හලාල් හරාම් යනු කුමක්ද?

අපගේ ජීවිතයේ ඇති නොයෙකුත් අවශ්‍යතා (භෞතික, ලෞකික හෝ අධ්‍යාත්මික) නිසි ආකාරයට අංග සම්පූර්ණ කර ගැනීම මගින්, දේව විඥාණයක් සහිත යහපත් මිනිසුන් ලෙස අපගේ මෙලොව ජීවිතයේ වගකීම සපුරාලීම උදෙසා අවශ්‍ය කෙරෙන අංග සම්පූර්ණ පැහැදිලි ජීවන මාර්ගයක්  අල්ලාහ් විසින් අපට පෙන්වා දී ඇත.

මෙසේ ජීවන මාර්ගය පැහැදිලි කිරීමේදී ඇතැම් අංගයන් හෝ ක්‍රියාවන් අනිවාර්‍ය වශයෙන් කළ යුතු හා කළ හැකි දෑ (අරාබි බසින් හලාල්) ලෙසද තවත් සමහරක් තහනම් ක්‍රියාවන් (අරාබි බසින් හරාම්) හෝ නොකල යුතු දෑ හෙවත් පාපකාරී ක්‍රියා ලෙසද වර්ග කර ඇත. මෙම ප්‍රධාන අංග දෙක වන කළයුතු සහ නොකළයුතු යන අංග දෙකට අයත් නොවන දෑ ඒ ‍දෙක අතර වූ විවිධ මට්ටම් වලට ඒවායේ වලංගු හෝ තහනම් භාවයේ මට්ටම මත බෙදා දැක්විය හැක. (එනම් කිරීමට උනන්දු කර ඇති දේ, සහ නිශ්ක්‍රීය හෙවත් තහනමක් හෝ දිරිගැන්වීමක් කර නොමැති ක්‍රියා, දිව්‍ය අප්‍රසාදය හෙවත් අකමැත්තට පත් ක්‍රියාවන්)

මානව හැදියාව කෙරෙහි බලපාන මූලික නීති

අල්ලාහ් අප සැමගේ නිර්මාතෘවරයා වන බැවින් අප සැමට වඩා යහපත් කුමක්දැයි යන්න පිලිබඳව නිසි දැනුම සහ ඥානය උන්වහන්සේ වෙත ඇත. එබැවින් යමක් හලාල් හෝ හරාම් ලෙස වර්ග කිරීම උන්වහන්සේට පමණක්ම අයත්වූ කාර්යයකි. එබැවින් උන්වහන්සේ විසින් යමක් තහනම් කළේ හෝ වලංගු කළේ නම් එය හුදෙක් අර්ථ විරහිත වූවක් නොව ඒ පසුපස කිසියම් වැදගත් හේතු සාධකයක්, පැහැදිලි අර්ථකථනයක් වේ. ඇතැම් විට මේ සියළු දේට පාදක වූ හේතූන් මනුෂ්‍ය මනසින් පූර්ණ වශයෙන් අපට අවබෝධ කරගත හැකි අතර ඇතැම් දේ අපට අපගේ මනසින් අවබෝධ කරගත නොහැක. විශ්වයේ ක්‍රියාකාරීත්වයට අදාල වූ ස්වභාවික න්‍යායන් සියල්ලට පටහැනි නොවන ලෙස, ප්‍රායෝගික හේතූන් සහිතව අනුගමනය කිරීමට ඉතා පහසු ආකාරයෙන් කිසිදු ව්‍යාකූලත්වයක් ඇති නොවන පරිදි අල්ලාහ් විසින් මෙම වලංගු සහ අවලංගු හෙවත් හලාල් සහ හරාම් පද්ධතිය අප හට ලබා දී ඇත. එබැවින් මුස්ලිම් වරුන් වශයෙන් අප සැම මෙම පද්ධතියට අනුකූලව කටයුතු කළ යුතු වේ.

එබැවින් අල්ලාහ් සහ උන්වහන්සේගේ රසූල් වර (මානව දූත) යාණන් විසින් පනවා ඇති මෙම නීතිරීති පද්ධතිය හමුවේ, තමන්ගේ කැමැත්තට අනුකූලව ඒවා වෙනස් කරලීමට හෝ ඒ සම්බන්ධව තමන්ගේ අදහස් ගෙනහැර පෑම හෝ දේව විශ්වාසිකයෙකුට ඔබින ක්‍රියාවක් නොවේ.

අල්ලාහ් සහ උන්වහන්සේගේ රසූල්වරයාණන් විසින් යමක් තීරණය කළ විට, ඒ පිලිබඳ විකල්ප ගෙනහැර දැක්වීම දේව විශ්වාසය ඇති කාන්තාවකට හෝ පුරුෂයෙකුට ඔබින ක්‍රියාවක් නොවේ. යමෙකු අල්ලාහ් සහ උන්වහන්සේගේ රසූල්වරයාට අකීකරු වන්නේද ඇත්ත වශයෙන්ම ඔහු හෝ ඇය පැහැදිලි ලෙසම වැරදි මග වන්නෝය.

අල්-කුර්ආනය, සූරා අල් අන්සාබ් 33: 36

හලාල් සහ හරාම් සම්බන්ධව මූලික න්‍යාය

පොදුවේ ගත්කල දේව වචනය වන ශුද්ධවූ අල්-කුර්ආනය සහ නිවැරදි ලෙස වාර්තා ගතවූ සුන්නාහ්ව (නබිතුමාණන් මෙලොව සිටියදී එතුමාණන් කළ කී දේ) මගින් විශේෂයෙන් තහනම් නොකරන ලද සියළුම දේ හලාල් වේ. එයට හේතුව අල්ලාහ් විසින් සියළු දේ නිර්මාණය කර ඇත්තේ මිනිසා හට ප්‍රයෝජනවත් වන ආකාරයට බැවින් යම්කිසිවක් මිනිසාට හානිදායක හෝ අයහපත් (එනම් භෞතික සහ අධ්‍යාත්මික, සමාජමය සහ තාර්කික යන ආදී කිසිදු අයුරකින් සමාජමය ඒකකය වූ මිනිසාට හෝ මුළුමහත් සමාජයට හානිකර වූවක්) නොවන්නේ නම් අල්ලාහ් විසින් අපට ඒ දෙය තහනම් කර නොමැත.

ඔබ වෙනුවෙන් මේ පොලව මත ඇති සියළු දේ මවන ලද්දේ උන්වහන්සේය.

ශුද්ධවූ අල්-කුර්ආනය, සූරා අල් බකරාහ් 2:29

‍අල්ලාහ් ඔබ වෙත කිසිදු අපහසුතාවයක් ඇති කිරීමට හෝ බරක් පැටවීමට අකමැති අතර, උන්වහන්සේට අවශ්‍ය වනුයේ ඔබව පාරිශුද්ධත්වයට / පිරිසිදු බවට පත්කිරීම සහ ඒ තුලින් ඔබට පූර්ණ ප්‍රමාණයෙන් උන්වහන්සේගේ ආශිර්වාදයන් ලබාදීමටත් ඔබ උන්වහන්සේට කෘතඥ වන ආකාරය දැකීමටය.

අල්-කුර්ආනය, සූරා අල් මාඉදාහ් 5:6

එනමුත් ආගමික කර්තව්‍යයන් හිදී (ඉබාදතයන් හිදී) ඉහත සඳහන් න්‍යායට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ වූ න්‍යායක් භාවිතා කෙරේ. එනම් මෙහිදී නබි තුමාණන් විසින් උගන්වා හෝ පැහැදිලි කරදී නොමැති හෝ ශුද්ධවූ අල්-කුර්ආනය මගින් අනුමත කර නොමැති සියළුම ක්‍රියා තහනම් වේ. මෙයට හේතුව සියළු වන්දනා/ආගමික වතාවන් ඉටුකළ යුත්තේද අල්ලාහ් විසින් අප හට එය ඉටුකරලීමට අණකර ඇති හෝ නබිතුමාණන් මාර්ගයෙන් පැහැදිලි කරදී ඇති ආකාරයට පමණි.

ශුද්ධවූ අල්-කුර්ආනයෙහි සූරාහ් අෂ් ශුරා එනම් 42 වන පරිච්ඡේදයේ 21 වන වගන්තිය මගින් එය පැහැදිලි කෙරේ.

කිසියම් තහනම් (හරාම්) කාර්යයක් සඳහා පොලඹවන හෝ ඒ සඳහා උපකාර කෙරෙන හෝ යොමු කෙරෙන සියළු දේ ඉස්ලාමය මගින් තහනම් කෙරේ. මේ මගින් සියළු තහනම් ක්‍රියා සඳහා වූ දොර කවුළු සියල්ලම ඉස්ලාමය මගින් වසා දමා ඇත.

මේ අල්ලාහ් විසින් පනවා ඇති සීමාවන්ය. එබැවින් ඒ සීමාවන් (උල්ලංඝණය කිරීමට තබා) අසලකටවත් යාමට තැත් නොකරනු.

අල්-කුර්ආනය, අල් බකරාහ් 2:187


www.sanvaadaya.com වෙබ් අඩවියෙන් උපුටා ගන්න ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *