අල්ලාහ් විසින් සිදු කළ ජීව නිර්මාණය

අල් කුර්ආනයේ ස්වභාවික සංසිද්ධි පිළිබඳව සඳහන් වී ඇති අතර මෙම ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක යෙදීම විද්‍යාවේ කාර්යභාරයි. ඇතැම් විට අල් කුර්ආනය පවසන ස්වභාවික සංසිද්ධිය හොඳින් තේරුම් ගැනීමට විද්‍යාව උපකාරී වන අතර ඇතැම් විට විද්‍යාත්මක ගවේෂණ සඳහා අල් කුර්ආනය උපයෝගී කරගන්නත් පුළුවන්. ඇතැම් අවස්ථාවලදී අල් කුර්ආනය කරුණු ඉදිරිපත් කරන්නේ විවිධ කාල වල සිටින පුද්ගලයින්ට තේරුම් ගැනීමට පුළුවන් අකාරයෙනුයි. අල් කුර්ආනය හා විද්‍යාව අතර සම්බන්ධය පිලිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමටඅල් කුර්ආනය හා විද්‍යාව නම් ලිපිය කියවන්න. මීට අමතරව අල් කුර්ආනයේ ඉගැන්වීම් තේරුම් ගැනීමේ විද්වත් ක්‍රමවේදයත් අප දැන සිටිය යුතුයි.

අල්ලාහ් විසින් ජෝඩු වශයෙන් නිර්මාණය කරන ලද ජීවීන්

අප අවට තිබෙන ජෛව විවිධත්වය ගැන සැලකීමේදී විවිධ සංකීර්ණතා වලින් සමන්විත ජීවී විශේෂ රාශියක් තිබෙන බව අපට අවබෝධ කරගන්න පුළුවන්. මෙම ජීවීන් බිහි වූයේ කෙසේද? මෙම ප්‍රශ්නයට පිළිතුරු පරිණාමවාදය බව ඇතැම් අය පවසන්න පුළුවන්. නමුත් පරිණාමවාදය තුළින් ජීවීන්ගේ බිහි වීම පිළිබඳව තොරතුරු එළිදරව් වන්නේ නැහැ. පරිණාමවාදය තුළින් පැහැදිලි වන්නේ එක් ජීවී කාණ්ඩයක් තුළ ජීවීන්ගේ සිදු වන වෙනස් වීම බව මේ පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙකුට වටහා ගන්න පුළුවන් මේ සඳහා පරිණාමවාදයේ පරිණාමය හා අතරමං වීම! නම් ලිපිය කියවන්න.

එනිසා, ජීවීන්ගේ අපට ඇදහිය නොහැකි සංකීර්ණතාවය ගැන සැලකීමේදී ජීවීන්ගේ බිහි වීම සිදු වී ඇත්තේ ඉහළ බුද්ධියක (දෙවි කෙනෙකුගේ) මැදිහත් වීමකින් බව අපට තීරණය කරන්න පුළුවන්. මෙම ලිපියේ අරමුණ මෙම ජීව නිර්මාණය පිළිබඳව අල් කුර්ආනය පවසන ඇතැම් කරුණු ගැන අවධානය යොමු කිරීමයි.

ජීව නිර්මාණය ගැන අල් කුර්ආනයේ මෙසේ සඳහන් වෙනවා.

අහස් හා පොළොව එකට බද්ධව පැවතුණු බවත් අපි ඒදෙක ම වෙන් කළ බවත් දිවි ඇති සෑම දෙයක් ම අපි ජලයෙන් නිර්මාණය කළ බවත් (අප) ප්‍රතික්ෂේප කරන්නෝ සිතා බැලිය යුතු නොවේ ද? ඔවුහු විශ්වාස කළ යුතු නොවේ ද? [අල් කුර්ආනය 21:30]

මෙම වාක්‍ය දිහා බලන විට ජීවයේ සම්භවයට අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස “ජලය” සලකා ඇති බව අපට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. සෑම ජීවී දෙයක්ම සෑදී ඇත්තේ සෛල වලින්. මේ සෛලයේ බහුතරයක් ඇත්තේ ජලය බව නූතන විද්‍යාවේ උපකාරයෙන් අපට දැන ගන්න පුළුවන්[1]. එනම් සෛලයේ ප්‍රධාන කොටස වන සෛටොප්ලාස්මයේ 80%ක්ම ඇත්තේ ජලයයි. මෙය ජීව විද්‍යාත්මක පොත් වල පැහැදිලිව සඳහන් වෙනවා. කෙසේනමුත් ජීවීන් තුළ බහුල වශයෙන් ජලය තිබෙන බව සොයා ගනු ලැබූවේ අන්වීක්ෂය නිෂ්පාදනය කළාට පසුවයි. නමුත් අල් කුර්ආනයේ මෙම කරුණ සඳහන් වන කාළයේ අන්වීක්ෂය සොයා ගෙන තිබුණේ නැහැ. ඒ වගේම ජලය දුලභ අරාබි කාන්තාර පරිසරයේ සිටි මුහම්මද් තුමාට අනාවරණය වූ අල් කුර්ආනයේ මෙම කරුණ සඳහන් වීමත් සැලකිය යුතු කරුණක්.

ඒ වගේම මෙම ජීවීන්ගෙන් බහුතරයක් ජෝඩු වශයෙන් නිර්මාණය කර ඇති බවත් අල්ලාහ් කුර්ආනයේ සඳහන් කරනවා.

ඔහු නුඹලාට පොළොව තොටිල්ලක් සේ පිහිටුවීය. එහි නුඹලා වෙනුවෙන් මං මාවත් පහසු කළේය. අහසින් ජලය පහළ කොට එමගින් විවිධාකාර වෘක්ෂලතා ජෝඩු  ඇති කළෙමු. [අල් කුර්ආනය 20 : 53]

නුඹලා සිතනු පිණිස අපි සියලූ දේවල් වලින් ජෝඩු නිර්මාණය කළෙමු. [අල් කුර්ආනය 51:49]

ඇතැම් අය ඉහත වැකිය නිසි ලෙස තේරුම් නොගෙන මෙම වැකියේ අදහස සියලුම ජීවී විශේෂ තුළ ස්ත්‍රී හා පුරුෂ ලෙස ජෝඩු තිබෙන බව පවසනවා. කෙසේනමුත් මෙම වැකියේ අදහස මෙය නොවේ. අරාබි භාෂාවට අනුව සියලු දේවල්  – كُلِّ (Everything) හා සියලු දේවල් වලින් – مِن كُلِّ (from/of Everything) යන ප්‍රකාශ දෙකේ පැහැදිලි වෙනසක් තිබෙනවා. “සියලු දේවල් වලින්” (from/of Everything) යැයි අරාබි භාෂාවේ සඳහන් වන්නේ “බහුතරයක්/බොහෝ” යන අදහස ඉදිරිපත් කිරීමටයි.

මෙය තේරුම් ගැනීමට පහත කුර්ආන් වැකි දෙස අවධානය යොමු කරන්න.

සුලෛමාන් දාවූද්ට උරුමකරු විය. “මිනිසුනි, අපට කුරුලූ බස උගන්වනු ලැබ ඇත. අපට සියලූ දැයින්ම  مِن كُلِّ (from/of Everything) පිරිනමනු ලැබ ඇත. පැහැදිලි අනුග්‍රහය මෙය යැ”යි ඔහු පැවසීය. [අල් කුර්ආනය 27 : 16]

සුලෛමාන් නම් දේව පණිවුඩකරුවාට අනෙකුත් දේව පණිවුඩකරුවන්ට සාපේක්ෂව බොහෝ දායාද අල්ලාහ් පිරිනමා තිබුණු අතර මේ පිළිබඳව සුලෛමාන් තුමා ඉහත අකාරයෙන් පවසනවා. මෙම වැකියේ අදහස සියලුම දේවල් සුලෛමාන් තුමාට ලැබුණා යන්න නොවේ.

තවත් උදාහරණයක් බලමු.

“මම ස්ත්‍රීයක් දුටුවෙමි. ඇය ඔවුන් පාලනය කරන්නීය. ඇයට සියලූ දැයින්ද  مِن كُلِّ (from/of Everything) පිරිනමනු ලැබ ඇත. ඇයට ඉමහත් රාජාසනයක් ද ඇත.” [අල් කුර්ආනය 27:23]

සුලෛමාන් තුමාගේ කාලයේ ජීවත් වූ ෂීබා රැජින ගැන සඳහන් කිරීමේදී ඇයටද බොහෝ දේවල් පිරිනැමුණු බව ඉහත  කුර්ආන් වැකිය පවසනවා. මෙම වැකියේ අදහස සියලුම දේවල් ඇයට පිරිනැමුණා යන්න නොවේ.

මේ අනුව අල් කුර්ආනයේ 51:49 වැකියේ අදහස අල්ලාහ් විසින් බොහෝ දේවල් ජෝඩු වශයෙන් නිර්මාණය කරනු ලබා ඇති බවයි. එනම් ජෝඩු වශයෙන් නිර්මාණය නොවූ දේවල්ද තිබිය හැකි බව මෙම වැකිය තුළින්ම පැහැදිලි වෙනවා. අප අවට පරිසරය දෙස බැලීමේදී ස්ත්‍රී පුරුෂ වශයෙන් ජෝඩු වලින් යුත් ජීවීන් සිටින බව දැක ගන්න පුළුවන් වුණත් තරමක ගවේෂණයේ යෙදෙනවා නම් මෙසේ නොවන ජීවීන් සිටිනවාද නැද්ද යන්න පහසුවෙන් සොයා ගන්න පුළුවන්.

මූලාශ්‍රයන්

[1] Bruce Alberts, Essential Cell Biology, Garland Science, 2009.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *