මිනිසාගේ දහම

ඉහත මාතෘකාවෙහි සාධක දෙකක් දක්නට ඇත. එම සාධක දෙක නම් මිනිසා සහ දහමයි. අප බොහෝ විට කර ඇත්තේ මෙයින් එක් සාධකයක් පමණක් ගැන කරුණු ඉදිරිපත් කරමින් අනෙක් සාධකය පිළිබඳ අවධානය යොමු කිරීම පැහැර හැරීමයි. දහම පිළිබඳව විග්‍රහයන් හි යෙදෙන අපි මිනිසා එය පිළි ගත යුතු බවට මතවාදයන් ඉදිරිපත් කරන්නෙමු. එය කිසිසේත්ම සුදුසු හා විද්‍යාත්මක පිළිවෙතක් නොවන බව අපගේ මතයයි. මිනිසාගේ ස්වභාවිකත්වය පිළිබඳව අවධානය යොමු නොකොට තිබෙන දහම ඔහුට සුදුසු යැයි තීන්දු කිරීම කිසිසේත්ම සාධාරණීය පිළිවෙතක් ලෙස පිළිගැනීම අනුමත කළ හැක්කේ කා හටද? එහෙයින් පළමු ව මිනිසාගේ ස්වභාවිකත්වය පිළිබඳව කරුණු විමසා එම තත්ත්වයන්ට වඩාත් උචිත මග පෙන්වීම කුමක් ද යන්න පිළිබඳව සාකච්ඡා කරමු.

සත්ව ලෝකයේ සාමාජිකයෙකු වන මිනිසාට පමණක් දහමක අවශ්‍යතාව මතු වී ඇත්තේ කුමන හේතුන් නිසාද? එහෙයින් මිනිසාව අවබෝධ කර ගැනීම පිණිස මිනිසාගේ හා සත්ව ලෝකයේ අනෙකුත් සාමාජිකයින් අතර ඇති මුලික වෙනස්කම් කිහිපයක් පිළිබඳව පළමු ව විමසා බලමු. එළදෙනක් තම පැටියා ලොවට බිහි කළ විගස මිහිතලයට එකතු වන මෙම නව ජීවියාගේ ක්‍ෂණික අවශ්‍යතාව වන්නේ කුසගින්න හා පිපාසය සංසිඳුවා ගැනීමය. මෙම අවශ්‍යතාව ඉටු කර ගන්නා ආකාරය හෝ ඉටු කර ගත හැකි ස්ථානය පිළිබඳව දැනුවත් කිරීමක් එළදෙන විසින් තම පැටියාට ලබා දෙන්නේ නැත. මිනිත්තු කිහිපයකට පෙර දක්වා එළදෙන ගේ ගර්භාෂයේ සිටි මෙම පැටියා ඉන් පිට ව ආ පසු තම ජීවිතයේ නව පරිසරයට අනුව ජීවිතය සකස් කර ගන්නට දැනුම ලබා ගන්නේ කුමන මාර්ගයෙන්ද? කිසිවෙකුගේ මග පෙන්වීමකින් තොරව තම ආහාරය තිබෙන තැන හොඳින් දන්නෙකු ලෙස වැස්සිගෙන් කිරි උරා බොන්නට මෙම නව ජීවියා කටයුතු කිරීම සැබැවින්ම මවිත කරවන්නක් නොවන්නේද? කරුණාකර සිතා බලන්න. මනුෂ්‍ය දරුවෙකු ලොවට බිහි වූ විට මෙලෙස ක්‍රියා කිරීමේ හැකියාව එම දරුවාට තිබේද? අලුත උපන් දරුවෙකු ගේ අසරණ භාවය අපි සැම හොඳින් දනිමු. මවගේ ආදරය, සෙනෙහස, කරුණාව නොලැබුණා නම් දින දෙකකට වඩා ජීවත් වීමේ වාසනාව මෙම දරුවාට නොලැබී යනු ඇත. මෙම සාධක නිරීක්ෂණය කිරීම මත අපට එළඹිය හැකි නිගමනයන් කුමක්ද? සත්ව ලෝකයේ සාමාජිකයින් ලොවට බිහි වන්නේ ජීවත් වීම සඳහා වූ පුර්ව ජන්ම සැලැස්මක් සහිත බව අපට එළඹිය හැකි පළමු නිගමනයයි. මේ හේතුව නිසාම සත්වයින්ට මග පෙන්වීමක අවශ්‍යතාවක් මතු වන්නේ නැත. එනිසා උන්ට දහමක හෝ පාලකයින්ගේ අවශ්‍යතාව අදාළ නොවන තත්වයක් පැහැදිලිව දක්නට ඇත. නමුත් මනුෂ්‍ය දරුවාගේ තත්වය මෙයට හාත්පසින්ම වෙනස් ය.

මනුෂ්‍ය දරුවාට අනිවාර්යයෙන් ම උපන් පළමු දවසේ සිට මිහිතලයෙන් සමු ගන්නා දිනය දක්වා මග පෙන්වීමක හා පාලනයක අවශ්‍යතාව සහතික වශයෙන්ම අවශ්‍ය ව ඇත. මිනිස් දරුවාගේ පළමු පාලිකාව හා මග පෙන්වන්නිය මව වන අතර ක්‍රමයෙන් මෙම ලැයිස්තුවට පියා, ගුරුවරුන්, තම සේවා ස්ථානයේ, පොලිසියේ, උසාවියේ, රාජ්‍ය අංශයේ, බන්ධනාගාර ආදියේ නිලධාරීන් එකතු වනු පෙනෙන්නට ඇත. මිනිසා කැමති වුවත් අකමැති වුවත් ඔහුට ජීවත් වන්නට සිදු වී ඇත්තේ මෙවන් වාතාවරණයක ය. මෙම තත්වය යටතේ මිනිසාට නිවැරදි ව කටයුතු කරන්නට නම් අවශ්‍ය වන්නේ පරිපුර්ණත්වයෙන් සපිරි විශ්වීය මග පෙන්වීමක් (Complete Universal Guidance) බව පිළිගන්නට අපට දුෂ්කරතාවක් ඇතැයි නොසිතන්නෙමු. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා වූ ඇති මනුෂ්‍ය ජීවිතයේ සියලුම පැතිකඩයන් පිළිබඳව ඉගැන්වීම් මෙම මග පෙන්වීමෙහි අඩංගු විය යුතුය. ආධ්‍යාත්මික වර්ධනය, අධ්‍යාපනය හා දැනුම, සෞඛ්‍යය, පවුල් ජීවිතය, ආර්ථිකය, දේශපාලනය, සමාජ ප්‍රශ්න, සමාජ සම්බන්ධතාවන්, රාජ්‍ය පාලනය, යුද්ධ, සිවිල් හා අපරාධ නීති ක්‍රම, නීතිය හා යුක්තිය පසිඳලීමේ ව්‍යුහයන් ඇතළු මනුෂ්‍ය ජීවිතයේ සියලුම පැතිකඩයන් මෙම මග පෙන්වීමට ඇතුළත් විය යුතුය යන්න අපගේ මතයයි. එය හුදෙක් ලෝකෝත්තර අපේක්ෂාවන් පමණක් ඉලක්ක කර ගත් ඉගැන්වීමක් නොවිය යුතුය. මිනිසාගේ අවසාන ඉලක්කය ලෝකෝත්තර ජයග්‍රහණය බව සැබෑවකි. නමුත් අති මහත් බහුතරයක් වු ගිහි පිරිසගේ ලෞකික ජීවිතයේ සම්මා මග පෙන්වීමකින් තොරව මනුෂ්‍ය වර්ගයාව කෙසේ නම් ලෝකෝත්තර ජයග්‍රහණයක් කරා යොමු කරන්නේද යන ප්‍රශ්නය මතු වෙනවා නොවේද?

මිනිසාට උපතේ සිට මරණය දක්වා පාලකයින් සිටින බව හා සිටිය යුතු බව ඉහත කරුණු සලකා බැලීමෙන් අපහට පෙනෙන්නට ඇති සත්‍යයකි. මෙම සියලු භෞතික පාලකයින් මගින් කරන්නට හැකි වන්නේ මිනිසාගේ බාහිර ක්‍රියාකාරකම් පාලනය කිරීමට කටයුතු කිරීම පමණි. මෙය මිනිසාගේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට ඇති වඩාත් යෝග්‍යය පිළිවෙත නොවන බව මිහිතලය මත සිදු වෙමින් පවතින්නා වූ දෑ කෙරෙහි අවධානය යොමු කරන විට පැහැදිලිව පෙනෙන්නට ඇති සත්‍යයකි. මිහිතලය මත වසංගතයක් ලෙසින් වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ල අපට හඬ නගා පවසන්නේ කුමක් ද? මිනිසාගේ ක්‍රියාවන් පාලනය කිරීම සඳහා සිටින්නා වූ සියලු භෞතික පාලකයින්ගේ අසාර්ථකත්වය නොවේද?

මෙම සියලු භෞතික පාලකයින්ට කළ හැකි ව ඇත්තේ මිනිසාගේ ක්‍රියාවන් එක්තරා ප්‍රමාණයකට පාලනය කිරීමයි. නමුත් ක්‍රියාවට මුල් වන්නේ ඔහුගේ සිතයි. මිනිස් සිත බාහිර සියලු පාලකයින්ගෙන් බැහැර වුවකි. මිනිස් සිත පාලනය නොකර ඔහුගේ ක්‍රියාකාරකම් පමණක් පාලනය කිරීමෙන් සිදු වෙන්නේ ඔහු බහු චරිත ඇත්තෙකු බවට පත් වීමයි. පාලකයාගේ පාලනයේ බලපෑම ඇති විට යහකම සුරකින්නටත් එයින් බැහැර වූ විගස තමාගේ සුපුරුදු චරිතය වෙත යොමු වන්නටත් කටයුතු කිරීම බොහෝ විට සිදු වන්නක් බවට පත් ව ඇත. මෙ මගින් ඔහු යොමු වන්නේ බහු චරිත රංගනයකටය.   නිවැරදි මග පෙන්වීමකින් මිනිසාගේ සිත යහ මගට යොමු කර එය පාලනය කිරීම සඳහා වූ වඩාත් යෝග්‍ය පිළිවෙතකින් තොරව ඔහුගේ ක්‍රියාකාරකම් පමණක් භෞතික පාලකයින් මගින් පාලනය කරන්නට කටයුතු යෙදු විට මිනිසා විකල්ප මාර්ග යොදා ගනිමින් තම සිතේ උත්පාදනය වන වැරදි චින්තනයන් පදනම් කර ගෙන නුසුදුසු ක්‍රියා වෙත යොමු වීම වැළැක්විය හැක්කක් නොවේ. ඔහුගේ සිත ඔහුටම පාලනය කර ගත හැකිද? මේ සඳහා වූ විශ්වීය උපයෝගීතාවකින් යුත් මග කුමක්ද? මිනිසාගේ සිත පාලනය කළ හැකි පාලකයෙක් සිටින්නේ ද? එම පාලකයාගේ ස්වභාවය කුමක් විය යුතුද? එවන් පාලකයෙකුට අවනත වීමෙන් සත්‍යය වශයෙන්ම මිනිසාට තම සිත පාලනය කොට සම්මා ජීවිතයකට යොමු වීමේ හැකියාවන් පිළිබඳ ප්‍රායෝගිකත්වය සමාජ සිදුවීම් තුළින් සනාථ වී තිබේද?  මේ සියල්ල සවිස්තරාත්මකව පසුව සාකච්ඡා කරමු. මීළඟට මිනිසා හා සත්ව ලෝකයේ සාමාජිකයින් අතර ඇති සමානකම් දෙස අපගේ අවධානය යොමු කරමු.

මිනිසා  සහ සත්වයින් අතර ඇති සමානකම්

පහත සඳහන් කරුණු මිනිසා හා සත්ව ලෝකයේ අනෙකුත් සාමාජිකයින් අතර පොදුවේ දකින්නට ඇති ප්‍රධාන සමානකම් ලෙස විස්තර කළ හැක.

  1. කුසගින්න
  2. පිපාසය
  3. ලිංගික උත්තේජනය
  4. ප්‍රජනනය
  5. නින්ද
  6. ආරක්ෂණය පිළිබඳ හැඟීම

මෙම සමානකම් පිළිබඳව වුවද මිනිසාට සතුන් ක්‍රියා කරන අයුරින් කටයුතු කරන්නට හැකියාවක් නොමැත. මෙම සාධකයන් මිනිසා තුළ පිහිටි සත්ව ලක්ෂණයන් ලෙසත් ඒවා පාදක කර ගෙන විවිධ චිත්ත ආවේගයන්  මිනිසාගේ චෛතසිකයේ උත්පාදනය විය හැකි බවත් අපි දනිමු. එම චිත්ත ආවේගයන් පාලනය කර ගනිමින් මිනිසා ඉහත සඳහන් කරුණු වෙත යොමු විය යුතු වෙයි. විශේෂයෙන්ම කුසගින්න පිපාසය හා ලිංගික උත්තේජනය වැනි කටයුතු වලදී මිනිසා අනිවාර්යයෙන්ම සම්මා මග පෙන්වීමක් අනුව කටයුතු කළ යුතු වෙයි. එසේ නොවුවහොත් එය විශාල සමාජ ප්‍රශ්නයක් බවට පත් වීම වැළැක්විය විය හැකි කරුණක් නොවනු ඇත. මෙහිදීත් අප අවධාරණය කරන්නේ මිනිසා අනිවාර්යයෙන්ම මග පෙන්වීමක අවශ්‍යතාව ඇති අයෙකු ලෙසය.

මිනිසා සත්ව ලෝකයේ උසස්ම සත්වයා වන්නට නම් අනිවාර්යයෙන්ම එම උසස් භාවය සාධාරණීය කරවන මිනිසාට පමණක් සුවිශේෂී වු ලක්ෂණ මිනිසාට තිබිය යුතුය. මෙම කරුණු විග්‍රහ කර ඇති අයුරු  විමසා බලමු.

මිනිසා සහ සත්වයා අතර අසමානකම් මොනවාද?

  1. විචාර බුද්ධිය,
  2. තෝරා ගැනීමේ නිදහස,
  3. හෘද සාක්ෂිය මත පදනම් වූ හරි වැරදි (සම්මා හා අසම්මා) ක්‍රියා පිළිබඳ හැඟීම,
  4. (ලැජ්ජා බය මත පදනම් වු) සදාචාරය,
  5. මිහිතලය ඇතුළුව මුළුමහත් විශ්වයෙහි ම ගුප්ත හා පාලන අධිකාරී බලයක් ඇත යන කරුණු මිනිසාට පමණක් සුවිශේෂීය.

මෙම හේතු නිසාම මිනිසාට ඉතා පළල් පරාසයක් තුළ සුදනන් හෝ දුදනන් වීමට හැකියාවක් ඇත.  තෝරා ගැනීමේ නිදහස වැනි කරුණු සත්ව ලෝකයේ සාමාජිකයින්ට අදාළ නොවන්නක් වන අතර උන්ගේ ජීවිතය සකස් වී ඇත්තේ පුර්ව ජන්ම සැලැස්මක් අනුවය. මෙම සියලු කරුණු අපට නැවත නැවත අවධාරණය කර සිටින්නේ මිනිසාගේ විශේෂ ස්වභාවය අනුව ඔහුට පරිපුර්ණත්වයෙන් සපිරි සම්මා විශ්වීය මග පෙන්වීමක් හා ඔහුගේ සිත පාලනය කිරීමේ හැකියාව ඔහුට ලබා දෙන පාලකයෙකුගේ අවශ්‍යතාව නොවේද?  ඉහත කරුණු වලින් මිනිසාගේ ජීවිතයට සෘජුවම බලපාන සාධකය වන්නේ ඔහුටම සුවිශේෂී වූ සදාචාරයයි. මිනිසාට පමණක් උරුම අනෙකුත් සාධක ඔහුගේ සදාචාරාත්මක ජීවිතය පෝෂණය කරන්නට අනුබල දෙන ප්‍රධාන මාර්ගයන් ය. දහමක ප්‍රධාන අරමුණ හා ඉලක්කය විය යුත්තේ සත්ව ලක්ෂණයන්ගෙන් උපලක්ෂිත වූ මිනිසාව සදාචාර සම්පන්න ශ්‍රේෂ්ඨත්වය කරා යොමු කරවන නිවැරදි මග පෙන්වීමක් ලබා දීම බව අපගේ මතයයි. විචාර බුද්ධිය උපයෝගී කර ගත්තත් නොගත්තත් මිනිසා මිනිසත්කමින් පහතට වැටී තිරිසන් හැසීරීමකට යොමු වෙයි කියා නියත වශයෙන්ම කිව නොහැක. තෝරා ගැනීමේ නිදහස ද එලෙසමය. ඔහු කුමක් තෝරා ගත්තත් එය සම්මා එකක් වන්නේ නම් ඔහුගේ මිනිසත්කමේ ශ්‍රේෂ්ඨත්වයට එයින් හානියක් සිදු වීමට ඉඩකඩ නොමැත. නමුත් සදාචාරය නොමැත්තා සහතික වශයෙන්ම මිනිසත්කමින් පහතට වැටී තිරිසන් සතුන් මෙන් හැසිරෙන්නෙක් බවට පත් වීම වැළැක්විය නොහැකි කරුණකි. නැවත වරක් වඩාත් අවධාරණය කොට පැවසිය යුතු ව ඇත්තේ තිරිසන් සතුන්ට නොමැති මිනිසාට පමණක් උරුම ඉහත සුවිශේෂී ලක්ෂණ අතුරින් ඉතා වැදගත්ම සාධකය වන්නේ සදාචාරය බවය. අනෙකුත් මිනිසාට පමණක් උරුම සියලු ලක්ෂණ ලැබී ඇත්තේ මිනිසාගේ මෙම සදාචාර සම්පන්න භාවය පෝෂණය කොට ශක්තිමත් කිරීමට යන්න අපගේ මතයයි. මුහම්මද් ධර්ම දුතයානන්  විසින් සාරධර්ම පිළිබඳ ව දක්වා ඇති අදහස් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

මුහම්මද් ධර්ම දුතයානන්  වරක් පවසා සිටි පරිදි “සැබැවින්ම මාව (ධර්ම දුතයෙකු ලෙස) එවා ඇත්තේ සාරධර්ම පරිපුර්ණත්වයට ගෙන ඒම පිණිස මිස නැත” (අල් මුවත්තා)

තවත් වරෙක එතුමාණන්  පවසා සිටි පරිදි “දහම පිළිබඳව වඩාත් ශ්‍රේෂ්ඨ බැතිමතා වන්නේ තම චර්යාවන් පිළිබඳ  වඩාත් ශ්‍රේෂ්ඨ වූ පුද්ගලයාය” (අබුදාවූද් 2199).

ඉස්ලාමීය ආගමික විශ්වාසය (ඊමාන්) ප්‍රභේද 60 කින් (නැතිනම් 70 කින්) යුක්ත වන අතර මහ මග මිනිසුන්ට ඇති බාධකයක් ඉවත් කිරීම එහි අවම ප්‍රභේදය වන අතර  ‘අල් හයා’ එහි එක් ප්‍රභේදයක් ලෙසත් මුහම්මද් ධර්ම දුතයානන්  විසින් පවසා ඇත. ‘අල් හයා’ අරාබි වචනයක් වන අතර එහි සමීපතම පරිවර්තනය ‘ලැජ්ජා බය මත පදනම් වූ සාරධර්ම සපිරි සදාචාරය’ ලෙස දැක්විය හැක. මෙයින් අදහස් වන්නේ ‘සදාචාරය’ ඉස්ලාමීය මුලික ආගමික විශ්වාසයේ පවා ඉතා වැදගත් කොටසක් ලෙස සැලකෙන සාධකයක් බවය. මිනිසා හා තිරිසනා අතර ඇති වෙනස්කම් හි හරය ලෙස සැලකෙන ‘සදාචාරය’ ඉස්ලාමීය ආගමික විශ්වාසයේ හරය ලෙස දක්වා තිබීම අති වැදගත් කරුණක් වන අතර මේ පිළිබඳව අපගේ විශේෂ  අවධානය යොමු විය යුතු බව සඳහන් කරන්නට කැමැත්තෙමු.

මිනිසා සහ සත්ව ලෝකයේ අනෙකුත් සාමාජිකයින්ට පොදු වූ තවත් වැදගත් සාධකයක් ඇත. එම කරුණ වෙනම ම සාකච්ඡා කරන්නට අදහස් කළේ එහි ඇති සුවිශේෂත්වය හේතුවෙනි. ආශාව, තෘෂ්ණාව යන පදයන්ගෙන් විග්‍රහ වන ස්වභාවය මිනිසාටත් අනෙකුත් සත්වයින්ටත් පොදු වුවත් සත්වයින් ගේ තෘෂ්ණාවේ සීමාවක් ඇති බව ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමෙන් අපට පැහැදිලිව දැක ගත හැක. නමුත් පාලනයකින් තොරව මුදා හැරිය විට මිනිසාගේ තෘෂ්ණාවේ සීමාව කොතනදැයි දැනගැනීම ඉතාමත්ම අපහසු කාර්යයකි.

“සැබැවින්ම ඔහු (මිනිසා) සම්පත් කෙරෙහි ඉතා දැඩි වූ ආශාවකින් (තෘෂ්ණාවකින්) යුක්ත වූ වෙකි.” (අල් කුර්ආනය 100 : 8)

මිනිසාගේ මුලික ස්වභාවය මෙම අල් කුර්ආන් වාක්‍ය අපට පැහැදිලි කර දෙයි. තෘෂ්ණාව සහමුලින්ම ඉවත් කර ගැනීමක් පිළිබඳව අපට කරුණු ඉදිරිපත් කිරීමක් අල් කුර්ආනයේ දක්නට නොමැති බවයි අපගේ මතය වන්නේ. නමුත් අකුසලයට නැඹුරු වූ අයහ ආසාවන් පාලනය කර ගැනීම පිණිස ඉස්ලාමය තුළ අති විශාල ඉගැන්වීම් සම්භාරයක් ඇත.

මිනිසාගේ තෘෂ්ණාව පාලනය කිරීමට ඔහුට නිවැරදි මග පෙන්වීමක් හා ඔහුගේ සිත ඔහුටම පාලනය කර ගත හැකි ආකාරයට උපකාරී විය හැකි පාලකයෙකු ගේ අවශ්‍යතාව නැවතත් මතු වෙයි. එහෙයින් ඔහුගේ පාලකයා පිළිබඳ අදහස් කිහිපයක් විමසා බලමු.

භෞතික බලගතු පාලකයෙකුගෙන් සිදු වන්නේ ඔහුට උරුමවූ තෝරා ගැනීමේ නිදහස හා අනෙකුත් සුවිශේෂී ලක්ෂණ අර්ථ විරහිත වී ගොස් ඔහු යාන්ත්‍රික තත්වයකට පත් වීම පමණි. භෞතික පාලකයෙකුට මිනිසාගේ ක්‍රියාවන්ගේ උල්පත වූ මනස පාලනය කළ නොහැක.

මිනිසාගේ පාලකයා කෙසේ විය යුතු ද යත්

ඔහු පාර භෞතික විය යුතුයි. සර්වඥ විය යුතුයි. සර්ව බලධාරී විය යුතුයි. විශ්වයේම පරමාධිපති විය යුතුයි. පරම කරුණාභරිත විය යුතුයි. සර්ව ශ්‍රාවක හා සර්ව දෘෂ්ටික විය යුතයි. මිනිසාට නිවැරදි මග පෙන්වීම ලබා දෙන්නා විය යුතුයි. මරණින් මතු ලෝකයේ මිනිසාට විපාක දීමේ පුර්ණ බලය ඇත්තා විය යුතුයි. මෙවන් ගුණාංග නොමැති පාලකයෙකු පිළිබඳ විශ්වාසයෙන් මිනිසාට ලැබිය හැකි කිසිම යහපතක් තිබිය නොහැක.

මෙවන් විශ්වාසයකින් ඇති යහපත

  1. මිනිස් නිර්මාණයේ මුලික පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමක්.
  2. මෙම අවනත භාවය, කීකරුවීම, වහල්භාවය නිසා ලොව ඇති බලය, නිලය, ධනය වැනි කිසිම අධිකාරි සාධකයන් ඉදිරියේ වහල් නොවී මිනිස්කමේ අභිමානය රැක ගෙන නිහතමානීව ජීවත් වීමට ඇති හැකියාව.
  3. ජීවිතයේ අභාග්‍යය දෑ සිදු වූ විට සිත තැන්පත් ව තබා ගැනීමේ හැකියාව. සිය දිවි නසා ගැනීමේ තත්වයට නොයෑම.
  4. තම අධිපතිට පමණක් වහල්භාවය ඇති කර ගෙන තිබෙන හෙයින් ඔහුගේ නියමයන්ට හා මග පෙන්වීමට අනුකුලව ජීවිතය සකස් කර ගැනීමට නිරන්තරව වෙර දැරීම.
  5. වහලාගේ වගකීම තම පරමාධිපතිගේ අණට අනුකුල වීම, ඔහුට ගෞරව කිරීම, අසීමිත ආදරයක් හා ඇල්මක් ඇති කර ගැනීම, නිරතුරුව තුති පිදීම.
  6. තම පරමාධිපතිට රහසින් කිසිවක් කරන්නට නොහැකි බව අවබෝධ කර ගන්නා හෙයින් බහු චරිතයෙන් මිදී ඒකීය යහ චරිතයක් ගොඩ නඟා ගැනීමට නිරතුරුව වෙහෙසීම.

එවන් පාලකයෙකු පිළිබඳ විශ්වාසය තහවුරු කර ගත් අයෙකු නොමග යා හැකිද?

මෙම පාලකයා සත්‍යයක්ද නැතිනම් මිත්‍යාවක්ද? මෙම මාතෘකාවද අපි, විශ්වාසය පමණක් නොව, යථාර්ථය, බුද්ධිය, විචාරය හා නුතන විද්‍යාව ද පදනම් කර ගෙන   සාකච්ඡා  කරමු.

“තම තෘෂ්ණාව තමන්ගේ දෙවිඳුන් වශයෙන් පත්කර ගත්තන් ව ඔබ දැක තිබේ ද? (නබිවරය) ඔබ ඔහුට ආරක්ෂකයෙකු වශයෙන් සිටින්නෙහි ද? ඔවුන්ගෙන් බහුතරය සවන් දෙන්නන් හෝ සිතන්නන් වශයෙන් සිටින බව ඔබ සිතන්නෙහි ද?  ඔවුන් තිරිසනුන් මිස අන් කිසිවක් නැත. සැබැවින්ම ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගියවුන් වශයෙන් සිටින්නෝය.” (අල් කුර්ආන් 25:43-44)

“කව්රුන් තමන්ව (තම චෛතසිකය) පාරිශුද්ධ කර ගත්තේද ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය. කව්රුන් එය අපිරිසිදු කර ගත්තේද ඔහු නියත වශයෙන්ම අලාභ කර ගත්තේය” (අල් කුර්ආන් 91:9-10)

“කවුරුන් දෙවිඳුන් අබියස පෙනී සිටීම ගැන බිය වී ඉතාමත් පහත් ආශාවන්ගෙන් ඈත් වී තමන්ව වළක්වා ගන්නේද ඔහු ළඟා කර ගන්නා ස්ථානය නියත වශයෙන්ම ස්වර්ගයයි.” (අල් කුර්ආන් 79: 40-41).

මිනිසාගේ ක්‍රියාවන් හි මුල් බීජය උත්පාදනය වන ඔහුගේ සිත පාලනය කර ගැනීමේ නිවැරදි මග අනුගමණය නොකිරීමෙන් අප මුහුණ පා ඇති ඛේදනීය තත්වය පිළිබඳව අෂ්ෂේහ් මොහමඩ් රිම්සි මහතා විසින් රචිත “සිංහයාගේ සිව්වැනි පිම්ම” නමැති ග්‍රන්ථයෙන් කරුණු පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

ඝාතන

“ලංකාවේ වසරකදී සිදු වන දරු උපත් ප්‍රමාණය තුන්ලක්ෂ හැත්තෑ පන් ලක්ෂයකට (375000) ආසන්න වන අතර මෙයට අමතරව ලක්ෂ තුනක් (300000) ඉක්මවා ගබ්සා කිරීම් සිදු කෙරේ. ප්‍රාණ ඝාතන රැල්ලේ තවත් පැතිකඩක් නම් තම ප්‍රාණය තමන්ම නැති කර ගැනීමයි. ලෝක සිය දිවි හානි කර ගැනීමේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය 1995 දී අප රටට හිමිව තිබිණි.

වසර පහක් තුළ ජීවිත හානි පිළිබඳ දත්ත සටහනක් පහත දැක් වේ.

වසර අනියම් මිනීමැරුම් සිය දිවි හානි කරගැනීම් අනතුරු වලින් ගබ්සා කිරීම්
2006 2045 4504 2238 300000
2007 1663 4225 2402 300000
2008 1488 4120 2328 300000
2009 958 4018 2413 300000
2010 745 2023 2721 300000

අන් සතු දේ ගැනීම

අද සොරකම සෑම අංශයක් ම ආවරණය වන පරිදි විහිදී ගොස් ඇත. විවිධ වූ පුද්ගලයන්ගේ තරාතිරම සහ ඔවුන් පරිහරණය කරන මුදල් ප්‍රමාණය අනුව සහ සේවාව අනුව එම තත්ත්වය වෙනස් වේ. උදාහරණයක් ලෙස බසයක මගියාට හිමි විය යුතු රුපියල අයුතු ලෙස තමන් සතු කර ගන්නා කොස්දොස්තර වරයාගේ සිට මිලියන ගණන් පරිහරණය කරන දේශපාලනඥයා දක්වා මෙම ප්‍රමාණය වෙනස් විය හැක. නමුත් සෑම සොරෙක්ම අනෙකාට ඇඟිල්ල දික්කිරීම හාස්‍යජනකය.

මෙම සොරකම් නා නා විධ වූ ස්වරූපයන් ගනී. ආයතන වල සිදු වන, විශේෂයෙන්ම රජයේ ආයතන වල සිදු වන සේවා සොරකම සඳහන් කළ හැක. චක්‍ර ලේඛනය අනුව ප. ව. 4.45 දක්වා සේවයේ නියැළීම අනිවාර්ය වුවත් ඇතැම් අය ප. ව. 3.00 වන විටම සේවය අවසන් කරන අතර ඇතැමුන් සේවය කරන අතරතුර දීම පෞද්ගලික ස්ථානයන් හි සේවයෙ හි නියැලෙති.

පසුගිය වසර 5 තුළ සිදු වූ අන් සතු දේ අයුතු ලෙස ලබා ගැනීම පිළිබඳ තොරතුරු පහතින් දැක්වේ.

වසර සම්පත් පැහැර ගැනීම් රු. 5,000 වැඩි අපරාධ ගෙවල් බිඳීම් හා සොරකම් මංකොල්ල කෑම් කප්පම් ලබා ගැනීම්. රු. 100,000 වැඩි වංචා රු. 5,000 වැඩි සොරකම්
2006 1190 1757 19050 7911 84 4426 13355
2007 1229 1272 18635 7139 140 3587 12614
2008 1239 1253 18412 6754 127 9059 13367
2009 947 1096 18042 6163 150 9198 11973
2010 897 1323 18665 6521 103 7338

මුසාව

අද මුසාව ආරම්භ වන්නේ දරුවෙක් පිළිසිඳ ගැනීමත් සමගය. බිළිඳෙකු බිහි වීමෙන් අනතුරුව ඔහුගේ උප්පැන්න සහතිකයේ ප්‍රසිද්ධ පාසැලක් අසල වූ ලිපිනයක් සටහන් කර ගැනීමට දෙමව්පියන් සමත් වන අතර බොහෝ විට උපන් දිනය පවා වෙනස් කිරීමට ඔවුහු පසුබට නොවෙති. මෙවන් පසුබිමකින් ආරම්භ වන ජීවිතය, අවසානය දක්වා විහිදී යන්නේ මුසාව පාදක කර ගැනීමෙනි. පාසැල් අධ්‍යාපනය ලබන කාලයේ වාර පරීක්ෂණයේ සිට ජාතික විභාග දක්වා ව්‍යාජ ලෙස පෙනී සිටීම, රැකියා සඳහා අසත්‍යය තොරතුරු සහ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම පමණක් නොව, පුද්ගලයෙක් මිය යෑමෙන් අනතුරුව ද ඔහුගේ විශ්‍රාම වැටුප පවා නීති විරෝධී ලෙස බොරුව ආධාරයෙන් ලබා ගැනීමට කටයුතු කරති.

මුසාව මිනිසාගේ බොහෝ වැරදි ක්‍රියාවන්ගේ අඩිතාලම බවට පත් වී ඇති බවක් පෙනෙන්නට ඇත. දේශපාලනයේ සිට අනෙකුත් සෑම ක්ෂේත්‍රයක්ම බොරුව පදනම් කර ගෙන ක්‍රියාත්මක වෙමින් පවතී.

මත්පැන්

චෙක් ජනරජය ප්‍රංශය සහ රුසියාව යන රටවලට පසුව ලෝකයේ මත්පැන් පරිභෝජනයේ ප්‍රධාන තැනට පත් වී තිබෙන්නේ ශ්‍රී ලංකාව යි. සියලු පාපයන්ගේ ප්‍රධාන දොරටුව ලෙස සැලකෙන මත්පැන පිළිබඳව අප රටේ තත්වය මෙයයි.

යුද්ධය නිමා වීමෙන් පසුව එනම් 2010 දී පමණක් 2009 ට සාපේක්ෂව අප රටේ මධ්‍යසාර පරිභෝජනය 21% ක වර්ධනයක් පෙන්නුම් කරයි. 1895 දී ශ්‍රීමත් අනගාරික ධර්මපාලයන් විසින් “සුරා විරෝධී ව්‍යාපාරය” ආරම්භ කිරීමේ සිට 2006 වසරේදී රජය මගින් “මතට තිත” නීති රෙගුලාසි හඳුන්වා දීමෙන් අනතුරුව ද අද දක්වා මත්පැන් පානයෙහි වැඩි වීමක් මිස අඩු වීමක් නම් සිදු වී නොමැත. අපේ නායකයින් කෙතරම් දුරට සුරාවේ අනිසි විපාකයන් ගැන කතාබහ කළත් රජය විසින් තැබෑරුම් මේ වන විට 3200 කට වඩා අනුමැතිය ලබා දී තිබෙන අතර ධර්ම ද්වීපය පුරා නීති විරෝධී ලෙස සුරා සැල් 200000 ක් සහ බස්නාහිර පළාතේ පමණක් එවන් ස්ථාන 20000 ක් තිබෙන බව වාර්තා වේ.

“මත්පැන් හා දුම් පානයෙන් ශ්‍රී ලංකාවේ වසරකට 45000 ක් පමණ මිය යන බව හෙළි වී ඇතැයි ශ්‍රී ලංකාවේ අමද්‍යප මහ සම්මේලනයේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි” යන ප්‍රවෘත්තිය 2011 ඔක්තෝම්බර් මස 13 වැනි දින ‘ලංකාදීප’ පුවත් පතේ දැකීමෙන් අපට කම්පාවක් ඇති වුයේ මවිතයක් ද උපදවමිනි. 2009 ජුනි 28 වැනි දින ‘සන්ඩේ ටයිම්ස්’ පුවත් පතේ පළ වූ පහත දත්ත කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.

වසර පරිභෝජනය නිෂ්පාදනය
බියර අරක්කු බියර අරක්කු
2006 51.9 67.1 46.8 76.4
2007 51.8 79.8 49.5 85.2
2008 53.4 72.3 57.4 78.1
2009 52.4 75.1 55.4 75.2
2009 67.0 75.2 71.3     –
ප්‍රමාණයන්: ලීටර මිලියන වලින් (මහා පරිමාණ නීති විරෝධී හා ආනයනික මත්පැන් මෙයට අඩංගු නැත)

මෙ රටේ සිදු වූ හා සිදු වන මාරක රිය අනතුරු වලින් අති විශාල ප්‍රමාණයකට හේතු වී තිබෙන්නේ සුරාව බව සඳහන් වේ. එපමණක් නොව මෙම සුරාව හේතුවෙන් කැඩී බිඳී යන පවුල් සංඛ්‍යාව අප්‍රමාණය. අනාථ වූ දරුවන් සංඛ්‍යාව අසීමිතය.

කාමයෙහි වරදවා හැසිරීම

කාමය මානව සංහතියේ පැවැත්මට බෙහෙවින් අවශ්‍ය කරුණක් වුවත්, කාමයෙහි වරදවා හැසිරීම ජාතියක විනාශය ළං කරවන සාධක අතුරින් ඉහළින්ම තිබෙන සාධකයක් බව නොඅනුමානය. අප රටේ දිනකට බස් රථවල විවිධ ලිංගික අතවරයන්ට මුහුණ දෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව 70 කට අධික බව දළ වශයෙන් සඳහන් වේ. 2010 දී පමණක් ළමා අපචාර සිදුවීම් 4000 ක් පමණ වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය අනෝමා දිසානායක මහත්මිය පවසයි.

මෙයටත් වඩා භයානක තත්ත්වය පියාගේම අතින් දුෂණය වන ගැහැණු ළමුන්ගේ සංඛ්‍යාවයි. “පියා අතින්ම තම දුව දුෂණය වෙනවා, මෙම තත්ත්වය ඉතා ශෝචනීයයි. 1990 සිට 2000 දක්වා මෙවැනි සිදුවීම් පමණක් 50000 කටත් අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.” යනුවෙන් එවකට  නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා පවසා සිටීම අදහා ගැනීමට පවා අමාරු කරුණකි. 2012 දී පමණක් ළමුන් 1759 ක් හා කතුන් 330 ක් (එනම් මුළු සංඛ්‍යාව 2089) දුෂණයට ලක් වී ඇත්නම් අප රටේ සදාචාරයේ ප්‍රමාණය මැන ගත හැකි වේ යැයි සිතන්නෙමු. පසුගිය අවුරුදු පහ තුළ  කාමයෙහි වරදවා හැසුරුණු සංඛ්‍යාව පහත දැක්වේ.

වසර ස්ත්‍රී දුෂණ /සමීප ඥාති ලිංගික සම්බන්ධතාවන් – ව්‍යභිචාරය අස්වාභාවික ලිංගික සම්බන්ධතාවන් දරුවන් කෘරත්වය හා ලිංගික අපයෝජනය ට ලක්කිරීම්
2006 1463 418 362
2007 1397 475 366
2008 1582 457 340
2009 1624 441 346
2010 1854 519 334
පොලිස් වාර්තා පදනම් කරගෙන සකස් කරන ලදී

ඉහතින් උපුටා දැක්වුයේ අෂ්ෂේහ් මොහමඩ් රිම්සි මහතා විසින් රචිත “සිංහයාගේ සිව් වැනි පිම්ම” නමැති ග්‍රන්ථයෙනි. මේ අනුව අපට එළඹිය හැකි නිගමනයන් කුමක් ද? අප මෙතෙක් අනුගමනය කළ පිළිවෙත් සමාජ යහපත හා සදාචාරය ස්ථාපිත කිරීමට අපොහොසත් වී ඇති බව නොවේද? සාරධර්ම හා සදාචාරය පිළිබඳ ව අප අසාර්ථක රටක් බවට පත් වී ඇති බව ඉහත සාධක අපට පෙන්වා දෙන කරුන කෙරෙහි අනවධානයෙන් සිටීමට අපට හැකියාවක් තිබේද?

අල් කුර්ආනය පහළ වීමට පෙර සමාජ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර කීර්තියට පත් ඉතිහාසඥ වරයෙක් සඳහන් කරන  කරුණු දෙස අපගේ අවධානය යොමු කරමු. ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු එඩ්වඩ් ගිබන් (Edward Gibbon)  විසින් වෙළුම් අටකින් ලියන ලද ‘Decline and Fall of the Roman Empire’ (රෝම අධිරාජ්‍යයේ වැටිම හා විනාශය) යන ග්‍රන්ථය අල් කුර්ආනය පහළ විමට පෙර තිබු අරාබි සමාජය පිළිබදව පවසන කොටස පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“කිසිදු මිනිස් ලක්ෂණයන්ගෙන් නොයුක්ත වු මෙම මිනිස් තිරිසනුන් හා අනිකුත් සත්ව ලෝකයේ සාමාජිකයින් අතරේ පැවතියේ ඉතාමත් අල්ප වෙනස් කමකි. එම යුගයේ ජිවත් වු මිනිසා හා තිරිසනා අතරේ කිසිදු වෙනස් කමක් දැකිය නොහැකි ආකාරයෙන් ජිවත් වු මෙම මිනිස් පරපුර සැබැවින්ම මිනිස් වෙස් ගත් තිරිසන් පිරිසක් පමණකි”.

මෙතරම් භයානක පිරිහීමකට ලක් වී සිටි ජනයා ඉස්ලාමය වැලඳ ගැනීමෙන් පසු ඉතාම කෙටි කාලයක් ඇතුළත අත් දුටු පරිවර්තනය සත්‍යය වශයෙන්ම ප්‍රාතිහාර්යජනකය. තවත් ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු ස්කොට්ලන්ත ජාතික තෝමස් කාලයිල් (Thomas Carlyle) විසින් ‘Hero Worship And The Heroic In  History’ නමින් පොතක් පළ කළ අතර අල් කුර්ආනය පහළ විමෙන් පසු ඒ අනුව ජිවත් වු ජනයාගේ ස්වභාවය විග්‍රහ කරන කොටස එම පොතෙන්  උපුටා පහතින් දක්වා ඇත්තෙමු.

“ඉතා පහත් ම්ලේච්ඡ තත්ත්වයේ සිට මුළු මහත් මිනිස් වර්ගයාටම අන්ධකාරයේ සිට ආලෝකයට එන මග එළි පෙහෙළි කළ සහ උසස් දැනුමේ භාරකාරයින් බවට මුහම්මද් විසින් මේ ජනයාව පත් කරවන ලදි. ලොව බිහිවු දා සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවි කාන්තාරයේ තැන් තැන් වල තාවකාලිකව ජිවත් වෙමින් සිටි දුගී එඬේර ජන සමාජය ඉතා කෙටි කාලයක් තුළ ලොව සැම‍ගේ අවධානය දිනා ගන්නට සමත් වු අතර ලොව ශ්‍රේෂ්ඨ ජන සමාජයක් ලෙසත් ගෞරවය ලබන්නටද සුදුසුකම් උරුම කර ගත්තේය”.

ඉස්ලාමය හුදෙක් මත වාදයක් හෝ සම්ප්‍රදායික අර්ථයෙන් තවත් ආගමක් නොවේ. එය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ඉතා අලංකාර හා යහ ප්‍රතිඵල සහතික කරන ලද සම්මා ජීවන පිළිවෙතකි. එය මිනිසාට ශ්‍රේෂ්ඨ මිනිසෙකු ලෙස ජීවත් වී ශ්‍රේෂ්ඨ මිනිසෙකු ලෙස මිහිතලයෙන් සමුගන්නට මග පෙන්වන සාර්ථක හා අනුගමනය කිරීමට පහසු මෙන්ම බුද්ධියට, විචාරයට හා නුතන විද්‍යාවට අනුකුලතාවක් ඇති උත්තරීතර ඉගැන්වීමකි. තම සිතට පාලකයෙකු පත් කර ගැනීම මගින් තම චෛතසිකය පාලනය කර ගෙන යහ ක්‍රියාවන් කෙරෙහි නැඹුරු වීමටත් අයහ ක්‍රියාවන්ගෙන් ඉවත් වීමටත් දිරි ගන්වන සාර්ථකම පිළිවෙතයි.

මිනිසාට සිත එක අරමුණක තබා ගෙන අකුසලයට නැඹුරු වූ චිත්ත ආවේග පාලනය කර ගෙන  තැන්පත් ව කටයුතු කරන්නට ප්‍රායෝගික මෙන්ම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම එක ලෙස පිළිපැදිය හැකි ප්‍රායෝගික වැඩ පිළිවෙළක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙයි. එය ඔහුව ගිහි ජීවිතයෙන් හා සමාජයෙන් ඈත් කරවන වැඩ පිළිවෙළක් නොවිය යුතුය. මෙම වැඩ පිළිවෙළේ පළමු හා වැදගත්ම අංගය වන්නේ ඉහත විග්‍රහ කළ පරිදි තම සිතට පාලකයෙකු පත් කර ගෙන එම පාලකයා කෙරෙහි විශ්වාසය තබා ගෙන කටයුතු කිරීමය. මෙවන් විශ්වාසයක් වුවද මිනිස් සිතේ ඇති ස්වභාවය අනුව වරින් වර දුර්වල විය හැක.

මෙම විශ්වාසය නිරන්තරව තහවුරු කොට මිනිසාව යහකමේ ශ්‍රේෂ්ඨත්වයට ගෙන යා හැකි වැඩ පිළිවෙළක් තිබේද? දෛනිකව මෙන්ම නිශ්චිත කාල වකවානුවන් හි තම චෛතසිකය පිරිසිදු ව සම්මා මගක තබා ගැනීමට ඇති ප්‍රායෝගික ඉස්ලාමීය වැඩ පිළිවෙළ පිළිබඳව විමසා බලමු.

 දෛනිකව කළයුතු පස් වේල සලාතය

“සැබැවින්ම සලාතය, ලැජ්ජා සහගත හා පාපතර ක්‍රියාවන්ගෙන් ඔබව ආරක්ෂා කරන්නේය” (29:45)

  1. දෙවිඳුන්ට අවනත වීමකි. අන් සියලු නියමයන්ට අවනත වීමට මෙම අභ්‍යාසයෙන් පුහුණුවක් ලබා ගැනීම.
  2. තම චෛතසිකයේ මතු වන නිහතමානිත්වයේ හඬකි.
  3. සිත තැන්පත් කර ගෙන දෙවිඳුන් අබියස පෙනී සිටීමකි.
  4. සමාජ සමානාත්මතාව සඳහා වූ පුහුණුවකි.
  5. සමාජ සාමුහිකත්වය සඳහා වූ පුහුණුවකි.
  6. තම පරමාධිපති අබියස තමන්ගේ අවශ්‍යතාවන් ඉදිරිපත් කිරීමට ඇති වඩාත් සමීපතම අවස්ථාවයි.
  7. චිත්ත පාරිශුද්ධිය හා තැන්පත් භාවය සඳහා කරන්නා වූ දෛනික ව්‍යායාමයකි.
  8. නියමිත වේලාවට කටයුතු කිරීමට ලබන්නා වූ පුහුණුවකි.
  9. අභ්‍යන්තර මෙන්ම බාහිර පිරිසිදුකම පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවට මග පෙන්වීමකි.

වාර්ෂිකව මසක් පුරාවට කළ යුතු උපවාස ශීලය

“විශ්වාස කළවුනි, නුඹලා බියභක්තිමත් වීම පිණිස නුඹලාට පෙර වුවනට අනිවාර්යය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද සව්මය (උපවාසය) අනිවාර්යය කරනු ලැබ ඇත.” (අල් කුර්ආන් 2:183)

  1. දෙවිඳුන්ට අවනත වීමකි. අන් සියලු නියමයන්ට අවනත වීමට මෙම අභ්‍යාසයෙන් පුහුණුවක් ලබා ගැනීම.
  2. දෙවිඳුන් පිළිබඳ බියබැතිමතභාවය හා දේව සවිඥානකත්වය ගොඩ නගා ගැනීම සඳහා වූ අභ්‍යාසයකි.
  3. චිත්ත ආවේගයන් පාලනයට පුහුණුවකි.
  4. බහු චරිත ස්වභාවය ඉවත් කොට සම්මා ඒකීය චරිතයක් ගොඩ නඟා ගැනීමට අභ්‍යාසයකි.
  5. පසිඳුරන් පාලනය සඳහා වූ පුහුණුවකි.
  6. දුප්පතුන් පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීමට උපකාරයක්‌.

වාර්ෂිකව ගෙවිය යුතු දානමය කටයුත්තකි සකාතය

“(නබිවරය), ඔවුන්ගේ වස්තුවෙන් සදකාව (දානමය දීමනාවන්) ගනිවු. එමගින් නුඹ ඔවුන් ව පිවිතුරු කර තව ද පාරිශුද්ධ කරවූ. ඔවුන් කෙරෙහි ප්‍රාර්ථනා කරවූ. සැබැවින්ම නුඹගේ ප්‍රාර්ථනාවන් ඔවුනට සැනසුමක් වන්නේය. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය, සර්ව ඥානීය.” (අල් කුර්ආන් 9:103)

  1. දෙවිඳුන්ට අවනත වීමකි. අන් සියලු නියමයන්ට අවනත වීමට මෙම අභ්‍යාසයෙන් පුහුණුවක් ලබා ගැනීම.
  2. වාර්ෂිකව තම වත්කමින් දිය යුතු දානමය ක්‍රියාවකි. ජනයාගෙන් අට කොටසකට දිය යුතුය.
  3. තම වත්කමේ පවිත්‍රතාව හා වර්ධනය සඳහා වූ ක්‍රියාවකි.
  4. අසීමිත තෘෂ්ණාව පාලනය කොට අන් අය කෙරෙහි කරුණාවෙන් යුක්තව කටයුතු කිරීමට මග පෙන්වීමකි.
  5. දුගී බව තුරන් කිරීම සඳහා වූ වැඩ පිළිවෙළකි.
  6. ඊර්ෂ්‍යාව තුනී කිරීමට හැකි මගකි.
  7. දුප්පත් පොහොසත් පිරිස අතර බැඳියාවක් ඇති කරවන්නකි.
  8. සම්පත් සාධාරණ ලෙස බෙදී යාමට මග පෙන්වීමකි.

ජීව්ත කාලයටම වරක් අනිවාර්ය හජ් නැමදුම

“හජ් (ඉටු කළ යුතු වන්නේ) මැනවින් දන්නා වූ මාසයන්(හි)ය. කවරෙකු එහි හජ් අනිවාර්ය කර ගන්නේ ද ඔහුට හජ් හි ලිංගික ඇසුර ද පාපකම් ද නොමනා තර්ක ද (අනුමත) නැත. යහපතෙන් නුඹලා කවර දෙයක් කළ ද එය අල්ලාහ් මැනවින් දන්නේය. (හජ් වෙනුවෙන්) අවශ්‍ය කළමනා රැස් කර ගනිවු. සැබැවින්ම අවශ්‍ය කළමනා අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ බියභක්තිමත් කමය. තවද අවබෝධ කරගන්නෙනි, නුඹලා මා හට  බියභක්තිමත් වවු.”  (අල් කුර්ආන් 2:197)

මිනිස් ඉතිහාසයේ දෙවිඳුන්ගේ අණට කීකරු වීමේ හා පරිත්‍යාගයේ උදාරතම උදාහරණය ලොවට පෙන්වා දුන් ඉබ්‍රාහිම් නබි තුමාගේ (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) ජීවිතයේ සිදු වූ වැදගත් සිදුවීම්  සිහිපත් කරමින් හා ඒවා සංකේතාත්මකව  ඉටු කරමින් කරන්නාවූ ඉතා වැදගත් නැමදුමකි.

මිනිසාට මුළු ජීවිතයම නැමදුමක් බවට පත්කර ගන්නට ලබා ගත හැකි උච්චතම පුහුණුව ලෙස මෙය නම් කළ හැක.

ඉහත විග්‍රහ කරන ලද අයුරු ක්‍රියා කිරීම මිනිසාගේ ස්වභාවිකත්වය සමග එකඟතාවක් ඇති පිළිවෙතක් බව පැහැදිලිව සනාථ වූ සත්‍යයකි. සමාජයේ එක් කොටසකට පමණක් අනුගමනය කළ හැකි සීමාවන් සහිත ක්‍රියාමාර්ගයක් නොවන ඉහත විග්‍රහ කරන ලද පිළිවෙත මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම ලොව කොතැන ජීවත් වුවත් එක සේ අනුගමණය කළ හැකි සාර්ථක පිළිවෙතකි. සත්‍යය පිළිපදිමු, මෙලොව හා මතු ලොව ජයග්‍රහණය ලඟා කර ගැනීමට අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *