ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය පිළිබඳ ඉස්ලාමීය ස්ථාවරය

ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය (Female Genital Mutilation-FGM) ජාතික හා ජාත්‍යන්තර ඉස්ලාම් විරෝධීන්ගේ හා ඉස්ලාම් භීතිකා වාදීන්ගේ ඉතාමත්ම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් ව ඇති බව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් හි නිරතුරුව පළවන තොරතුරු විමසා බැලීමෙන් දැන ගත හැකි ව ඇත. ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය (FGM) පිළිබඳව ඔවුන් නගන හඬට විරුද්ධ වීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැත. මුස්ලිම්වරුන්ගේ විරුද්ධත්වය ඇත්තේ මෙම චෝදනාව ඉස්ලාමයේ ගිණුමට බැර කොට එමගින් ඉස්ලාම් පිළිකුලක් හා ඉස්ලාම් භීතිකාවක් ජනනය කරන්නට දරන්නා වූ බොළඳ උත්සාහය පිළිබඳවය. ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය (FGM) හා ස්ත්‍රී චර්ම ඡේදනය (Female Circumcision-FC) එකක් ලෙස සලකා සමාජය නොමග යවන අඳබාල හා අඥාන උත්සාහයක යෙදී සිටිති. එනිසා මෙම කරුණු පිළිබඳව ඇති ඓතිහාසික, ආගමික හා විද්‍යාත්මක තොරතුරු විමසා බැලීම බුද්ධිමතුන් කළ යුතු කාර්යයකි. ලොව පිළිගත් ඇතැම් ශබ්ද කෝෂ පවා මෙම විෂය පටලවා ගෙන තිබීම කණගාටුවකට කරුණකි. නිදසුනක් ලෙස ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ චර්ම ඡේදනය (Circumcision) පිළිබඳව දී ඇති අර්ථ විග්‍රහය පහතින් පරිවර්තනය කොට ඇත.

“වෛද්‍ය ප්‍රතිකාරයක් වශයෙන් හෝ විශේෂයෙන් යුදෙව් දහමේ සහ ඉස්ලාමයේ ආගමික කටයුත්තක් ලෙස හෝ (තරුණ පිරිමියෙකුගේ හෝ කුඩා දරුවෙකුගේ) ලිංගාග්‍ර චර්මය කපා ඉවත් කිරීම, සම්ප්‍රදායික ක්‍රියාවක් ලෙස ගැහැනු දරුවෙකුගේ හෝ ස්ත්‍රියකගේ අභිශිෂ්ණිකාව (clitoris) කපා ඉවත් කිරීම සහ ඇතැම් අවස්ථාවන් හි අධරය (labia) යෙන්ද කොටසක් කපා ඉවත් කිරීම.”

ඉහත ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ අර්ථ දැක්වීම අනුව චර්ම ඡේදනය (Circumcision) පිළිබඳව විග්‍රහ කිරීමේදී ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය (FGM) ද එයට ඇතුළත් වන ක්‍රියාවක් ලෙස දක්වා තිබේ. මෙය සැබැවින්ම සාවද්‍ය අර්ථ දැක්වීමකි. එනම් ජාත්‍යන්තරව පිළිගැනීමක් ඇති ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ පවා ස්ත්‍රී චර්ම ඡේදනය හා  ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය පටලවා ගෙන ඇති ආකාරය මින් පැහැදිලි වේ. කෙසේනමුත් ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය පිළිබඳව සඳහන් කිරීමේදී එය සම්ප්‍රදායික ක්‍රියාවක් (Traditional Practice) ලෙස දක්වා තිබීම නිවැරදිය. ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය දහමක ඉගැන්වීම් හෝ දහමක සම්ප්‍රදායක් මත පදනම් වුවක් ලෙස මෙම අර්ථ දැක්වීම තුල කිසිම සඳහනක් නොමැත. ‘සම්ප්‍රදායික ක්‍රියාවක්’ ලෙස පමණක් හුවා දැක්වීමෙන් අදහස් වන්නේ එය අනාදිමත් කාලයේ පටන් පැවත එන සමාජ සම්ප්‍රදායක් පමණක් බවය.

කෙසේනමුත් ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය (FGM) හා ස්ත්‍රී චර්ම ඡේදනය (Female Circumcision-FC) යනු ඇත්තෙන්ම විෂයන් දෙකකි.

ස්ත්‍රී චර්ම ඡේදනය හා ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය පැහැදිලි වැටහීමකින් තොරව එකිනෙක වෙනස් අයුරින් අර්ථවත් වන අයුරු උපයෝගි කිරීම අප පොදුවේ දැක ඇති කරුණකි. එහෙයින් ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දී ඇති අර්ථ විග්‍රහය දෙස අපගේ අවධානය යොමු කරමු (Female Genital Mutilation World Health Organization Fact Sheet No. 241, February 2012).

  1. අභිශිෂ්ණිකා විච්ඡේදනය (Clitoridectomy): කොටසක් හෝ සම්පුර්ණයෙන් අභිශිෂ්ණිකාව ඉවත් කිරීම.
  2. සිඳලීම (Excision): කොටසක් හෝ සම්පුර්ණයෙන් අභිශිෂ්ණිකාව හා කනීය අධරය (Labia Minora)  ඉවත් කිරීම. සමහර විටක ගරීය  අධරය ද(Labia Majora) ඉවත් කිරීම.
  3. යෝනි අධරයන් ඡේදනය කර මසා දැමීම (Infibulation): අභිශිෂ්ණිකාව කැපීමකින් හෝ තොරව අධරයන් කපා මසා දැමීමෙන් යෝනි මාර්ගය කුඩා කිරීම.
  4. වෛද්‍ය හේතුවකින් තොරව කරන්නා වූ අනෙකුත් සියලු ස්ත්‍රී ලිංගේන්ද්‍රියට හානිකර ක්‍රියාවන්.

ඉහත පිළිවෙත් සියල්ල ස්ත්‍රී චර්ම ඡේදනය යටතේ වර්ගීකරණය නොවන අතර මේ සියල්ල ලැයිස්තුගත වන්නේ ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය යටතේය.  ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය ඉස්ලාමීය ඉගැන්වීම් අනුව සහමුලින්ම තහනම් ක්‍රියාවකි. ඉහත කරුණු සියල්ල ඉස්ලාමීය ඉගැන්වීම් අනුව සහමුලින්ම තහනම් කරන ලද පිළිවෙත්ය. අංග ඡේදනය තහනම් ක්‍රියාවක් ලෙස මුහම්මද් ධර්ම දුතයාණන්ගේ (විශ්වයේ අධිපති එකම දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය එතුමා කෙරෙහි ඇති වේවා)  පහත සඳහන් ප්‍රකාශනයෙන් පැහැදිලි වන්නේය.

“අබ්දුල්ලාහ් බින් යසීඩ් අල් අන්සාරි විසින් වාර්තා කර ඇති පරිදි මුහම්මද් ධර්ම දුතයාණන් විසින් සොරකම හා ශාරීරික අංග ඡේදනය තහනම් කරන ලදී.” (සහීහ්  බුහාරී 3 : 654).

කෙසේනමුත් ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය (FGM) තහනම් කරන ඉස්ලාමය ස්ත්‍රී චර්ම ඡේදනය සඳහා කොන්දේසි කිහිපයක් සහිතව අනුමැතිය ලබා දී ඇත.

ස්ත්‍රී චර්ම ඡේදන ක්‍රියාවලිය මුහම්මද් ධර්ම දුතයාණන්ට පෙර බොහෝ කලක සිට ආසියානු, අප්‍රිකානු හා දකුණු ඇමෙරිකානු ප්‍රදේශයන්හි සමාජ චර්යාවක් ලෙස පවත්වා ගෙන පැමිණ ඇති බව “Female Circumcision : Implications for North American Nurses” in Journal of Psychosocial Nursing by Rosemary Stewart Vol. 35 No. 4, 1997 Page 35” හි පැහැදිලිව විග්‍රහ කොට ඇත. ස්ත්‍රී චර්ම ඡේදනයේ වඩාත් අන්තගාමී පිළිවෙත හඳුන් වන්නේ පාරාවෝ වරුන්ගේ පිළිවෙත (Pharaonic Procedure)  ලෙසය. මේ අනුව ස්ත්‍රී චර්ම ඡේදන සම්ප්‍රදාය මෝසස් නබි තුමාගේ (විශ්වයේ අධිපති සත්‍යය එකම දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය එතුමා කෙරෙහි ඇති වේවා) කාලයට පෙර සිටම ක්‍රියාත්මක වන්නක් බව පැහැදිලි කරුණකි.

පෙර සිට ක්‍රියාත්මක වූ සම්ප්‍රදායක් ලෙස මුහම්මද් ධර්ම දුතයාණන් ගේ කාල වකවානුව තුළත් ස්ත්‍රී චර්ම ඡේදනය සිදුවෙමින් පැවති අතර එම සම්ප්‍රදායේ වැරදි පැති නිවැරදි කරන්නට දුන් උපදෙස් පහත හදීස් වාක්‍යයෙන් ඉතාම පැහැදිළි ලෙස සඳහන් වී ඇත.

“උම්මු අතියියා, ඔබ චර්ම ඡේදනය කරන විට ඉතා කුඩා කොටසක් පමණක් කපන්නට සීමා කරන්න. අභිශිෂ්ණිකා මුණ්ඩය (glans) ඉවත් කිරීමට කටයුතු නොකරන්න. මෙය ස්ත්‍රියට (බිරියට)  ප්‍රසන්න වූ ද පුරුෂයාට තෘප්තිකර වූ ද වන්නේය” (තබරානි : දෙවන වෙළුම හදීස් අංක 722 – සුනාන් අබුදාවූද් : හදීස් අංක 2515 )

මෙහි සඳහන් මුලාශ්‍රයක් වූ තබරානි : දෙවන වෙළුම හදීස් අංක 722 හදීසය පිළිබඳව විද්වතුන් ගේ මතය අනුව එහි දුර්වලතාවන් ඇති අතර  සුනාන් අබුදාවූද් : හදීස් අංක 2515 නිවැරදි හදීසයක් ලෙස වර්ගීකරණය කොට ඇත.

මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වැරදි පිළිවෙත් ලෙස පෙර සඳහන් ක්‍රම හතරම ඉස්ලාමීය ඉගැන්වීම් තුළ අන්තර්ගත නොවන බව මෙයින් ඉතාම හොඳින් පැහැදිලි වන කරුණකි. උම්මු අතියියා නමැති කාන්තාව මුහම්මද් ධර්ම දුතයාණන් ගේ කාලයෙහි ස්ත්‍රී චර්ම ඡේදනය කරන්නියක් ලෙස කටයුතු කළ හෙයින් ඇය අමතා දුන් උපදේශයන් පහතින් දැක් වේ.

චර්ම ඡේදනය කළ කොටස අනෙක් චර්ම ඡේදනය කළ කොටස සමග ස්පර්ශ වුවහොත් (එනම් ලිංගික සංසර්ගයෙහි යෙදුනොත්) නෑම අනිවාර්ය බව මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි විශ්වයේ අධිපති සත්‍යය එකම දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය එතුමන් කෙරෙහි ඇති වේවා) පැවසු මුලාශ්‍රයන් මේ සමග ඉදිරිපත් කොට ඇත්තෙමු. ඒවා නම් ‘මුවත්තා’ (2 : 73) – (2 : 74) – (2 : 75) – (2 : 77) – (20 : 161), ‘තිර්මිදි’ 166 සහ ‘මුස්ලිම්’ 159 වේ.  මෙම මුලාශ්‍රයන් මගින් කාන්තා චර්ම ඡේදනය පිළිබඳ ඉස්ලාමීය සාක්ෂි ඉදිරිපත් වෙයි.

ඉහතින් සඳහන් කළ චර්ම ඡේදනය කළ කොටස අනෙක් චර්ම ඡේදනය කළ කොටස සමග ස්පර්ශ වුවහොත් (එනම් ලිංගික සංසර්ගයෙහි යෙදුනොත්) නෑම අනිවාර්ය බව මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි විශ්වයේ අධිපති සත්‍යය එකම දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය ඇති වේවා) පැවසු බව සඳහන් හදීස් පිළිබඳව විග්‍රහයක යෙදෙන සැමගේ ගෞරවයට හා පිළිගැනීමට පාත්‍ර වූ ප්‍රසිද්ධ ඉස්ලාමීය විද්වතෙකු වූ ඉබ්නු හජර් අල් අස්කලානි තුමාගේ අදහස් පහතින් උපුටා දක්වා ඇත්තෙමු. එතුමාගේ “ෆත්හ් අල් බාරි” නම් වූ මෙම ග්‍රන්ථය සියලු ඉස්ලාමීය විද්වතුන් අතර අල් කුර්ආනයට පමණක් දෙවැනි ලෙස සලකනු ලබන ප්‍රධානතම හදීස් ග්‍රන්ථය වූ සහීහ් අල් බුහාරි ග්‍රන්ථයේ විග්‍රහයකි.

“චර්ම ඡේදනය කළ කොටස් දෙක යනුවෙන් මෙහි අදහස් වන්නේ ස්ත්‍රිය ගේ හා පුරුෂයාගේ ප්‍රජනන ඉන්ද්‍රියන් දෙකය. පිරිමි චර්ම ඡේදනය යනු ලිංගේන්ද්‍රියේ සංවේදී කිසිම කොටසක් ඉවත් නොකොට එහි ශීර්ෂකයෙ ඇති සම ඉවත් කිරීමේ කටයුත්ත පමණි. ස්ත්‍රී චර්ම ඡේදනය යනු  කුකුළාගේ කරමල අග කොටසට සමාන ලෙස පෙනෙන්නට ඇති අභිශිෂ්ණිකාව අග ආවරණය වී ඇති සම කොටස (Prepuce) පමණක් ඉවත් කිරීමය. (මෙමගින් ලිංගේන්ද්‍රියේ සංවේදී කිසිම කොටසක් කපා ඉවත් කරනු නොලැබේ).” (“ෆත්හ් අල් බාරි” ඉබ්නු අල් හජ්ර් අල් අස්කලානි).

හදීස් පිළිබඳ ඉතා ප්‍රසිද්ධ ඉස්ලාමීය විද්වතෙකු වූ ඉමාම් මාලික් විසින් සකස් කරන ලද “මුවත්තා” නම් හදීස් ග්‍රන්ථයේ ශරීර අංග ඡේදනය පිළිබඳව මුහම්මද් ධර්ම දුතයාණන්ගේ උපදෙස් පදනම් කර ගෙන විග්‍රහයක යෙදෙමින් චර්ම ඡේදනයේදී වෛද්‍යවරයා ලිංගයේ කොටසක් කපා දැමුවහොත් දඬුවමක් ලෙස  “දියා” නම් වූ වන්දියක් (Blood Money) දිය යුතු බව සඳහන් ව ඇත. මෙහි විස්තර “මුවත්තා” ග්‍රන්ථයේ හදීස් අංක 43.4A හි පැහැදිලි කොට ඇත.

නමුත් මෙම සාක්ෂීන් මගින් වුවද ස්ත්‍රී චර්ම ඡේදනය අනිවාර්ය කටයුත්තක් ලෙස සැලකීමට අවශ්‍ය උපදේශයන් අඩංගු වන්නේ නැත.

බොහෝ යුරෝපීය රටවල් හි  හා ඇමෙරිකානු එක්සත් ජනපදයේ වෙනත් නම් වලින් ස්ත්‍රී  චර්ම ඡේදනය නීත්‍යනුකුල ලෙස සිදු කෙරෙන බව බහුතරයක් නොදන්නවා විය හැක. ස්ත්‍රී  චර්ම ඡේදනය වැරදි අයුරින් සිදු කිරීම හේතුවෙන් එය ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය දක්වා හානිදායක අයුරින් කිරීම ඉස්ලාමීය රටවල ද සිදු වන බව නොරහසකි. මෙම වැරදි චර්යාව ඉස්ලාමීය රටවලට පමණක් සීමා කිරීම නිවැරදි ප්‍රකාශනයක් නොවේ. “Female Genital Mutilation – L.P. Cutner (Obstetrical and Gynecological Survey P 40 – 1985)” නම් ග්‍රන්ථයේ සඳහන් පරිදි ස්ත්‍රී චර්ම ඡේදනය මෙන්ම එහි හානිකර හා වැරදි පිළිවෙත වූ ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය මුස්ලිම් හා මුස්ලිම් නොවන බොහෝ රටවල් වල පැතිර ඇති චර්යාවක් වන අතර අප්‍රිකානු බොහෝ රටවල්, මැලේසියාව, ඉන්දුනීසියාව, අරාබි රටවල්, යේමනය, පාකිස්තානය, බ්‍රසීලය, පේරු, චීනය, හා ඕස්ට්‍රේලියානු ආදීවාසීන් අතර මෙය බහුලව සිදුවන්නක් ලෙස විග්‍රහ කොට ඇත.

බටහිර නීතියේ කාන්තා චර්ම ඡේදනය සඳහා අනුමැතිය තිබේද? එවැන්නක් කිරීමේ විද්‍යාත්මක අවශ්‍යතාවක් තිබේද? මෙවන් ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී ඉස්ලාමීය පිළිවෙතේ යථාර්ථය හා එහි විද්‍යාත්මක පදනම අවබෝධ කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. ඉස්ලාමයට එරෙහිව මතු කරනු ලබන චෝදනා විවෘත මනසකින් යථාර්ථවාදීව හා විද්‍යාත්මක පදනමකින් විමසා බැලීමේදී  නිරතුරුවම සිදු වී ඇත්තේ ඉස්ලාමයේ සත්‍යතාව තහවුරු වීම පමණි. මෙම ප්‍රශ්නයේදීත් සහතික වශයෙන්ම සිදු වී ඇත්තේ එයම බව ඉදිරි තොරතුරු මගින් ඔබට අල්ප මාත්‍ර සැකයකින් තොරව සහතික වනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු.

බටහිර නීතියේ හෝ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ‘ස්ත්‍රී චර්ම ඡේදනය’(Female Circumcision) යන වචනය පිළිබඳව සඳහනක් නොමැති බව සත්‍යයකි. බොහෝ විට එය ‘ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය’ (Female Genital Mutilation – FGM) ට ආදේශයක් ලෙසත් යෙදෙන නිසා ඔවුන් එම වචනය යෙදීමෙන් වැළකී සිටිනවා විය හැක. සැබැවින්ම ඔවුන් ඉස්ලාමීය පිළිවෙත එලෙසින්ම නීත්‍යනුකුලව හා වෛද්‍ය ක්‍ෂේත්‍රයේ අනුමත පිළිවෙතක් ලෙස වෙනත් නම් වලින් සිදු කරමින් සිටිති. මෙය ඉංග්‍රීසි බසින් Labiaplasty, Labioplasty, හෝ Hoodectomy යනුවෙන් හැඳින් වේ. මෙ මගින් සිදු කරන්නේ කුමක් ද යන්න වටහා ගැනීමට කරුණාකර පහත සඳහන් වෙබ් අඩවි වලට පිවිසෙන්න.

www.plasticsurgeon.com  සහ www.gynaecologists.co.uk/clitoral_hoodectomy.html.

මෙම තොරතුරු අනුව Labiaplasty හඳුන්වා දී ඇති ආකාරයේ සාරාංශය පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“මෙම ශල්‍යකර්ම මගින් කනීය අධරය (Labia Minora) හා එය වටා ඇති සමෙන් හා අභිශිෂ්ණිකාව වටා ඇති සමෙන්  කොටසක් ඉවත් කිරීම සිදු වේ. බොහෝ ස්ත්‍රීන්ට අභිශිෂ්ණිකාවේ උඩ කොටස වටා ඇති සම තම ලිංගික ක්‍රියාවලියට බාධාවක් හෝ යෝග්‍ය නොවන්නක් බවට පත් වෙයි. එහෙයින් එය ඉවත් කිරීම ඔවුන් ගේ ලිංගික සෞඛ්‍යයට වඩාත් උචිත දෙයක් වෙයි. මෙම අභිශිෂ්ණිකාවේ උඩ කොටස වටා ඇති සම ලිංගික ක්‍රියාවලියේදී අපහසුතාවක්, වේදනාවක් මෙන්ම ලිංගික සංවේදීතාව අඩුවීමට ද හේතු වෙයි. අභිශිෂ්ණිකාවේ උඩ කොටස වසා ඇති සම වටා විවිධ වෛරස බැක්ටිර්යා ආදී විෂබීජ මෙන්ම අපවිත්‍ර දෑ එකතු විය හැක. මේවා සෝදා ඉවත් කිරීම එතරම් පහසු නැත. මෙ මගින් විවිධ ආසාධන ඇති විය හැකි අතර දුගඳ ඇති වීමට ද හේතු විය හැක. Clitorial Phimosis නම් රෝගය මෙ මගින් ඇති වන්නකි.”

බටහිර පිළිවෙත හා ඉස්ලාමීය පිළිවෙත අතර ඇත්තේ නාමික වෙනස් කමක් මිස සිදු කරනු ලබන ක්‍රියා පිළිවෙතේ වෙනස් කමක් නොවන බව ඉහත විස්තර අනුව පැහැදිලිව ඔප්පු වන කරුණකි.

මෙහිදී ද සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම් ‍චර්ම ඡේදනය තුලින් දරුවන්ට අත්වන වේදනාව පිලිබදව විවිධ ඡායාරූප පදනම් කරගෙන ප්‍රබල මතවාදයක් සමාජය තුල නිර්මාණය කිරීමට ඇතැමුන් උත්සහ කරති. අතීතයේ (වෛද්‍ය විද්‍යාව නොදියුණූ සමයක) මෙම චර්ම ඡේදනය සිදුකිරීමේ දී එය තරමක් වේදනාව ගෙනදුන් කාරණයක් යන්නෙහි විරුද්ධ මතයක් නැත. අදත් මේ සදහා සමහරක් පිරිස් නොදියුණූ සම්ප්‍රදායක විදික්‍රම භාවිතා කරනවා යන්නෙහිත් විරුද්ධ මතයක් නැත. (මේවා සමාජ අනවබෝධය මිස ඉස්ලාම් දහමේ දුර්වලතාවයක් නොවේ) නමුත් නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් විශේෂයෙන් නිර්වින්ද ඖෂධය භාවිතයට පැමිණීමත් සමඟ මෙය සාමාන්‍ය ක්‍රියාවලියක් බවට පත්ව ඇත. මේ නිසා දරුවා දැඩි වේදනාවක් විඳිනවා යන්න අතීත සමාජයට සත්‍යයක් වුවත් වර්ථමාන සමාජයට එය මුසාවක් බවට පත්ව ඇත.

අනික් කාරණය නම් ඉස්ලාම් දහම අවධාරණය කරන චර්ම ඡේදනය නිසා මනුෂ්‍යයා ඉතා සුළු මොහොතකට ලබන වේදනවා මහා ඉහලින් කථා කරන සමාජය එයින් අත්වන යහපත හිතාමත මඟහැර යාම කණගාටුවට කාරණයකි. ඉස්ලාම් චර්ම ඡේදනය අනුමත කිරීම තුල අපේක්ෂා කරන්නේ තම අනුගාමිකයන් වේදනාවකට ලක්කිරීම නොවේ. ඔවුනට යහපත් නිරෝගි ජීවිතයක් උදා කරදීමයි. මනුෂ්‍යයාගේම යහපත උදෙසා ඔහු විසින් අත්විදන යම් යම් අපහසුතාවයන් වේදනාවන් සැලකිය යුතු කාරණයක් නොවනවා යන්න සමස්ථ මිනිසා සමාජයම පිලිගන්නා ප්‍රායෝගික දිවියේ අත්විදින සත්‍යයකි. උදාහර්ණ කිහිපයක් සදහන් කරන්නේ නම්,

අලංකාරය වෙනුවෙන් ශරීරය වෙනස් කිරීම ඉස්ලාමය අනුමත කරන්නේ නැත. නමුත් අද සමාජයේ ගැහැණු දරුවකු උපන්නේ නම් ඒ දරුවාගේ කනට කරාබු දැමීම සදහා කන් විදීම බහුතරව සිදු වේ. මෙයත් එම දරුවාට ලබාදෙන වේදනාවක් යන්නෙහි විරුද්ධ මතයක් නැත. එසේම මෙහි අරමුණ දරුවාගේ ශරීර සෞඛ්‍යය හෝ පිරිසිදු කම නොව අලංකාරය පමණකි. මෙවන් පසුබිමක චර්ම ඡේදනය සිදුකිරීම නිසා ඉන් ලැබෙන ප්‍රථිපලය දෙස නොබලා එයින් ඇතිවන වේදනාව පමණක් පදනම් කරගෙන ඉස්ලාම් දහමට එරෙහිව චෝදනාවන් ගොඩනැඟීම අන්තවාදීත්ය මෙන්ම හාස්‍යය උපදවන වාදයක් නොවේද?

දරුවකු උපන් දා සිට විවිධ අවස්ථාවන්හි විවිධ එන්නත් වර්ග අප ලබාදෙන්නෙමු. ඒ අනාගතයේදී දරුවාගේ ශරීර සෞඛ්‍යයට කිසියම් හානියක් අත්නොවීම සදහාය. නමුත් මේ ලබ‍ාදෙන සමහරක් එන්නත් නිසා දරුවා දිනගනන් වේදනාව අත්විදින බව අප නිරන්තරයෙන් දකින්නෙමු. නමුත් වර්ථමාන චර්ම චේදන සැත්කම් අනුව දරුවා මෙවැනි දින ගනනක වේදනාවක් විදින්නේ නැත. දරුවාගේ ශරීර සෞඛ්‍යය උදෙසා ලබාදෙන එන්නත අනුමත කල සමාජයට එම ශරීර සෞඛ්‍යය උදෙසා ඉස්ලාම් යෝජනා කරන චර්ම ඡේදනය දාරණය කරගැනීමට නොහැකි වුයේ මන්ද? එය තවත් ආගමක චාරිත්‍රයක් ලෙස බැලූ නිසා නොවේද?

කිසියම් කාරණයක් හොද ද නරක ද යන්න තීරණය කිරීම සදහා මිනුම් දණ්ඩ “වේදනාව” යන සාධකය නම්, වේදනාවේ උච්චතම අවස්ථාව, මරණයේ දොරටුව ස්පරශ කරන “මව දරුවකු ප්‍රසූත” කරන අවස්ථාවයි. මෙවන් වේදනාවක් කාන්තාව සදහා උරුම කරලීමට පිරිමීන් ලෙස ඔබගේ දායකත්වය ඇයි ලබාදෙන්නේ. (ඔබ බුද්ධිමත් නම් මෙය අන්තවාදී තර්කයක් ලෙස පෙනෙන්නට පුළුවනි. සැබැවින්ම එය අන්තවාදී අදහසක්) මාගේ තර්කය ඔබ එහිදී වේදනාව දෙස බැලුවාද නොඑසේ නම් එහි ප්‍රථිපලය දෙස බැලුවාද? යන්නයි.

මේ ආකාරයට කරුණු බොහෝමයක් සදහන් කලහැක. නමුත් සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකු හට ඉහත උදාහර්ණයන් කිහිපය හොදටම ප්‍රමාණවත් චර්ම ඡේදනයේදී ඇතිවන වේදනාව එහි ප්‍රථිපලය නොසලකා වාදයන් ගොඩනැගීම අනුවනක්කාර ක්‍රියාවක් යන්න තීරණය කිරීමට.

ඉහතින් ඉදිරිපත් කරන ලද කරුණු දෙස අවධානය යොමු කරන ඕනෑම කෙනෙකුට ස්ත්‍රී චර්ම ඡේදනය පිළිබඳව ඉස්ලාමයට එරෙහිව නගා ඇති චෝදනා සියල්ල සහමුලින්ම පදනම් විරහිත බව පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. කාන්තා චර්ම ඡේදනය කිසිසේත්ම ඉස්ලාමීය නීතිය තුළ අනිවාර්ය දෙයක් නොවන අතර ඈත අතීත සමාජ සම්ප්‍රදායක වැරදි පිළිවෙත නිවැරදි කොට එය කැමැති අයෙකුට අනුමත දෙයක් බවට පත් කිරීම පමණි මෙමගින් සිදු වී ඇත්තේ. මේ සියලු කරුණු පිළිබඳව විචාරශීලී ව හා බුද්ධිමත් ව මධ්‍යස්ථ විමසුමක යෙදී පදනම් විරහිතව දහම් අපහාසයට පත් කරවන වෛර චින්තනයෙන් මිදී අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුක්තව ජීවත් වන්නට අදිටන් කර ගනිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *