්ෂාකාරී සංවේදී පුරුෂයෙක් පවා ඔබලාගෙන් කෙනෙක් විසින් නොමග යා හැකිය”. (පසුව) කාන්තාවන් මෙසේ ඇසුවෝය: “අල්ලාහ්ගේ දූතයාණෙනි! අපගේ බුද්ධියේ හා අපගේ දහමේ තිබෙන අඩුව කුමක්ද?” මෙයට ඔහු මෙසේ පැවසුවේය “කාන්තාවන්ගේ සාක්ෂි දෙකක් එක් පිරිමියෙකුගේ සාක්ෂියකට සාමාන බව සාධකයක් නොවේද?” ඔවුහු (කාන්තාවෝ) එය පිලිගත්තෝය. “මෙයයි ඔබගේ තිබෙන බුද්ධියේ අඩුව” යැයි ඔහු (මුහම්මද් තුමා) පැවසුවේය. “මාසික ඔසප් සමයේදී ඔබට නැමදුම් කිරීමට හෝ උපවාසයේ යෙදීමට පුලුවන්ද?” යැයි ඔහු (මුහම්මද් තුමා) විමසුවේය. කාන්තාවෝ එයද පිලිගත්තෝය. “මෙයයි ඔබගේ දහමේ තිබෙන අඩුපාඩුව” යැයි ඔහු (මුහම්මද් තුමා) පැවසුවේය.[1]

මෙම පුවත උපුටා දක්වන ඇතැම් නූතන විවේචකයන් පවසන්නේ කාන්තාවන් යනු සෑම විටම පිරිමීන්ට වඩා බුද්ධියෙන් හීන පිරිසක් බව ඉස්ලාම් දහම උගන්වන බවයි. ඒ වගේම ඉස්ලාම් දහම කාන්තාවන්ගේ සාක්ෂි දෙකක් එක් පිරිමියෙකුගේ සාක්ෂිකට සාමාන යැයි පැවසීමට හේතුව කාන්තාවන් සෑම විටම බුද්ධියෙන් හීන වීම බව මෙම පුවත පවසනවා යැයිද විවේචකයන් චෝදනා කරනවා. මෙලෙස එක් පුවතක් පමණක් උපුටා දක්වා ඉස්ලාමයට එරෙහිව චෝදනා එල්ල කිරීම මෙම විවේචකයන්ගේ පුරුද්දක්. කෙසේනමුත් ඉස්ලාමීය ඉගැන්වීම් තේරුම් ගැනීමේ නිවැරදි ක්‍රමය මෙය නොවේ. ඉස්ලාමීය ඉගැන්වීමක් අවබෝධ කළ යුත්තේ යම් විෂයක් පිළිබඳව සඳහන් වී ඇති සියලු තොරතුරු එක් රැස් කර ගවේෂණය කිරීමෙන් අනතුරුවයි.

මෙම පුවතේ ඇති කරුණු දෙස මතුපිටින් බලා විවේචකයන් පවසන අර්ථය අප කළින් ඉදිරිපත් කර ඇති “තීක්ෂණ බුද්ධියක් තිඛෙන පුරුෂයෙකුගේ දැනුම ක්‍රියා විරහිත කරන තරම් දක්ෂතාවක් කාන්තාවනි, නුඹලාට ඇතැ”යි (සහිහ් බුහාරි පුවත් අංක 304, 1462) සඳහන් පුවතේ අර්ථය සමග හා පිරිමීන්ට වඩා කාන්තාවන්ට ඉහළ බුද්ධියක් තිබෙන බව පැවසෙන අනෙකුත් පුවත් සමඟ නොගැලපෙන බව අපට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. එනිසා මෙම පුවතේ අදහස මෙම විවේචකයන් පවසන අදහස නොවන බව මෙහිදී ප්‍රථමයෙන් පැවසිය යුතුයි.

දැන් මෙම පුවතට අදාළ සිදුවීම ගැන තේරුම් ගැනීමට මෙම සිදුවීම ගැන සඳහන් තවත් පුවතක් දෙස අවධානය යොමු කරමු.

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ شَهِدْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الصَّلَاةَ يَوْمَ الْعِيدِ فَبَدَأَ بِالصَّلَاةِ قَبْلَ الْخُطْبَةِ بِغَيْرِ أَذَانٍ وَلَا إِقَامَةٍ ثُمَّ قَامَ مُتَوَكِّئًا عَلَى بِلَالٍ فَأَمَرَ بِتَقْوَى اللَّهِ وَحَثَّ عَلَى طَاعَتِهِ وَوَعَظَ النَّاسَ وَذَكَّرَهُمْ ثُمَّ مَضَى حَتَّى أَتَى النِّسَاءَ فَوَعَظَهُنَّ وَذَكَّرَهُنَّ فَقَالَ تَصَدَّقْنَ فَإِنَّ أَكْثَرَكُنَّ حَطَبُ جَهَنَّمَ فَقَامَتْ امْرَأَةٌ مِنْ سِطَةِ النِّسَاءِ سَفْعَاءُ الْخَدَّيْنِ فَقَالَتْ لِمَ يَا رَسُولَ اللَّهِ قَالَ لِأَنَّكُنَّ تُكْثِرْنَ الشَّكَاةَ وَتَكْفُرْنَ الْعَشِيرَ قَالَ فَجَعَلْنَ يَتَصَدَّقْنَ مِنْ حُلِيِّهِنَّ يُلْقِينَ فِي ثَوْبِ بِلَالٍ مِنْ أَقْرِطَتِهِنَّ وَخَوَاتِمِهِنَّ

ජාබීර් බින් අබ්දුල්ලාහ් මෙසේ පවසනවා:

මම අල්ලාහ්ගේ දූතයාණන් සමඟ ඊද් දින නැමදුමට සහභාගී වුණෙමි. දේශනාවට ප්‍රථමයෙන් “අදානය” හා “ඉකාමතය” නොමැතිව ඔහු නැමදුම ආරම්භ කළේය. පසුව ඔහු බිලාල් තුමාට හේත්තු වී නැගී සිටි අතර අල්ලාහ් වෙනුවෙන් සියලුම නපුරින් ආරක්ෂා වන බවත් ඔහුට අවනතව කටයුතු කරන ලෙසත් අණ කර සිටියේය.  ඔහු ජනතාවට දේශනා හා අවවාද කළේය. පසුව ඔහු කාන්තාවන් සිටි ස්ථානය තෙක් ගමන් කර ඔවුන්ටද දේශනා හා අවවාද කළ අතර බහුතරයක් කාන්තාවන් නිරයට ඉන්දන වන නිසා දාන මාන දෙන ලෙස ඉල්ලා සිටියේය. තම කම්මුලේ කළු පැහැති සලකුණක් තිබූ කාන්තාවක් නැගිට “අල්ලාහ්ගේ දූතයාණෙනි! මෙයට හේතුව කුමක්ද?” යැයි විමසුවාය. “ඔබලා නිතරම අවලාද නගන අතර ඔබගේ ස්වාමි පුරුෂයින්ට කෘතඥ නොවන්නෝය” යැයි ඔහු (මුහම්මද් තුමා) පැවසුවේය. පසුව ඔවුහු (කාන්තාවෝ) තමන්ගේ කරාඹු, මුදු යනාදි ආභරණ බිලාල් තුමාගේ රෙදි මළුවකට දමමින් දන් දීමට පටන් ගත්තෝය. [2]

මෙම පුවත් වලින් ඉදිරිපත් වන්නේ දාන මාන දෙන මෙන් කාන්තාවන්ට පොදුවේ සිදු කළ ලද අවවාදයක් පිළිබඳවයි. කාන්තාවන් තම ආකල්ප, හැසිරීම්, ගති ගුණ යනාදිය වෙනස් කළ යුතුයි යන්න මෙම අවවාදයේ හරය මිසක් කාන්තාවන්ට අපහස කිරීම මෙහි අරමුණ නොවේ. උදාහරණයකට එක් ගුරුවරයෙක් පන්තිකාමරයකදී “ළමයි! නුඹලා දඟ නොකළ යුතුයි” යැයි පවසනවා යැයි සිතමු. මෙම අවවාදයේ අරමුණ ළමයින්ව වැරැද්දකින් බේරා ගැනීම මිසක් ඔවුන්ට අපහාස කිරීම බව බුද්ධිමත් කිසිම කෙනෙක් පවසන්නේ නැහැ.

කාන්තාවන් පොදුවේ අධික ලෙස ශාප කරන බවත් තම ස්වාමි පුරුෂයාට කෘතඥ ලෙස කටයුතු නොකරන බවත් මුහම්මද් තුමා පවසනවා. මෙසේ පැවසීමේ අරමුණ මෙම වැරැද්දෙන් කාන්තාවන්ව බේරා ගැනීමයි. ඉස්ලාමීය සමාජ ක්‍රමය තුළ මුදල් ඉපයීම, කාන්තාවට ආරක්ෂාව ලබා දීම යනාදී වගකීම් හිමි වන්නේ පුරුෂයාටයි. එනිසා බිරින්දෑවරුන් තම ස්වාමි පුරුෂයාට කෘතඥ ලෙස කටයුතු කළ යුතු බව ඉහත පුවතෙන් ප්‍රකාශ වෙනවා. මෙසේ නොකිරීම බුද්ධිමත් ක්‍රියාවක් හෝ දැහැමි ක්‍රියාවක් නොවන බව හැඟවීමට “ඔබලාට වඩා බුද්ධියෙන් හා දහමෙන් අඩු කෙනෙක් මා දැක නැත” යැයි මුහම්මද් තුමා ප්‍රකාශ කර තිබෙනවා.  මෙහිදී මුහම්මද් තුමා යොදා ගෙන තිබෙන්නේ වාක්‍යාලංකාරයේදී අඩක් ප්‍රකාශ කොට පූර්ණ අදහස ප්‍රකාශ කිරීමේ ක්‍රමයයි (මජාස් මුර්සල් – synecdoche). එනම් “බුද්ධිය” යන වචනය ව්‍යාපාර ගිවිසුමේ සාක්ෂි දැරීම නිරූපණය කිරීමටත්, “ආගම” යන වචනය යම් දින වල සිදු කරන නැමදුම හා උපවාසය නිරූපණය කිරීමටත් භාවිතා වී තිබෙනවා. එනිසා ඉහත ප්‍රකාශයේ අදහස සෑම අවස්ථාවකදීම කාන්තාව පුරුෂයාට වඩා බුද්ධියෙන් හා දහමින් අඩු කෙනෙක් යන්න නොවන බව නැවත සඳහන් කළ යුතුයි.

කාන්තාවන්ගේ සාක්ෂි දෙකක් එක් පිරිමියෙකුගේ සාක්ෂිකට සාමාන වන්නේ ව්‍යාපාර ගිවිසුම් වලදී බව අප කලින් සාකච්චා කළා. ඒ වගේම ව්‍යාපාර සිදු කිරීම තුළින් තම පවුල රැක බලා ගැනීමේ වගකීම පිරිමියාට හිමි වන නිසා ව්‍යාපාර ගිවිසුම් වලට පිරිමියා මුල් විය යුතු බවත් අප කලින් සඳහන් කළා. එනිසා “කාන්තාවන්ගේ සාක්ෂි දෙකක් එක් පිරිමියෙකුගේ සාක්ෂියකට සාමාන බව සාධකයක් නොවේද?” යැයි මුහම්මද් තුමා විමසීම තුළින් කාන්තාව රැක බලා ගැනීමට මූලික වගකීමක් දරන්නේ පිරිමීන් බව කාන්තාවට ඒත්තු ගැන්වීම මුහම්මද් තුමාගේ අරමුණ බව අපට තේරුම් ගන්න පුළුවන්. ව්‍යාපාර අධ්‍යයනයේ වැඩි අත්දැකීමක් හා දැනුමක් තිබෙන නිසා ව්‍යාපාර ගිවිසුමකට සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වීමේදී වැඩි වගකීමක් පිරිමීන්ට ලැබී තිබෙන අතර කාන්තාවන්ට මේ විෂයේ පිරිමීන්ට සාපේෂව දැනුම මදිකම නිසා ඔවුන්ට එක්තරා සහනයක් ලැබී තිබෙන බව හැඟවීමට “මෙයයි ඔබේ තිබෙන බුද්ධියේ අඩුව” යැයි මුහම්මද් තුමා මෙහිදී පවසනවා. ඒ වගේම ඔසප් සමයේදී නැමදුම් නොකලත් උපවාස රක්ෂා නොකලත් ඊට අදාළ ආනිසංස කාන්තාවන්ට හිමි වනවා. නමුත් මෙවන් සහනයක් පිරිමීන්ට නැහැ. ඒ වගේම මේ සමයේදීද කාන්තාවන්ගේ අවශ්‍යතා ඉටු කර දීමටත් තම ස්වාමි පුරුෂයා බැඳී සිටිනවා. “මාසික ඔසප් සමයේදී ඔබට නැමදුම් කිරීමට හෝ උපවාසයේ යෙදීමට පුලුවන්ද?”  යැයි මුහම්මද් තුමා විමසන්නේ මේ බව ඔවුන්ට ඒත්තු ගැන්වීමටයි. කාන්තාවන්ට ලැබී තිබෙන මෙම සහනය ගැන හැඟවීමට “මෙයයි ඔබගේ ආගමේ අඩුව” යැයි මුහම්මද් තුමා පවසනවා.

මේ සියලු කරණා තුළින් මුහම්මද් තුමා කාන්තාවන්ට අවවාද කරන්නේ මුදල් ඉපයීමේ වගකීම දරන තම ස්වාමි පුරුෂයින් සමඟ කෘතඥව කටයුතු කරන ලෙසයි. මෙවන් ප්‍රශ්න කිරීමෙන් කෙනෙකුට කරුණු පහදා දීම මුහම්මද් තුමාගේ එක් ක්‍රමවේදයක්. මෙම අවවාදය හොඳින් තේරුම් ගත් කාන්තාවෝ දන් දීමට පටන් ගත බව ඉහත පුවත් වල පැහැදිලිවම සඳහන් වෙනවා.

ඉහත පුවතේ අදහස කාන්තාවන් සෑම විටම සෑම විෂයකම පිරිමීන්ට වඩා දැනුමෙන් හා ආගමෙන් හීන බව නොවේ. කාන්තාවගේ බුද්ධිය පූර්ණවශයෙන් අවතක්සේරු කිරීමක් මෙහිදී සිදු වන්නේ නැහැ. කාන්තාවන්ට මනා ධාරණ ශක්තියක් හා බුද්ධිමත් භාවයක් තිබීම ඉස්ලාම් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඇතැම් කාරණා වල දී පුරුෂයින්ට වඩා කාන්තාවන්ට ඒ සුදුසුකම් අධිකව තිබීමත් ඉස්ලාම් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. උදාහරණයකට අල් කුර්ආනයේ සඳහන් ෂීබා රැජින සලකන්න පුළුවන්. මැය රටකට නායකත්වය දුන් කාන්තාවක් වන අතර බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාවකින් යුත් කාන්තාවක් බව අල් කුර්ආනයේ ඉගැන්වීම් තුළින් පිළිබිඹු වෙනවා. එනම් රටක් පාලන කරන තරම් බුද්ධියක් මෙම කාන්තාවට තිබී තිබෙනවා. ඒවගේම “තීක්ෂණ බුද්ධියක් තිඛෙන පුරුෂයෙකුගේ දැනුම ක්‍රියා විරහිත කරන තරම් දක්ෂතාවක් කාන්තාවනි, නුඹලාට ඇතැ”යි නබි මුහම්මද් තුමාණන් ඍජුවම පවසා තිබෙනවා. (සහිහ් බුහාරි පුවත් අංක 304, 1462 බලන්න.) ආයිෂා මව් තුමිය, උම්මු සලමා මව් තුමිය වැනි කාන්තාවන් නබි මුහම්මද් තුමාණන්ගේ මිත්‍රවරුන්ට ධර්මය උගන්වන තරමට බුද්ධියෙන් හා මතක ශක්තියෙන් පිරිපුන් වූ අය බව ඉස්ලාමීය ඉතිහාසය අපට කියා දෙනවා. තර්කන හැකියාවෙන් පුරුෂයින් අභිභවනය කරන තරමට ඔවුන්ගේ බුද්ධිමත් බව උසස් මට්ටමක පැවතුණා. නමුත් කාන්තාවන් අතර චිත්තවේගී බුද්ධිය අධික වන අතර විශ්ලේෂණ හා තාර්කික බුද්ධිය අධික වන්නේ පිරිමීන් අතර බව ගවේශනාත්මක වාර්තා පවා පවසනවා [3][4]. ඒ වගේම ව්‍යාපාර පිලිබඳ සාමාන්‍යයෙන් අත්දැකීම් බහුල පිරිමියාට කාන්තාවට සාපේක්ෂව මෙම විෂය කරුණු වල ඉහළ දැනුමක්ද තිබෙනවා. එනිසා බුද්ධියේ අඩුව යැයි ඉහත පුවතේ අදහස් වන්නේ ව්‍යාපාර සම්බන්ධ බුද්ධියේ අඩුව පමණයි.

එනිසා “මෙයයි ඔබේ(කාන්තාවන්ගේ) තිබෙන බුද්ධියේ අඩුව” යැයි සඳහන් වැකිය පමණක් උපුටා දක්වමින් ඉස්ලාම් දහම කාන්තාවන් සෑම විටම පිරිමීන්ට වඩා බුද්ධියෙන් අඩු බව පවසනවා යැයි විවේචනය කිරීම නිවැරදි ක්‍රමයක් නොවන බව බුද්ධිමත් ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.


කාන්තාවන්ගේ සාක්ෂි දෙකක් එක් පිරිමියෙකුට සමාන වන්නේ ව්‍යාපාර ගිවිසුමේ පමණක් බව අප ඉහත සඳහන් කර තිබෙනවා. කෙසේනමුත් මෙම නීතිය මිනී මැරුමක් සනාථ කිරීමටත් වලංගු වන බව ඇතැම් ඉස්ලාමීය විද්වතුන් පවසනවා. මෙයට හේතුව මිනී මැරුමක් සනාථ කිරීම යනු ඉතා බරපතල හා වගකීම් අධික කාර්යයක් වන අතර මෙම වගකීමද කාන්තාවන් දෙදෙනෙක් අතර බෙදා දීම සුදුසු බව ඔවුන් නිගමනය කිරීමයි. මෙයින් කාන්තාවට හිමි වන වගකීම අඩකින් අඩු වන බව පැහැදිලියි. කෙසේනමුත් මෙම මිනී මැරුමක් සනාථ කිරීමේදීත් කාන්තාවන්ගේ සාක්ෂි දෙකක් එක් පිරිමියෙකුට සමාන යැයි පැවසීමට පැහැදිලි සාක්ෂි නැති බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි.

මූලාශ්‍රයන්

[1] සහිහ් බුහාරි, පුවත් අංක 293

[2] සහිහ් මුස්ලිම්, පුවත් අංක 1467

[3] http://news.bbc.co.uk/2/hi/uk_news/education/4183166.stm

[4] http://www.eiconsortium.org/reprints/bar-on_model_of_emotional-social_intelligence.htm

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *