ඉස්ලාමය හැර යන්නාට මරණ දඬුවමද?

ඇතැම් විවේචකයන් ඉස්ලාම් දහම විවේචනය කරන්නේ එහි ඇති ඉගැන්වීම් සුපරික්ෂාකාරිව බැලීමකින් තොරවයි. ඉස්ලාම් දහමේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමට, ඉස්ලාම් දහම පිළිපදිනවා යයි පවසන මුස්ලිම්වරුන්ගේ ක්‍රියා කලාපයන් මිම්මක් ලෙස භාවිතා කරන්න සමාජයේ බොහෝ දෙනා පුරුදුවෙලා ඉන්නවා. නමුත් මිනිසා කියන්නේ වැරදි කිරීමේ ස්වභාවය අත්පත් කර ඇති ජීවියෙක් කියන එක විවාදයකින් තොරවම අපිට අවබෝධ කර ගන්න පුළුවන්. එනිසා මුස්ලිම්වරුන් අතරද වැරදි කරන පුද්ගලයින් සිටීම පුදුමයට කරුණක් නොවෙයි. වාහනයක් පදවන රියදුරා නිසි ආකාරව වාහනය පදවන්නේ නැත්නම් අපි දොස් පවරන්නේ වාහනයටද ? නැත්නම් රියදුරාටද ?

පිළිතුර “රියදුරාට” නම් , මුස්ලිම්වරුන් අතින් සිදුවන වැරදිවලට ඉස්ලාම් දහම වගකිය යුතුයි යයි විවේචකයන් පවසන්නේ කුමන පදනමකින්ද ?

අපි මේ ලිපිය තුලින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙන්නේ විවේචකයන් මඟින් හා ඇතැම් ඉස්ලාමීය විද්වතුන් මඟින් වැරදි අකාරයෙන් තේරුම්ගත් ඉස්ලාමීය නීතියක් පිළිබඳවයි. මුලින්ම අපි ඉස්ලාම් දහමේ නීති මුලාශ්‍ර මොනවාදැයි දන සිටිය යුතුයි. ඉස්ලාමයේ ඉගැන්වීම් සියල්ලම අඩංගු වෙන්නේ අල් කුරානයේ හා නබි මුහම්මද් (සල්) තුමාගේ අණ, ක්‍රියා කලාපයන්,අනුමැතියන් වල පමණයි. මෙම කාරණය මනසේ තබාගෙන අපි මෙම ලිපියේ ප්‍රධාන මාතෘකාවට පිවිසෙමු.

“මුස්ලිම්වරයකු ඉස්ලාම් දහම හැර යනවානම් ඔහුට මරණ දඬුවම දිය යුතුයි”. ඉස්ලාම් දහමේ මෙවන් නීතියක් තිබෙන බව ඇතැම් විවේචකයන් පවසනවා. ඇත්තෙන්ම මෙවන් නීතියක් ඉස්ලාම් දහම තුල තිබෙනවාද? මෙම ප්‍රශ්නයට ඍජු පිළිතුරක් දෙවි තම අල් කුරානයේ සඳහන් කරනවා.

“මෙම ධර්මයේ කිසිම බලකිරීමක් නැත. දුර්මාර්ගයෙන් යහමාර්ගය පැහැදිලිව ඇත.” [අල් කුරානය 2:256]

මෙම සත්‍යය නුඹලාගේ පරමාධිපතිගෙන්ය. කැමති අය විශ්වාස කරත්වා. කැමති අය විශ්වාස නොකර සිටිත්වා. අපරාධකාරයින්ට අපි නිරය පිළියෙළ කර ඇත්තෙමු. [අල් කුරානය 18:29]

නුඹගේ පරමාධිපති අභිමත වූයේ නම් මහපොළොවේ වෙසෙන සියලු දෙනා එකහෙළාම විශ්වාස කරන්නට ඉඩ තිබුණි. ඔවුන් විශ්වාස කරන්නවුන් වීමට නුඹ ජනයාට බල කරන්නෙහිද? [අල් කුරානය 10:99]

දහමේ කිසිම බල කිරීමක් නොමැත යැයි අල් කුරානය පවසන නිසා කෙනෙක් ඉස්ලාම් දහම හැර ගියා කියන එකම කාරණය මත ඔහුට දඬුවම් නියම කිරීම ඉස්ලාම් දහමට පටහැනි බව ඔබට සරලවම අවබෝධ කරගන්න පුළුවන්. පහත කුරාන් වැකි දිහා මදක් අවධානයෙන් බලන්න.

විශ්වාස කර ඉන්පසුව ප්‍රතික්ෂේප කර නැවතත් විශ්වාස කර නැවතද ප්‍රතික්ෂේප කර ඉක්බිතිව අවිශ්වාසයෙහි දැඩිව සිටින කවරෙක් වීද කිසි දිනෙක ඔවුනට අල්ලාහ් සමාවක් නොදෙන්නේය. තවද ඔහු ඔවුන් යහමඟට යොමු නොකරන්නේය [අල් කුරානය 4:137]

තමන් වෙත පැහැදිලි සාක්ෂි පැමිණිය පසු, මෙම දූතයා (මුහම්මද්) සත්‍යවන්තයෙක් බව අවබෝධ කරගෙන විශ්වාස කර පසුව ප්‍රතික්ෂේප කල සමූහයාට අල්ලාහ් යගමඟ පෙන්වන්නේ කෙසේද? අපරාධකාරයින්ට අල්ලාහ් යහමඟ පෙන්වන්නේ නැත. ඔවුන් වෙත අල්ලාහ්ගේ ශාපයද සුර දූතයන් (මලාඉකාවරුන්) ගේ ඒ වගේම අනෙකුත් (යහ) පිරිසගේ ශාපය තිබීමම ඔවුන්වෙනුවෙන් ඇති දඬුවමයි. එහි ඔවුන් නිරන්තරයෙන්ම සිටින්නෝය. මින්පසු පශ්චාත්තාප වී නිවැරදි කරගන්නා අය හැර අන් යට වේදනාව ලිහිල් කරනු ලබන්නේ නැත. අල්ලාහ් ක්ෂමාකරන්නාය, අසමසම දයාන්විතයාය. විශ්වාස කල පසු ප්‍රතික්ෂේප කර, ඉක්බිතිව අවිශ්වාසය වැඩි කරගත් අයවන ඔවුන්ගේ පව් ක්ෂමාව කිසිවිටෙක බාරගනු නොලැබේ. ඔවුහුමය දුර්මාර්ගිකයෝ [අල් කුරානය 3:86,87,88,89,90]

ඉස්ලාමය හැර යන කෙනෙකුට ඉස්ලාම් දහම මරණ දඬුවම නියම කරනවානම් එය පැවසීමට සුදුසුම ස්ථානය ඉහත කුරාන් වැකි ඇති ස්ථානයයි. ප්‍රතික්ෂේප කරන්නාට හිමි වන්නේ මරණ දඬුවම නම් ඔහුටු නැවත විශ්වාස කිරීමට අවස්තාවක් හිමිවෙන්නේ නැහැ. නමුත් එසේ විශ්වාස කිරීමට පුළුවන් කියන අදහස ඉහත කුරාන් වැකිය පැහැදිලිවම පවසනවා. “විශ්වාස කර ඉන්පසුව ප්‍රතික්ෂේප කර නැවතත් විශ්වාස කර….” යන වචනවලින් මෙම අදහස පැහැදිලිවම ප්‍රකාශ වෙනවා. ඔවුන්ට හිමි වන දඬුවම මරණ දඬුවම නොව ශාපය බවත් පැහැදිලිවම ඉහත කුරාන් වැකිය ප්‍රකාශ කරනවා.

මෙයින් එහා කිසිම සංවාදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. දුරාචාරය, බලහත්කාරකම්, මිනීමැරුම් වලට මරණ දණ්ඩනය නියමිත බව පවසන අල් කුරානයේ, ඉහලම පාපය වන මැවුම්කරුව ප්‍රතික්ෂේප කිරීමේ පාපයට මරණ දඬුවමක් නියමිත නම් එය පැහැදිලිව සඳහන් වියයුතුයි. නමුත් එවන් එගැන්වීමක් අල් කුරානයේ සඳහන් වෙන්නේ නැහැ.

එසේනම් ඇතැමුන් “මුස්ලිම්වරයකු ඉස්ලාම් දහම හැර යනවානම් ඔහුට මරණ දඬුවම දිය යුතුයි” යන නීතිය ඉස්ලාම් දහමේ තිබෙනවා යයි පැවසීමට හේතුව කුමක්දැයි ඔබ දැන් සිතනවා වෙන්න පුළුවන්. මෙයට හේතුව ඉස්ලාමිය නීති මූලාශ්‍රයන් හරිආකාරව ගවේෂණය නොකිරීම හා විවිධ කාරණා සඳහා ඇති නීති; ඉස්ලාමීය නීති මුලාශ්‍ර වලින් ලබා ගන්නා නිවැරදි ක්‍රමවේදය ඔවුන් නොදැනීමයි.

අපි සාකච්චා කරන මාතෘකාව පිළිබඳව ඉස්ලාමයේ දෙවන නීති මූලාශ්‍රය වන නබි මුහම්මද් (සල්) තුමාගේ අණ, ක්‍රියා කලාපයන්,අනුමැතියන් පවසන්නේ කුමක්ද කියල දැන් අපි අවධානය යොමු කරමු.

හුදෛබියා ගිවිසුම ඇතිකරගන්නා අවස්ථාවේදී මක්කාවේ සිටි (මුස්ලිම් නොවන) කුරෛශිවරු නබි (සල්) තුමාට, “අපගේ කවුරුන්හෝ ඔබට එක්වුනොහොත් ඔහුව නැවත අප වෙත එවිය යුතුයි. ඔබගේ කවුරුන්හෝ ඔබෙන් වෙන් වී අපවෙත පැමිණියේ නම් අපි ඔහුව නුඹ වෙත යවන්නේ නැහැ” යැයි පැවසුවෝය. [මුලාශ්‍රය: මුස්නද් අහ්මද්: පුවත් අංක 18512]

නබි මුහම්මද් (සල්) තුමා විසින් අනුමත කල මේ ගිවිසුම දිහා බලන කෙනෙකුට, ඉස්ලාමය හැර යන්නෙකුට මරණ දඬුවමක් දියයුතු බව ඉස්ලාම් දහම පවසන්නේ නැහැ කියන පැහැදිලි සත්‍ය වටහා ගන්න පුළුවන්. නබි තුමාගෙන් වෙන්ව, එනම් ඉස්ලාමයෙන් වෙන්වී මුස්ලිම් නොවන කුරිශිවරුන් සමඟ යෑමට මුහම්මද්(සල්) තුමා අනුමැතිය ලබා දෙනවා. ඉස්ලාම් දහම හැර යන්නාට මරණ දඬුවම හිමිවිය යුතුනම්, ඉස්ලාමයේ නීතියට පටහැනි ගිවිසුමකට නබි තුමා අනුමැතිය අනුමැතිය දෙන්නේ නැහැ. කුමන මිනිසෙකු වෙනුවෙන්වත් ඔහු ඉස්ලාම් දහමේ නීති මගහැරියේ නැහැ.

හුදෙක්ම ඉස්ලාම් දහම හැර යාම නිසා කෙනෙකුට මරණ දඬුවම හිමිවෙන්නේ නැහැ කියන එක දැන් ඔබට පැහැදිලි ඇති යැයි අපි විශ්වාස කරනවා.

නමුත් කෙනෙක් ඉස්ලාම් දහම හැර ගොස් ඉස්ලාමීය ආණ්ඩුවට එරෙහිව කැරලිගසනවානම්, කුමන්ත්‍රණ කරනවානම්, යුධ රහස් සතුරන්ට ලබා දෙනවා නම් එවන් පුද්ගලයකුට එක් දඬුවමක් වශයෙන් මරණ දඬුවම නියම කිරීමේ අයිතිය ඉස්ලාමීය රජයට තිබෙන බව ඉස්ලාම් දහම පවසනවා. විකල්පයක් වශයෙන් මෙවන් කැරලිකරුවෙකුව රටෙන් පිටමං කරන්නත් ඉස්ලාමීය රජයට පුළුවන් බව ඉස්ලාම් දහම පවසනවා. ආණ්ඩුවකට එරෙහිව කැරලිගසන්නෙකුට මෙලෙස දඬුවම් දීමේ නීති ඉස්ලාමයට පමණක් ආවේනික දෙයක් නොවෙයි. මෙවන් නීති ඇති විවිධ රාජ්‍යයන් අපිට දැක ගන්න පුළුවන්. මෙවන් නීති ලංකාවෙත් තිබෙනවා [1][2][3][4].

ඉස්ලාම් දහමේ මෙම නීතිය ඉස්ලාමීය නීති මුලාශ්‍ර වල විවිධ ස්ථාන වල සඳහන් වෙනවා. ඇතැම් ස්ථාන වල සවිස්තරාත්මකවද ඇතැම් ස්ථාන වල කොටස් වශයෙන්ද මෙම නීතිය සඳහන් වෙලා තිබෙනවා.

අල්ලාහ්ගේ පණිවුඩකරුවා(මුහම්මද් [සල්]) පැවසුවා “අවස්ථා තුනකදී හැර මුස්ලිම්වරයකුගේ ලෙය හෙලීම(මරණ දඬුවම දීම) සිදු කිරීමට අනුමැතිය නැත. විවාහිකව සිට දුරාචාරයේ හැසිරෙන්නාව ගල් ගසා මරා දැමිය යුතුයි. තවත් මිනිහෙක්ව හිතුමතාම ඝාතනය කල පුද්ගලයාව මැරිය (මරණ දඬුවම දිය) යුතුයි. ඉස්ලාමය හැර ගොස් අල්ලාහ් සමඟද නබි(සල්) තුමා සමඟද යුද්ධ කරන්නාව මැරිය (මරණ දඬුවම දිය) යුතුයි, නැතිනම් කුරුසයේ ගැසිය යුතුයි, නැතිනම් රටෙන් පිටමං කල යුතුයි. [මුලාශ්‍රය අන් නසාඉ: පුවත් අංක 4053]

අල්ලාහ් සමඟද නබි(සල්) තුමා සමඟද යුද්ධ කරන්නා යනු ඉස්ලාමිය ඉගැන්වීම් මත පදනම් ආණ්ඩුවකට එරෙහිව කරයුතු කිරීමයි. අල්ලාහ් සමඟද නබි(සල්) තුමා සමඟද යුද්ධ කිරීම යන්නට තවත් අදහසක් තිබෙනවා .එනම් මුස්ලිම්වරයෙකු යයි පවසමින් ඉස්ලාමීය ආණ්ඩුවට අවනත නොවී ඉස්ලාමීය ඉගැන්වීම් වෙනස්කිරීම අල්ලාහ් සමඟද නබි(සල්) තුමා සමඟද යුද්ධ කිරීම යැයි පවසනු ලබනවා.

හුදෙක්ම ඉස්ලාම් දහම හැර යාම නිසා කෙනෙකුට මරණ දඬුවම හිමිවෙන්නේ නැති බවත් මරණ දඬුවමට අදාළ වෙන්නේ ඉස්ලාම් දහම හැර ගොස් ඉස්ලාමීය ආණ්ඩුවට එරෙහිව කැරලිගසන්නා හා තමා මුස්ලිම් යැයි පවසමින් ඉස්ලාම් දහම විකූර්ති කරන්න හදන්නා බව දැන් ඔබට හොඳින්ම පැහැදිළි ඇති.

මෙම නීතිය විස්තරාත්මක නොව කෙටියෙන් සඳහන් ස්ථානයක් ඉස්ලාමීය මුලාශ්‍ර වල සඳහන්. බොහෝ දුරට ඉස්ලාමය විවේචනය කරන අය උපුටා දක්වන්නේ එම පුවතයි. නමුත් එම පුවතේ සඳන් කරුණු පමණක් සලකා ඉස්ලාමීය නීතියක් අවබෝධ කරගන්න බැහැ. යම් නීතියක් පිලිබඳ පැහැදිලි අවබෝධයක් අවශ්‍යනම් ඒ සම්බන්ඳ සියලු කුරාන් වැකි, නබි වදන් සියල්ල සැලකිය යුතුයි. හුදෙක්ම එක පුවතක් දිහා බලා තීරණය ගැනීම නිවැරදි ක්‍රමයක් නොවේ. දැන් එම පුවත දිහා බලමු.

අලී (රලි) තුමා වෙත සනාදිකා(ඉස්ලාමීය ආණ්ඩුවට අවනත නොවූ, ඉස්ලාමීය ඉගැන්වීම් විකූර්ති කරමින් සිටි පිරිස) නම් පිරිසගේ ඇතැමෙක් ගෙන එනු ලැබූවා. අලි(රලි) තුමා ඔවුන්ට ගිනිතබා මරා දැමුවා. මෙම පුවත අබ්බාස් (රලි) තුමා වෙතට ගියා. එවිට ඔහු ” මමනම් ඔවුන්ට ගිනි තියන්නේ නැහැ. හේතුව නබි (සල්) තුමාණෝ ‘ අල්ලාහ් පමුණුවන දඬුවම (ගින්න) නියම කර (කවරෙකුවත්) දඬුවම් කරන්න එපා’ යැයි පැවසුවා. එසේ නොව, ‘කවුරුන් තම මාර්ගය වෙනස් කරගන්නේද ඔවුන්ට මරණ දඬුවම නියම කරන්න’ යැයි පැවසු ප්‍රකාශයට අනුව ඔවුන්ට මම මරණ දඬුවම නියම කරන්නෙමි” යැයි පැවසුවා. [මුලාශ්‍රය : සහිහ් බුහාරි: පුවත් අංක 6922]

‘කවුරුන් තම මාර්ගය වෙනස් කරගන්නේද ඔවුන්ට මරණ දඬුවම නියම කරන්න’ යන වාක්‍ය දිහා පමණක් බලමින් ඉස්ලාමය හැර යන්නන්ට මරණ දඬුවම නියම කලයුතු බව ඉස්ලාම් දහම ප්‍රකාශ කරනවා කියන වැරදි අදහස විවේචකයන් ඉදිරිපත් කරනවා. කලින් සඳහන් කලාක් මෙන් මෙම වාක්‍ය දිහා පමණක් බලා ඉස්ලාමීය නීතියක් නිසි ආකාරව අවබෝධ කරගන්න බැහැ. අනිත් කරුණ නම් විවේචකයන් ප්‍රකාශ කරන මෙන් “ඉස්ලාමය” කියන වචනය ඉහත පුවතේ අරාබි පිටපත්වල සඳහන් වෙන්නේ නැහැ.

‘කවුරුන් තම මාර්ගය වෙනස් කරගන්නේද ඔවුන්ට මරණ දඬුවම නියම කරන්න’ යන වාක්‍ය පමණක් සලකනවා නම් වෙනත් දහමක සිටින කෙනෙකු ඉස්ලාම් දහමට පැමිණුනත් ඔහුටත් මරණ දඬුවම නියම කල යුතුයි. හේතුව එහිදී ඔහුට තම දහම(මාර්ගය) වෙනස් කල යුතු වීමයි. මෙවන් ව්‍යාකූල අදහසක් ලැබෙන්නේ හුදෙක්ම මෙම පුවත දිහා පමණක් බලා ඉස්ලාමීය නීති අවබෝධ කරගන්න යන නිසයි. ඉහත පුවත නිසි ආකාරව තේරුම් ගැනීමේ ක්‍රමය අල් කුරානයේ පැහැදිලිව සඳහන් වැකි වලටත් නබි තුමාගේ ක්‍රියා කලාපයටත් පටහැනි ආකාරයක අදහසක් ඉහත පුවතට ආරූඩ කිරීමද? නොඑසේ නම් ඊට පටහැනි නොවන ලෙස එම පුවත අවබෝධ කරගැනීමද ? විවේචකයා ඉහත පුවත මත පමණක් තම අවධානය යොමු කරන්නේ ඉස්ලාම් දහම කෙසේ හෝ විවේචනය කල යුතුයි යන අරමුණෙන් මිසක් සත්‍ය වටහාගන්නා අරමුණෙන් නොවෙයි.

ඉහත පුවතේ සඳහන් සිද්දිය නිසි ආකාරව අවබෝධ කරගන්න පුළුවන් සාක්ෂි ඉස්ලාමීය ඉතිහාසය ගැන සඳහන් පොත්වල දැක ගන්න පුළුවන්.

අලි (රලි) , අබ්බාස් (රලි) කියන්නේ නබි මුහම්මද් (සල්) තුමාගේ මිතුරෝ. ඉහත පුවතේ සඳහන් සිද්දිය සිදුවෙන්නේ මුහම්මද් (සල්) තුමාගේ මරණෙන් පසුවයි. මුහම්මද් (සල්) තුමාගේ මරණෙන් පසුව ඉස්ලාමීය රජයේ නායකත්වය අබුබක්කර් (රලි) තුමාටත් , ඔහුගෙන් පසුව උමර් (රලි) තුමාටත්, ඔහුගෙන් පසුව උස්මාන්(රලි ) තුමාටත්, ඔහුගෙන් පසුව අලි (රලි ) තුමාටත් හිමිවුණා. අලි (රලි ) තුමාගේ කාලයේ අබ්දුල්ලාහ් ඉබ්නු සබා නමැති යුදෙව්වෙක් මුස්ලිම් වෙසින් පැමිණ ඉස්ලාම් දහම විකූර්ති කරන්න කුමන්ත්‍රණය කළා. අලි (රලි) තුමාට දේවත්වයක් අරූඩ්කරමින් අලි (රලි ) කියන්නේ අල්ලාහ් යැයි පවසන තරමට ඔහු මුස්ලිම් සමාජය නොමඟ යැව්වා. අලි (රලි) තුමාට රහස් ඥානයක් තිබෙන බව කතාවෙන් කතාව වැඩි වුණා. මෙම නොමඟ යෑම පිළිබඳව මෙම පිරිසට කිහිපවතාවක්ම අවවාද කලද රාජ්‍ය අණ නොසලකා ඉස්ලාම් දහමේ ඉගැන්වීම් විකුර්ති කරීම මොවුන් සිදු කළා. ඉස්ලාමීය රජයට අවනත නොවීම නිසාත්, ඉස්ලාම් දහමේ ඉගැන්වීම් විකූර්ති කිරීම නිසාත් අලි(රලි) තුමා මොවුන්ට මරණ දඬුවම ලබා දුන්නා. නමුත් ඔහු මෙම පුද්ගලයන්ව ගින්නෙන් පිළිස්සීම ඉස්ලාම් දහමට අනුව වැරදියි. මෙම ඓතිහාසික සිදුවීම ඉබ්නු හජර් නම් ලේඛකයා විසින් ෆාතුහුල් බාරි නම් තම පොතේ සඳහන් කර තිබෙනවා, ඉමාම් ශාව්කානි තුමාද මෙම සිදුවීම තම පොතේ සඳහන් කර තිබෙනවා.

මේ අනුව හුදෙක්ම ඉස්ලාම් දහම හැර ගිය පුද්ගලයෙකුට මරණ දඬුවම හිමි නොවන බව පැහැදිලියි. මරණ දඬුවමට අදාළ වෙන්නේ ඉස්ලාම් දහම හැර ගොස් ඉස්ලාමීය ආණ්ඩුවට එරෙහිව කැරලිගසන්නා හා තමා මුස්ලිම් යැයි පවසමින් ඉස්ලාම් දහම විකූර්ති කරන්න හදන්නා බව දැන් ඔබට හොඳින්ම පැහැදිළි ඇති.

කෙනෙකු ඉස්ලාම් දහම හැර ගොස් වෙනත් දහමක් අදහන්නේ නම්, ඔහු ඉස්ලාමීය ආණ්ඩුවට එරෙහිව කැරලි නොගසන්නේ නම් ඔහුට මරණ දඬුවම දෙන ලෙස ඉස්ලාම් දහම කිසිවිටකත් පවසන්නේ නැහැ.

මූලාශ්‍රයන්.
[1] http://www.youtube.com/watch?v=7tHlSZnrUiE (මෙම චලනරූප කිසිම දේශපාලනමය අරමුණක් සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න)
[2] http://www.defence.lk/new.asp?fname=20100507_05
[3] http://www.island.lk/2010/05/06/news2.html
[4] http://www.deathpenaltyworldwide.org/country-search-post.cfm?country=Sri+Lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *