විවාහ විය හැකි වයස් සීමාව පිලිබඳ ඉස්ලාමීය ස්ථාවරය

marriage-150x150විවාහය යනු මිනිස් ජීවිතයේ එක්තරා සුවිශේෂ අවස්ථාවකි. ඉස්ලාම් තුළ පරිපූර්ණ ජීවන ක්‍රමයක් සඳහා මඟපෙන්වීම් තිබෙන නිසා විවාහය පිළිබඳවද ඉගැන්වීම්, නීති රීති ඉස්ලාම් දහමේ දැක ගත හැක. කෙසේනමුත් ඉස්ලාම් පවසන විවාහ නීති රීති වල ඇතැම් නීති රීති පිලිබඳව ඇතැමුන් විවේචනය කරන අතර කාන්තාවක් විවාහ විය හැකි අවම වයස් සීමාව පිළිබඳව ඉස්ලාම් දරන ස්ථාවරයද මින් එකකි. මොවුන්ගේ මෙම විවේචනයට ඇතැම් මුස්ලිම්වරුන්ගේ යම් යම් ක්‍රියාකාරකම්ද හේතුවක් වී ඇත. නමුත් මුස්ලිම්වරුන්ගේ වැරදි ක්‍රියා උපුටා දක්වමින් ඉස්ලාමීය ඉගැන්වීම් විවේචනය කිරීම නිවැරදි ක්‍රමයක් නොවේ. එබැවින් මෙම ලිපිය තුළින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ ඉස්ලාමීය ස්ථාවරය ගැන වන අතර මුස්ලිම්වරුන්ගේ ක්‍රියා ඉස්ලාමයට අනුකූල වනවාද නොවෙනවාද යන්න ඉස්ලාමීය ඉගැන්වීම් පිලිබඳ නිසි අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැක.

කාන්තාවක් විවාහ වීම සඳහා විවිධ කොන්දේසි ඉස්ලාම් දහම ඉදිරිපත් කර ඇත. මූලික වශයෙන් එම කාන්තාව වැඩිවියට පත්ව සිටිය යුතු අතර ඇය මානසිකව හා ශාරීරිකවද විවාහයට සුදුසු තත්වයක සිටිය යුතුය. මෙම කොන්දේසි පූර්ණ නොවන අවස්ථාවකදී කාන්තාවට හානියක් සිදු විය හැක. මෙලෙස කාන්තාවන්ට සිදු වන හානිය ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැත. කෙසේනමුත් කාන්තාවක් විවාහ විය යුතු අවම වයස් සීමාව එක් සුවිශේෂී අගයකට ඉස්ලාම් දහම සීමා කර නොමැත. මෙයට හේතුව ලෙස විවිධ ප්‍රදේශ වල කාන්තාවන් විවාහයට සුදුසු තත්වකට පත්වන වයස වෙනස් වීම සැලකිය හැක. එනම් විවධ ප්‍රදේශ වල කාලගුණය, ඔවුන්ගේ ජානමය සැකසුම, මානසික හා ශාරීරික වර්ධනය අනුව විවාහයට සුදුසු තත්වයට පත්වන වයස වෙනස් වේ. වැඩිවියට පත් වීම යන කාරණය පමණක් සැලකුවද එය සැමටම එකම වයසක සිදු නොවේ. වැඩිවියට පත්වීමේ වයස එකිනෙකට වෙනස් වන අතර පොදුවේ ගැහැණු ළමුන් පිරිමි ළමුන්ට වඩා අඩු වයසින්ම වැඩිවියට පත් වෙති. Woman (ගැහැණිය) නම් පොතේ ලේඛකයන් පවසන්නේ රටක හෝ ප්‍රාන්තයක තිබෙන සාමාන්‍ය උණුසුම, ඔසප්වීම සඳහා පමණක් නොව වැඩිවියට පත් වන විට සිදු වන සියලුම ලිංගික වර්ධනයට මූලික සාධයක් ලෙස ක්‍රියා කරන බවයි [1]. මීට අමතරව ජීව හා සමාජ විද්‍යාඥයින්ගේ මතය වන්නේ ග්‍රීෂ්ම කලාපීය දරුවන් ශීතල කලාපයන්හි දරුවන්ට වඩා අඩු වයසින් වැඩිවියට පත්වන බවයි. [2]

ඒ වගේම ඕස්ට්‍රේලියානු රාජ්‍ය සෞඛ්‍ය සංවිධානය ගැහැණු ළමුන් වැඩිවියට පත්වීම පිළිබඳව මෙසේ සඳහන් කර ඇත:

වැඩිවියට පත් වීමේ පළමු ලක්ෂණය වන්නේ සීග්‍ර වර්ධනයයි: ඔගේ උස වැඩි වන්නේය, පයෝධර වර්ධනය වන්නේය, යූනික පෙදෙසේ හා කිහිලි වල රෝම වැඩීමට පටන් ගන්නේය. මෙය වයස 10 සිට 14 දක්වා කාලයේ සිදු විය හැක. ඇතැමුන්ට මෙම වයස් සීමාවට පෙරද, ඇතැමුන්ට මෙම වයස් සීමාවට පසුවද මෙය සිදු විය හැක [3].

මේ පිළිබඳව “මෙඩිලයින් ප්ලස්” (MedlinePlus) නම් වෛද්‍ය විශ්වකෝෂයේ මෙසේ සඳහන් වේ [4]:

පූර්වපාක මල්වරවීම යනු මල්වරවීමේදී ශරීර ලක්ෂණ වල සාමාන්‍යයෙන් සිදු වන අපරිණත වර්ධනයයි. (මල්වරවීම යනු ශරීරය ක්ෂණිකව වෙනස් වීම හා ප්‍රජනන හැකියාව වර්ධනය කරන කාල පරිච්ඡේදයයි) මල්වරවීම පිරිමි ළමුන් තුළ සාමාන්‍යයෙන් වයස 13 සිට 15 දක්වා කාලයේ සිදු වන අතර ගැහැණු ළමුන් තුළ වයස 9 සිට 16 දක්වා කාලයේදී සිදු වන්නේය. වයස 8ට පෙර පහත සඳහන් ඕනෑම ලක්ෂණයක් වර්ධනය වර්ධනය වීම තුළින් ගැහැණු ළමුන් තුළ පූර්වපාක මල්වරවීම ඇති වන්නේය.

  • පයෝධර
  • යූනික පෙදෙසේ හා කිහිලි වල රෝම
  • බාහිර ලිංගේන්ද්‍රිය
  • පළමු ආර්තවය

මේ කරුණු තුළින් පෙනී යන්නේ වයස 9 යනු ගැහැණු ළමයෙක් වැඩිවියට පත් විය හැකි වයසක් බවයි. මේ සඳහා උදාහරණයක් ලෙස වයස නවයේදී දරුවෙකු ප්‍රසූත කළ තායිලන්ත කාන්තාව සලකන්න පුළුවන් [5]. (මෙම උදාහරණය ඉදිරිපත් කර ඇත්තේ වයස 9දි ගැහැණු ළමයෙක් නිරෝගී දරුවෙකු ප්‍රසූත කළ හැකි තරමට පරිණත වී සිටිය හැකියි යන්න සනාත කිරීමට පමණයි.) මෙම තායිලන්ත කාන්තාව වැඩුණු ශරීරයකින් යුත් තැනැත්තියක් බව පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්.

thaigal

කාන්තාවක් වැඩිවියට පත්වන වයස පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර ඔවුන් විවාහයකට සුදුසු මානසික හා ශාරීරික තත්වයක් සහිත කාන්තාවක් බවට පත් වන වයසද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. විවාහ වීම සඳහා ඇති අවම වයස විවිධ රටවල වෙනස් අගයන් ගැනීමට හේතුව මෙයයි. 

පහතින් උපුටා දක්වා ඇත්තේ ‘දිනමිණ’ පුවත් පතේ 2011 අගෝස්තු මස 2 වැනි අඟහරුවාදා පළ වූ ප්‍රවෘත්තියකි.

අඩු වයසින් පෙළවහට නීති රීති සැකසේ

“දැනට පවතින විවාහ ලියා පදිංචි කිරීමේ වයස් සීමාව අඩු කිරීම කෙරෙහි සලකා බලන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා දැනට පවතින අවම වයස 18 ක් වන අතර එය අවුරුදු 15 දක්වා අඩු කිරීම කෙරෙහි කරුණු සලකා බලන බව ඇමතිවරයා පවසයි. ගම්බද ප්‍රදේශ වල අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීම හේතුවෙන් ස්ත්‍රී දුෂණ චෝදනා වලට නඩු පැවරෙන තරුණ තරුණියන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යෑම පිළිබඳ අවධානය යොමු කර මෙලෙස විවාහ වීමේ වයස්  සීමාව සංශෝධනය කිරීම කෙරෙහි කරුණු සලකා බලමින් සිටින බවද ඇමැති වරයා කියයි. අඩු වයසින් ලිංගික සබඳතා පැවැත් වීම සපුරා තහනම් වන අතර එවැන්නක් ඔප්පු වුවහොත් අදාළ පුද්ගලයාට වසර 7 ක සිර දඬුවමක් පැනවීමට නීතියෙන් ප්‍රතිපාදන ඇත. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීම සඳහා තමා අධිකරණ අමාත්‍යවරයා ව සිටි අවධියේත් මෙම යෝජනාව ගෙනා බව පවසන ඇමතිවරයා විවිධ පාර්ශව වල බලපෑම මත එම යෝජනාව ස්ථීර කර ගැනීමට නොහැකි වූ බවද කීය. එහෙත් වර්තමානයේ බාල වයස්කාර දරුවන් (අවුරුදු 18 ට අඩු) විවාහ කරවීමේ රෙජිස්ට්‍රාර් වරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. මේ නිසා වයස අවුරුදු 18 සම්පුර්ණ වනතුරු කිසිදු අයෙකුට විවාහ වීමේ ඉඩ ප්‍රස්තා අහුරා ඇතැයි ද ඒ මහතා කීය”. [6]

මෙම ප්‍රවෘත්තියෙන් හෙළිදරවු වන කරුණු විමසා බලමු.

  1. දැනට බාලවයස්කාර ලිංගික අපචාර වැඩි වෙමින් පවතිනවා. මෙයට විසඳුම ඇත්තේ විවාහ සංස්ථාව තුළ බව ඇමැතිවරයා දකින්නේය.
  2. අඩු වයසින් නීත්‍යනුකූල විවාහ බන්ධනයකට ඇතුළත් වීමෙන් මෙම තත්වය වෙනස් කළ හැකිය යන අපේක්ෂාව. සමාජ සදාචාරය මෙ මගින් සුරැකෙයි යන බලාපොරොත්තුව.
  3. විවාහයට අදාළ අවම වයස අපගේ නීති පද්ධතියේ ඇති අතර උපරිම වයස පිළිබඳ සඳහනක් කිසිදු තැනක සඳහන් වී නැත.

උඩරට විවාහ හා දික්කසාද නීතිය.

උඩරට නීතිය බලපාන ස්ත්‍රියක හා පුරුෂයකු අතර සිදුවන විවාහයක් උඩරට විවාහයක් ලෙස ලියා පදිංචි කළ හැකිය. මෙම නීතිය බලපවත්වන පළාත් වනුයේ: 1. මධ්‍යම පළාත, 2. උතුරු මැද පළාත, 3. ඌව පළාත, සහ 4. සබරගමුව යන පළාත් සතරයි.  මේ පිළිබඳව දැනට බලපවත් වනුයේ 1952 අංක 44 දරණ උඩරට විවාහ සහ දික්කසාද පනතයි. 1954 අංක 34, 1955 අංක 22, 1975 අංක 41, 1978 අංක 23 යන සංශෝධන පනත් වලින් මුල් පනත කීප වතාවක් සංශෝධනය කර ඇත. උඩරට නීතිය අනුව විවාහ වීම සඳහා පිරිමි අයෙකුගේ වයස අවුරුදු 16 ක් ද ගැහැනු කෙනෙකුගේ වයස අවුරුදු 12 ක් ද සම්පුර්ණ වී තිබිය යුතුය.  (උපුටා ගැනීම “උඩරට නීතිය, මුස්ලිම් නීතිය, තේසවලම නීතිය හා පුද්ගල නීතිය” – නීතිඥ ආනන්ද එන්. තිලකරත්න)

උඩරට විවාහ නීතිය සැකසීමේදී ස්ත්‍රියගේ අවම වයස අවුරුදු 12 බවට තීන්දු කරන්නට ඇත්තේ ශ්‍රී ලාංකීය කාන්තාවකගේ වැඩිවියට පත්වීමේ සාමාන්‍ය වයස පදනම් කර ගෙන විය යුතුය යන්න අපගේ නිහතමානී මතයයි.

අතීතයේ ඇතැම් ප්‍රදේශ වල විවාහ වීමේ වයස ඉතා අඩු අගයක තිබුණු අතර කාලයත් සමඟ මෙම සීමාව ක්‍රමයෙන් වැඩි වී ඇති බව වටහා ගත හැක. උදාහරණයක් ලෙස වසර 1880දී ඇමරිකාවේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විවාහ විය හැකි අවම වයස අවුරුදු 7යි [7]. නමුත් වසර 2007දී පවා ස්පාඥයේ නීතියට අනුව විවාහ විය හැකි අවම වයස 13යි. වැඩිවියට පත් කාන්තාවන් අධ්‍යාපනය, වෙළඳාම යනාදී විවිධ අංශ වලට යොමු වීම එක් එක් රටවල විවාහක වයස් සීමාව වැඩි වීමට හේතු වී තිබිය හැක.

තවද විසි එක් වන සියවසේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ දෙමව්පියන්ගේ අනුමැතිය ඇතිව ස්ත්‍රියකගේ විවාහය සඳහා වූ නීත්‍යනුකූල අවම වයස වන්නේ අවුරුදු 13 ය. ඇමෙරිකානු එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දෙවව්පියන්ගේ එකඟතාව හා විනිශ්චය කරුවෙකුගේ අනුමැතිය ඇතිව සිදු වන විවාහයක් සම්බන්ධයෙන් අවම වයස් සීමාවක් නොමැත [8]. මේවා වර්ෂ 1400 කට පෙර නොව වර්තමානයේ විද්‍යාව හා තාක්ෂණය අතින් ලොව ඉදිරියෙන්ම  සිටින ඇමෙරිකානු එක්සත් ජනපදයේ වැදගත් ප්‍රාන්තයක 21 වන සිය වසේ ක්‍රියාත්මක නීතීන්ය.

ලෝකයේ විවිධ ප්‍රදේශ වල තිබෙන නීති ගැන සැලකීමේදී යම් පෙදෙසක බලපවත්නා නීතිය අනුව කෙනෙක් වැඩිහිටියෙක් වුනත් එම පුද්ගලයාම වෙනත් පෙදෙසක බලපවත්නා නීතියට අනුව බලවයසේ සිටින පුද්ගලයෙක් ලෙස සැලකිය යුතු වේ. ඒ වගේම ලෝකයේ විවිධ කාල වල තිබුණ නීති ගැන සැලකීමේදී යම් කලක කෙනෙක් වැඩිහිටියෙක් ලෙස සැලකුවද වෙනත් කාලයකදී බාලවයස් පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු වේ.  මෙය සාධාරණයිද? තවද වයස වැඩි කර පෙන්වා ඊට අදාළ ලිය කියවිලි සකස් කර විවාහයන් සිදු කරන අවස්ථාද අපට ඇසෙන්නට ලැබේ. මෙවන් කාරණා නිසා මුළු ලෝකයටම එක් සුවිශේෂී අගයක් අවම වයස් සීමාව ලෙස නියම කිරීම ප්‍රායෝගික නොවන දෙයක් බව පැහැදිලිය.

කාන්තාවක් විවාහා විය හැකි අවම වයස් සීමාවක් ඉස්ලාම් දහම ඉදිරිපත් නොකරන නමුත් වැඩිවියට පත්ව සිටීම, විවාහයක් සඳහා වූ මානසික හා ශාරීරික සුදුසුකම අනෙකුත් කොන්දේසි ලෙස ඉස්ලාම් දහම ඉදිරිපත් කරයි. මෙම කොන්දේසි බිහිවන්නේ කාන්තාවට හානියක් සිදු නොවිය යුතුයි යන ඉගැන්වීම පදනම් කරගෙනය. එනිසා “වයස් සීමාවක් නොමැත” යන්නෙහි අදහස ඕනෑම වයසේ ළාබාල දැරියකට විවාහ විය හැකියි යන්න නොවන බව ඕනෑම් කෙනෙකුට පහසුවෙන් වැටහෙන කරුණකි.

විවාහයක් සම්පූර්ණ වීම සඳහා මහර් නම් ධනයක් මනමාලයා මනමාලියට ලබා දිය යුතු බව ඉස්ලාම් දහම පවසන අතර මෙම ධනයේ ප්‍රමාණය තීරණය කරනුයේ මනමාලිය වේ. මහර් යනු ඉතා වැදගත් දෙයකි. සැමියා තමාව දික්කසාද කළහොත් තම වියදම සඳහා උපයෝගී කර ගැනීමට මෙම මහර් ප්‍රමාණය භාවිතා කළ හැක. ඒ වගේම විවාහයට පෙර තීරණය වූ මහර් ප්‍රමාණය නොගෙවා සැමියාට තම බිරිඳගෙන් දික්කසාද විය නොහැක. ඒ වගේම දික් කසාද කිරීමට අවශ්‍ය වන්නේ බිරිඳට නම් මෙම මහර් ධනය නැවත පුරුෂයාට භාර දිය යුතුය. මෙවන් කාරණා නිසා විවාහ වන කාන්තාවකට මහර් පිලිබඳ මනා දැනුමක් තිබීම අවශ්‍ය වේ. තවද විවාහය ගිවිසුමක් ලෙස සලකනු ලබන නිසා එම ගිවිසුමට අයත් වන කාන්තාවට එම විවාහ ගිවිසුම පිලිබඳ මනා අවබෝධයක්ද තිබිය යුතුය.  එනිසා කාන්තාවක් විවාහයට සුදුසු වීමට මෙම කරුණු ගැන හොඳින් දැන සිටීම අවශ්‍ය වේ. මෙම දේවල් විවාහය සිදු කරන බලාධාරීන්ට හා විවාහ ගිවිසුමට සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වන්නන්ට විනිවිදව සිදු වන දේවල්ය. එබැවින් මෙම කාන්තාව විවාහය පිළිබඳව අවබෝධයෙන් සිටිනවාද නැද්ද යන්න ඔවුන්ට පහසුවෙන්ම වටහා ගත හැක.

තවද ඉස්ලාමයට අනුව කාන්තාවකට තම භාරකරුවන්ගේ අනුමැතිය නොමැතිව විවාහයක් සිදු කළ නොහැක. එනිසා යම් කාන්තාවක් වැඩිවියට පත්ව සිටියද ඇය විවාහයකට නුසුදුසු මානසික තත්වයක සිටින්නේ නම්, නුසුදුසු ශාරීරික තත්වයක සිටින්නේ නම් එම කාන්තාව විවාහ වීමට කැමති වුවද එම කාන්තාවගේ භාරකරුවන් එම විවාහයට අනුමැතිය දිය නොයුතුය. මෙමඟින් එම කාන්තාවට සිදු වන හානිය වලක්වා ගත හැක. අනුමැතිය නොදීමට අදාළ සාධාරණ හේතුන් ඉස්ලාමීය උසාවියකට ඉදිරිපත් කළ විට මෙවන් විවාහයක් වැළැක්විය හැකි අයිතිය ඉස්ලාමීය අධිකරණයකට ඇත.  (කාන්තාවකට තම භාරකරුවන්ගේ අනුමැතිය නොමැතිව විවාහ විය නොහැකි වුවද සාධාරණ හේතුවක් නොමැතිව අනුමැතිය ලබා දීමට ප්‍රතික්ෂේප කිරීමට භාරකරුවන්ට කිසිම අයිතියක් නොමැත. එවන් අවස්තාවකදී එම කාන්තාවට මේ පිලිබඳ ඉස්ලාමීය අධිකරණයට, අදාළ බලධාරීන්ට පැමිණිලි කළ හැක)

ඒ වගේම කාන්තාවකගේ කැමැත්ත නොමැතිව බලහත්කාරයෙන් ඇයව වෙනත් කෙනෙකුට විවාහ කර දීමට අයිතියක් භාරකරුවන්ට නොමැත. ඉස්ලාමීය නීතියට අනුව කාන්තාවගේ කැමැත්ත විවාහයකට අත්‍යවශ්‍ය සාධකයකි. එනිසා කාන්තාවගේ කැමැත්ත නොමැතිව බලහත්කාරයෙන් විවාහයක් සිදු වුණේ නම් මේ පිලිබඳ ඉස්ලාමීය උසාවියට පැමිණිලි කළ හැකි අතර මෙම විවාහය වලංගු විවාහයක් ලෙස සලකනු ලබන්නේ නැත. තවද විවාහයට සුදුසු වයස් සීමාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා 14, 15, 16 වැනි අඩු වයසින් කාන්තාවක් විවාහ වීමේදී කාන්තාවකට හානියක් සිදු විය හැකි අවස්තාවක් තිබෙන නිසා විවාහයට සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වන්නන් හා විවාහය ඉටු කරන බලධාරීන් එම කාන්තාව පිලිබඳ ලියකියවිලි වලට පමණක් සීමා නොවී එම කාන්තාව විවාහයට කැමතිද නැද්ද යන්න ප්‍රථමව එම කාන්තාවගෙන්ම විමසා දැනගත යුතුය. පසුව එම කාන්තාවගේ තත්වය අනුව විවාහයට අනුමැතිය ලබා දිය යුතුය. එම කාන්තාව විවාහයට සුදුසුද නැද්ද යන කරුණු එම කාන්තාවගෙන්, කාන්තාවගේ දෙමාපියන්ගෙන්, ඥාතීන්ගෙන් විමසා දැන ගත හැක. මෙවන් ක්‍රමවේදයක් අනුගමනය කිරීම ඉස්ලාමයට පටහැනි නොවේ.

කෙටියෙන් පවසනවා නම් විවාහයට සුදුසු කාන්තාවන් එම සුදුසු වයසේදී විවාහ වීමට ඉස්ලාමය අනුමැතිය ලබා දෙන අතර විවාහයක් තුළින් ඔවුන්ට හානියක් ඇති විය හැකි තත්වයකදී එය වලක්වාගැනීමට  කටයුතු කර ඇත. මෙනිසා අවම වයස් සීමාවක් ලෙස යම් නිශ්චිත අගයක් නියම කිරීම ඉස්ලාමීය නීති පද්ධතියට අවශ්‍ය නොවන කාරණයකි. මෙලෙස යම් අගයක් නියම කර ඒ අනුව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට පුද්ගලයාගෙන් පුද්ගලයා වශයෙන් වෙන් වෙන්ව සලකා බලා ඒ අනුව නීතිය ක්‍රියාත්මක කිරීම ඉස්ලාමීය ක්‍රමවේදයයි.

මූලාශ්‍රයන්

[1] Herman H. Ploss, Max Bartels and Paul Bartels, Woman, Volume I, Lord & Bransby, 1988, page 563

[2] http://www.sos.nh.gov/Publications/MARRIAGE.PDF

[3] Puberty in Girls (http://www.population.health.wa.gov.au/Communicable/Resources/2107%20PubertyinGirls.pdf

[4] MedlinePlus, Medical Encyclopaedia (http://www.nlm.nih.gov/medlineplus/ency/article/001168.htm)

[5] New Straits Times, March 10, 2001 (https://archive.org/details/9YearOldYoungThaiWomanMotherWithChild)

[6] http://epaper.dinamina.lk/art.asp?id=2011/08/02/pg06_23&pt=p&h=

[7] http://chnm.gmu.edu/cyh/primary-sources/24

[8] http://www.cdph.ca.gov/certlic/birthdeathmar/documents/marriage%20ceremony%20info.pdf

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *