අල්ලාහ් පිළිගන්නේ කුමන ධර්මයද?

අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය විවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර්ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්.

අල්ලාහ් පිළිගන්නේ කුමන ධර්මයද?

අල්ලාහ් හමුවේ ධර්මය යනු ඉස්ලාම් ය. [අල් කුර්ආනය 3 : 19]

ඉස්ලාමය යන වචනයට අර්ථ දෙකක් ඇත. ඒවා නම්,

  1. අවනත වීම
  2. සාමය

සර්ව බලධාරී ඒකීය දෙවිඳුන්ට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ. මෙසේ අවනත වීම නිසා සාමය නැමැති භාග්‍ය හිමි වේ. මෙය ඉස්ලාම් යන පදයේ අර්ථයයි. සර්වබලධාරී ඒකීය දෙවිඳුන්ට අවනත වී සාමයෙන් ජීවත් වීම සඳහා දෙවිඳුන් විසින් මිනිසාට ලබා දී ඇති  ජීවත් වීමේ ජීවන ක්‍රමය “ඉස්ලාම් ධර්මය” ලෙස හැඳින්විය හැක. ඉස්ලාම් ධර්මය තුළ දෙවිඳුන් විසින් ලබා දුන් උපදෙස්, නීති රීති යනාදිය ඇතුළත් වන අතර මිනිසා විශ්වාස කළ යුතු අදෘශ්‍යමාන දේවල් මොනවාද යන්නත් විස්තර කර ඇත. තවද මිනිසාගේ ස්වාමියා වූ දෙවිඳුන් කවුරුන්ද? මිනිස් දිවියේ අරමුණ කුමක්ද යන්නත් ඉස්ලාම් ධර්මය තුළින් දෙවිඳුන් මිනිසාට කියා දී ඇත. මේ සියලු දේවල් දේව අනාවරණයන් වේ. පළමු මිනිසා වන ආදම් තුමා පටන් මිනිසාට ඉස්ලාම් නම් යහමඟ කියා දීම සඳහා දෙවිඳුන් විවිධ කාල වලදී විවිධ ප්‍රදේශ වලට විවිධ දේව පණිවුඩකරුවන් එම ජන සමාජයෙන්ම තෝරා පත් කර යැවූයේය.

අල්ලාහ් හමුවේ ධර්මය යනු ඉස්ලාම් ය. [අල් කුර්ආනය 3 : 19]

ඔහු නූහ් ට අවධාරණය කළ දැය ම නුඹලාටත් ධර්මයක් කළේය. (මුහම්මද්,) ඔබට අපි දැනුම් දුන්නේ ද ඉබ්රාහීම්, මූසා හා ඊසාට අපි අවධාරණය කළේ ද “ධර්මය පිහිටුවන්න. එහි භේද නොවන්න” යනුවෙනි. ඔබ කවරක් වෙතට කැඳවන්නෙහි ද එය සමානයන් කල්පනය කරන අයට මහා බරකි. අල්ලාහ් තමා සිතූ කෙනෙකු තමන් වෙනුවෙන් තෝරා ගනියි. ශිෂ්ට වන අයට තමා වෙතට මග පෙන්වයි. [අල් කුර්ආනය 42 : 13]

කාලානුරූපීව හා දෙශානුරූපීව ඇතැම් නීති රීති වල වෙනස්කම් තිබුනද මෙම දේව පණිවුඩකරුවන් සියල්ලම තම මිනිසුන්ට දේශනා කළේ එකම ඉස්ලාම් ධර්මයයි. එනම් සත්‍ය ඒකීය දෙවිඳුන්ට හැර වෙන කිසිවෙකුට හෝ කිසිවකට නමස්කාර නොකළ යුතු බවත් දෙවිඳුන්ගේ අණට අනුව ක්‍රියා කළ යුතු බවත් ඔවුන් දේශනා කළහ. මෙලෙස ඉස්ලාම් ධර්මයට අනුව ජීවත් වන්නන්ට මුස්ලිම්වරුන් (මු + ඉස්ලාම්, එනම් ඉස්ලාමය පිළිපදින්නා) යයි හඳුන්වනු ලැබේ.

නූහ් නමැති දේව පණිවුඩකරුවා තම ජනතාවට මෙසේ පවසා ඇත: “නුඹලා පිටු පෑවොත් (ඒ ගැන මට දුකක් නැත). මම නුඹලාගෙන් කිසිඳු කුලියක් නොඉල්ලූවෙමි. මාගේ කුලිය අල්ලාහ් වෙත ඇත. මම මුස්ලිම්වරයෙක් වන මෙන් අණ වන ලද්දෙමි”(යි ද ඔහු පැවසීය). [අල් කුර්ආනය 10 : 72] 

ඉබ්‍රාහීම් නම් දේව පණිවුඩකරුවාද යාකූබ් නම් දේව පණිවුඩෙකරුවාද මෙසේ පවසා ඇත: “මාගේ දරුවනි, අල්ලාහ් නුඹලාට මෙම ධර්මය තෝරා දී ඇත. මුස්ලිම්වරුන් ලෙසින් මිස නුඹලා මරණයට පත් නොවිය යුතුයැ”යි ඉබ්‍රාහිම් ද යඃකූබ් ද තම දරුවන්ට අවධාරණය කළ හ.” [අල් කුර්ආනය 2 : 132]

මූසා නම් දේව පණිවුඩකරුවා මෙසේ පවසා ඇත:  “මාගේ ජනතාවනි, නුඹලා අල්ලාහ් ගැන විශ්වාස කොට මුස්ලිම්වරුන් වුවහොත් ඔහු කෙරෙහි ම රඳා පවතින්නැ”යි මූසා පැවසීය.” [අල් කුර්ආනය 10 : 84]

යේසුස් තුමාගේ සත්‍ය අනුගාමිකයෝ මෙසේ පවසා ඇත: “ඊසා ඔවුන් වෙත (දේව) ප්‍රතික්ෂේපය අවබෝධ කර ගත් විට “අල්ලාහ් වෙනුවෙන් මට උදව් කරන්නෝ කවරෙහු දැ”යි ඇසීය. “අපි අල්ලාහගේ උදව්කරුවෝ වෙමු. අපි අල්ලාහ් ගැන විශ්වාස කළෙමු. අපි මුස්ලිම්වරුන් බවට ඔබ ම සාක්ෂි දරන්නැ”යි (ඔහුගේ) සමීපතම මිත්‍රවරු පැවසූ හ. [අල් කුර්ආනය 3 : 52]

ඉස්ලාමය හැර දෙවිඳුන් කිසිම ධර්මයක් පිළිගන්නේ නැත. මෙයට හේතුව දෙවිඳුන් මිනිසාට අනාවරණය කළ සත්‍ය ධර්මය ඉස්ලාම් වීමත් මිනිසාට ජය හිමි කරගත හැකි සත්‍ය දහම ඉස්ලාම් දහම පමණක් වීමයි. මේ බව අල් කුර්ආනයේ මෙසේ සඳහන් වේ:

අල්ලාහ් හමුවේ ධර්මය යනු ඉස්ලාම් ය. [අල් කුර්ආනය 3 : 19]

“අපි අල්ලාහ් ගැන ද අප වෙත පහළ වූ දැය ගැන ද ඉබ්රාහිම්, ඉස්මායිල්, ඉස්හාක්, යඃකූබ් හා (ඔහුගේ) පෙළපත වෙත පහළ වූ දැය ගැන ද මූසාට හා ඊසාට පිරිනමන ලද දැය ගැන ද සෙසු නබිවරුන්ට තම දෙවියන් විසින් පිරිනමන ලද දැය ගැන ද විශ්වාස කළෙමු. අපි ඔවුන් කිසිඳු කෙනෙකු අතර වෙනසක් නොදක්වමු. අපි ඔහුට (දෙවියන්ට) ම අවනත වූවෝ වෙමු”යි පවසන්න. යමෙක් ඉස්ලාම් නොවන දහමක් ප්‍රිය කරන්නේ නම් ඔහුගෙන් එය කිසිවිටකත් පිළි ගනු නොලැබේ. ඔහු පරලොවෙහි අලාභ ලද්දෙක් වන්නේ ය. [අල් කුර්ආනය  3 : 84,85]

ඉහත දේව පණිවුඩකරුවන් සියල්ල ඉස්ලාමය දේශනා කළ අතර ඔවුන්ගේ කාලයේදී ඔවුන්ගේ පණිවුඩය ලැබුණු පසු එය ප්‍රතික්ෂේප කර වෙනත් දහමක් අදහන්නේ නම් ඔවුන්ගේ එම දහම දෙවිඳුන් පිළිගන්නේ නැත. නිදසුනක් ලෙස යුදෙව්වන් හා කිතුනුවන් සැලකිය හැකිය. යුදෙව් නමැති ජනසමාජය වෙත මුසා නමැති දේව පණිවුඩකරුවා යවනු ලැබූ අතර යුදෙව්වන්ගෙන් ඇතැමෙක් මූසා තුමා දේශනා කළ ඉස්ලාම් ධර්මය පිළිගත්තද ඇතැමුන් ඉස්ලාම් දහමෙන් බැහැර වී සත්ව පිළිමයකට වන්දනා කරන්න පටන් ගත්හ. මූසා තුමාට පසු තවත් බොහෝ දේව පණිවුඩකරුවන් යුදෙව් ජනතාව සඳහා පැමිණියහ. ඔවුන්ගෙන් ඇතැමෙක් යුදෙව්වන් පිළිගත්තද අන් දේව පණිවුඩකරුවන්ව ප්‍රතික්ෂේප කර මරා දැමූහ. එනම් මෙම යුදෙව්වන් දෙවිඳුන්ගේ අණ පිළිපැද නැත. එනම් දෙවිඳුන්ව සැබෑ ලෙස විශ්වාස කර නැත.

“මූසා, එකම (වර්ගයේ) ආහාරයක් කිසිසේත් ම අපට ඉවසා ගත නොහැකිය. එබැවින් අප වෙනුවෙන් ඔබේ දෙවියන් වෙත ප්‍රාර්ථනා කරන්න. පොළොවේ වැවෙන පලා වර්ගල කැකිරි, සුදු ලුනු, පරිප්පු, ලුනු ආදිය ඔහු අපට බැහැර කරනු ඇතැ”යි නුඹලා ප්‍රකාශ කළ විට, “විශිෂ්ට දෙයක් වෙනුවට බාල දෙයක් හුවමාරු කර ඉල්ලන්නෙහු ද? කිසියම් නගරයක නවතින්න. නුඹලා ඉල්ලා සිටි දේ නුඹලාට ලැඛෙනු ඇතැ”යි ඔහු පැවසීය. ඔවුන් කෙරෙහි නින්දාව ද දුගී බව ද නියම කෙරුණි. ඔවුහු අල්ලාහ්ගේ කෝපයට ද භාජනය වූහ. මෙයට හේතුව ඔවුන් අල්ලාහ්ගේ වැකි පිළිගැනීමට ප්‍රතික්ෂේප කරමින් සිටීම ද අයුක්ති සහගත ලෙස නබිවරුන් ඝාතනය කිරීම ද වේ. තවද මෙයට හේතුව පාපයන් කොට සීමාව ඉක්මවා ගෙන සිටීම ය. [අල් කුර්ආනය 2:61]

එනිසා යුදෙව්වන් අතර සැබෑ ධර්මය පිළිපදින්නන් මෙන්ම අසත්‍ය ධර්මය පිළිපදින්නන්ද සිටියහ. යුදෙව්වන්ට පමණක් අවසාන වශයෙන් යවනු ලැබූ දේව පණිවුඩකරුවා වූයේ යේසුස් තුමාය. ඇතැම් යුදෙව්වෝ යේසුස් තුමාවද ප්‍රතික්ෂේප කළ අතර ඔහු ව්‍යාජ පුද්ගලයෙකු යයි සිතා ඔහුව ඝාතනය කිරීමට උත්සහ දැරූහ. යේසුස් තුමාගේ ඉස්ලාම් දහම් දේශන මෙහෙය නාසරත් නගරයේ ප්‍රබලව තිබුණු නිසාත් එම නගර වැසියන් බොහෝ දෙනෙක් යේසුස් තුමා දේශනා කළ ඉස්ලාම් ධර්මය පිළිපැද්ද නිසාත් යේසුස් තුමාගේ අනුගාමිකයන් “නාසරත්වරුන්” (අරාබියෙන් නසාරාවරුන්) යයි හඳුන්වනු ලැබේ. ඔහුව ප්‍රතික්ෂේප කළ උදවිය යුදෙව්වන් ලෙසම හඳුන්වනු ලැබීය. නාසරත්වරුන්ද ජාතියක් ලෙස ගත් විට යුදෙව්වන් වන බව අප මතක තබා ගත යුතු වේ. නසාරාවරුන්ගෙන් පසු කාලයේ පැමිණි නසාරවරුන්, ඔවුන් යේසුස් තුමාගේ අනුගාමිකයන් ලෙස පැවසුවද ඔවුන් යේසුස් තුමා දේශනා කළ සැබෑ ධර්මයෙන් පිටවී සිටියහ. නසාරාවරුන් අතර ඇතැමුන් යේසුස් තුමා දේශනා කළ සැබෑ ධර්මය පිළිපැද්ද අතර අනෙකුත් නසාරාවරුන් දෙවිඳුන් පිළිබඳ වැරදි ලෙස විශ්වාස කළහ. යේසුස් යනු දෙවිඳුන්ගේ පුත්‍රයා වන බව ඇතැමුන් විශ්වාස කළ අතර තවත් සමහරුන් යේසුස් යනු දෙවිඳුන්ම වන බව විශ්වාස කළහ. එබැවින් තමුන් දෙවිඳුන් විශ්වාස කරනවා යයි පැවසුවද ඔවුන් තුළ සැබෑ දේව විශ්වාසය තිබුනේ නැත. එනම් ඇත්ත වශයෙන්ම ඔවුන් දෙවිඳුන් විශ්වාස කලේ නැත. දෙවිඳුන් විශ්වාස කරන්නේ නැත යන්නෙහි අර්ථය සත්‍ය  දේව සංකල්පය විශ්වාස නොකිරීමයි.

අල්ලාහ් යනු මර්යම්ගේ පුත් මසීහ් ම යැයි ප්‍රකාශ කළ අය (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළ හ. “ඉස්රායීල්ගේ දරුවනි, මාගේ දෙවියන් ද නුඹලාගේ දෙවියන් ද වන අල්ලාහ් ම නමදින්න. අල්ලාහ්ට සමානයන් කල්පනය කළ අයට අල්ලාහ් ස්වර්ගය තහනම් කළේය. ඔවුන් සේන්දු වන තැන නිරයයි. අපරාධකරුවන්ට කිසිඳු පිහිට වන්නෙකු නොමැත” යැයි මසීහ් පැවසීය. [අල් කුර්ආනය 5:72]

සියලුම ජනසමාජය සඳහා දේව පණිවුඩකරුවන් දෙවිඳුන් යවා තිබුනද එම ධර්ම දූතයන්ගේ අනුශාසනා ලඟා නොවූ පිරිසක් සිටිය හැක. මොවුන් සාබියීන්වරුන් නම් වෙති. මොවුන් අතුරින් ගල් ප්‍රතිමාවන් ප්‍රතික්ෂේප කර එකම දෙවියන් ගැන පමණක් විශ්වාස කළ ජන සමාජයක් සිටියහ.

යුදෙව්වන් අතරද, නසාරාවරුන් අතරද සාබියීන්වරුන් අතර සත්‍ය දේව විශ්වාසය තිබුණු අය ජය ලබන බව දෙවිඳුන් අල් කුර්ආනයේ පවසයි.

විශ්වාස කළ අය හා යුදෙව්වරුන් වූ  අය, නසාරාවරුන් හා සාබ්ඊන්වරුන් අතුරින් අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස කොට යහපත් ක්‍රියා කළේද  ඔවුන්ගේ දෙවියන් වෙත ඔවුන්ගේ කුලිය ඇත. ඔවුනට කිසිඳු බියක් නැත. ඔවුන් දුක් වන්නේ ද නැත. [අල් කුර්ආනය 2 : 62]

විශ්වාස කළ අය, යුදෙව්වරුන් වූ  අය, සාබිඊන්වරුන් හා නසාරාවරුන් අතුරින් අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාසය කොට යහපත් ක්‍රියා ක්‍රියා කළේද ඔවුන්ට කිසිඳු බියක් නැත. ඔවුන් දුක් වන්නේ ද නැත. [අල් කුර්ආනය 5 : 69] 

සියලුම මිනිස් සමූහයන් සඳහා යවනු ලැබූ එකම අවසාන දේව පණිවුඩකරුවා මුහම්මද් තුමා විය. ඉස්ලාම් ධර්මය පළමු වරට දේශනා කළේ මුහම්මද් තුමා යයි ඇතැමුන් වැරදි ලෙස තේරුම් ගෙන ඇත. නමුත් මුහම්මද් තුමා යනු ඉස්ලාම් ධර්මය දේශනා කළ අවසාන දේව පණිවුඩකරුවාය. ඔහුට පෙර පැමිණි දේව පණිවුඩකරුවන් ඔවුන්ගේ ජනසමාජයට පමණක් යවනු ලැබුවද මුහම්මද් තුමා සියලුම මිනිස් සමූහයන් සඳහා අවසාන දේව පණිවුඩකරුවා ලෙස යවනු ලැබීය. දෙවිඳුන් මුහම්මද් තුමා යවා ඉස්ලාම් ධර්මය පරිපූර්ණය කළේය. එනම් සියලුම මිනිසුන් පිළිපැදිය යුතු ජීවන ක්‍රමයක්  බවට පත් කළේය.

….අද දින මම නුඹලා වෙනුවෙන් නුඹලාගේ ධර්මය සම්පූර්ණ කළෙමි. මාගේ දයාව ද නුඹලා වෙත පරිපූර්ණ කළෙමි. ඉස්ලාමය නුඹලා වෙනුවෙන් වූ ජීවන මාර්ගයක් වශයෙන් සතුටින් පිළිගතිමි…. [අල් කුර්ආනය 5:3]

මුහම්මද් තුමා මෙසේ ප්‍රකාශ කර ඇත: “දේව පණිවුඩකරුවන්ගේ සහෝදරවරුන්ය. ඔවුන්ගේ මව්වරුන් විවිධ වුවද ඔවුන්ගේ ධර්මය එකම ධර්මයක් වේ. (Bukhari, Muslim, Ahmad and Abu Dawood. Saheeh al-Jaami’ 2/14).

යේසුස් තුමා පැමිණි විට මූසා තුමාට අමතරව යෙසුස්ව පිළිගත යුතු අකාරයෙන්ම මුහම්මද් තුමා පැමිණි විට ඔහුවද පිළිගත යුතු වේ. සැබෑ ඉස්ලාම් ධර්මය පිළිපදින්නෙකු විය හැක්කේ මෙලෙස කටයුතු කළහොත් පමණි. තවද කිතුනුවන් හා යුදෙව්වන් අතුරින් කෙනෙකු මුහම්මද් තුමා ගැන දැන එතුමා ගෙන ආ දේ විශ්වාස නොකරන්නේ නම් ඔහු නිරයට අයිති පුද්ගලයෙකු බව මුහම්මද් තුමා පවසා ඇත. (Sahih Muslim [English Translation], Vol.1 P.91 No, 284)

මුහම්මද් තුමා ඉස්ලාම් ධර්මය දේශනා කළ විට සැබෑ ඉස්ලාම් ධර්මය පිළිගෙන සිටි නසාරාවරුන් මුහම්මද් තුමාව සැබෑ දේව පණිවුඩකරුවෙකු ලෙස විශ්වාස කර පරිපූර්ණ ඉස්ලාම් ජීවන ක්‍රමය පිළිපැදීමට පටන් ගත්හ. යේසුස් තුමාව ප්‍රතික්ෂේප කළ යුදෙව්වන්ද යේසුස් තුමා ගැන තිබු සැකයන් දුරු කරගෙන සැබෑ ඉස්ලාම් දහම පිළිපදින්න පටන් ගත්හ.

ඔවුන් ඉගැන්මක් ලබනු පිණිස අපි ඔවුනට මෙම පුවත ලැබීමට සැලැස්වීමු.මෙයට පෙර අපි කවරෙකුට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු ද ඔවුහු මෙය ගැන විශ්වාස කරති. ඔවුනට පාරායණා කර පෙන්වනු ලබන විට “අපි මෙය විශ්වාස කළෙමු. මෙය අපේ දෙවියන් වෙතින් වූ සත්‍යයයි. මීට පෙර දී ම අපි මුස්ලිම්වරු වීමු”යි පවසති. ඔවුන් ඉවසා සිටි බැවින් ද යහපත මගින් අයහපත වැළැක් වූ බැවින් ද අපි ඔවුනට දුන් දැයින් (යහපත් මාර්ගයේ) වියදම් කළ බැවින් ද ඔවුන්ගේ කුලිය ඔවුනට දෙවරක් පිරිනමනු ලැබේ. ඔවුහු නිෂ්ඵල දැයට සවන් දෙන විට එය නොසලකා හරිති “අපේ ක්‍රියා අපට ය නුඹලාගේ ක්‍රියා නුඹලාට ය නුඹලා කෙරෙහි සලාම් උදා වේවා` මුග්ධයින් ප්‍රිය නොකරන්නෙමු”යි ද පවසති. [අල් කුර්ආනය 28:51-55]

ඉහත සියලු කරුණු තුළින් පෙනී යන්නේ අල්ලාහ් පිළිගන්නා එකම ධර්මය ඉස්ලාම් වන බවය. එබැවින් මිනිසාට මෙලොව මෙන්ම පරලොව ජය ලැබිය හැක්කේ ඉස්ලාම් ධර්මය පිළිපැදීමෙන් පමණි.

චෝදනා හා පිළිතුරු

අල් කුර්ආනයේ වැරදි සෙවීමට උත්සහ දරන ඇතැම් විවේචකයන් ඉහත ඉදිරිපත් කර ඇති කුර්ආන් වැකි කිහිපයක් අතර පරස්පරවිරෝධීතා තිබෙන බව පවසමින් අල් කුර්ආනය දෙවිඳුන්ගෙන් ලැබුණු පුස්තකයක් නොවන බව තර්ක කිරීමට උත්සහ දරති. එනම් අල් කුර්ආනයේ 5:69 හා  2:62 වැකි වලට අනුව සෑම යුදෙව්වෙක්ම, නසාරාවරයෙක්ම (කිතුනුවෙක්ම – ක්‍රිස්තුස්ව අනුගමනය කරන්නා), සාබියීන්වරක්ම හුදෙක්ම දෙවින්දුන්ව විශ්වාස කර අවසාන දිනය විශ්වාස කර යහ ක්‍රියා කර ඕනෑම ආකාරයක දහමක් පිළිපැද ඇත් නම් ඔවුන්ට ජය හිමි වන අතර අල් කුර්ආනයේ  3: 84,85 වැකිවලට අනුව ඉස්ලාම් නොවන දහමක් දෙවිඳුන් පිළිගන්නේ නැති බව පවසන නිසා 5:69 හා  2:62 වැකි 3: 84,85 වැකිවලට පරස්පරවිරෝධී බව මෙම විවේචකයන් පවසති. නමුත් මෙම වැකිවල කිසිඳු පරස්පර විරෝධීතාවයක් නොමැති බව ඉහත පැහැදිලි කිරීම් කියවන බුද්ධිමත් කෙනෙකුට පහසුවෙන්ම වටහා ගත හැකිය. නොමඟ ගිය යුදෙව්වන් හා කිතුනුවන් ජය නොලබන බව පවසන පැහැදිලි වැකි අල් කුර්ආනය විවිධ ස්ථාන වල සඳහන් වේ. එබැවින් නොමඟගිය කිතුනුවන් හා යුදෙව්වන් ජය ලබන බව  5:69 හා  2:62 වැකි  නොපවසන බව පැහැදිලි කරුණකි. මෙම වැකි වලින් අදහස් වන්නේ මුහම්මද් තුමාට පෙර පැමිණි දේව පණිවුඩකරුවන් අනුගමනය කළ සැබෑ අනුගාමිකයන් පිලිබඳවය. එනම් 5:69 හා  2:62 වැකි වලින් සාකච්චා වන්නේ මුහම්මද් තුමාට පෙර සිටි යුදෙව්වන්, කිතුනුවන් හා සාබියීන් වරුන් අතුරින් නිවැරදි ලෙස දෙවිඳුන් විශ්වාස කර නිවැරදි ලෙස අවසාන දිනය විශ්වාස කර දෙවිඳුන්ගේ මඟපෙන්වීම අනුව යහපත් ක්‍රියා කළ අයට ජය හිමිවන බවය. යුදෙව්වන් යන පදයෙන් ඉස්ලාමයට පටහැනි ලෙස මිනිසුන් ගොඩනගා ගත් යුදෙව් දහම වත් නසාරාවරුන් යන පදයෙන් ඉස්ලාමයට පටහැනි ලෙස මිනිසුන් ගොඩනගා ගත් කිතුනු දහම වත් සාබියීන්වරුන් යන පදයෙන් දේව පණිවුඩකරුවන්ගේ අනුශාසනා නොලැබුණු පිරිස් ඉස්ලාමයට පටහැනි ලෙස ගොඩ නගා ගත් දහමක් වත් අදහස් වන්නේ නැත. තමා යුදෙව්වෙක් හෝ කිතුනුවෙක් යයි පවසන සියල්ල ගැන මෙම වැකි සාකච්ඡා නොකරයි. ඉන් අදහස් වන්නේ මුසා තුමාගේ හා යේසුස් තුමාගේ සැබෑ අනුගාමිකයන් පිළිබඳව පමණි. 5:69 හා 2:62 වැකි වලින් අදහස් වන්නේ එම ජන කොටස් අතුරින් ඉස්ලාම් දහම පිළිපදින අයට ජය හිමිවන බවය. එනම් කුමන ජනසමාජයක් වුවද ඔවුන්ට ජය හිමි වන්නේ ඔවුන් සත්‍ය ඉස්ලාම් දහම පිළිපදින්නේ නම් පමණි. ඉස්ලාම් නොවන දහමක් දෙවිඳුන් පිළිගන්නේ නැති බව 3: 84,85 පවසන්නේ මේ නිසාය.

5:69 හා  2:62 යන වැකි ඇත්ත වශයෙන්ම සාකච්ඡා වන්නේ මුහම්මද් තුමාට පෙර සිටි අය අතුරින් ඉස්ලාමය අනුගමනය කළ පිරිස් පිළිබඳව බව එම කුර්ආන් වැකියේ පද සම්බන්ධය හා එම වැකිය අනාවරණය වූ පසුබිම ගැන සැලකීමේදී පහසුවෙන්ම වටහා ගත හැක. මේ සඳහා පළමුව 5:69 වැකිය දෙස එම වැකියට පෙර හා පසු වැකි සමඟ අවධානය යොමු කරමු.

ධර්ම ග්‍රන්ථය හිමි අය විශ්වාස කොට (දෙවියන්ට) බිය බැතිමත් ව කටයුතු කර ඇත්නම් අපි ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් මකා දමා ඇත්තෙමු. ඔවුන් ප්‍රමෝදවත් ස්වර්ගයන්හි ද ඇතුළු කරවා ඇත්තෙමු. ඔවුහු තව්රාතය ද ඉන්ජීලය ද තම දෙවියන් වෙතින් තමන්ට පහළ වූ දැය ද ස්ථාපිත කර ඇත්නම් ඔවුනට ඉහළින් ද ඔවුනගේ පාද යටින් ද (ලැඛෙන සියලූ දේ) ඔවුන් අනුභව කරන්නට තිබුණි. ඔවුනතර මධ්‍යස්ථ පිරිසක් ද සිටිති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කරන දේ ඉතා නරක ය. දූතයාණෙනි, ඔබේ දෙවියන් වෙතින් ඔබට පහළ වූ දේ පැහැදිලිව ප්‍රකාශ කරන්න. ඔබ (එසේ) නොකළහොත් ඔහුගේ දූත මෙහෙවර ප්‍රකාශ කළ කෙනෙක් නොවන්නෙහි ය. අල්ලාහ් මිනිසුන්ගෙන් ඔබ ආරක්ෂා කරයි. (තමා) ප්‍රතික්ෂේප කරන පිරිසට අල්ලාහ් මග පෙන්වන්නේ නැත. “ධර්ම ග්‍රන්ථය හිමි අයවලූනි, තව්රාතය ද ඉන්ජීලය ද නුඹලාගේ දෙවියන් වෙතින් නුඹලාට පහළ වූ දැය ද නුඹලා ස්ථාපිත කරන තෙක් නුඹලා කිසිවකට අයත් අය නොවෙති”යි පවසන්න. නුඹලාගේ දෙවියන් වෙතින් නුඹලාට පහළ වූ දේ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සීමාව ඉක්ම වීම ද (දේව) ප්‍රතික්ෂේපය ද වැඩි කළේය. එබැවින් (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන පිරිස වෙනුවෙන් ඔබ ශෝකයට පත් නොවන්න. විශ්වාස කළ අය, යුදෙව්වරුන් වූ අය, සාබිඊන්වරුන් හා නසාරාවරුන් අතුරින් අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාසය කොට යහපත් ක්‍රියා කරන්නන්ට කිසිඳු බියක් නැත. ඔවුන් දුක් වන්නේ ද නැත. අපි ඉස්රායීල්ගේ දරුවන්ගෙන් ප්‍රතිඥාවක් ගත්තෙමු. ඔවුන් වෙත දූතයින් එවීමු. දූතයෙකු ඔවුන් ප්‍රිය නොකරන දේ ගෙන එන සෑම විට ම ඔවුහු ඇතැමුන් අසත්‍යය පවසන්නන් යැයි පැවසූ හ. ඇතැමුන් ඝාතනය කළහ. කිසිඳු පරීක්ෂණයක් හට නොගනී යැයි ඔවුහු සිතූහ. එබැවින් ඔවුහු අන්ධයෝ ද බිහිරෝ ද වූහ. ඉන් පසුව ද අල්ලාහ් ඔවුන් ක්ෂමා කළේය. පසුව ද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අන්ධයෝ ද බිහිරෝ ද වූහ. අල්ලාහ් ඔවුන් කරන දේ ගැන බලන්නෙකි. අල්ලාහ් යනු මර්යම්ගේ පුත් මසීහ් ම යැයි ප්‍රකාශ කළ අය (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළ හ. “ඉස්රායීල්ගේ දරුවනි, මාගේ දෙවියන් ද නුඹලාගේ දෙවියන් ද වන අල්ලාහ් ම නමදින්න. අල්ලාහ්ට සමානයන් කල්පනය කළ අයට අල්ලාහ් ස්වර්ගය තහනම් කළේය. ඔවුන් සේන්දු වන තැන නිරයයි. අපරාධකරුවන්ට කිසිඳු පිහිට වන්නෙකු නොමැත” යැයි මසීහ් පැවසීය.  “අල්ලාහ් (දෙවිවරුන්)තිදෙනානේ එක් කෙනෙක් යැ”යි ප්‍රකාශ කළ අය (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළහ. නැමදීමට සුදුස්සා එකම දෙවියෙක් හැර වෙනත් කිසිවෙක් නොමැත. ඔවුන් තම ප්‍රකාශයෙන් නොවැළකුණ හොත් (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නන්ට පීඩාකාරි වේදනාවක් පැමිණෙනු ඇත. ඔවුහු අල්ලාහ් වෙත හැරී ඔහුගෙන් පාප ක්ෂමාව අයැදිය යුතු නොවේ ද? අල්ලාහ් ක්ෂමා කරන්නෙකි. අසම සම දයාවන්තයෙකි. [අල් කුර්ආනය 5 : 65-74]

මුහම්මද් තුමාට පෙර ධර්ම ග්‍රන්ථ ලත් ජනයාගෙන් බහුතරයක් නොමඟ ගිය අතර ඔවුන්ගෙන් පිරිසක් ධර්ම ග්‍රන්ථයට අනුව ජීවත් වූ බව ඉහත වැකි පැහැදිලිවම පවසයි. පසුව අල්ලාහ්ගේ අසීමිත දයාව නිසා තවත් දේව පණිවුඩකරුවෙකු ඔවුන් වෙත දෙවිඳුන් යැවූයේය. පරලොව ජය හිමිකරගැනීම සඳහා දෙවිඳුන් හා අවසාන දිනය විශ්වාස කළ යුතු වූ අතර එම පණිවුඩකරුවා ඔස්සේ ලබා දුන් පණිවුඩයද විශ්වාස කර පිළිපැදිය යුතු විය. “අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාසය කොට යහපත් ක්‍රියා කරන්නන්ට කිසිඳු බියක් නැත” (අල් කුර්ආනය 5:69) යැයි සඳහන් කළ පසු මෙහිදී සඳහන් යුදෙව්වන් හා කිතුනුවන් යනු යේසුස් තුමාව ඝාතනය කරන්න උත්සහ දැරූ හා යේසුස් තුමාට දේවත්වය ආරූඪ කළ අය නොවන බව අල් කුර්ආනය පැහැදිලි කරයි. එනම් අල් කුර්ආනය 5:69 වැකියෙන් සාකච්ඡා වන්නේ තමා වෙත පැමිණි දේවපණිවුඩකරුවන් දේශනා කළ සැබෑ පණිවුඩය පිළිගත් ජනතාව පිලිබඳවය. තවද දැන් යුදෙව්වන් හා කිතුනුවන් නොමඟ ගොස් ඇති නිසා සැබෑ පණිවුඩය පිළිගෙන යහ ක්‍රියා කළ පිරිසට ලැබෙන දායාද ලැබීමට නොමඟ ගිය යුදෙව්වන් හා කිතුනුවන් සුදුසු නොවන බවත් අල් කුර්ආනයේ ඉහත වැකිවල පැහැදිලිවම සඳහන් වේ.

මේ අකාරයෙන්ම 2:62 වැකියෙන්ද මුහම්මද් තුමාට පෙර සිටි යුදෙව්වන්, නසාරාවරුන් හා සාබියීන්වරුන් අතුරින් සැබෑ ධර්මය අනුගමනය කළ පිරිස් පිලිබඳ සාකච්ඡා වේ. 2:62 වැකිය දෙස අදාළ පද සම්බන්ධය ඇතුව අවධානය යොමු කරමු.

“මූසා, එකම (වර්ගයේ) ආහාරයක් කිසිසේත් ම අපට ඉවසා ගත නොහැකිය. එබැවින් අප වෙනුවෙන් ඔබේ දෙවියන් වෙත ප්‍රාර්ථනා කරන්න. පොළොවේ වැවෙන පලා වර්ගල කැකිරි, සුදු ලුනු, පරිප්පු, ලුනු ආදිය ඔහු අපට බැහැර කරනු ඇතැ”යි නුඹලා ප්‍රකාශ කළ විට, “විශිෂ්ට දෙයක් වෙනුවට බාල දෙයක් හුවමාරු කර ඉල්ලන්නෙහු ද? කිසියම් නගරයක නවතින්න. නුඹලා ඉල්ලා සිටි දේ නුඹලාට ලැඛෙනු ඇතැ”යි ඔහු පැවසීය. ඔවුන් කෙරෙහි නින්දාව ද දුගී බව ද නියම කෙරුණි. ඔවුහු අල්ලාහ්ගේ කෝපයට ද භාජනය වූහ. මෙයට හේතුව ඔවුන් අල්ලාහ්ගේ වැකි පිළිගැනීමට ප්‍රතික්ෂේප කරමින් සිටීම ද අයුක්ති සහගත ලෙස නබිවරුන් ඝාතනය කිරීම ද වේ. තවද මෙයට හේතුව පාපයන් කොට සීමාව ඉක්මවා ගෙන සිටීම ය. විශ්වාස කළ අය හා යුදෙව්වරුන් වූ  අය, නසාරාවරුන් හා සාබ්ඊන්වරුන් අතුරින් අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස කොට යහපත් ක්‍රියා කළේද  ඔවුන්ගේ දෙවියන් වෙත ඔවුන්ගේ කුලිය ඇත. ඔවුනට කිසිඳු බියක් නැත. ඔවුන් දුක් වන්නේ ද නැත. [අල් කුර්ආනය 2:61,62]

මුසා නම් දේව පණිවුඩකරුවාගේ ජනතාව අතර පිරිසක් නොමඟ ගොස් අනෙක් පිරිස සැබෑ ධර්මය අනුගමනය කළ බව සඳහන් කිරීමෙන් පසුව අල් කුර්ආනයේ 2:62 වැකිය සඳහන් වේ. එනම් මෙම වැකියේ පැහැදිලි අදහස වනුයේ මුසා තුමාගේ ජනාතව අතුරින් සැබෑ ලෙස මුසා තුමාගේ පණිවුඩය පිළිගෙන ඔහුව අනුගමනය කළ පිරිසට දෙවිඳුන් පොරොන්දු වූ දායාදය ලැබෙන බවය. මෙම 2:62 වෙනි වැකිය පහළ වූ අවස්ථාව දෙස බලන්නේ නම් මෙම අදහස තව දුරටත් තහවුරු කර ගත හැක. මෙම වැකිය පහළ වූ අවස්තාව කුමක්ද යන්න ඉබ්නු කතීර් නම් විද්වතා තම අල් කුර්ආන් විවරණයේ සඳහන් කර ඇත. එහි සඳහන් කරුණු වලට අනුව සල්මාන් අල් ෆාරිස් යනු සොරෝස්ට්‍රියන් දහමේ සිට කිතුනු දහම වැළඳ ගත් පුද්ගලයෙකි. මොහු කිතුනුවෙකු ලෙස සිටින කාලයේදී අරාබියාවේ දේවපණිවුඩකරුවෙකු පැමිණෙන බව පවසන බොහෝ කිතුනු විද්වතුන් ඔහුට හමු විය. එනිසා ඔහු මදීනා නගරයට පැමිණි අතර එහිදී මුහම්මද් තුමා තම කිතුනු විද්වතුන් පැවසු දේව පණිවුඩකරුවා බව වටහා ගෙන මුහම්මද් තුමාව පිළිගෙන ඔහුව අනුගමනය කිරීමට පටන් ගත්තේය. මුහම්මද් තුමාට පෙර පැමිණි දේවපණිවුඩකරුවන්ගේ අනුගාමිකයන් ගැන සල්මාන් තුමා මුහම්මද් තුමාගෙන් විමසා සිටිය අතර 2:62 වෙනි වැකිය පහළ වූයේ එම පිරිස් ගැන පැවසීම සඳහාය. එනම් මෙම වැකියෙන් මුසා නම් දේවපණිවුඩකරුවා හා ඔහු ගෙන ආ තව්රාත් ධර්ම ග්‍රන්ථය අනුගමනය කළ සැබෑ යුදෙව්වන්ද ජය ලබන බව පැවසේ. තවද යේසුස් තුමා පැමිණි පසු යේසුස් තුමාව හා ඔහු ගෙන ආ ඉන්ජීල් නම් ධර්ම ග්‍රන්ථයද අනුගමනය කළ අය වන සැබෑ නසාරාවරුන් පිළිබඳවද මෙම වැකිය පවසයි. මේ අකාරයෙන්ම දේව පණිවුඩකරුවන්ගේ අනුශාසනා නොලැබුණු පිරිස් අතුරින් සත්‍ය දේව විශ්වාසය තිබු අය පිළිබඳවද මේ වැකිය පවසයි එනම් මොවුන් අතුරින් කවරෙක් දෙවිඳුන් විශ්වාස කළ යුතු නිවැරදි අයුරින් විශ්වාස කළේද ඔවුන්ට සතු කුලිය හිමි වන බව දෙවිඳුන් මෙම වැකියෙන් පවසයි පවසයි. දෙවිඳුන් පිළිබඳව නිවැරදි ලෙස විශ්වාස කිරීම යනු ඉස්ලාම් දහමයි. එනිසා 5:69 හා  2:62 වැකි 3: 84,85 වැකිවලට පරස්පරවිරෝධී නොවන බව ඉතා පැහැදිලි කරුණකි.

2:62 හා 5:69 වෙනි වාක්‍ය වලින් පැවසෙන්නේ මුහම්මද් තුමාගේ කාලයේ සිටි සමගාමී යුදෙව්වන්, කිතුනුවන් හා සාබියීන්වරුන් ගැනද?

2:62 හා 5:69 වන වැකි වර්තමානයේ සිටින යුදෙව්වන්, කිතුනුවන් හා සාබියීන්වරුන් ගැන පවසන බවත් එබැවින් එම වැකි අතර තිබෙන පරස්පරවිරෝධීතාවය තවමත් වලංගු බව ඇතැම් විවේචකයන් පවසති.

ඇතැම් කුර්ආන් පරිවර්තනවල වැනි වැකි පරිවර්තනය කිරීමේදී “විශ්වාස කළ අය” යැයි අතීත කාලය පෙන්නුම් කරන අයුරින් පරිවර්තනය කරනවා වෙනුවට “විශ්වාස කරන අය” යැයි වර්තමාන කාලය පෙන්නුම් කරන අයුරින් පරිවර්තනය කර ඇත. මෙම විවේචකයන් තම තර්කය ගොඩනැගීමට උපයෝගී කර ගෙන ඇත්තේ මෙම පරිවර්තනයන් ය. කෙසේනමුත් මෙම වැකි වල අදහස වර්තමානකාලයට නොගැලපෙන බව ඉහත කරුණු වලින් පැහැදිලි වේ. මෙහිදී යොදාගෙන ඇති අරාබි පදය “ආමන” වන අතර එය අතීත කාලය පෙන්නුම් කරන පදයක් ලෙසද භාවිතා වේ. (ලිසානුල් අරබ් ශබ්දකෝෂය, 165 පිටුව) අල් කුර්ආනයේද මෙම පදය විවිධ ස්ථාන වලදී අතීත කාලය පෙන්නුම් කරන අකාරයෙන්ම භාවිතා වී ඇත.

ෆිර්අවුන් තමන්ට වධ හිංසා කරනු ඇතැයි ඔහුට ද ඔහුගේ සභිකයින්ට ද බිය වූ බැවින් ඔහුගේ ජන සමාජයේ සුළු පිරිසක් මිස අන් අය මූසාව විශ්වාස නොකළහ. ෆිර්අවුන් එම දේශයෙහි බලවන්තයෙකි සීමාව ඉක්ම වන්නෙකි. [අල් කුර්ආනය 10 : 83]

ඔබේ ජන සමාජය අතුරින් (දැනටමත්) විශ්වාස කළ අය මිස අන් කිසිවෙක් (මින් මතුවට) විශ්වාස නොකරති. එබැවින් ඔවුන් කරමින් සිටින දේ වෙනුවෙන් ඔබ දුකට පත් නොවන්න. අපේ අධීක්ෂණය යටතේ ද අපේ අණ පරිදි ද නැව තනන්න. අපරාධකරුවන් ගැන මා සමඟ කථා නොකරන්න. ඔවුහු (දියෙහි) ගිල්වනු ලබති”යි නූහ්ට දැනුම් දෙන ලදී. [අල් කුර්ආනය 11 : 36,37]

මාගේ ජනතාවෙනි, අනෙක් ජන සමාජ වලට සිදු වූවා සේ ද නූහ්ගේ ජන සමාජය, ආද් ජන සමාජය, සමූද් ජන සමාජය සහ ඔවුනට පසුව පැමිණි අයට සිදු වූවා සේ ද නුඹලාගේ විෂයයෙහි ද මම බිය වන්නෙමි. අල්ලාහ් වහලූන්ට අපරාධ කරන්නෙක් නොවේ” යැයි විශ්වාස කළ (ඒ) මිනිසා පැවසීය. [අල් කුර්ආනය 40 : 30,31]

මේ අනුව 2:62 හා 5:69 වැකි අතීත කාලය පෙන්නුම් කරන අයුරින් පරිවර්තනය කිරීම ඉතා සුදුසුය. ඇතැම් පරිවර්තන වල මෙම වැකිය නිවැරදි ලෙස පරිවර්තනය වී ඇත. මෙම වැකියට බොහෝ කුර්ආන් විද්වතුන් විවරණ ලබා දී ඇත්තේද මෙම වැකියෙන් අතීත කාලයේ සිටි පිරිසක් ගැන පැවසෙනවා යන ස්ථාවරයේ සිටිමින්ය. “ආමන” යන වචනය අතීත කාලය පෙන්නුම් කරන වචනයක් වන නිසාත් එසේ පරිවර්තනය කිරීම තුළින් අල් කුර්ආනයේ මූලික ඉගැන්වීම පැහැදිලි ලෙස තහවුරු වන නිසාත් මෙම විද්වතුන්ගේ විවරණයන් ඉතා නිවැරදිය.

ඕනෑම යුදෙව්වෙක්, ඕනෑම නසාරාවරයෙක් දෙවිඳුන්ව හා අවසාන දිනය විශ්වාස කරනවා නොවේද?

යුදෙව්වන්ද, නසාරාවරුන් හා සාබියීන්වරුන් දෙවිඳුන් හා අවසාන දිනය විශ්වාස කරන නිසාත් ඔවුන් යහ ක්‍රියා කරන නිසාත් 2:62 හා 5:69 යන වැකි ඕනෑම යුදෙව්වෙකුට, නසාරාවරයෙකුට (කිතුනුවෙකුට) හා සාබියීන්වරයෙකුට වලංගු බවද ඇතැම් විවේචකයන් පවසති. එනම් ඔවුන් කුමන ධර්මයක් අනුගමනය කළද ඔවුන්ට ජය හිමි වන බව පවසති. එසේ පවසමින් 2:62,  5:69 වැකි හා 3: 84,85 වැකි අතර නැවත පරස්පරවිරෝධීතාවයක් ගොඩනැගීමට උත්සහ දරති. කෙසේනමුත් දෙවිඳුන්ව විශ්වාස කිරීම යැයි මෙම වැකි වල පැවසෙන්නේ කුමන හෝ දේව විශ්වාසයක් නොව දෙවිඳුන් අනුමත කරන සැබෑ දේව විශ්වායසයි. ඉස්ලාමයේ දැක්මෙන් දේව විශ්වාසය ලෙස හැඳින්වෙන්නේ සැබෑ දේව විශ්වාසය පමණි. මේ බව තේරුම් ගැනීමට පහත කුර්ආන් වැකිය උපකාර වේ.

ධර්ම ග්‍රන්ථය හිමි අයගෙන් සෑම කෙනෙකු ම ඔහු (ඊසා යළි පැමිණ) මරණයට පත් වීමට පෙර ඔහු ගැන විශ්වාස නොකර සිටින්නේ නැත. ඔහු කියාමත් දින ඔවුනට සාක්ෂියක් වනු ඇත. [අල් කුර්ආනය 4 : 159]

ධර්ම ග්‍රන්ථ හිමි අය අතුරින් නසාරාවරුන්ද (කිතුනුවන්ද) එක් පිරිසකි. මුහම්මද් තුමාගේ කාළයේ සිටි කිතුනුවන් මෙන්ම අද සිටින කිතුනුවන්ද යේසුස් ගැන යම් අකාරයකින් විශ්වාස කළද ඉහත වැකිය පවසන්නේ ඔවුන් යේසුස් තුමා ගැන විශ්වාස කරන්නේ ඔහු නැවත පැමිණි පසුව බවය. එනම් මෙහි අදහස කිතුනුවන් යේසුස් ගැන විශ්වාස කළ යුතු අකාරයෙන් විශ්වාස නොකර ඇති බවත් ඔහු ගැන නිවැරදි විශ්වාසය යේසුස් තුමා නැවත පැමිණි විට ඇති කරගන්නා බවත් මෙම වැකිය පවසන බව බුද්ධිමත් කෙනෙකුට පහසුවෙන්ම වටහා ගත හැක.

මුහම්මද් තුමාගේ කාලයේ සිටි අරාබිවරුන්ද දෙවිඳුන් ගැන විශ්වාස කළද ඔවුන් දෙවිඳුන්ගේ ඇතැම් ගුණාංග තවත් දේවල් වලටද තිබෙන බව පවසමින් දෙවිඳුන්ට ආදේශ තැබූහ. එනිසා ඔවුන් සලකනු ලබන්නේ දේව විශ්වාසය නොමැති අය ලෙසය. මෙහි අදහස ඔවුන් තුළ නිවැරදි දේව විශ්වාසය නොතිබුණු බවය.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සමානයන් කල්පනය කරන්නන් ලෙසින් මිස අල්ලාහ් ගැන විශ්වාස නොකරති. [අල් කුර්ආනය 12 : 106]

අවසාන දිනය ගැන විශ්වාස කිරීම යනුද ඒ පිලිබඳ නිවැරදි විශ්වාසයි. යහ ක්‍රියා කිරීම යනුද තමුන් වෙත පැමිණි දේව පණිවුඩකරුවන් ඔස්සේ  දෙවිඳුන් ලබා දුන් මඟපෙන්වීමට අනුව කටයුතු කිරීම වේ. එනම් දෙවිඳුන් අනුමත කරන ක්‍රියාවන් වේ.

එනිසා කෙනෙක් තුළ කුමන හෝ දේව විශ්වාසයක් හා කුමන හෝ ආකාරයක අවසාන දිනයක් පිලිබඳ යම් විශ්වාසයක් තිබුණ හේතුව නිසා ඔහුට ජය හිමි වන්නේ නැත. තවද තමුන් යහපත් යයි සලකන ක්‍රියාවක් ඔවුන් කළ නිසාද ඔවුන්ට ජය හිමිවන්නේ නැත. ජය හිමි වීමට නම් ඔවුන් තුළ නිවැරදි දේව විශ්වාසය හා අවසාන දිනය පිලිබඳ නිවැරදි විශ්වාසයද තිබිය යුතු අතර ඔවුන් දෙවිඳුන්ගේ මඟපෙන්වීමට අනුව ජීවත් වීමෙන් යහපත් ක්‍රියා වල නිරත විය යුතුය. කෙනෙකු ජය ලැබීම සඳහා 2:62 හා 5:69 යන වැකි වල සඳහන් වී ඇති කොන්දේසි මේවා වේ. එනිසා 2:62 හා 5:69 යන වැකි වල නිවැරදි විශ්වාසය නොමැති යුදෙව්වන්, කිතුනුවන් හා සාබියීන්වරුන් ගැන නොපැවසෙන බව පැහැදිලි කරුණකි.

විශ්වාස කළ අයට නැවත දෙවිඳුන් විශ්වාස කරන මෙන් පවසන්නේ ඇයි?

විශ්වාස කළ අය හා යුදෙව්වරුන් වූ  අය, නසාරාවරුන් හා සාබ්ඊන්වරුන් අතුරින් අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස කොට යහපත් ක්‍රියා කළේද ඔවුන්ගේ දෙවියන් වෙත ඔවුන්ගේ කුලිය ඇත. ඔවුනට කිසිඳු බියක් නැත. ඔවුන් දුක් වන්නේ ද නැත. [අල් කුර්ආනය 2:61,62]

මෙම වැකිය ආකර තුනකින් තේරුම් ගත හැක.

1. අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස කොට යහපත් ක්‍රියා කළේද යන කොන්දේසිය යුදෙව්වන් වූවන්, නසාරාවරුන් හා සබියීන්වරුන්ට පමණක් අදාළ බව තීරණය කළ හැක. 

2. පිටතින් පමණක් විශ්වාස කළ අයටද මෙම කොන්දේසිය වලංගු වන බවද තීරණය කළ හැක. එනම් ඔවුන් සැබෑ ලෙසම අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස කොට යහපත් ක්‍රියා කරන්නේ නම් ඔවුන් ජය ලබන බව මෙම වැකිය පවසයි. මේ අදහස පහත කුර්ආන් වකියෙන්ද තහවුරු වේ.

(මුහම්මද්,) ඔබේ දෙවියන් මත දිවුරමි. ඔවුන් තමන් අතර හටගත් ආරවුලක දී ඔබ විනිශ්චය කරුලෙස පිළිගෙන පසුව ඔබ දුන් විනිශ්චයෙහි තමන් තුළ අතෘප්තිමත් නොවී සහමුලින් ම අවනත වන තෙක් ඔවුහු විශ්වාස කළ අය බවට පත්නොවෙති. [අල් කුර්ආනය 4 : 65]

3. සැබෑ ලෙස විශ්වාස කළ අයටත් මෙම කොන්දේසිය වලංගු වන බවද තීරණය කළ හැක. එසේ තීරණය කිරීමේ කිසිම ගැටළුවක් නොමැත. උදාහරණයක් ලෙස රටක රජෙකු තමාට අවනත වූ පිරිසක් හා අවනත වී කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිසකට “යමෙක් රටේ නීතියට අනුව කටයුතු කරන්නේ නම් ඔවුන්ට ආරක්ෂාව ලබා දෙන්නෙමි” යැයි පවසනවා යයි සිතමු. මෙම ප්‍රකාශය තමාට අවනත වූ හා අවනත වී කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස් දෙකටම ගැලපෙන බව බුද්ධිමත්ව සිතන කෙනෙකුට තේරුම් ගත හැකිය. එනම් නීතියට අවනත වී කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස එලෙස කරන්නේ නම් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වන අතර දැනටමත් නීතියට අවනතව කටයුතු කරන පිරිස එලෙසම තවදුරටත් කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වන බව මෙම ප්‍රකාශයේ ගම්‍ය වේ. මේ අකාරයෙන්ම දැනමත් දෙවිඳුන් විශ්වාස කළ අය තම විශ්වාසයේ ස්ථීර ලෙස සිටියේ නම් ඔවුන් බිය විය යුතු වන්නේ නැති බව මෙම වැකිය පවසයි.

ඉහත ඉදිරිපත් කර ඇති කරුණු දෙස බුද්ධිමත්ව බැලීමේදී විවේචකයන් පවසන මෙන් 5:69, 2:62 වැකි හා  3: 84,85 අතර කිසිඳු පරස්පරවිරෝධීතාවයක් නොමැති බව පහසුවෙන්ම වටහා ගත හැකිය. හුදෙක්ම වැකි කිහිපයක් උපුටා දක්වා ඒ අතර පරස්පරවිරෝධීතා තිබෙන බව තර්ක කිරීමට උත්සහ දැරීම විවේචකයන්ගේ සිරිතකි. නමුත් අල් කුර්ආනයේ කරුණු නිවැරදි ලෙස විශ්ලේෂණය කරන්නේ නම් විවේචකයන්ගේ උත්සාහය අසාර්ථක උත්සහයක් බව තේරුම් ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *