අල් කුර්ආනයේ අහ්රුෆ් (අක්ෂර ආකාර) හත හා එය පරායනය කරන කිරාත් (ගායන ක්‍රම) දහය

අල් කුර්ආනය යනු විශ්වයේ නිර්මාණකරු වන අල්ලාහ් මිනිසාගේ යහපත සඳහා අවසාන දේව පණිවුඩකරුවා වන මුහම්මද්ﷺ තුමාට අනාවරණය කළ පණිවුඩයයි. අල් කුර්ආනයේ පරිච්ඡේද 114 ක් තිබෙන අතර මේවා අවුරුදු 23ක් පුරාවට මුහම්මද්ﷺ තුමාට කොටසින් කොටස අනාවරණය වුණා. ඇතැම් වැකි මුහම්මද් ﷺ තුමා මක්කා නගරයේ සිටි අවධියේද අනෙකුත් වැකි ඔහු මදීනා නගරයේ සිටින විට මූලික වශයෙන් අනාවරණය වුණා.

මෙම අල් කුර්ආනය මුහම්මද් ﷺ තුමාට අනාවරණය වූයේ එක් අකාරයකට පමණක් නොවේ. ඔහුට අල් කුර්ආනය අක්ෂර ආකාර (අහ්රුෆ්) හතකින් පහළ වුණා.

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් පවසනවා:

අල්ලාහ්ගේ දූතයා (මුහම්මද් ﷺ තුමා) මෙසේ පැවසුවා: “ගිබ්රීල් අල් කුර්ආනය මට එක් අක්ෂර ක්‍රමයකින් පරායනය කර පෙන්වූවා. පසුව මම (එය තවත් අක්ෂර අකාරයකින් පරායනය කරන ලෙස) ඉල්ලා සිටියා. මෙලෙස තවත් අක්ෂර ආකාර වලින් පරායනය කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටිය. ඔහු (ගිබ්රීල්) විවිධ අක්ෂර ක්‍රමවලින් පරායනය කළ අතර අවසාන වශයෙන් විවිධ අක්ෂර ක්‍රම හතකින් පරායනය කළා. [1]

මුහම්මද් ﷺ තුමා මෙසේ පැවසුවා: “……අල් කුරානය ඔබට අනාවරණය වී තිබෙන්නේ විවිධ අක්ෂර ආකාර හතිකින් පරායනය කළ හැකි අකාරයටයි. එනිසා ඉන් ඔබට පහසු ක්‍රමයකින් පරායනා කරන්න. ” [2]

මෙලෙස අක්ෂර ආකාර හතකින් අල් කුර්ආනය අනාවරණය වූයේ මුහම්මද් ﷺ තුමාගේ කාළයේ සිටි අරාබි ගෝත්‍ර හතටම අල් කුර්ආනය තේරුම් ගැනීම පිණිසයි.

උබෙයි බින් කාබ් පවසනවා:

ඔහු (මුහම්මද් ﷺ තුමා) මට පැවසුවා: “… උබෙයි, මට කුර්ආනය එක් අක්ෂර ක්‍රමයකින් පරායනය කරන ලෙස පණිවුඩයක් එවනු ලැබුවා. එයට මම, මාගේ ජනතාවට දේවල් පහසු කරන ලෙස පිළිතුරු දුන්නා. දෙවැනි වතාවට අක්ෂර ක්‍රම දෙකකින් පරායනය කරන ලෙස පණිවුඩයක් එවනු ලැබුවා. නැවත මම, මාගේ ජනතාවට දේවල් පහසු කරන ලෙස පිළිතුරු දුන්නා. නැවත වරක් අක්ෂර ක්‍රම හතකින් පරායනය කරන ලෙස පණිවුඩයක් එවනු ලැබුවා. [3]

මීට අමතරව අල් කුර්ආනය අල්ලාහ්ගේ වචනය නොවේ නම් එවන් අල් කුර්ආනයක් ගෙනෙන මෙන් පවසන අභියෝගය සෑම ගොත්රයකටම වලංගු වන පිණිසත් මෙම අල් කුර්ආනය අක්ෂර ආකාර හතකින් පහළ වී තිබීමට පුළුවන් යැයි සිතීම සාධාරනයි.

මෙම අක්ෂර ආකාර හත යනු කුමක්ද යන්න ඉස්ලාමීය විද්වතුන් අතර ඒක මතික තීරණයක් නැහැ. අක්ෂර ආකාර (අහ්රුෆ්) හත යනු කුමක්ද යන්න පැහැදිලි කිරීමට විවිධ විද්වතුන් විවිධ මත හතලියක් පමණ ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ නමුත් මෙම මත හතලියම නිවැරදි නැහැ. බහුතරයක් මත පදනම් විරහිතයි. මෙම මත අතුරින් වැඩි විද්වතුන් සංඛාවක් පිළිගන්නා ඒ වගේම වඩාත් නිවැරදි මතය වන්නේ, අල් කුර්ආනයේ වැකි, එහි මූලික අර්ථය වෙනස් නොවන අන්දමින් විවිධ සමාන පද යොදා ගනිමින්ද විවිධ උච්චාරණ සහිතවද ආකාර හතකින් පහළ වූ බවයි.[4] ඒ වගේම අල් කුර්ආනයේ සෑම වැකියක්ම අක්ෂර ආකාර හතකින් අනාවරණය වී නැහැ. නමුත් සමස්තයක් ලෙස ගත් විට අල් කුර්ආනය අක්ෂර ආකාර හතකින් අනාවරණය වී තිබෙනවා යැයි පවසන්න පුළුවන්.

කෙසේ නමුත් මෙම මතය පිළිගැනීමට අපට තිබෙන සාක්ෂි මොනවාද?

මේ සඳහා මූලික වශයෙන් මුඛ පරම්පරාවෙන් සංරක්ෂණය වූ අල් කුර්ආනයේ කිරාත් (ගායනා ක්‍රම) අපට උපකාර වෙනවා. (මීට අමතරව මෙම අක්ෂර ආකාර වල තිබෙන වෙනස් කම් විවිධ පැරණි කුර්ආන් පිටපත් වලත් සඳහන් වී තිබෙන බවද අපට දැක ගන්න පුළුවන්) අද ලෝකයේ මෙවන් ප්‍රචලිත ගායනා ක්‍රම දහයක් මූලික වශයෙන් තිබෙනවා. මෙම ගායනා ක්‍රමවල දැකිය හැකි මූලික වෙනස් කම් තුනක් තිබෙනවා.

  1. එකම වචනය විවිධ ක්‍රම වලින් උච්චාරණය කිරීම
  2. ඇතැම් වැකි වල භාවිතා වන වචන වෙනස් වී තිබීම
  3. මූලික පණිවුඩය වෙනස් නොවන අන්දමින් වූ වෙනස් කම්

පළමු වෙනස් කමට නිදසුනක් ලෙස අල් කුර්ආනයේ 93 වෙනි පරිච්ඡේදයේ “වල්ලුහා” නම් වචනය සලකන්න පුළුවන්. මෙය ඇතැම් ගායන ක්‍රම වල පරායනය කරන්නේ “වල්ලුහේ” ලෙසයි.

දෙවන වෙනස් කමට නිදසුනක් ලෙස අල් කුර්ආනයේ 2:183 වැකියේ කොටසක් සලකන්න පුළුවන්.

එක් ගායන ක්‍රමයකට අනුව (හෆ්ස්)

ත’ආමු මිස්කීනින්
… ශක්තිය තිඛෙන අය දිළින්දෙකුට ආහාර දීම ප්‍රතිකර්මයකි … අල් කුර්ආන් 2:183

තවත් ගායන ක්‍රමයකට අනුව (වර්ෂ්)

ත’ආමි මසාකීනා
… ශක්තිය තිඛෙන අය දිළින්දෙකුට ආහාර දීම ප්‍රතිකර්මයකි … අල් කුර්ආන් 2:183

තුන්වන වෙනස් කමට නිදසුනක් ලෙස අල් කුර්ආනයේ 28:48 වැකියේ කොටසක් සලකන්න පුළුවන්.

එක් ගායන ක්‍රමයකට අනුව (හෆ්ස්)

සිහ්රානි

අපගෙන් ඔවුන් වෙත සත්‍යය පැමිණි විට “මූසාට දෙන ලද දැය වැන්නක් මොහුට ද දෙනු ලැබ තිබිය යුතු නොවේ දැ”යි පවසති. මීට පෙර මූසාට දෙන ලද දැය ඔවුහු ප්‍රතික්ෂේප නොකළෝ ද? දෙකම එකිනෙක අබිබවනා හූනියම් යැ”යි පවසති. අපි සියල්ල ම ප්‍රතික්ෂේප කරන්නෙමු”යි ද පවසති.

… අල් කුර්ආනය 28:48

තවත් ගායන ක්‍රමයකට අනුව (වර්ෂ්)

සාහිරානි

අපගෙන් ඔවුන් වෙත සත්‍යය පැමිණි විට “මූසාට දෙන ලද දැය වැන්නක් මොහුට ද දෙනු ලැබ තිබිය යුතු නොවේ දැ”යි පවසති. මීට පෙර මූසාට දෙන ලද දැය ඔවුහු ප්‍රතික්ෂේප නොකළෝ ද? “දෙදෙනාම එකිනෙක අබිබවනා හූනියම්කරුවන් යැ”යි පවසති. අපි සියල්ල ම ප්‍රතික්ෂේප කරන්නෙමු”යි ද පවසති.

… අල් කුර්ආනය 28:48

මෙම ගායන ක්‍රම දහයෙන් ප්‍රචලිත ගායන ක්‍රම දෙක වනුයේ හෆ්ස් ගායන ක්‍රමය හා වර්ෂ් ගායන ක්‍රමයයි. මේ දෙක අතර අප ඉහත සඳහන් කළ වෙනස්කම් තිබෙනවා. නමුත් මෙම ගායන ක්‍රම දෙකේ මූලික අර්ථයන්හි කිසිම වෙනසක් නැහැ. මෙම ගායන ක්‍රම දෙක අද්‍යයන කළ ප්‍රවීනයෙකු වන එඩ්රියන් බ්‍රොකට් පවසන්නේ මෙම ගායන ක්‍රම දෙක සැලකීමේදී එහි වෙනස් කම් අර්ථයට කිසිම බලපෑමක් සිදු නොකරන බවයි.[5]

අල් කුර්ආනය අනාවරණය වූයේ අක්ෂර ආකාර හතකින් නම් ගායන ක්‍රම දහයක් තිබෙන්නේ කෙසේද යැයි කෙනෙකුට සිතෙන්න පුළුවන්. මෙයට හේතුව අක්ෂර ක්‍රම හත වෙන් වූ ගායන ක්‍රම හතක් ලෙස සංරක්ෂණය වී නැහැ. එක් අක්ෂර අකාරයකින් කොටසක් තවත් අක්ෂර අකාරයකින් කොටසක් වශයෙන් ගායන ක්‍රම දහය බිහි වී තිබෙනවා. මෙම ගායන ක්‍රම දහය තුළ අක්ෂර ක්‍රම හතම පූර්ණ වශයෙන් ඇතුලත් වී තිබෙනවාද නැද්ද යන්න මුස්ලිම් විද්වතුන් අතර මත බේද තිබෙනවා. කෙසේ නමුත් දැනට තිබෙන කිරාත් (ගායන ක්‍රම) දහයම මුහම්මද් ﷺ තුමාගේ සිට මුඛ පරම්පරාවෙන් අද අපට ලැබී තිබෙන බව නිශ්චිතයි.

මෙම අක්ෂර ආකාර හත, ගායන ක්‍රම දහය ගැන දැනුමක් නොමැති ඇතැම් ක්‍රිස්තියානි මිෂනාරිවරුන් හා විවෙචයන් පවසන්නේ අල් කුර්ආනය වෙනස් වීම වලට ලක් වී ඇති බවයි. මේ සඳහා ඇතැම් පැරණි කුර්ආන් පිටපත්ද ඔවුන් ඉදිරිපත් කරනවා. නමුත් අල් කුර්ආනයේ අක්ෂර ආකාර හත, ගායන ක්‍රම දහය ගැන දන්නා කෙනෙකුට ඔවුන්ගේ එම චෝදනාව පදනම් විරහිත බව පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්.

මූලාශ්‍රයන්.

[1] සහිහ් බුහාරි, වෙළුම් අංක 6, පොත් අංක 61, පුවත් අංක 513

[2] සහිහ් බුහාරි, වෙළුම් අංක 006, පොත් අංක 061, පුවත් අංක 582.

[3] සහිහ් මුස්ලිම් පොත් අංක 004, පුවත් අංක 1787:

[4] Abu Ammaar Yasir Qadhi, An Introduction to the Sciences of the Qur’aan, p. 175

[5] Adrian Brockett, “The Value of Hafs And Warsh Transmissions For The Textual History Of The Qur’an” in Andrew Rippin’s (Ed.), Approaches of The History of Interpretation of The Qur’an, 1988, Clarendon Press, Oxford, p. 33.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *