මරියම් තුමිය සමඟ කතා කළ සුර දූතයින්ගේ සංඛ්‍යාව?

අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය වෙවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර් ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්.

මරියම් තුමිය සමඟ කතා කළ සුර දූතයින්ගේ සංඛ්‍යාව?

ඉම්රාන්ගේ දුව වන මරියම් තුමිය ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨ කාන්තාවක්. මරියම් තුමිය කුඩා කාලයේදීම තම මව ඇයව ආගමික වැඩකටයුතු සඳහා දේවස්ථානයට යොමු කළ අතර එහිදී මැගේ භාරකරුවා ලෙස කටයුතු කළේ සකරිය්යා තුමයි. මෙසේ තම ජීවිතය ගත කරමින් සිටි කන්‍යාවක් වූ මරියම් තුමිය පිරිමියෙකුගේ මැදිහත් වීමකින් තොරවම දරුවෙකු පිළිසිඳ ගන්නා බව දෙවියන් දන්වා සිටියා. මෙම දරුවාගේ නම යෙහෙසුස්. මේ පිළිබඳ අල් කුර්ආනයේ මෙසේ සඳහන් වෙනවා.

“මර්යම්, අල්ලාහ් ඔබ තෝරා ගෙන පරිශුද්ධ කොට ලොව (අන්) ස්ත්‍රීන්ට වඩා ඔබ විශිෂ්ටත්වයට පත් කර ඇතැ”යි සුර දූතවරු (මර්යම්ට) ප්‍රකාශ කළ සැටි සිහි කරන්න. “මර්යම්, ඔබේ දෙවියන්ට යටත් පහත් වන්න. සජ්දා කරන්න. රුකුඋ කරන්නන් සමඟ රුකුඋ කරන්නැ”(යි දසුර දූතවරු ප්‍රකාශ කළහ.) මෙය ගුප්ත වූ පුවත් වලින් එකකි. (මුහම්මද්,) අපි ඔබට එය දැනුම් දෙන්නෙමු. මර්යම් භාර ගන්නේ ඔවුන්ගෙන් කවරෙක් දැයි (තීරණය කිරීමට) ඔවුන්ගේ පන්හිඳවල් විසි කළ විට ඔබ ඔවුන් සමඟ නොසිටියෙහි ය. ඔවුන් මේ ගැන විවාද කළ විට ද ඔබ ඔවුන් සමඟ නොසිටියෙහි ය.

“මර්යම්, අල්ලාහ් තම වචනය ගැන ඔබට සුබාරංචි කියයි. ඔහුගේ නම මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් ය. ඔහු මෙලොවදීත් පරලොවදීත් උසස් කෙනෙකුව ද (දෙවියන්ට) සමීප වූ කෙනෙකුව ද සිටින්නේ යැ”යි සුර දූතවරු ප්‍රකාශ කළ සැටි සිහි කරන්න. “ඔහු තොටිල්ලෙහි සිටින අවධියේ දී ද යෞවන අවධියේ දී ද ජනතාව සමඟ කථා කරයි. ඔහු සත් පුරුෂයෙකු ද වන්නේ යැ”(යි ද ප්‍රකාශ කළහ.) “දෙවියනි, කිසිඳු පුරුෂයෙක් මා ස්පර්ශ නොකර සිටිය දී මට දරුවකු හට ගන්නේ කෙසේ දැ”යි ඇය ඇසුවා ය. “මෙලෙස ය, අල්ලාහ්, තමා සිතූ දේ නිර්මාණය කරයි. ඔහු යමක් තීරණය කළ විට “වනු”යි පවසයි. එවිට වහාම එය සිදු වනු ඇතැ”යි (දෙවියන්) පැවසීය. [අල් කුර්ආනය 3:42-37]

මරියම් තුමිය වෙත සුරදූතයින් පිරිසක් පැමිණ ඇය දරුවෙකු පිළිසිඳ ගන්නා බවට සුබාරංචියක් ඉදිරිපත් කර පිටව යනවා. කන්‍යාවක් වූ මරියම් තුමියට මෙය අදහාගත නොහැකි පුවතක්. එනිසා ඇය දෙවියන්ගෙන් අසා සිටියේ  පුරුෂයෙකුගේ මැදිහත් වීමක් නොමැතිය තමා දරුවෙකු පිළිසිඳ ගන්නේ කෙසේද යන්නයි. මෙයට දෙවියන්, තමා දෙයක් සිතුවේ නම් ඒ දේ වන බව මරියම් තුමියට දන්වා සිටියා. මෙම පිළිතුර ලැබුණේ කෙසේද යන්න ඉහත කුර්ආන් වැකියේ සඳහන් වන්නේ නැහැ. එනිසා මෙම පණිවුඩය කෙලින්ම ඇගේ සිතේ ජනිත වී තිබෙන්නත් පුළුවන්. නොඑසේ නම් යම් සුරදූතයෙක් මෙම පණිවුඩය ලබා දෙන්නත් පුළුවන්. නොඑසේනම් ඍජුවම දෙවියන් මෙසේ පවසා තිබෙන්න පුළුවන්. (වහී මගින් හෝ තිරයකට පිටුපසින් සිට හෝ දූතයෙකු එවා තම කැමැත්ත පරිදි තමා සිතූ දේ දැනුම් දීම තුළින් හෝ මිස (වෙනත් මාර්ග වලින්) කිසිඳු මිනිසෙකු සමඟ අල්ලාහ් කථා නොකරයි. ඔහු උත්කෘෂ්ටයෙකි¦ ප්‍රඥාවන්තයෙකි. [අල් කුර්ආනය 42:51])

මෙම සිදුවීමෙන් පසුව දේවස්ථානයෙන් වෙන්ව ගිය මරියම් තුමිය තිනියෙන් ජීවත් වූ අතර එවිට සිදු  වූයේ කුමක්ද යන්න පහත කුර්ආන් වැකි වල සඳහන් වෙනවා.

ඇය ඔවුන් ගෙන් වෙන්ව තිරයක් දමා ගත්තා ය. අපි ඇය වෙත රූහ් (ජිබ්රීල්) එවීමු. ඔහු සම්පූර්ණ මිනිස් වෙසින් ඇයට දිස්විය. “ඔබ බිය බැතිමතෙක් නම් ඔබ කෙරෙන් අසීමිත කරුණාවන්තයා වෙත මම ආරක්ෂාව පතමි”යි (මර්යම්) පැවසුවා ය. “මම ඔබට පිවිතුරු පුතකු තිළිණ කිරීමට (පැමිණි) ඔබේ දෙවියන්ගේ දූතයා වෙමි”යි ඔහු පැවසීය. “කිසිඳු පුරුෂයෙක් මා ස්පර්ෂ නොකර සිටිය දී ද මම අශීලාචාර ස්ත්‍රීයක් නොවී සිටිය දී ද මට පුතෙකු හට ගන්නේ කෙසේ දැ”යි (මර්යම්) ඇසුවා ය. “එලෙස යැ”යි (දෙවියන්) පැවසීය. එය මට පහසු ය. අපි ඔහු මිනිසුනට සාධකයක් ද අප වෙතින් වූ දයාවක් ද කරන්නෙමු. මෙය ඉටු කරනු ලැබිය යුතු අණක් යැ”යි ද ඔබේ දෙවියන් ප්‍රකාශ කළේ යැ”(යි ජිබ්රීල් පැවසීය). [අල් කුර්ආනය 19:17-21]

සුරදූතයින් සුභාරංචි පැවසු දරුවාව තිලිණ කිරීම සඳහා ජිබ්රීල් නම් සුර දූතයා මිනිස් වෙසින් වෙන්ව ජීවත්වූ මරියම් තුමිය වෙත පැමිණිය බවත් පැමිණියේ සුරදූතයෙක් බව නොදත් මරියම් තුමිය අල්ලහ්ගෙන් ආරක්ෂාව පැතු බවත් ඉහත කුර්ආන් වැකිය පවසනවා. එවිට තම දෙවි සිට පැමිණි සුර දූතයා බව ජිබ්රීල් තුමා මරියම් තුමියට දන්වා සිටිනවා. කන්‍යාවක් ලෙස සිටිමින්, පුරුෂයෙකුගේ මැදිහත් වීමකින් තොරව දරුවෙකු පිළිසිඳ ගැනීම අදහාගත නොහැකි ආශ්චර්යමත් සිදු වීමක් නිසා ජිබ්රීල් තුමාගෙන්ද මරියම් තුමිය විමසා සිටියේ “කිසිඳු පුරුෂයෙක් මා ස්පර්ෂ නොකර සිටිය දී ද මම අශීලාචාර ස්ත්‍රීයක් නොවී සිටිය දී ද මට පුතෙකු හට ගන්නේ කෙසේ ද” යන්නයි. මෙම ප්‍රශ්නයට ජිබ්රීල් තුමා පිළිතුරු දුන්නේ : “එලෙස යැයි (දෙවියන්) පැවසීය. එය මට පහසු ය. අපි ඔහු මිනිසුනට සාධකයක් ද අප වෙතින් වූ දයාවක් ද කරන්නෙමු. මෙය ඉටු කරනු ලැබිය යුතු අණක්” යැයි දෙවියන් ප්‍රකාශ කළ බවයි.

මින් පසුව මරියම් තුමිය දේව බලයෙන් දරුවෙකු පිළිසිඳ ගත් අතර එම දරුවා වූයේ යෙහෙසුස් තුමායි.

කෙසේහෝ අල් කුර්ආනයේ දෝෂයක් සොයා අල් කුර්ආනය අල්ලාහ්ගේ වචනය නොවන බව ඔප්පු කරන්න උත්සහ දරන ඇතැම් නූතන විවේචකයන් පවසන්නේ ඉහත 3:42-37 වැකි හා 19:17-21 එකිනෙක පරස්පරවිරෝධී වන බවයි. එනම් 3:42-37 වැකි හා 19:17-21 යන වැකි එකම සිදු වීමක් පැහැදිලි කරන බව පවසන ඔවුන් 3:42-37 වැකි වලට අනුව මරියම් තුමිය සමඟ කතා කළේ සුරදූතයින්(එකකට වඩා වැඩි ප්‍රමාණයක්) බවත් 19:17-21 වැකි වලට අනුව මරියම් තුමිය සමඟ කතා කර තිබෙන්නේ එක් සුර දූතයෙක් (ජිබ්රීල් සුරදූතයා) බවත් මෙම විවේචකයන් පවසනවා. එනිසා මරියම් තුමිය සමඟ කතා කළ සුරදූතයින්ගේ සංඛ්‍යාවේ පරස්පරවිරෝධීතාවයක් තිබෙනවා යන්න මොවුන්ගේ චෝදනාවයි. කෙසේනමුත් 3:42-37 වැකි හා 19:17-21 වැකි වලින් කරුණු ඉදිරිපත් වන්නේ එකම අවස්ථාවක් නොව අවස්ථා දෙකක් බව මෙම වැකි අවධානයෙන් කියවීමේදී පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්.

3:42-37 වැකි වලින් ඉදිරිපත් වන්නේ සුරදූතයන් පැමිණ මරියම් තුමියට දරුවෙකු පිලිබඳ සුබාරංචියක් පැවසීම හා ඒ පිළිබඳව මරියම් තුමිය දෙවියන්ගෙන් ඍජුවම විමසා සිටි පුවතයි. නමුත් 19:17-21 වැකි වලින් ඉදිරිපත් වන්නේ සුබාරංචියේ සඳහන් දරුවා තිලිණ කිරීමට ජිබ්රීල් තුමා පැමිණීම හා ඒ පිළිබඳව මරියම් තුමිය ජිබ්රීල් තුමාගෙන් විමසා සිටි පුවතයි. එනිසා මෙම වැකි වල කිසිඳු පරස්පරවිරෝධීතාවයක් නැහැ.

3:42-37 වැකි හා 19:17-21 යන වැකි එකම සිදු වීමක් පැහැදිලි කරන බව මොහොතකට සිතුවත් මරියම් තුමිය හා කතා කළ සුරදූතයින්ගේ සංඛ්‍යාවේ පරස්පරවිරෝධීතාවයක් තිබෙන බව පවසන්න බැහැ. මෙයට හේතුව එක් පුද්ගලයෙකුගේ ක්‍රියාවක් යම් කණ්ඩායමක ක්‍රියාවක් ලෙස සැලකීම එදිනෙදා ව්‍යවහාරයේ භාවිතා කරන සාමාන්‍ය ක්‍රමයක්. උදාහරණයක් ලෙස පාපන්දු තරඟයක් සලකන්න. මෙහිදී එක් ක්‍රීඩකයෙක් එක් ගෝලයක් වාර්තා කළා යැයි සිතමු. මෙහිදී, ඇතැම් විට මෙම ක්‍රීඩකයා ගෝලයක් වාර්තා කළා යැයි අප පවසනවා, ඇතැම් විට අසවල් කණ්ඩායම ගෝලයක් වාර්තා කළා යැයිද අප පවසනවා. මෙම ප්‍රකාශ දෙක පරස්පරවිරෝධී නොවන බව ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මේ අකාරයෙන්ම ජිබ්රීල් තුමාගේ නායකත්වයෙන් සුරදූතයින් රාශියක් මරියම් තුමිය වෙත පැමිණිය බවත් එහිදී ජිබ්රීල් තුමා දරුවෙකු පිලිබඳ පැවසු සුබාරංචිය සුරදූතයින්ගේ ප්‍රකාශයක් බවත් සලකන්න පුළුවන්.

මේ අනුව පෙනී යන්නේ විවේචකයන්ගේ චෝදනාවට කිසිඳු ඉඩක් නොමැති බවයි.


අල් කුර්ආනයේ තිබෙනවා යැයි විවේචකයන් සලකන පරස්පරවිරෝධීතා සඳහා පැහැදිලි කිරීම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *