හදීස් කලාව – හැඳින්වීමක්

ඉස්ලාමීය මූලාශ්‍රයන් පිළිබඳව කථා කරන විට ඒ ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ අවධානය යොමු කිරීම අනිවාර්ය වේ. එනම්,

  1. ශුද්ධ වූ කුර්ආනය : අල්ලාහ් විසින් මුහම්මද් තුමාට අනාවරණය කළ ලද දේව පණිවුඩය
  2. ශුද්ධ වූ හදීසය : දේව අනාවරණයට අනුව මුහම්මද් තුමා පැවසු දේවල්, ඔහුගේ ක්‍රියා හා ඔහු ලබා දුන් අනුමැතියන්

මෙම ලිපිය තුළින් සාකච්චා වන්නේ හදීස් නම් විෂය හා ඒ පිළිබඳ වූ කලාව පිලිබඳවය. ශුද්ධ වූ කුර්ආනය සේම ශුද්ධ වූ හදීසය ද දිව්‍යම භාෂිතය වේ. ඒ අනුව නබි තුමාණන්ගේ කාලයේ පටන් බොහෝ කලක් ඒ දෙක සමසේ  සලකා මුස්ලිම් ජනයා පිළිපැද්දහ. නමුත් පසුකාලීනව සමාජය තුල ඇති වූ විවිධ ප්‍රශ්ණ එනම්,

  • පාලකයින් සතුටු කිරීමට හදීස් නමින් විවිධ කතා ගෙතීම
  • දහම තුල නිකාය වාදයන් සාධාරණීකරණය කිරීමට හදීස් නමින් විවිධ කතා ගෙතීම
  • ව්‍යාපාරික අරමුණ සඳහා හදීස් නමින් විවිධ කතා ගෙතීම
  • සමාජයේ පුහු ගෞරවයන් දිනා ගැනීම සඳහා හදීස් නමින් විවිධ කතා ගෙතීම
  • ඉස්ලාමය තුල ව්‍යාකූල තත්වයන් නිර්මාණය කොට එහි ව්‍යෘප්තිය අඩාල කිරීම
  • ආගමික අනවබෝධය තුල ගොඩනැඟුණු කුසල් කිරීමේ දැඩි ආශාව
  • ජාති, කුල, භාෂා වාදයන්

යනාදී සඳහන් කළ හැකිය. මේ  නිසා හදීස් විෂයට අදාලව කලාවක් බිහිවීමට තරම් එය සංකීර්ණ විය.ඒ අනුව  දිව්‍යම භාෂිතය නිවැරදිව නිර්ණය කිරීම සඳහා වූ  තාර්කික මෙන්ම බුද්ධිමත් කලාවක් ඉස්ලාම් දහමේ නිර්මාණය විය.මෙවැනි කලාවක් ඉස්ලාම් දහමේ හැර වෙන කිසිඳු කලාවක‍, දහමක හෝ දර්ශණයක දක්නට නැත. එවන් වූ හදීස් කලාව මෙතැන් සිට විමසා බලමු.

හදීස් කලාව නම් විශිෂ්ඨ කලාව ලොව බිහි කිරීමට පාදක කරගත් ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය කිහිපයක්

විශ්වාසවන්තයිනි, අයහපත් පුද්ගලයෙකු නුඹලා වෙත කිසියම් ආරංචියක් ගෙනෙන්නේ නම් නුඹලා ඒගැන සුපරික්ෂාකාරීවසොයා බලනු…

ශුද්ධ වූ කුර්ආන් 49-6

නුඹට  දැනුමක් නැති දෑ නොපිළිපදිනු…

ශුද්ධ වූ කුර්ආන් 17-36

එබැවින් (නබියේ!) මෙම බොරුකාරයන්ව ඔබ අනුගමනය නොකරනු!

ශුද්ධ වූ කුර්ආන් 68-8

ඉහත වාක්‍ය තුන විමසා බැලීමේදී 49-6 වාක්‍යෙයන් අයහපත් පුද්ගලයෙකු කිසියම් ආරංවියක් රැගෙන ආ විට එය එලෙසින්ම පිළි නොගත යුතු බවත්, ඉහත 17-36 වාක්‍යෙයෙන් දැනුමක් නොමැති දෑ නොපිළිඳින ලෙසත් අවසාන වාක්‍යෙයන් යමෙකු බොරුකාරයෙකු බව තහවුරු වුවහොත් ඔහුගේ ප්‍රවෘත්තිය භාර නොගත යුතු බවත් පැවසීම තුළ හදීස් කලාව සඳහා වූ මූලික අත්තිවාරම මෙයින් ගොඩ නැගේ.

හදීස් කලාව…

නබි තුමාගේ හදීසයක් (එනම් එතුමාගේ වදන්, ක්‍රියා හා අනුමත කිරීම) යැයි ප්‍රවෘත්තියක් ලද විට, හදීස් කළාව තුළ ඒවා විවිධ වර්ගකිරීම් වලට වෙන් කරනු ලැබේ. ඒවා ප්‍රධාන කොටස් හා අනු කොටස්වලට බෙදනු ලැබේ. ප්‍රධාන කොටස් නම්,

  • මක්බූල් (පිළිගත යුතු)
  • මර්දූද් (ප්‍රතික්ෂේප කළ යුතු) යන්නයි.

මෙම විෂය පිළිබඳ කථා කිරීමේදී ඔබගේ අවධානයට ගෙන ආ යුතු විශේෂ කාරනාවක් ඇත. එනම් හදීසයක ව්‍යූහය සැකසී තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳවයි. එය නිදසුනකින් පැහැදිලි කරන්නේ නම් පහත සඳහන් හදීසය සලකා බලමු.

حَدَّثَنَاالحُمَيْدِيُّعَبْدُاللَّهِبْنُالزُّبَيْرِ،قَالَ: حَدَّثَنَاسُفْيَانُ،قَالَ: حَدَّثَنَايَحْيَىبْنُسَعِيدٍالأَنْصَارِيُّ،قَالَ: أَخْبَرَنِيمُحَمَّدُبْنُإِبْرَاهِيمَالتَّيْمِيُّ،أَنَّهُسَمِعَعَلْقَمَةَبْنَوَقَّاصٍاللَّيْثِيَّ،يَقُولُ: سَمِعْتُعُمَرَبْنَالخَطَّابِرَضِيَاللَّهُعَنْهُعَلَىالمِنْبَرِقَالَ: سَمِعْتُرَسُولَاللَّهِصَلَّىاللهُعَلَيْهِوَسَلَّمَيَقُولُ: «إِنَّمَاالأَعْمَالُبِالنِّيَّاتِ،وَإِنَّمَالِكُلِّامْرِئٍمَانَوَى،فَمَنْكَانَتْهِجْرَتُهُإِلَىدُنْيَايُصِيبُهَا،أَوْإِلَىامْرَأَةٍيَنْكِحُهَا،فَهِجْرَتُهُإِلَىمَاهَاجَرَإِلَيْهِ»

ඉහත හදීසය ප්‍රධාන කොටස් දෙකකින් යුක්තය. එනම්

  • හදීසයේ නබි තුමාණන්ගේ ප්‍රකාශය හෙවත් හදීයේ සාරය – මෙය අරාබි භාෂාවෙන් ‘මතන්‘ යැයි හඳුන්වනු ලබන අතර එය මෙම හදීසයෙන් ඉදිරිපත් කෙරෙන ප්‍රධාන පණිවිඩය යි.
  • එම හදීසය නබි තුමාගේ පටන්(හදීස්  ග්‍රන්ථ ලෙස) ග්‍රන්ථාරූඩ වූ මොහොත දක්වා ආ ගමන් මගෙහි දැනුම් දෙන්නන්ගේ දම්වැල – මෙය හදීස් කලාවේ ‘සනද්‘ යැයි හඳුන්වනු ලැබේ.

ඒ අනුව ඉහතින් සඳහන් හදීසය මෙම ක්‍රමයට වෙන් කොට දක්වන්නේ නම්,

ඉහත හදීසයේ සනද් –

حَدَّثَنَاالحُمَيْدِيُّعَبْدُاللَّهِبْنُالزُّبَيْرِ،قَالَ: حَدَّثَنَاسُفْيَانُ،قَالَ: حَدَّثَنَايَحْيَىبْنُسَعِيدٍالأَنْصَارِيُّ،قَالَ: أَخْبَرَنِيمُحَمَّدُبْنُإِبْرَاهِيمَالتَّيْمِيُّ،أَنَّهُسَمِعَعَلْقَمَةَبْنَوَقَّاصٍاللَّيْثِيَّ،يَقُولُ: سَمِعْتُعُمَرَبْنَالخَطَّابِرَضِيَاللَّهُعَنْهُعَلَىالمِنْبَرِقَالَ: سَمِعْتُرَسُولَاللَّهِصَلَّىاللهُعَلَيْهِوَسَلَّمَيَقُولُ:

ඉහත හදීසයේ මතන්

«إِنَّمَاالأَعْمَالُبِالنِّيَّاتِ،وَإِنَّمَالِكُلِّامْرِئٍمَانَوَى،فَمَنْكَانَتْهِجْرَتُهُإِلَىدُنْيَايُصِيبُهَا،أَوْإِلَىامْرَأَةٍيَنْكِحُهَا،فَهِجْرَتُهُإِلَىمَاهَاجَرَإِلَيْهِ»

ඉහත හදීස් කොටස් කිරීම තුළ හදීසයක් පිළිගත යුතු හා ප්‍රතික්ෂේප කළ යුත යන්න තීරණය කරන්නේ සනද් නැමැති දැනුම් දෙන්නන්ගේ දම්වලයි. එනම්  මෙහි දෙවැනි කොටසයි.මෙම සනදය පදනම් කරගනිමින් හදීස් කලාව ප්‍රධාන අනු කොටස් හතරකට බේදෙයි. එනම්,

1.සහීහ් – صَحِيْح

2.මවුලූවු – مََوْضُوْع

3.මත්රූක් – مَتْرُوْك

4.ලයීෆ් – ضَعِيْف

කුමන හදීසය වුවත්, එය අනිවාරයෙන්ම මෙම වර්ගකිරීම් හතරෙන් එකකට අන්තර්ගත වේ. මේවා අතුරින් සහීහ් වූ හදීසයන් පමණක් අප පිළිපැදිය යුතුය. අනිකුත් වර්ග තුනම ප‍්‍රතික්‍ෂේව විය යුතු ඒවා වේ.

සහීහ් නම් හදීස් කලාව

අද අප නබි (සල්)  තුමාණන් ගැන හදීසයක් පවසන අවස්ථාවේ බොහෝ විට ආරම්භක දැනුම් දෙන්නා (දැනුම් දෙන්නා හදීස් කලාව තුල ‘රාවි’ යැයි හඳුන්වනු ලැබේ.) වන සහාබිවරයා හැර අනිකුත් දැනුම් දෙන්නන්ගේ නමි සඳහන් නොකරමු. සියලු හදීස් ග්‍රන්ථවල ‘සනද්’ සඳහන් කර තිබීම ඊට හේතුවයි. නමුත් හදීස් ග‍්‍රන්ථාරූඩ වෙමින් තිබූ හිජ්රි 03වන හා 04වන සියවස්වල නබිතුමාණන් ගේ හදීසයක් පවසන විට එම  හදීසය හදීස් විශාරදයන් විසින් තම ග‍්‍රන්ථ වල සටහන් කිරීමට පොදුවේ පිළිගත් රීතියක් තිබිණි. එනම් ප‍්‍රවෘත්තිය තමා හට ප‍්‍රකාශ කරන ලද්දේ කා විසින්ද යන්නත් සඳහන් කළ යුතු විමය. එනම් හදීසය දැනුම් දෙන්නා තමාට ප‍්‍රකාශ කළ පුද්ගලයාව පමණක් ප‍්‍රකාශ කිරීම ප‍්‍රමාණවත් නොවිය. තමාට ප‍්‍රකාශ කළ පුද්ගලයා දැනගත්තේ කාගෙන්ද? ඔහු දැනගත්තේ කාගෙන්ද? මේ ආකාරයට දැනුම් දෙන්නන්ගේ දම්වැල නොකැඞී නබි (සල්) තුමාණන් දක්වාම ගමන් කළ යුතු විය. මෙසේ හදීසය ග‍්‍රන්ථයේ සටහන් කරන විශාරදවරයාට ප‍්‍රකාශ කළ රාවි(දැනුම් දෙන්නා) ගෙන් පටන් නබි (සල්) තුමාණන් දක්වාම දම්වැල නොකැඞී නිවැරදිව පිහිටිය යුතුය යන්න හදීසයක් පිළිගැනීමට(නොඑසේ නම් සහීහ් හදීසයක් වීමට) ප‍්‍රධාන සාධකය විය.

සියළු හදීස් සම්පාදනය කරණු ලැබුවේ මේ ආකාරයටයි. උදාහරණයක් ලෙසබුහාරී නම් හදීස් ග‍්‍රන්ථයේ සඳහන් වන පළමු හදීසය සලකා බලමු.

“සියලු ක්‍රියා චේතනාවට අනුවයි. කෙනෙකුට හිමිවන්නේ ඔහු චේතනා කරන දෙයයි. යමෙකුගේ හිජ්රතය අල්ලාහ් හා ඔහුගේ වක්තෘවරයා වෙනුවෙන් නම්, ඔහු ගේ හිජ්රතයට අල්ලාහ් සහ ඔහුගේ වක්තෘවරයා වෙනුවෙනි. යමෙකුගේ හිජ්රතයා ලෞකික සැපසම්පත් ලබා ගැනීම සඳහා නම් නොඑසේ නම්, කාන්තාවක් විවාහ කර ගැනීමට නම් ඔහුගේ හිජ්රතය ඔහු කුමක් සඳහා හිජ්රත් කළාද ඒ සඳහා ය.“

මෙය බුහාරි ග්‍රන්ථයේ පළමු හදීසය වන අතර හදීස් කලාවේ මෙය මතන් ලෙස හඳුන්වන බව අපි ඉහත සඳහන් කළෙමු. මෙම හදීසයේ  සනද් නම් කොටස වෙත අවධානය යොමු කරන්නේ නම්,

මෙම හදීසය නබි(සල්) තුමාණන් ප‍්‍රකාශ කළ බව පවසන පළමු දැනුම් දෙන්නා  උමර් (රලි) තුමා නැමැති සහාබි වරයා ය. මෙතුමා මෙම ප‍්‍රවෘත්තිය නබි(සල්) තුමාණන්ගෙන් කෙලින්ම අසා දැනුම් දුන්නේය.අල්කමා බින් වක්කාස්  මෙම ප‍්‍රවෘත්තිය උමර් (රලි) තුමාගෙන් සෘජුවම අසා ඇත. අල්කමා බින් වක්කාස් ගෙන් මුහම්මද් බින් ඉබ්රාහීම් නැමැත්තා මෙම ප‍්‍රවෘත්තිය අසා ඇත. මුහම්මද් බින් ඉබ්රාහීම්ගෙන් සෘජුවම අසා ඇත්තේ යහ්යා බින් සයීද් නැමැත්තාය. ඔහුගෙන් සුෆ්යාන් නැමැත්තාද සුෆ්යාන්ගෙන් හුමෛද් නැමැත්තාද සෘජුම අසා දැනගෙන ඇති අතර අවසානයේ බුහාරි ග්‍රන්ථයේ කතෘ වන ඉමාම් බුහාරි හුමෛදී සෘජුවම දැනගෙන තම ග්‍රන්ථයේ මෙම දැනුම් දෙන්නන්ගේ දම්වල සමග හදීසය සටහන් කර ඇත.නබි (සල්) තුමාණන්ගේ පටන් බුහාරි දක්වා වූ කාල පරාසය අවුරුදු 200ක් පමණ වන බව මෙහිදී අවධාරණය කළ යුතු කරුණකි.

ඒ අනුව මෙම හදීසය නිවැරදි (සහීහ්) හදීසයක් හැටියට පිළිගැනීමට නම් පහත සඳහන් සියළුකොන්දේසි සපුරා තිබීම අත්‍යවශ්‍ය වේ.

  • හදීසයක සනද් (දැනුම් දෙන්නන්ගේ දම්වැලේ) හි සියළු දැනුම් දෙන්නන් විශ්වාසවන්තයින් විය යුතුය.
  • ඔවුන් සියළු දෙනා තියුනු මතක ශක්තියකින් යුක්ත් අය විය යුතුය.
  • ඔවුන්ගේ අවංක භාවය පිළිබඳ සැකයක් පහළ නොවිය යුතුයි.
  • දැනුම් දෙන්නන්ගේ දම්වැලේ සිටින සියළු දෙනාම තමා හට දැනුම් දෙන පුද්ගලයාගෙන් සෘජුවම අසා තිබිය යුතුයි.

නිවැරදි හදීස් හැටියට පිළිගත හැක්කේ ඉහත ලක්‍ෂණ සියල්ලෙන් සමන්විත හදීස් පමණි.ඒ අනුව නිවැරදි – සහීහ් වූ හදීස්යන් අනුව අමල් කිරීම හා ඒවා පිළිපැදීම අනිවාර්ය වේ යන්න සියළු දෙනා මතභේදයෙන් තොරව අවිවාදයෙන්ම පිළිගන්නා අදහසයි.

2.මවුලූවු – مََوْضُوْع

ප‍්‍රතික්‍ෂෙප විය යුතු හදීස් අතුරින් මුල්තැන ගන්නේ මවුලූ වූ නම් හදීස් වේ. මවුලූ නැමැති පදයේ තේරුම ගොතන ලද දේ යන්නයි. නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ නොකල දෑ – ක‍්‍රියාත්මක නොකළ දෑ – හා අනුමත නොකළ දෑ එතුමාගේ නාමයෙන් ගොතා ප‍්‍රකාශ කිරීම ගොතන ලද හදීස් යැයි හඳුන්වනු ලැබේ.

දැනුම් දෙන්නන්ගෙන් කෙනෙකු හෝ කිහිපදෙනෙක් බොරුකාරයින් යැයි ඔප්පු වීම ගොතන ලද පුද්ගලයා පසුකාලීනව තමා ගෙතූ බව පිළිගැනීම

ඉහත සඳහන් ලක්‍ෂණවලින් එකක් හෝ යම් හදීසයක අන්තර්ගත වේ නම් එය ගොතන ලද හදීසයක් වේ. ගොතන ලද හදීසයන් පිළිගත නොහැකි අතර ඒ අනුව අමල් කිරීම නොකළ යුතුය. ගොතන ලද හදීස් පිළිබඳ මෙම විස්තරය ප‍්‍රමාණවත් යැයි සිතමි. මේ පිළිබඳ අපි දැඩි අවධානයෙන් සිටිය යුතුය. මන්ද විවිධ අරමුණු පෙරදැර කරගෙන ඇතැමුන් නබි තුමාණන්ගේ නාමයෙන් හදීස් ගෙතූහ. එනම්,

  • ඉස්ලාම් ආගමේ වර්ධනය වැලැක් වීමට
  • ආගම පිළිබඳ ඇති දැඩි ආශාව
  • ගෞරවයක් ලබාගැනීමේ අරමුණින්
  • රජවරුන්ව සතුටට පත්කිරීමේ අරමුණින්
  • ආගමික නිකායන් අතර තරඟ, ගැටුම් හා ක්‍රෝධය
  • ආගමික දේශණවල තම කථා වස්තුව අලංකාර කිරීම
  • පෞද්ගලික ලාබ අපේක්‍ෂාවන්

වැනි හේතුන් නිසා නබි (සල්) තුමාණන්ගේ නාමයෙන් ගොතා ලද හදීස්  සමාජයට පිවිස තිබේ. හදීස් කළාව හොඳින් අධ්‍යනය කර, මේවා හඳුනාගෙන ඒවා සමාජයෙන් ඉවත් කිරීම මුස්ලිම්වර්න්ගේ යුතුකමයි. මේවැනි ගොතන ලද හදීස් හඳුනාගැනීම පහසු කිරීම පිණිස අතීතයේ විසූ ආගමික විද්වතුන් වන ඉමාම් ජවුසජානී, ඉමාම් ෂවුකානී… වැනි අය මේ විෂය යටතේ ග්‍රන්ථ රාශියක් දායද කර ඇත. මෙවැනි ග්‍රන්ථ අතුරින් ඉමාම් ෂව්කානී තුමාගේ ‘අල් ෆවාඉද් අල් මජ්මුඋ ‍ෆී අහාදීසිල් මවුලූආත්’ යන කෘතිය ප්‍රධාන තැනක් ගනී. එවන් කතෘ තුළින් මුස්ලිම් සමාජයේ දැනගිනීම පිණිස මවුලූ හෙවත් ගොතන ලද හදීස් කිහිපයක් පහතින් ඉදිරිපත් කරන්නේ නම්,

  • යමෙක් ලාඉලාහ ඉල්ලල්ලාහ් යැයි ප‍්‍රකාශ කරයි නම්, එම වදනෙන් අල්ලාහ් කුරුල්ලෙක්ව මවයි. එම කුරුල්ලාට දිවවල් හත්තෑ දහසක් ඇත. සෑම දිවක්ම භාෂා හත්තෑ දහසක්(70000) කතා කරයි.
  • වම්බටු අනුභව කිරීමෙන් සියළු රෝගවලට සුවය ලැබෙයි
  • මාළු අනුභව කිරීමෙන් ශරීරය දුර්වල වේ
  • ආලිම්වරයෙකුගේ සභාවක අසුන් ගැනීම රකඅත් දහසක් සලාත් කිරීමට වඩා ශ්‍රේෂ්ඨ වේ.
  • මාගේ සමාජයේ (ඉස්ලාමීය) පූජකවරුන් බනී ඉස්රායීල් සමාජයේ නබිවරුන් වැනිය
  • යමෙක්(ඉස්ලාමීය) පූජකවරුන් මුණගැසෙයි නම් ඔහු මාව මුණගැනීමට සමානය. (ඉස්ලාමීය) පූජකවරුන්ට මුසාෆහා කිරීම මට මුසාෆහාකිරීමට සමානය.
  • රජුගේ අවසරයෙන් තොර ජුම්ආ සලාතය නැත
  • හිල්ර් හා ඉස්මායීල් යන නබි වරු දෙදනා ජීවතුන් අතර සිටිති. මිනාහි ඔවුන් දෙදෙනා අවුරුදු පතා මුණගැසෙති
  • රෝස මල මවා ඇත්තේ නබි (සල්) තුමාගේ දහදියෙනි.
  • මාගේ සමාජයේ මුහම්මද් ඉද්රීස් (මෙය අප රටේ ප්‍රධාන මද්හබය(නිකාය) වන ෂා‍ෆි මද්හබ්හි ප්‍රධාන ඉමාම් ලෙස සැලකෙන ෂා‍ෆී ඉමාම් තුමාගේ නමයි.) නමින් කෙනෙකු පහළ වෙනු ඇත. ඔහු ඉබ්ලීස්ට(ෂයිතාන්) වඩා මාගේ සමාජයට විනාශකාරී කෙනෙකි. මාතේ සමාජයේ අබූ හනී‍ෆා(මෙය තවත් ප්‍රධාන මද්හබයක්(නිකාය) වන හනෆි මද්හබයේ නිර්මාතෘ ලෙස සැලකෙන පුද්ගලයාය.) නමින් කෙනෙකු පහළ වනු ඇත. ඔහු මාගේ සමාජයේ ආලෝකය යි.
  • කාන්තාවන්ගෙන් උපදෙස් විමසන්න. ඊට පටහැනිව කටයුතු කරන්න.

මේවා සියල්ල නබි (සල්) තුමාණන් ප‍්‍රකාශ කළ බවට ගොතන ලද ඒවා වේ.  මෙවැනි හදීස් ගැන දැඩි අවධානයෙන් කටයුතු කිරීම මුස්ලිම්වරුන්ගේ අනිවාර්ය යුතුකම වේ.

3.මත්රූක් – مَتْرُوْك

මවුලූ හදීස්වලට පසු ප‍්‍රතික්‍ෂෙප විය යුතු හදීස් අතුරින් දෙවන තැනට ඇත්තේ මත්රූක් නැමැති වර්ගයේ හදීස් ය. හදීසයක දැනුම් දෙන්නන්ගෙන් කෙනෙක් බොරුකාරයෙකු යැයි සැකයක් මතුවූ විට, එම හදීසය මත්රූක් වේ. හදීස් හි අදාල පුද්ගලයා බොරු කියූ බව ඔප්පු නොවුනද, පොදුවේ ඔහු බොරු කියන පුද්ගලයෙක් බව සනාථ වූ විට ඔහු දැනුම් දෙන හදීස් මත්රූක් ඝනයට අයත් වේ.

දැනුම් දෙන්නා බොරුකාරයෙක් බව සැකයෙන් තොරව සනාථ වූ විට එවැනි හදීස් මවුලූ (ගොතන ලද එකක්) වන බව මීට ඉහත මවුලූ හදීස් යන ලිපියෙන් සාකච්ඡා කළෙමු. මත්රූක් වල දැනුම් දෙන්නා බොරුකාරයෙක් බව ඔප්පු නොවුනද, පොදුවේ ඔහු මත බොරුකාරයෙක් යන චෝදනාවක් පවතී. මවුලූ හා මත්රූක් අතර ඇති වෙනස මෙයයි. උදාහරණයක් ලෙස පහත හදීසය සඳහන් කළ හැකිය.

නබි (සල්) තුමාණෝ අනිවාර්ය සලාතයේදී ‘බිස්මිල්ලාහිර්රහ්මානිර්රහීම්’ යැයි ශබ්ද නගා පාරායණය කළහ. ‘ෆජ්ර් සලාතයේදී කුනූත් පාරායණය කරන කෙනෙකු ලෙස සි‍ටියහ. තවද අරෆා දිනයේ පජ්ර් සලාතයේ ‘තක්බීර්’ පවසන්නෙකු ලෙස සිටියහ. ‘අයියාමුතෂ්රීත්’ අවසාන දිනයේ ‘අසර්‘ සලාතයත් සමඟ ‘තක්බීර්’ අවසන් කරන්නේය. මූලාශ්‍ර ග්‍රන්ථය – දාරකුද්නී

ඉහත හදීසයේ දන්වන්නන් (සනද්) දම්‍වැල පහත ආකාරයට වේ,

අලි හා අම්මාර් (රලි) තුමා මඟින්

— අබීතුෆෙයිල් (රහ්)

— ජාබිර් (රහ්)

— අම්ර් ඉබුනු ශම්ර් (රහ්)

— අසද් ඉබුනු සෙයිද් (රහ්)

— කාසිම් ඉබුනු හසන් ඉබුනු සුබෙයිදී (රහ්)

— අබ්දුල්ලා ඉබුනු අහ්මද් ඉබුනු සිබිත් අල්-බස්සාර් (රහ්)

— ඉමාම් දාරකුද්නී (හදීස් ග්‍රන්ථයේ කතෘ)

ඉහත හදීස් දම්වැලේ  ‘අම්ර් ඉබුනු ශම්ර්’ නැමැති පුද්ගලයා (එනම් දම්වැලේ ඉමාම් දාරකුද්නී සිට 05 වැනියා) ‘මත්රූක්’ හෙවත් බොරු (හෙවත් මුසාවන්) පවසන්නෙකු බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු වේ. මොහු ගැන ‘ඉමාම් නසායි’ හා ‘ඉමාම් දාරකුද්නී’ යන හදීස් කලාවේ විද්වතුන් දෙපල පැවසීමේ දී මොහු බොරු පැවසීමේ ප්‍රකට පුද්ගලයෙකු බවත්, එමනිසා මොහු ‘මත්රූකුල් හදීස්’ එනම්,  ප්‍රතික්ෂේප කලයුතු කෙනෙකු බවත්  ඔප්පු කොට ඇත. ඉහත නිදසුන අනුව ද මවුලූ හා මත්රූක් යන දෙවර්ගයම ප‍්‍රතික්‍ෂෙප විය යුතු හදීස් වේ යන්නෙහි හදීස් කලාව තුල කිසිඳු මතභේදයක් නොමැති බව තහවුරු වේ.

4.ලයීෆ් – ضَعِيْف

නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළාද? නැද්ද? යන්න පිළිබඳ සැකයක් මතූ වූ හදීස් ‘ලයීෆ්’ යැයි හඳුන් වනු ලැබේ. හදීස් කලාව තුල විවිධ හේතුන් නිසා එවැනි සැකයක් මතු වීමට ඉඩ ඇත. ඉස්ලාම් දහම තුල හේතුව කුමක් වුවත් සැක සහිත කිසිවක් පිළිපැදීමට අවසර නම් නැත.

  • ඔබට ඥානයක් නොමැති දෑ අනුගමනය නොකරනු. ශුද්ධ වූ අල්-කුර්ආන් 17-36
  • ඔබට සැක දේ අතහැර සැකයෙන් තොර දේ දෙසට පියනගන්න යනුවෙන් නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කර ඇත. මූලාශ්‍ර ග‍්‍රන්ථ : තිර්මිදී, අහ්මද්

නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළාද? නැද්ද? යන්න පිළිබඳ සැකයක් මතු වුවහොත් එය පිළිපැදීම තහනම් කර ඇත යන්නට ඉහත සාධකය ඔබට ප‍්‍රමාණවත් වේ යැයි සිතමි. යම් කරුණක් දුර්වල හදීස්  කිහිපයකින් ඉදිරිපත් වුවහොත් එය පිළිගත යුතු යැයි ඇතැමුන් තර්ක කරති. නමුත් මෙය පිළිගත නොහැකි තර්කය කි. නිදසුනක් ලෙස රෝග සීයක් ඇති විට සිදුවන්නේ රෝගය දරුණු වීමක් මිසක් සුව වීමක් නොවේ. ඒ අනුව හදීස් කළාව තුළදැනුම් දෙන්නන්‍ගේ දම්වැල හෙවත් ‘සනදය‘, හදීසයේ පැවසෙන කාරණය හෙවත් මතනය, එම හදීසය පැවසෙන ආකාරය… යනාදීකරුණුවල මතුවන සැකය පදනම් කරගෙන ‘ලයීෆ්‘ වූ හදීස් වර්ග කිහිපයකට වර්ගීකරණය කරනු ලැබේ. එය පහත ආකාරයට පෙළගැසිය හැකිය.

  • හදීස් දන්වන්නන්ගේ දම්වැල හෙවත් ‘සනදය‘ පදනම් කර ගෙන
    1. මුර්සල
    2. මුන්කතිව්
    3. මුලල්
    4. මුඅල්ලක්
  • හදීසයෙහි පැවසෙන කාරණය හා දැනුම් දෙන්නා පදනම් කරගෙන
    1. ෂාද්
    2. මුන්කර්
  • හදීසයක් පැවසෙන ආකාරය පදනම් කරගෙන
    1. මුදල්ලස්
    2. මුඅන්අන්
    3. මුද්රජ්
  • මීට අමතරව තවත් වර්ගීකරණ කිහිපයක් ද ඇත. ඒවා නම්,
    1. මුල්තරබ්
    2. මක්ලූබ්
    3. මජ්හූල්

ඉහත සඳහන් කළ වර්ගීකරණයන් හදීස් කළාව තුළ ලයීෆ් හදීස් නම් විෂය ගැන කතා කිරීමේදී පුළුල් විෂයන් වේ.


ඉබුනු ජෙමීල්, අබූ අර්ශද් (යහමඟ වෙබ් අඩවිය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *