බයිබලයේ සඳහන් අනාගත වක්තෘවරයා කව්ද?

බයිබලයේ යෝවාන් බස්තීස්ත නම් දේව පණිවුඩකරුවෙකු ගැන සඳහන් වෙනවා. නමුත් මොහු ඇත්තෙන්ම කව්ද කියල එකල සිටි යුදෙව්වන්ට දැන ගැනීමට අවශ්‍ය වුණා. ඊට හේතුව දෙවි විසින් යුදෙව්වන්ට අනාවරණය කළ දේව ග්‍රන්ථවල හා ඒ අනුසාරයෙන් යුදෙව් විද්වතුන්ගේ පොත්පත්වල අනාගතයේදී පැමිණිය හැකි දේව පණිවුඩකරුවන් කිහිපදෙනෙකු පිලිබඳ අනාවැකි සඳහන් වී තිබීමයි. මේ නිසා යුදෙව් පූජකයින් යෝවාන් බස්තීස්ත හමු වී අනාගත වක්තෘවරුන් තුන් දෙනෙකු පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළා. මොවුන්ට උවමනා වුණේ යෝවාන් බස්තීස්ත මේ තිදෙනාගෙන් එක්කෙනෙකු දැයි දැන ගැනීමයි. යුදෙව් පූජකයින් හා යෝවාන් බස්තීස්ත අතර ඇති වූ කතාබහ බයිබලයේ සඳහන් වෙනවා.

“ඔබ කව්ද?” කියා ඔහුගෙන් (යෝවාන් බස්තීස්තගෙන්) ඇසූ විට, ඔහු දුන් සාක්ෂිය මෙයයි.

“මම ක්‍රිස්තුස් නොවෙයි” කියා ඔහු නොසඟවාම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

එවිට ඔවුහු, “එහෙනම් ඔබ කව්ද? ඔබ එලියාද?” කියා ඔහුගෙන් ඇසූහ.

එවිට ඔහු, “මම එලියා නොවෙයි” කියා පිළිතුරු දුන්නේය.

එසේනම්, “එන්න සිටින අනාගත වක්තෘවරයා ඔබද? කියාත් ඔවුහු ඇසුවෝය.

එයටත් ඔහු නැහැ කියා පිළිතුරු දුන්නේය. (යෝවාන් 1:19-21)

ඔවුහුද, “ඔබ ක්‍රිස්තූස්වත්, එලියාවත්, එන්න සිටින අනාගත වක්තෘවරයාවත් නොවෙයි නම් ඇයි ඔබ මිනිසුන්ව බව්තීස්ම කරන්නේ?” කියා ඔහුගෙන් ඇසූහ.(යෝවාන් 1:25)

මෙම බයිබල් වැකි වලින් පැහැදිලි වන්නේ යුදෙව්වෝ ඔවුන්ගේ ධර්ම ග්‍රන්ථ වල ඇති අනාවැකිවලට අනුව ක්‍රිස්තූන්, එලියා හා අනාගත වක්තෘවරයා වශයෙන් දේව පණිවුඩකරුවන් තිදෙනෙක් බලාපොරොත්තුවෙන් සිටිය බවයි. යෙහෙසුස් ක්‍රිස්තූන් මෙලොවට පැමිණ තිබෙන බව අපි දන්නවා. එය බයිබලයේත් පැහැදිලිව සඳහන්. ඒවගේම එලියාද පැමිණ තිබෙන බව බයිබලයේ සඳහන්.

යෙහෙසුස් මෙසේ පවසා තිබෙනවා “නමුත් මා දැන් ඔබට කියන්නේ එලියා දැනටමත් පැමිණ ඇති බවයි. නමුත් ඔවුන් ඔහුව හඳුනා නොගෙන තමන්ට කැමති දේ ඔහුට කළා. මනුෂ්‍ය පුත්‍රයාටත් ඔවුන් අතින් පීඩා විඳින්න සිදු වෙයි. ” (මතෙව් 17:12)

එසේනම් මෙහි සඳහන් අනාගත වක්තෘවරයා කව්ද? යුදෙව් පූජකයින් අනාගත වක්තෘවරයා ගැන විමසන්නේ ඔවුන්ගේ ධර්ම ග්‍රන්ථයේ මෙවන් අනාගත වක්තෘවරයෙක් ගැන පැහැදිලි අනාවැකි තිබෙන නිසයි. මෙම අනාගත වක්තෘවරයා ක්‍රිස්තූන් හෝ එලියා හෝ නොවන බව කාටත් පැහැදිලියි.

මෙම අනාගත වක්තෘවරයා පිළිබඳව යෝවාන් බස්තීස්ත පවසන්නේ මෙසේයි.

“ඔබ පසුතැවිලි වී ඇති නිසා ඊට සාක්ෂියක් ලෙස මම ඔබව වතුරෙන් බව්තිස්ම කරනවා. නමුත් මට පසුව එන තැනැත්තා මට වඩා බලවත් කෙනෙක්ය. මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් වටින කෙනෙක් නොවෙයි. ඒ තැනැත්තා ඔබව බව්තීස්ම කරන්නේ දෙවිගේ බලයෙන්ය.” (මතෙව් 3:11)

එනම් යෝවාන් බස්තීස්තට පසුව ඔහුට වඩා බලවත් කෙනෙක් පැමිණෙන බව ඔහු පවසනවා.

මේ බලවත් කෙනා ගැන යෙහෙසු ක්‍රිස්තූන්ද මෙසේ පවසනවා.

“ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ස්ත්‍රීන්ගෙන් උපන් අය අතරෙන් යෝවාන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් ඉපදී නැති බවයි. නමුත් ස්වර්ග රාජ්‍යයේ සිටින සුළු තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.” (මතෙව් 11:11) යෙහෙසුස් ක්‍රිස්තූන් මෙහිදී ඇත්තෙන්ම පවසන්නේ යෝවාන් බව්තීස්ත තමන්ට වඩාද උසස් බවයි. ඊට හේතුව යෙහෙසුස්ද මර්යම් නමැති ස්ත්‍රියට ඉපදුන දේව පණිවුඩකරුවෙක් වීමයි. කෙසේනමුත් යෝවාන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් සිටින බව යෙහෙසුස් පවසනවා. මෙම පුද්ගලයා හැඳින්වීමට යෙහෙසුස් භාවිතා කරන්නේ “ස්වර්ග රාජ්‍යයේ කුඩා තැනැත්තා” යන නමයි.

තමන්ට වඩා බලවත් කෙනෙක් ලෙස යෝවාන් බව්තීස්ත පවසන්නේ යෙහෙසුස් ක්‍රිස්තූන් පිළිබඳව බව ඇතැම් අය පවසන්න පුළුවන්. නමුත් යෝවාන් බව්තීස්ත යෙහෙසුස් ක්‍රිස්තූන්ට වඩාද බලවත් බව යෙහෙසුස් ක්‍රස්තූන්ම ඉහත බයිබල් වැකියෙන් තුළින් අපට පවසනවා. යෝවාන් බස්තීස්ත හා යෙහෙසුස් ක්‍රිස්තූන් ඇත්තෙන්ම මෙහිදී කතාකරන්නේ තමා දෙදෙනාටම වඩා බලවත් දේව පණිවුඩකරුවෙකු පිළිබඳව බව මෙම වැකි දිහා බලන ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්.

ඉතින් යෙහෙසුස් ක්‍රිස්තූන්ට පසුව පැමිණි මෙම දේව පණිවුඩකරුවා කව්ද?

ඉතිහාසය දිහා බලන විට පෙනී යන්නේ යෝවාන් බස්තීස්ත හා යෙහෙසුස් ක්‍රිස්තූන් පැවසු අනාගත දේව පණිවුඩකරුවා අන් කිසිවෙකු නොව ඔවුන්ට පසුව පැමිණි මුහම්මද් නබි තුමාණන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *