මූත්‍රා කිරීමෙන් පසු පිරිසිදු කර ගනිමු

මිනිසාගේ යහපත සඳහා විවිධ මගපෙන්වීම් ලබා දෙන ඉස්ලාම් දහම ඇතැම් අවස්තාවලදී සනීපාරක්ෂාව පිළිබඳවත් කරුණු ඉදිරිපත් කරනවා. මින් එක් ඉගැන්වීමක් වනුයේ මූත්‍රා කිරීමෙන් පසු මුත්‍ර අවයව පිරිසිදු කර ගැනීමයි. මේ සඳහා මූලික වශයෙන් වතුර භාවිතා කරන්න පුළුවන්.

අනස් ඉබ්නු මාලික් මෙසේ පැවසුවේය: “අල්ලාහ්ගේ දූතයාණන් වැසිකිලි යන විට මා හා මා මෙන් තවත් තරුණ පිරිමියෙකු ඔහුට (මුහම්මද් තුමාට) බඳුනකට වතුර ගෙනැවිත් දෙන අතර ඔහු එමගින් පිරිසිදු කර ගන්නේය (ඉස්තින්ජා).” [1] [2]

ආයිෂා තුමිය කාන්තාවන්ට මෙසේ පැවසුවාය: “වතුරින් පිරිසිදු කරගන්නා මෙන් ඔබලාගේ පුරුෂයන්ට පවසන්න, හේතුව (මේ බව) ඔවුන්ට පවසන්න මම පැකිලෙමි. අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ කළේය.”[3]

වතුර නොමැති අවස්ථාවලදී රෙදි කැබැල්ලකින් හෝ ටිෂු කැබැල්ලකින් පිරිසිදු කරගන්න පුළුවන්. කෙසේනමුත් මුහම්මද් තුමාගේ කාලයේ වතුර නොමැති විට වෙනත් විකල්පයක් සොයා ගැනීම තරමක් අපහසුයි. එනිසා තෙතමනය උරා ගන්නා පිරිසිදු ගල් කැටයකින් මුත්‍ර අවයවය පිරිසිදු කර ගන්න පුළුවන් බව මුහම්මද් තුමාගේ ඉගැන්වීම් දෙස බැලීමේදී අපට තේරුම් ගන්න පුළුවන්.

මුහම්මද් තුමා පැවසු බවට අබූ හුරෛරා තුමා මෙසේ පවසනවා: “(වැසිකිලි යෑමෙන් පසු) යම් කෙනෙක් ගල් කැට වලින් පිස දමා ගන්නේ නම් (පිරිසිදු කර ගන්නේ නම්) ඔහු ගල් කැට ඔත්තේ සංඛ්‍යාවක් භාවිතා කළ යුතුයි….” [4]

රෙදි කැබැල්ලකින් හෝ ටිෂු කැබැල්ලකින් පිරිසිදු කරගන්න පුළුවන්  යන අනුමැතිය පදනම් වී තිබෙන්නේද “ගල් කැටයකින් පිරිසිදු කළ හැකියි” යන අනුමැතිය මතයි. (මෙලෙස එක් ඉගැන්වීමකින් තවත් ඉගැන්වීමක් ගොඩනගා ගැනීමේ ක්‍රමය “කියාස්” ලෙස හැඳින්වෙනවා)

කෙසේනමුත් මුත්‍රා කිරීමේදී මූත්‍රා මුත්‍ර අවයවය අවට ප්‍රදේශ වලද වැදුනේ නම් වතුරෙන්ම පිරිසිදු කිරීම වඩාත් සුදුසුයි.

අනවශ්‍ය විවේචන

කෙසේ හෝ ඉස්ලාම් දහම විවේචනය කළ යුතුයි යන ස්ථාවරයේ සිටින ඇතැම් නූතන ඉස්ලාම් විරෝධීන් ඉස්ලාමය පවසන මෙම සනීපාරක්ෂක පුරුද්ද පවා විවේචනය කරනවා. ඔවුන් පවසන්නේ ගල් කැටයකින් මුත්‍ර අවයව පිරිසිදු කිරීම සෞඛයට හානි කර බවයි. කෙසේනමුත් මූත්‍ර අවයව වතුරෙන් පිරිසිදු කිරීම වඩාත් යෝග්‍ය වන බව අප කලින් සඳහන් කළා. පිරිසිදු ගල් කැට භාවිතා කළ යුත්තේ එලෙස වතුර නොමැති අවස්තාවලදී බවත් ඉහත සඳහන් කර තිබෙනවා. මුත්‍රා කිරීමෙන් පසු මුත්‍රා තම ඇඳුම් වල තැවරෙනවාට වඩා ගල් කැටයක් උපයෝගී කර තෙත මාත්තු කර ගැනීම අපිරිසිදුකමක් වන්නේ කෙසේද? බොහෝ අවස්තාවලදී අප වතුරෙන් පිරිසිදු කළත්, එම වතුර 100%ම පිරිසිදු ඒවා බව දන්නේ නැහැ. නමුත් වෙනත් විකල්පයක් නොමැති විට එවන් වතුරකින් පවා පිරිසිදු කරන අවස්ථා තිබෙනවා. “ටිෂු පේපර්” තිබෙන වැසිකිලියකට ගියා කියල හිතන්න. මෙහි ඇති ටිෂු අපිරිසිදු ඒවා බව කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. හේතුව එය වැසිකිලිය තුලම සවි කර තිබීමයි. ඒ වගේම නොයෙකුත් පිරිස් එකම “ටිෂු පේපර් රෝල” භාවිතා කරනවා. නමුත් වෙනත් විකල්පයක් නොමැති විට මෙම “ටිෂු පේපර්” වලින්ම අප මල මුත්‍ර පිරිසිදු කර ගන්නවා. කාන්තාරයේ ගමන් කරන උදවිය පිපාසය වැඩි වූ අවස්ථාවේ ඔවුන් සතුව වතුර නොමැති නම් පිරිසිදු ගල් කැටයක් ගෙන කටේ දමා ගන්නවා [5]. මෙමගින් ඔවුන්ගේ පිපාසය පාලනය කර ගන්න පුළුවන්. අද කාලයේ තිබෙන වතුර පෙරන ගැන සලකනවා නම්, වතුර පෙරීම සඳහා විවිධ වර්ගවල ගල්, වැලි යන්නදිය භාවිතා වී තිබෙන බව පහසුවෙන්ම දැක ගන්න පුළුවන් [6]. මේවා වලට භාවිතා කරන්නේද පිරිසිදු ගල් හා වැලි. මේ අකාරයෙන්ම මූත්‍රා කිරීමෙන් පසු තෙත මාත්තු කිරීම සඳහා භාවිතා කළ යුත්තේ පිරිසිදු ගල් කැට බව අමුතුවෙන් පවසන්න අවශ්‍ය වන්නේ නැහැ. උදාහරණයකට “කෑම අනුභව කර අත සේදීමෙන් පසු අත රෙදි කැබැල්ලකින් පිස දමන්න” යන ප්‍රකාශය සලකමු. මෙහිදී රෙදි කැබැල්ල පිරිසිදු රෙදි කැබැල්ලක් විය යුතු බව අමුතුවෙන් පැවසිය යුතු වන්නේ නැති බව බුද්ධිමත් ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. 

ගල් කැටයෙන් පිරිසිදු කිරීම ගැන කරුණු සඳහන් පුවතේ “ගල් කැට වලින් පිස දමා ගන්නේ නම්….” යැයි සඳහන් වෙනවා. මෙය උපුටා දක්වන විවෙචයකින් ගල් කැටයකින් පිසදමන්නේ කෙසේද යන්න විමසනවා. මෙය තේරුම් ගැනීමට “රෙදි කැබැල්ලකින් පිස දමන්න” යන ප්‍රකාශයම නැවත සලකමු සලකමු. මෙම ප්‍රකාශයට අනුව රෙදි කැබැල්ල ගෙන අතේ තෙතමනය ඉවත් වන අකාරයෙන් තෙත මාත්තු කරගන්නත් පුළුවන්. එනම් “පිස දමනවා” යන වචන තුළ තෙත මාත්තු කිරීමත් අඩංගු වන බව අපට තේරුම් ගන්න පුළුවන්.

පිරිසිදු කිරීමේ වඩාත් සුදුසුම ක්‍රමය වතුර භාවිතා කිරීම වන අතර “ටිෂු”, “රෙදි”, “පිරිසිදු ගල් කැට” භාවිතා කළ යුත්තේ විකල්පයක් ලෙසින් බව අප මත මතක තබා ගත යුතුයි [7].

ඉස්ලාමය විවේචනය කරන ඉස්ලාම් විරෝධීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ පුහු තර්ක ඉදිරිපත් කරමින් ඉස්ලාම් දහම විවේචනය නොකර නිවැරදි ක්‍රමවේද අනුගමනය කරමින් නිවැරදි ඉස්ලාම් දහම ඉගෙන ගන්නා ලෙසයි.

මූලාශ්‍රයන්,

[1] සහිහ් බුහාරි, පුවත් අංක 150

[2] සහිහ් මුස්ලිම්, පුවත් අංක 271

[3] තිරිමිති, පුවත් අංක 19

[4] සහිහ් මුස්ලිම්, පුවත් අංක 458

[5] http://www.desert-survivors.org/desert_behaviors.htm

[6] http://www.letstalkscience.ca/programs-resources/activities/item/what-are-the-best-materials-to-use-for-cleaning-water.html

[7] https://islamqa.info/en/8003

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *