මුහම්මද්ﷺ නබි තුමා ගැන පැවසු යෙහෙසුස් ක්‍රිස්තූන්

දෙවි මිනිස් සමාජය යහ මාර්ගයේ යැවීම සඳහා විවිධ කාල වලදී විවිධ ප්‍රදේශ වලට දේව පණිවුඩකරුවන් යවා තිබෙනවා. යෙහෙසුස් ක්‍රිස්තූන්ද මෙවන් දේව පණිවුඩකරුවෙක්. යෙහෙසුස් ක්‍රිස්තූන් කියන්නේ දෙවි විසින් ඊශ්‍රායෙල් ජනතාව සඳහා පමණක් එවන ලද දේව පණිවුඩකරුවෙක්(මතෙව් 15:24,10:5). සිටින්නේ එක දෙවි කෙනෙකු බවත් නැමැදිය යුත්තේ එම දෙවිට පමණක් බවත් දේව අණට කීකරු විය යුතුබවත් යෙහෙසුස් තම ජනතාවට කියා සිටියා. යෙහෙසුස් ක්‍රිස්තූන්ගේ ඉගැන්වීම් සියයට සියයක්ම අද තිබෙන බයිබලයේ නොතිබුනත් ඔහු මිනිසාට පැවසු වැදගත් දේවල් බයිබලයේ දැකගන්න පුළුවන්.

කෙසේවෙතත් යෙහෙසුස් දෙවි විසින් එවනු ලැබූ අවසාන දේව පණිවුඩකරුවා නොවෙයි. මේ පිළිබඳව යෙහෙසුස් පැවසූ ප්‍රකාශයක් බයිබලයේ සඳහන් වෙලා තිබෙනවා.

යෙහෙසුස් තමාගේ අණ පිළිපදින්නන් හට මෙසේ ප්‍රකාශ කරනවා:

ඔබ මට ප්‍රේම කරන්නේහු නම්, ඔබ මාගේ ආඥා පිලිපදින්නහුය. එවිට මම පියාණන් වහන්සේගෙන් අයැදින්නෙමි; උන් වහන්සෙද ඔබ සමඟ සදහටම සිටින පිණිස තවත්(another) සහායදායකයෙකු දෙන සේක. ඒ සහායදායකයාණෝ සත්‍යයේ ආත්මයාණෝය. උන් වහන්සේ පිළිගැනීමට ලෝකයා අපොහොසත්ය. මන්දයත් ලෝකයා උන්වහන්සේ දකින්නේවත් හඳුනන්නේ වත් නැත. එහෙත් ඔබ උන්වහන්සේ හඳුනන්නේහුය. මන්ද යත් උන් වහන්සේ ඔබ සමඟ වැඩ නැවතී සිටිමින්, ඔබතුළ වැඩ වසන සේක. [ජොහන් 14:15-17]

මෙම ප්‍රකාශයේ වැදගත් කරුණු රාශියක් සඳහන් වෙනවා. ඉන් ප්‍රධානම කරුණ නම් තවත් සහායදායකයෙකුගේ පැමිණීම පිළිබඳව යෙහෙසුස් අනාවැකි පැවසීමයි. මෙම වැකිය දිහා අවධානය යොමු කරන විට යෙහෙසුස් නම් සහායදායකයාණන්ට පෙර බොහෝ සහායදායකයාණන් මෙලොවට පැමිණ ඇති බවත් තවත් සහායදායකයෙකු යෙහෙසුස්ට පසුව පැමිණෙන බවත් පහසුවෙන්ම වටහාගන්න පුළුවන්. මනුෂ්‍යයෙක් වන යෙහෙසුස් ක්‍රිස්තූන් යනු සහායදායකයෙකු බව බයිබලය පැහැදිලිවම සඳහන් කරනවා.

බයිබලයේ ඇතුලත් කර ඇති ජොහන් විසින් ලියන ලද ලිපියක මෙසේ සඳහන් වෙනවා.

“මගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා මැ ඔබට ලිය එවන්නේ, ඔබ පව් නොකරන පිණිසය. එහෙත් යමෙකු පව් කළොත්, ධර්මිෂ්ට වූ යෙහෙසුස් ක්‍රිස්තූන් වහන්සේ නම් සහායදායකයණන් කෙනෙක් අප වෙනුවෙන් පියාණන් වහන්සේ වෙත සිටින සේක” [1 ජොහන් 2:1]

තවද යෙහෙසුස් කියන්නේ මනුෂ්‍ය පුත්‍රයෙක් බව පහත බයිබල් වැකිය අපට පෙන්වා දෙනවා.

“ඉශ්රායෙල් ජනයිනි, මේ වචනයට සවන් දෙන්න. ඔබම දන්න ලෙස, නාසරෙත්හි යෙහෙසුස් වහන්සේ, දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කළ මනුෂ්‍යයෙකි. ඒ බව, දෙවියන් වහන්සේ උන්වන්සේ මඟින් ඔබ අතර කළ ප්‍රබල ක්‍රියාවලින් ද අරුමපුදුම දෙවලින්ද ලකුණුවලින්ද පෙන්වූ සේක.” [ක්‍රියා 2:22]

සහායදායකයාණන් නම් වචනය මිනිස් පුද්ගලයෙක් වන යෙහෙසුස්ට භාවිතා කර තිබෙනවා. එනිසා යෙහෙසුස්ට පසුව පැමිණෙන සහායදායකයාණන් යෙහෙසුස් වගේම මිනිස් පුද්ගලයෙක් බව ඔබට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්. සහායදායකයාණන් කියන වචනයෙන් අදහස් වන්නේ මිනිස් පුද්ගලයෙක් බව ඉහත බයිබල් වැකි පවසනවා. බයිබල් ලේකඛයන් එම වචනය තේරුම් අරගෙන තිබෙන්නේ මනුෂ්‍යයෙක් ලෙසයි.

ග්‍රීක පිටපත් වල යෙහෙසුස් හැඳින්වීමටත්, අනාගත සහායදායකයා හැඳින්වීමටත් භාවිතා වී තිබෙන්නේ පැරක්ලීටෝස්(παράκλητο) නම් ග්‍රීක වචනයයි[1],[2].

1 ජොහන් 2:1

parackletos2

ජොහන් 14:17

parackletos1

මෙම කරුණ සැඟවීමට බයිබල් පරිවර්තන වල මැදිහත්කාරයා,උදව්කාරයා වැනි විවිධ වචන සහායදායකයා යන පරිවර්තනය වෙනුවට භාවිතා කර තිබෙනවා. කෙසේ වෙතත් ග්‍රීක පිටපත් කියවන කෙනෙකුට සත්‍ය පහසුවෙන්ම අවබෝධ කරගන්න පුළුවන්.

අනාගත සහායදායකයා යනු යෙහෙසුස් වගේම මිනිස් පුද්ගලයෙක් බව පෙන්වන තවත් සාක්ෂියක් යෙහෙසුස්ගේ ප්‍රකාශයේ තිබෙනවා. එනම්, “තවත් සහායදායකයෙකු” යැයි සඳහන් වන තැන “තවත්” යන වචනය ග්‍රීක භාෂාවේ ඇලොස් (ἄλλος-allos) නම් වචනයේ පරිවර්තනයයි. ඇලොස් යන්නෙහි අරුත එකම විශේෂයට අයත් තවත් කෙනෙක් යන්නනයි.[3] වෙනත් විශේෂයකට අයත් තවත් පුද්ගලයෙක් යැයි පවසන්න ග්‍රීක භාෂාවේ භාවිතා වන්නේ හෙටරෝස් (ἕτερος-heteros) යන වචනයයි.[4]. නමුත් යේසුස්ගේ ප්‍රකාශයේ හෙටරෝස් යැයි සඳහන් වෙලා නැහැ.

ඉහත කරුණු දිහා බැලීමේදී යෙහෙසුස්ට පසුව යෙහෙසුස් වගේම මනුෂයෙක් වන තවත් සහායදායකයෙකු එහෙමත් නැත්නම් දේව පණිවුඩකරුවෙකු පැමිණෙන බව බුද්ධිමත් කෙනෙකුට සරලවම වටහාගන්න පුළුවන්.

සත්‍යයේ ආත්මයාණෝ යැයි යෙහෙසුස් විසින් පැවසුවේද මේ සහායදායකයා/දේව පණිවුඩකරුවා ගැනයි.

කෙසේ වෙතත් මම ඔබ හට සැබෑව පවසමි. මගේ නික්මයාම ඔබේ ශුභසිද්ධිය පිණිසය. මා නික්ම නොගියොත් සහායදාකයාණන් වහන්සේ ඔබවෙත වැඩම නොකරන සේක. එහෙත් මම යන්නෙමි නම් උන් වහන්සේ ඔබ වෙත එවන්නෙමි.[ජොහන් 16:7]

ඔබට කීමට බොහෝ දේ මට ඇත. එහෙත්, දැන් ඒවා දරාගැනීමට ඔබට නොහැකිය. එසේ වී නමුත්, ඔහු එනම් සත්‍යයේ ආත්මයාණෝ පැමිණි කල, ඔහු සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මඟපෙන්වන සේක. මන්ද, ඔහු සිය කැමැත්තෙන්ම කතා නොකොට, ඔහු අස දෙම් පවසා, මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත. ඔහු මා සතු දෙයින් ගෙන ඔබට ප්‍රකාශ කරන බැවින්, මා මහිමයට පමුණුවන සේක. [ජොහන් 16:12-14]

මෙහිදී යෙහෙසුස් පවසන සත්‍යයේ ආත්මයාණෝ යනු මිනිසෙක් නොවන බවත් සත්‍යයේ ආත්මයාණෝ යනු ශුද්ධ ආත්මය(දේව බලයක් වැනි දෙයක්) බවත් කිතුනුවන් වැරදි අකාරයෙන් තේරුම් අරගෙන තිබෙනවා. නමුත් ආත්මයාණෝ නම් වචනය මනුෂයෙකුට භාවිතා කරන්න පුළුවන් බව බයිබලයම අපට කියා දෙනවා.

“ප්‍රේමවන්තයෙනි, සෑම ආත්මයාණන් කෙනෙක්ම විශ්වාස නොකරන්න, ආත්මයාණෝ දෙවි සිට පැමිණ ඇත්දැයි පරික්ෂා කරන්න. මෙසේ කියන්නේ ව්‍යාජ දිවැසිවරුන් බොහෝ දෙනෙක් ලෝකයේ විසිර ගොස් සිටින නිසාය. ඔබ දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ(සත්‍ය දිවැසිවරයාණෝ) දැනගන්නේ මෙසේය: යෙහෙසුස් ක්‍රිස්තූන් මනුෂයෙක් ලෙස පැමිණි බව පවසන සියලු ආත්මයාණෝ (දිවැසිවරයාණෝ) දේවයන් වහන්සේගෙන්ය” [1 ජොහන් 4:1]

තවද යෙහෙසුස් ප්‍රකාශ කරන සත්‍යයේ ආත්මයාණෝ ශුද්ධ ආත්මය විය නොහැකි බව යෙහෙසුස්ගේ ප්‍රකාශය සැලකිල්ලෙන් බලන කෙනෙකුට තේරුම්ගන්න පුළුවන්.

“….මා නික්ම නොගියොත් සහායදාකයාණන් වහන්සේ ඔබවෙත වැඩම නොකරන සේක. එහෙත් මම යන්නෙමි නම් උන් වහන්සේ ඔබ වෙත එවන්නෙමි” [ජොහන් 16:7]

සත්‍යයේ ආත්මයාණෝ පැමිණීමට නම් යෙහෙසුස් නික්ම යා යුතුයි. නමුත් ශුද්ධ ආත්මය යෙහෙසුස්ට කලින්ම මෙන්ම යෙහෙසුස් මෙලොව සිටියදීත් තිබුන නිසා සත්‍යයේ ආත්මයාණෝ ශුද්ධ ආත්මය විය නොහැකියි.

  • “මව්කුස සිටම ඔහු(හෙසුස්ට පෙර පැමිණි ස්නාවක ජොහන්) ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වන්නේය.” [ලූක් 1:15]
  • “ශුද්ධාත්මයාණෝ පරෙවියෙකුගේ රූපාකාරයෙන් උන් වහන්සේ(යෙහෙසුස්) කෙරෙහි පහළ වුනේය” [ලූක් 3:22]

පෙන්තකොස්ත දිනයේදී මිනිසුන් විවධ භාෂාවලින් කතා කලේ යෙහෙසුස් පැවසු ශුද්ධ ආත්මයාණෝ පැමිණි නිසා බව කියමින් සත්‍යයේ ආත්මයාණෝ මිනිසෙක් නොවෙයි යැයි කියන්න ඇතැම් කිතුනුවන් උත්සහ දරනවා. නමුත් යෙහෙසුස්ට පසුව “බැටළු පැටවුන්(ඉශ්රායෙල් ජනතාව) පෝෂණය කිරීමටත්, බැටළුවන්ගේ එඬේරා වීමටත්” යෙහෙසුස් විසින් පත් කරන ලද පේදුරු තුමා (ජොහන් 21:15-16) පෙන්තකොස්ත දිනයේ සිදුවුණ සිද්ධිය යෙහෙසුස්ගේ අනාවකියේ ඉෂ්ටවීම නොව ජෝවෙල් නම් දිවැසිවරයාගේ අනාවැකියේ(උත්පත්ති 11:9) ඉෂ්ටවීම බව ප්‍රකාශ කර තිබෙනවා.

පෙන්තකොස්ත දවසේදී පේදුරු තුමාගේ දේශනාව:
එවිට එකොලොස් දෙන සමඟ නැඟීසිටි පේදුරු තුමා ශබ්ද නඟා ඔවුන්ට මෙසේ කීය: “ජුදෙව් ජනයිනි, ජෙරුසලමේ වසන සියල්ලෙනි, මෙය දැනගන්න; මගේ වචනවලට සාවධානව සවන් දෙන්න. තවම වෙලාව උදේ නවය බැවින් ඔබ සිතන හැටියට මේ අය වෙරි වී නැත. මේ සිද්ධිය නම් ජෝවෙල් දිවැසිවරයා කී දෙය ඉටු වීමකි. [ක්‍රියා 2:14-16]

ඉහත කාරණා ගැන සැලකීමේදී යෙහෙසුස්ට පසු පැමිණෙන සහායදායකයාණෝ/සත්‍යයේ ආත්මයාණෝ යනු ශුද්ධ ආත්මය නොව මිනිස් දිවැසිවරයෙක් බව සැකයකින් තොරවම සනාත වෙනවා. තවද මෙම දිවැසිවරයා අවසාන දිවැසිවරයා බව “උන් වහන්සෙද ඔබ සමඟ සදහටම සිටින පිණිස තවත්(another) සහායදායකයෙකු දෙන සේක” හා “ඔහු සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මඟපෙන්වන සේක” යන වාක්‍යවලින් පිළිබිඹු වෙනවා. සදහටම සටිනවා යනු ඉගැන්වීම ඔහුගේ(සහායදායකගේ) මරණයෙන් පසුවත් ජනයා අතර තිබීමයි. උදාහරණයකට පහත වැකිය දිහා බලන්න.

…”මාගේ සේවක දාවිත් සදාකාලයටම ඔවුන්ට අධිපතිය වන්නේය.” [එසකියෙල් 37:35] මෙම වැකියේ අරුත දාවිත් අදටත් අමරණීයව සිටිනවා යන්න නොවන බව සරලවම වටහා ගන්න පුළුවන්. මෙම වැකියේ සැබෑ අරුත දාවිත්ගේ නාමය, ඉගැන්වීම් දාවිත්ගේ මරණයෙන් පසුවත් ජනයා අතර තිබීමයි.

යෙහෙසුස් ප්‍රකාශ කරන දිවැසිවරයා යුදෙව් ජාතිකයෙක් නොවෙයි. යුදෙව්වන්ගෙන් රාජ්‍ය ගිලිහි යන බව යෙහෙසුස් පැවසුවේ මේ නිසයි.

“..දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබ(ජුදෙව්වන්) කෙරෙන් ඉවත් කොට එය නියම පල උපදවන ජාතියකට දෙනු ලබන්නේය. [මතෙව් 21:43]

මෙම අවසාන දිවැසිවරයා යුදෙව් ජාතිකයන්ගේ සහෝදර ජාතික අරාබි ජාතිකයෙක් බව බයිබලයේ පරණ ගිවිසුමේ සඳහන් වෙනවා [ද්වීතීය නීති සංග්‍රහය 18:18]. [5]

බයිබලයේ සඳහන් මෙවන් අනාවැකි නිසා අරාබියේ මදීනා නගරයට යුදෙව්වන් සංක්‍රමණය වෙලා පරම්පරාවක් පාසා අවසාන දිවැසිවරයා පැමිණෙන තුරු බලාගෙන සිටියා. යෙහෙසුස්ට අවුරුදු 600කට පමණ පසු පැමිණි මුහම්මද් (සල්) නබි තුමා යෙහෙසුස් ක්‍රිස්තූන් පැවසු අවසාන දිවැසිවරයා බව ඔවුන් අවබෝධ කරගත්තා. මෙයට හේතුව මුහම්මද්(සල්) තුමා ගැන අනාවැකි යුදෙව්වන්ගේ ආගමික ග්‍රන්ථ වල තිබීමයි.

යෙහෙසුස් මෙසේ පවසා තිබෙනවා: “සත්‍යයේ ආත්මයාණන්(දිවැසිවරයා) පැමිණි කල උන් වහන්සේ මා ගැන සාක්ෂි දරන සේක.” [ජොහන් 15:26]

මුහම්මද් (සල්) තුමා, යෙහෙසුස් ක්‍රිස්තූන් දෙවිගේ සත්‍ය පණිවුඩකරුවෙකු යැයි පවසමින් ඔහුව(යෙහෙසුස්ව) මහිමයටද පත්කලා[6]. ලෝකයේ, යෙහෙසුස්ව විශ්වාසකරන, යෙහෙසුස් විසින් කල හාස්කම් විශ්වාස කරන, යෙහෙසුස් කන්‍යා මරියතුමියට ඉපදුනා යැයි විශ්වාස කරන කිතුනු නොවන එකම සමාජය මුස්ලිම් සමාජය වීමට හේතුව මෙයයි.

එසේ නම් යෙහෙසුස් විසින් පවසන ලද දිවැසිවරයා වන මුහම්මද්(සල්) තුමන්ව පිළිපැදීම ඔබගේ වගකීමක් නේද ?

යෙහෙසුස් පැවසු ප්‍රකාශය දිහා නැවතත් එක්වරක් බලමු.

ඔබට කීමට බොහෝ දේ මට ඇත. එහෙත්, දැන් ඒවා දරාගැනීමට ඔබට නොහැකිය. එසේ වී නමුත්, ඔහු එනම් සත්‍යයේ ආත්මයාණෝ(දිවැසිවරයා) පැමිණි කල, ඔහු සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මඟපෙන්වන සේක. මන්ද, ඔහු සිය කැමැත්තෙන්ම කතා නොකොට, ඔහු අසන දේ ම පවසා, මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත. ඔහු මා සතු දෙයින් ගෙන ඔබට ප්‍රකාශ කරන බැවින්, මා මහිමයට පමුණුවන සේක. [ජොහන් 16:12-14]

යෙහෙසුස් විසින් නොපැවසූ බොහෝ දේ දැනගැනීමට මුහම්මද්(සල්) තුමන්ව පිළිපැදිය යුතුයි නේද? යෙහෙසුස් ඇතුළු ඊට පෙර පැමිණි දිවැසිවරුන් දේශනා කලේත් මුහම්මද් (සල්) තුමා දේශනා කලේත් එකම ධර්මයක් බව බයිබලය හා කුරානය කියවන කෙනෙකුට වටහා ගන්න පුළුවන්.

එන්න! සත්‍ය ධර්මය වැළඳ ගන්න….

(බයිබලයේ මුහම්මද් තුමා ගැන තවත් අනාවැකි රාශියක් තිබෙනවා. මේ පිළිබඳව තවත් ලිපි ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා)

මූලාශ්‍රයන්
[1] http://www.codexsinaiticus.org/en/manuscript.aspx?book=55&chapter=2&lid=en&side=r&zoomSlider=0#55-1-9-4
[2]http://www.codexsinaiticus.org/en/manuscript.aspx?book=36&chapter=14&lid=en&side=r&verse=17&zoomSlider=0
[3] http://biblesuite.com/greek/243.htm
[4] http://biblesuite.com/greek/2087.htm
[5] www.aramuna.lk/comp_religion/muhammedinot.html
[6] අල් කුරානය 19:16-22

Leave a Reply

Your email address will not be published. Required fields are marked *