අල් කුර්ආනයේ කරුණු විශ්ලේෂණය කරන විද්වත් ක්‍රමවේදය

සෑම ලියකියවිල්ලක්ම, පුස්තකයක්ම අප පරිශීලනය කළ යුත්තේ එය කුමක් පවසනවාද? එය තේරුම් ගත යුත්තේ කෙසේද? යන කරුණු මතයි. අල් කුර්ආනය අප පරිශීලනය කළ යුත්තේද මේ අකායෙනුයි. අල් කුර්ආනය එහි අන්තර්ගතය ගැන පවසන්නේ කුමක්ද?

ඔවුහු මෙම කුර්ආනය ගැන නොසිතන්නෝ ද? මෙය අල්ලාහ් නොවන කෙනෙකු ගෙන් පහළ වී ඇත්නම් මෙහි පරස්පරවිරෝධිතා රාශියක් ඔවුන් දකින්නට තිබුණි [අල් කුර්ආනය 4:82]

කුර්ආනය පවසන මෙම ප්‍රකාශය අධ්‍යයනය කළ හැකි ක්‍රම දෙකක් යෝජනා කරන්න පුළුවන්.

  1. මුළු අල් කුර්ආනයම කියවා මෙම වැකියේ අර්ථය තේරුම් ගැනීම. මෙයට සෑහෙන උත්සහයක් දැරිය යුතු වෙනවා.
  2. මෙම වැකියේ අර්ථයට පමුකත්වය නොදී මෙම වැකියේ සඳහන් වචන, හුදෙක්ම තාර්කික නියම ලෙස සැලකීම.

මෙම ක්‍රම දෙක තේරුම් ගැනීමට පහත උදාහරණය සලකන්න.

  1. මහනුවර ලස්සන නගරයකි.
  2. මහනුවර අකුරු පහකින් සමන්විතය.

මෙහි පළමු වැකියේ “මහනුවර” නගරයක් ලෙස සලකා ඇති අතර දෙවන වැකියේ “මහනුවර” හුදෙක් වචනයක් ලෙස සලකා තිබෙන බව ඔබට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්. මේ ආකාරයෙන්ම අල් කුර්ආනයේ 4:82 වැනි වැකිය සලකනවා නම්,

  1. ඔවුහු මෙම කුර්ආනය ගැන නොසිතන්නෝ ද? මෙය අල්ලාහ් නොවන කෙනෙකු ගෙන් පහළ වී ඇත්නම් මෙහි පරස්පරවිරෝධිතා රාශියක් ඔවුන් දකින්නට තිබුණි [අල් කුර්ආනය 4:82]. එනම් අල් කුර්ආනයේ ඉගැන්වීම් සියල්ලම ගත් විට එහි කිසිම පරස්පර විරෝධිතාවයක් නොමැති බව මෙහි අදහසයි
  2. ඔවුහු මෙම කුර්ආනය ගැන නොසිතන්නෝ ද? මෙය අල්ලාහ් නොවන කෙනෙකු ගෙන් පහළ වී ඇත්නම් මෙහි පරස්පරවිරෝධිතා (නම් වචන) රාශියක් ඔවුන් දකින්නට තිබුණි [අල් කුර්ආනය 4:82]. එනම් අල් කුර්ආනයේ ඉගැන්වීම් වල කිසිම පරස්පර විරෝධිතාවයක් නොමැති බව මෙහි අදහසයි. එනම් අල් කුර්ආනයේ පරස්පරවිරෝධිතා නමැති වචන රාශියක් නොමැති බව මෙහි අදහස බවද කෙනෙක් පවසන්න පුළුවන්.  

මෙහි දෙවන අදහස පිළිගන්නා පුද්ගලයෙක් සිදු කරන්නේ අල් කුර්ආනයේ පරස්පරවිරෝධිතා නමැති වචනය එකකට වඩා වැඩි වාර සංඛ්‍යාවක් සඳහන් වී තෙබේද යන්න සොයා බැලීමයි. ඇත්තෙන්ම අල් කුර්ආනයේ පරස්පරවිරෝධිතා නම් වචනය සඳහන් වී ඇත්තේ 4:82 වැකියේ පමණයි. එම නිසා මෙම අල් කුර්ආනය පවසන ප්‍රකාශය නිවැරදි බව මෙම පුද්ගලයා පවසන්න පුළුවන්.

කෙසේනමුත් අල් කුර්ආනය තේරුම් ගත යුත්තේ මෙම දෙවන ක්‍රමයට අනුවද?

එසේ නොවන බවයි අපගේ ස්ථාවරය. අල් කුර්ආනයේ ඉගැන්වීම් අප තේරුම් ගත යුත්තේ අල් කුර්ආන් වැකි වල අදහස අනුව මිසක් තාර්කික නියම ලෙස නොවේ.

අල් කුර්ආනයේ ඉගැන්වීම් තේරුම් ගැනීමට එය කරුණු ඉදිරිපත් කරන ක්‍රමය හා එය තේරුම් ගන්නා ක්‍රමය අප දැන සිටිය යුතුයි.

  1. අල් කුර්ආනය යනු දෙවියන් විසින් මුහම්මද් ﷺ තුමාට පහළ කළ දේව පණිවුඩය වන අතර එහි පරිඡේද්යන් 114ක් තිබෙනවා. විවිධ කරුණු මෙම පරිච්ඡේද වල සඳහන් වී තිබෙනවා. ඇතැම් විට එකම තොරතුරු ඇතැම් පරිච්ඡේද වල සංශිප්තවද අනෙකුත් පරිච්ඡේද වල විස්තරාත්මකවද සඳහන් වී තිබෙනවා. ඒවගේම ඇතැම් විට කරුණු ඉතා පැහැදිලිවම අල් කුර්ආනයේ සඳහන් වී තිබෙනවා. ඇතැම් කරුණු සඳහන් වී තිබෙන්නේ අර්ථ කිහිපයක් ලබා දිය හැකි අකාරයෙනුයි. එනිසා මෙවන් අවස්තාවලදී අල් කුර්ආනයේ පැහැදිලි කරුණු වලට ප්‍රමුකත්වය දී අනෙකුත් වැකිවල තේරුම අප වටහා ගත යුතුයි. ඇතැම් විට ඇතැම් කරුණු පොදුවේ අල් කුර්ආනය ප්‍රකාශ කරන අතර එම පොදු ප්‍රකාශයට අඩංගු නොවන විශේෂිත කරුණු වෙනත් තැනකදී සඳහන් වී තිබෙනවා. එනම් අල් කුර්ආනය සැකසී තිබෙන්නේ එහි එක් වැකියක් අල් කුර්ආනයේ තවත් වැකියකින් පැහැදිලි කර දෙන ආකාරයටයි. ඒවගේම ඇතැම් අල් කුර්ආන් වැකි තේරුම් ගැනීම සඳහා එහි පද සමායෝජනය (පෙර හා පසු වැකි) කුමක්ද යන්නත් අප දැන සිටිය යුතුයි.  මේ අනුව බැලීමේදී අපට පෙනී යන්නේ අල් කුර්ආනයේ වැකි වලට විවරණයන් ලබා දීමට මූලික වශයෙන් ප්‍රමුකත්වය දිය යුත්තේ අල් කුර්ආනයටම බවයි.
  2. අල් කුර්ආනයට අමතරව තවත් වර්ගයක දේව පණිවුඩයක් මුහම්මද් ﷺ තුමාට අනාවරණය වී තිබෙනවා. ඒවා නම්, එතුමාගේ ක්‍රියා, ප්‍රකාශ හා අනුමැතියන්. එනිසා අල් කුර්ආනයේ ඇතැම් වැකියට අල් කුර්ආනයෙන්ම විවරණයක් ලබා දිය නොහැකි අවස්තාවලදී එම වැකියට විවරණයක් මුහම්මද් ﷺ තුමාගේ ඉගැන්වීම් වලින් අපට ලබා ගන්න පුළුවන්.
  3. මෙම ක්‍රම දෙක එකට භාවිතා කිරීමෙන්ද අල් කුර්ආනයේ ඇතැම් ඉගැන්වීම් අපට තේරුම් ගන්න පුළුවන්.
  4. ඇතැම් කුර්ආන් වැකි වල අදහස තේරුම් ගැනීමට එම වැකිය අනාවරණය වූයේ කුමන අවස්තාවේදීද? කා සඳහාද යන්න වැදගත් වන අතර මෙම විස්තර මුහම්මද් ﷺ තුමාගේ ඉගැන්වීම් වල හෝ ඔහුගේ මිතුරන් පවසන ප්‍රකාශ වල හෝ සඳහන් වෙනවා.

මේ පිළිබඳව අචාර්ය බිලාල් ෆිලිප්ස් මෙසේ පවසනවා:

අල්කුර්ආනයට විවරණ ලබා දීමට දරන සෑම අවංක උත්සාහයක්ම පටන් ගත යුත්තේ කුර්ආනය මන්ගින්මයි. එයි පැහැදිලි නොකර ඉතිරි වී තිබෙන දේවල් සුන්නාහ්ව උපකාරයෙන් විසඳා ගත යුතුයි. (All honest attempts at tafseer must begin with the tafsir of the Qur’an by Qur’an itself. What is remained unexplained must be then sought in the Sunnah.) [1]

මීට අමතරව අල් කුර්ආනයේ ඇතැම් ඉගැන්වීම් වල අහෝසි කිරීම් පිළිබඳවද අපට අවබෝධයක් තිබිය යුතුයි.

කිසියම් වැකියක් අපි වෙනස් කළෙමු නම්30 හෝ එය අමතක කෙරුවෙමු නම් හෝ එයටත් වඩා විශිෂ්ට දෙයක් හෝ එබඳු ම දෙයක් හෝ පිරිනමන්නෙමුග අල්ලාහ් සියලූ දේ කෙරෙහි බලසම්පන්නයෙකු බව ඔබ නොදන්නෙහි ද? [අල් කුර්ආනය 2:106]

මෙහිදී මූලික වශයෙන් එක් මොහතක ලබා දුන් නීතියක් තවත් නීතියක් මගින් අහෝසි වීම අපට දැක ගන්න පුළුවන්. මෙය අරාබි භාෂාවෙන් සැලකෙන්නේ “නාසික්” ලෙසයි. මෙම අහෝසි කිරීම් වර්ග තුනකට බෙදන්න පුළුවන් [2].

  1. නීතිය හා එයට අදාළ වැකිය යන දෙකම අහෝසි වීම: එනම් මෙම නීතිය හෝ ඊට අදාළ කුර්ආන් වැකිය අවසාන වශයෙන් පරිපූර්ණ වූ අල් කුර් ආනයේ සඳහන් නොවීම
  2. නීතිය අහෝසි වුනද එයට අදාළ වැකිය තවමත් අල් කුර්ආනයේ (හෝ නබි තුමාගේ ඉගැන්වීම් වල) සඳහන් වී තිබීම
  3. නීතිය අහෝසි නොවුනද ඊට අදාළ කුර්ආන් වැකිය අහෝසි වීම: එනම් මෙම නීතිය මුහම්මද් ﷺ තුමාගේ ඉගැන්වීම් වල සඳහන් වුවද ඊට අදාළ වැකිය අල් කුර්ආනයෙන් අහෝසි වීම.

මෙම අහෝසි කිරීම් සඳහා පැහැදිලි සාක්ෂි අල් කුර්ආනයේ, මුහම්මද් ﷺ තුමාගේ ඉගැන්වීම් වල හා මුහම්මද් ﷺ තුමාගේ මිතුරන්ගේ ප්‍රකාශ වල තිබිය යුතුයි.

සර්ව බලධාරී දෙවියන් පහළ කළ වැකි ඔහු විසින් ම නැවත වෙනස් කළ යුත්තේ ඇයි? යැයි කෙනෙක් විමසන්න පුළුවන්. ඔහු සියලූ දේ දනී නම් වෙනස් කිරීමට අවශ්‍යතාවක් හට නොගන්නා පරිදි පෙර දී ම නිවැරදිව පවසා තිබිය යුතු නොවේ ද? යනාදී වශයෙන් මෙම වැකි කියවන සමහරු සිතන්න පුළුවන්. මෙය සර්ව බලධාරී දෙවියන්ගේ අසීමිත ඥානය පිළිඹිබු කරනවා මිස නොදැනුවත්කමක් නොවේ. ඉතිහාසය හා සම්බන්ධ කරුණු ඉදිරිපත් කිරීමේදී පෙර කී දේ වෙනස් නොකළ යුතුයි. නමුත් නීති රීති වල දී නම් පවතින වාතාවරණයට අනුව නීති පැනවිය යුතු වෙනවා. වාතාවරණය වෙනස් වූ පසු නීතිය වෙනස් නොකරන ලද්දේ නම් එය බුද්ධිමත් තීරණයක් නොවේ. මෙය තේරුම් ගැනීමට උදාහරණ කිහිපයක් සලකමු.

  • හදිසි අවස්ථාවක දී රජය විසින් ඇඳිරි නීතිය පනවනු ලබනවා යැයි සිතමු. වාතාවරණය වෙනස් වූ විගස ම ඇඳිරි නීතිය ඉවත් කර ගත යුතුයි. දැනටමත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිඛෙන නිසා එය අඛණ්ඩව පැවැත්වීම ඇත්තෙන්ම අනුවණකමක්. ඒ වගේම හදිසි අවස්ථාවක දී ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොකිරීමත් බුද්ධිමත් ක්‍රියාවක් වන්නේ නැහැ. ම
  • වක් වයස අවුරුදු දෙකක ළදරුවෙකුට යම් යම් ආහාර නොදී තහනම් කරනවා. ඵ් දරුවාගේ ම වයස අවුරුදු දහයක් වන විට පෙර තහනම් කළ දේ අනුභව කරන්නැයි අනුමැති ලබා දෙනවා. මෙවැනි තත්ත්වයක් උදා වන බව ඇය පෙරම දන්නවා. මෙහි දී දරුවාගේ වර්ධන තත්ත්වය වෙනස් වූවා මිස මවගේ බුද්ධියේ කිසිඳු වෙනසක් ඇති වූයේ නැහැ.

නබි මුහම්මද් ﷺ තුමාණන් තම ධර්ම ප්‍රචාරය පටන් ගත් විට මක්කාවේ ජීවත් වීම පවා දරුණු ප්‍රශ්නයක් වුණා. එවිට “සොරකම් කළේ නම් අත කපන්නැ”යි නීතියක් පනවන්න බැහැ. එසේ පැනවීම ප්‍රයොගිකද නැහැ. මෙම නීතිය පැනවිය හැක්කේ රාජ්‍ය පාලන බලය මුස්ලිම්වරුන් සතු වීමෙන් පසුවයි. එයට හේතුව ඉස්ලාමීය දණ්ඩ නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ ඉස්ලාමීය ආණ්ඩුවකට පමණක් වීමයි.

මේ අනුව බැලීමේදී බුද්ධිමත් ක්‍රමවේදය වන්නේ වෙනස් වන වාතාවරණයට අනුව නීති පැනවීම ය. අල් කුර්ආනයේ හා මුහම්මද් ﷺ තුමාගේ ඉගැන්වීම් වල ඇති ඇතැම් නීති වෙනස් වී තිබෙන්නේද මේ පදනම අනුවයි. මෙහිදී තවත් දෙයක් අප දැන ගත යුතු වෙනවා. එනම් යම් නීතියක් අහෝසි වීමට හේතුව ඇතැම් විට අල් කුර්ආනයේ හා මුහම්මද් ﷺ තුමාගේ ඉගැන්වීම් වල සඳහන් වුනත් ඇතැම් අවස්තාවලදී මෙම හේතුව සඳහන් වී නැහැ. නමත් හේතුව නොදැනීම, නැණවත් හේතුවක් නැහැ යැයි පැවසීමට උපකාර වන්නේද නැහැ.

කෙසේ නමුත් යම් සිද්ධියක් 2002 දී සිදු වූ බව පවසා තවත් තැනක 1967 දී සිදු වූයේ යැයි ප්‍රකාශ කිරීම සිදු නොවිය යුතුයි. හේතුව, මෙය ඉතිහාසය හා සම්බන්ධ සිදුවීමක්. සිදු වූ දෙයක් වෙනස් කළ හැකියාවක් නැහැ. මෙවන් කිසිඳු වෙනස් වීමක් අල් කුර්ආනයේ නැහැ. වෙනස් වීම හෝ අහෝසි වීම සිදු වී තිබෙන්නේ ඇතැම් නීති වල පමණයි. [3]

මෙහි සඳහන් වන්නේ අල් කුර්ආනයේ ඉගැන්වීම් තේරුම් ගැනීමට භාවිතා වන විද්වත් ක්‍රමවේදයේ ඉතා කෙටි පැහැදිලි කිරීමක් පමණයි. මෙම විෂය ඉතා පුළුල් වන අතර මේ සම්බන්ධ පොත් පත් කියවීම තුළින් අපට මන අවබෝධයක් ලබා ගන්න පුළුවන් (ඉන්ෂා අල්ලාහ්: අල්ලාහ්ගේ කැමැත්ත තිබුනේ නම්)

මෙම විෂය පිලිබඳ හොඳ දැනුමක් තිබෙනවා නම් අල් කුර්ආනයට එරෙහිව ඇතැම් විවේචකයන් යොමු කරන චෝදනා පදනම් විරහිත බව අපට තේරුම් ගන්න පුළුවන් වන අතර එම චෝදනා වලට නිවැරදි පිළිතුරු අපට ලබා දීමට පුළුවන් වෙනවා.

මූලාශ්‍රයන්:

[1] Abu Ameenah Bilal Philips, Usool at-Tafseer, 1997, Dar al-Fatah, p. 49.

[2] Ahmad von Denffer, Ulum al Qur’an

[3] P.J, ඇතැම් වැකි වෙනස් කරන ලද්දේ ඇයි? අල් කුර්ආන් විග්‍රහයන් (අංක 30), http://sinhalaquran.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *