කාදියානිවරුන් යනු කවුරුන්ද?

කාදියානිවරුන් යනු ලොවපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඉස්ලාම් යයි පවසා ගන්නා තවත් සංවිධානයකි. සංවිධානාත්මක ලෙස හා සූක්ෂම සැලසුම් සහිතව ක්‍රියාත්මක වන මෙම සංවිධානය ‘අහ්මදියා’ ලෙසද හැදින්වේ. මෙම ලෝක ව්‍යාප්ත සංවිධානය මීට වසර 123 කට පෙර (එනම් 1889) දී භාරතයේ පන්ජාබ් ප්‍රාන්ථයේ කුඩා ගමක් වන ‘කාදියාන්’ හිදී ස්තාපනය විය. එහි නිර්මාතෘ ‘මිර්සා ගුලාම් අහ්මද්’ වන අතර ඔහුගේ නමේ කොටසක් ගෙන මෙම සංවිධානය ‘අහ්මදියා’ ලෙසත් ඔහු උපන් ගම පදනම් කරගෙන ‘කාදියානි-වරුන්’ ලෙසත් ලොවපුරා මෙම සංවිධානය ප්‍රචලිත විය.

mirsa-qulam-ahmed

මේ වනවිට ලොවපුරා රටවල් 120 ක තම සංවිධානය ව්‍යාප්ත කොට ඇති බව ඔවුන්ගේ ප්‍රකාශනවලින් අනාවර්ණය වන අතර ලංකාව තුළද ඔවුන් ඉතා ප්‍රසිද්ධීයේ ක්‍රියාත්මක වෙති. දේව අනාවරණයට අනුව තමා ‘අනාගත දේව වක්තෘවරයා’ ලෙස තමන්ව මෙලොවට හඳුන්වා දුන් මිර්සා ගුලාම් අහ්මද් එහි ඔහුට පූජනීයත්වයක් ආරෑඪ කරගෙන ‘අහ්මදියා’ සංවිධානයට ආගමික මුහුණූවරක් ලබා දෙන ලදී.

මෙම මතවාදය මුස්ලීම් සමාජය මධ්‍යයේ ස්ථාපනය කිරීම සදහා ඔහු පදනම් කරගත්තේ ඉස්ලාම් දහමේ මූලාශ්‍රවල සඳහන් අනාගත අනාවැකියකි. එනම්, හින්දුවරුන් ‘ශ්‍රී ක්‍රිෂ්නා’ ලෙස පවසනවා සේ, කිතුණූවන් ‘යේසුස් තුමා’ ලෙස පවසනවා සේ, බෞද්ධයන් ‘මෛත්‍රී බුදුන්’ ලෙස පවසනවා සේ, ඉස්ලාම් දහම ද ‘මහ්දි’ නම් අනාගතයේ ලොව පහල වන සුවිශේෂි පුද්ගලයෙකු පිලිබදව අනාවැකි පවසයි. එම අනාවැකිය තම සංවිධානයේ මූලික පදනම කරගත් ‘මිර්සා ගුලාම් අහමද්’ ඉස්ලාම් දහම පවසන ඒ අනාගත සුවිශේෂි පුද්ගලයා තමන් බව ප්‍රචාරය කරමින් මෙම සංවිධානයට ජවයක් ලබාදෙන ලදී. එසේ සංවිධානයක් බිහිකිරීමෙන් නතර නොවූ ඔහු වක්තෘ මෙහෙවර මුහම්මද් (සල්) තුමාණන්ගෙන් අවසන් නොවූ බවත් තමන්ට ද දේව පණිවුඩ පහල වන බවත්, ප්‍රචාරය කරමින් එය සමාජගත කිරීමට කටයුතු කලේය. කෙසේනමුත් “මහ්දි” තුමා දේව පණිවුඩකරුවෙකු බව ඉස්ලාමීය මූලාශ්‍රවල කිසිම තැනක සඳහන් නොවේ. “මහ්දි” යනු අවසාන කාලයේ පැමිණෙන ධර්මිෂ්ට නායකයෙකි. එම කරුණ දැන හෝ නොදැන තමා “මහ්දි” බවත් දේව පණිවුඩකරුවෙකු බවත් මිර්සා ගුලාම් ප්‍රකාශ කළේය. මොහුගේ ප්‍රකාශය විශ්වාස කළ අනුගාමිකයෝ අදටත් මිර්සා ගුලාම් දේව පනිවුදකරුවෙකු බව පවසමින් ඔවුන්ගේ විශ්වාසයන් ප්‍රචාරය කරති.

මෙවැනි ප්‍රචාරයක නිරත අහ්මදියාවරුන් මුස්ලීම් ද? යන ප්‍රශ්නය දැන් අප ඉදිරියේ ඇත.

මේ පැනයට නිවරුදි පිලිතුර සොයා ගැනීමත්, ඒ පිලිබදව සමස්ථ සමාජයට අවබෝධයක් ලබාදීමත් කාලීන වශයෙන් වැදගත් අවශ්‍යතාවයක් යන්න කිසිඳු සැකයක් නැත. මන්ද මුස්ලීම් සමාජය ඉස්ලාම් දහම තුල සීසීකඩ වී ඇති යුගයක, නිවරුදි මාර්ගය නිවරුදිව හදුනා ගැනීම‍ට නොහැකි ලෙස දහම විකෘති කොට ඇති යුගයක මෙවැනි විෂයන් ඉතා පරිස්සමින් හා ආගමික ඉගෙන්වීමන් තුල හිඳ විමසා බැලීම අත්‍ය අවශ්‍යය. විශේෂයෙන් ඉස්ලාම් දහම මේ පිලිබදව මුස්ලීම් සමාජයට දැඩිව අවවාද කොට ද ඇත. ඒ අනුව ශුද්ධ වූ නබිවදනක් දෙස අවධානය යොමු කරමු.

වරක් නබිතුමාණන් මෙසේ පවසන ලදී ‘මගේ ජන සමාජය තුල බොරුකාරයින් 30ක් බිහිවනු ඇත. ඒ සෑම කෙනෙකුම ‘තමන් නබි (වක්තෘ)වරයෙක්’ යැයි වාද කරනු ඇත. ඔවුන් සම්බන්ධයෙන් ඔබලා පරිස්සම් වන්න’ [මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී]

එදා මුහම්මද් (සල්) තුමාණන් ජීවමානව සිටී අවධියේ, එතුමාණන්ගේ වක්තෘ මෙහෙවර තුල එතුමා කෙරෙහි ජනතා ආකර්ශණය සිදුවන ආකාරය එහි සීඝ්‍ර වර්ධනය දුටු සමහරක් පිරිස් ‘තමන් ද දේව වක්තෘ හෙවත් නබි’ ලෙස ප්‍රචාරය කරන්නට විය. ඒ අනුව විවිධ ප්‍රදේශවල බොරු නබිවරුන් ද බිහිවන්නට විය. ‘කුරෙයිෂ්’ නම් ගෝත්‍රයේ උපන් නබිතුමාණන් තමන් දේව වක්තෘවරයෙකු ලෙස ඉස්ලාමීය දහම් ප්‍රචාරය පොදු ජනයා ඉදිරියේ ප්‍රකාශ කරන විට සමකාලීන වෙනත් ගෝත්‍රවල සමහරක් පිරිස් ද ‘තමන් ද තම ගෝත්‍රයට දේව වක්තෘවරුන්’ යයි ප්‍රචාරය කල ආකාරය ඉස්ලාමීය ඉතිහාසය (ආගමික මූලාශ්‍ර) තුල පැහැදිලි ලෙස සදහන් වී ඇත. විශේෂයෙන් එදා ‘යෙමන්’ (අද සිරියාව) ලෙස හැදින් වූ ප්‍රදේශයේ විසූ ‘අස්වද්’ හා ‘යෙමාමාවල’ විසූ ‘මුසෙයිලමා’ යන බොරු නබිවරුන් මෙහි සදහන් කලහැකි ප්‍රබල චරිත දෙකකි. මොවුන් දෙදෙනා නබිතුමාණන්ගේ සමකාලීනයන් වූ අතර නබිතුමාණන් සමඟ සංවාදයන් පවා සිදුකල බව ඉස්ලාමීය මූලාශ්‍රවල සදහන් වේ. මොවුනට අමතරව ‘සිජාහ්’ නම් කාන්තා බොරු නබිවරියද, ‘තලීහා’ නම් බොරු නබිවරයා පිලිබදව ඉස්ලාමීය ඉතිහාසයේ දීර්ඝ ලෙස කරුණූ සදහන් වී ඇත. මේ අනුව ඉහත හදීසයේ සදහන් ආකාරයට බොරු නබිවරුන් යන්න මුස්ලීම් සමාජයට අළුත් කාරණයක් නොවේ යන්න පැහැදිලිය.

එම කාරණය හොදින් මතකයේ රදවාගෙන බොරු නබිවරුන් කෙසේ වෙතත් ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව තවදුරටත් නබිවරුන් පහල වන්නේ ද? මුහම්මද් (සල්) තුමාණන්ගෙන් පසු තවත් නබිවරුන් පහල වන්නට පුළුවන්ද? යන කාරණය ඉස්ලාමීය ඉගෙන්වීමන් තුලින් දැන් කෙටියෙන් විමසා බලමු.

ප්‍රථමයෙන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් පදනම් කරගෙන මෙය විමසා බලන්නේ නම්,

…(මුහම්මද් (සල්) තුමාණන් වන) ඔහු අල්ලාහ්‍ (දෙවි)ගේ දූතයා (වක්තෘවරයා) වශයෙන් ද, නබිවරුන්ට මූද්‍රව (නිමාව)ක් වශයෙන් ද සිටින්නේය… [ශුද්ධ වූ කුර්ආනය 33-40]

ඉහත දිව්‍යමය වාක්‍යය මඟින් පැහැදිලි ලෙසම මුහම්මද් (සල්) තුමාණන් වක්තෘ මෙහෙවරේ අවසානය බවත්, මුහම්මද් (සල්) තුමාණන් මඟින් වක්තෘ මෙහෙවරට මූද්‍රව තැබු බවත් අල්ලාහ් (දෙවි) පැහැදිලිව පවසයි. ඒ අනුව එතුමාණන්ගෙන් පසු කිසිදු තැනැත්තෙකු හට තමන් නබි හෙවත් වක්තෘවරයෙක් යනුවෙන් තර්ක කිරීමට ඉස්ලාම් දහම තුල කිසිදු ඉඩක් නැත යන්න පැහැදිලිය. මෙය මුහම්මද් (සල්) තුමාණන් ඉතා අලංකාර හදීසයක් තුලින් මෙසේ පැහැදිලි කරන ලදී. එනම්,

මා හට පෙර විසූ අනිකුත් දේව වක්තෘවරුන්ගේ මෙහෙවර හරියට නිවසක් ඉදි කොට එය අලංකාර ලෙස සම්පූර්ණ කිරීමේ දී එහි මුල්ලක එක් ගඩොලක් අඩුපාඩු සහිතව ඉදි කලා බඳුය. ජනයා එම නිවසේ අලංකාරය නරඹන අතර තුර මෙම අඩුපාඩුව දැක විශ්මයට පත්ව ‘මේ ගඩොලත් මෙහි බැඳ (මේ නිවස සර්ව සම්පූර්ණ කොට) තිබිය යුතු නොවේද?’ යනුවෙන් පවසනු ඇත.’ යනුවෙන් පැවසූ නබිතුමාණන් ‘මා තමා ඒ ගඩොල – මම තමා වක්තෘවරුන්ගෙන් අවසානම වක්තෘවරයා’ යනුවෙන් එය පැහැදිලි කරන ලදී [මූලාශ්‍රය ග්‍රන්ථය – බුහාරී]

ඉස්ලාම් දහම පිලිබදව අධ්‍යනයන් හි නිරත වන හා ඒ පිලිබදව උනන්දුවක් දක්වන පිරිසට මෙම හදීසය තුල අවබෝධකර ගත හැකි බොහෝ කරුණූ කාරණා ඇත. විශේෂයෙන් මුස්ලීම් නොවන සහෝදර ජනතාව අතුරින් ‍බොහෝ දෙනෙකු අවබෝධ කොට සිටිනවා සේ ඉස්ලාම් දහම යන්න මූහම්මද් (සල්) තුමාණන්ගේ නිර්මාණයක් එසේත් නැත්නම් හදුන්වාදීමක් යනුවෙන් අවබෝධ කොට සිටීම නිවරුදි නොවන බව මෙම හදීසය තුලින් මනාව පැහැදිලි වේ. මුහම්මද් (සල්) තුමාණන්ගේ වක්තෘ මෙහෙවර පුළුල් ක්‍රියාදාමයක නිමාවක් පමණි. ඉස්ලාම් දහම යනු බොහෝ වක්තෘවරුන්ගේ දූත මෙහෙවරක ප්‍රථිපලයකි. නමුත් ඉහත 33-40 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය පවසන ආකාරයට මුහම්මද් (සල්) තුමාණන්ගේ පැමිණීමත් සමඟ (ශුද්ධ වූ කුර්ආනයේ 3-5 හි සදහන් ආකාරයට එසේම ඉහතින් සදහන් නිවස පරිපූර්ණත්වයට පත්වුවා සේ) දහම සම්පූර්ණ වන නිසා වක්තෘ මෙහෙවර ද මුහම්මද් (සල්) තුමාණන් සමඟම නිමාවට පත්ව වක්තෘ මෙහෙවරට මූද්‍රව තැබේ. ඒ තුලින් ද පැහැදිලි වන්නේ මුහම්මද් (සල්) තුමාණන් අවසාන නබි හෙවත් වක්තෘවරයාණන් බව නොවේද?. මෙය තවදුරටත් තහවුරු කර ගැනීම පිණිස තවත් නබිවදන් (හදීස්) කිහිපයක් වෙත ඔබේ අවදානය යොමු කරන්නේ නම්,

වරක් නබිතුමාණන් ‘මට නම් 05ක් ඇත. ඒ මුහම්මද්, අහමද්, අල්මාහි, අල්හාෂීර් හා අල්ආකිබ්’ යනුවෙන් පවසා තවදුරටත් ‘අල්ආකිබ්’ යනු කුමක් ද? කියා ඔබලා දන්නේ ද?’ යනුවෙන් (සහාභාවරුන් (සමකාලීන අනුගාමිකයන්)ගෙන්) විමසා මෙසේ පවසන ලදී ‘අල්ආකිබ් යනු අවසානවන්තයාය, අවසානවන්තයා යනු කුමක්ද? කියා ඔබ දන්නේ ද? මගෙන් පසු නබි (දේව වක්තෘ)වරුන් එන්නේ නැත. මම නබිවරුන්ගෙන් අවසානවන්තයා වෙමි’ යනුවෙන් පැහැදිලි කරන ලදී  [මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්]

වරක් නබිතුමාණන් සහාභාවරුන් හට ‘කියාමත්’ (විනිශ්චය) දිනයට පෙර බිහිවන අවසාන ජන සමූහය වන්නේ අපය. සෑම ජන සමූහයකටම නබිවරුන් පැමැණියේය.’ යනුවෙන් පවසන ලදී [මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී]

එක්තරා අවස්ථාවක නබිතුමාණන් අලි (රලි) තුමාණන් හට මෙසේ පවසන ලදී ‘අලි ඔබ මට (මූසා නබිතුමාට සෑම අයුරින්ම උදව් උපකාර කල ඔහුගේ සහෝදර) හාරූන් (අලෛ) මෙන්ය (හාරූන් (අලෛ) ද මුසා (අලෛ) මෙන්ම දේව වක්තෘවරයෙක් විය). නමුත් මගෙන් පසු නබි (වක්තෘ)වරුන් කවුරුවත් නැත’ [මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්]

ඉහත හදීසයන් වෙන වෙනම ගෙන විග්‍රාහ කිරීමට අවශ්‍ය නොවන තරම් සරලව හා පැහැදිලි ලෙස වක්තෘ මෙහෙවර නබිතුමාණන්ගේ නිමා වන බව පැවසේ. එසේ තිබිය දී පසුකාලීනව බිහිවූ සමහරක් පිරිස් තමා දේව වක්තෘවරුන් බවත්, තමන්ට ද දේව පණිවුඩ පහල වන බවත් මුස්ලීම් සමාජය මධ්‍යයේ ප්‍රචාරය කරමින් ඔවුන් නොමඟ යැවීමට උත්සාහ කිරීම විටෙක බොළඳ හා තවත් විටෙක ඉතා භයානක තත්වයකි. අවාසනාවකට මෙම අවාසනාවන්ත ඉරණමට ලොව බොහෝ මුස්ලීම් ජනයා දැනටමත් ගොදුරු වී අවසානය. ඉහතින් සදහන් දිව්‍යමය වාක්‍යය හා නබිවදන් පිලිබදව පැහැදිලි අවබෝධයක් මේ පිරිසට තිබුණේ‍ නම් මෙවැනි බොරු නබිවරුන්ට ගොදු නොවන්නට තිබුණි.

කෙසේනමුත්  මිර්සා ගුලාම් තමන් වටා රොක් වී සිටින පාර්ශවයන් තවදුරටත් තම සංවිධානය තුල රදවා ගැනීමටත්, තමන් වෙත ජනතා ආකර්ශනය ඇති කර ගැනීමටත්, තම සංවිධානයට එරෙහිව මතු කරන චෝදනා ජය ගැනීමටත් ඉදිරිපත් කරන තර්කයක් ඇත. එනම් රසූල්වරුන් යන්න මුහම්මද් (සල්) තුමාගෙන් නිමා වූ බවත්, නබිවරුන් එසේ නොවන බවත් මිර්සා ගුලාම් අහ්මද් නබිවරයෙක් ලෙසත් ප්‍රචාරය කරයි. කෙසේනමුත් මෙම තර්කය තුළින්ද තමා නබිවරයෙක් ලෙස පැවසීමට මිර්සා ගුලාම්ට නොහැකි බව මුහම්මද් තුමාගේ පහත ප්‍රකාශයෙන් සනාත වේ.

වරක් නබිතුමාණන් මෙසේ පවසන ලදී ‘රසූල්වරුත් (දේව නියෝග ලබන අයත්) ඉවරයි, නබිවරුත් (දේව පණිවුඩ ප්‍රකාශ කරන අයත්) ඉවරයි. මගෙන් පසු කිසිදු රසුල්වරයෙක් හෝ නබිවරයෙක් පහල නොවේ.’ [මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි]

ඉහත හදීසය හා මෙතෙක් සාකච්චා කල කරුණූ කාරණා නිසි ලෙස වටහා ගන්නේ නම් ‘මිර්සා ගුලාම් අහ්මද්’ වැනි පිරිස් ඉස්ලාමීය ලෝගුව පොරවාගත් කොතරම් ලොකු බොරුකාරයින් ද යන්නට මීට වඩා සාක්ෂී අවශ්‍ය නොවනු ඇත. ‘අහ්මදියාවරුන්’ මූලික කරගෙන මෙම විෂය කථා කරන නිසා ඒ අනුව විමසා බලන විට මිර්සා ගුලාම් අහ්මද් හෝ ඔහුගේ ප්‍රචාරය අදටත් ඉදිරියට ගෙනයන පාර්ශවයන් බොරුකාරයන් යන්නෙහි දෙවැනි මතයක් නැත.

අහ්මදියාවරුන් මුස්ලීම් ද? යන ප්‍රශ්නයට දැන් යොමු වෙමු.

මෙම පැනයට ඉස්ලාමීය ලෝක විද්වතුන්ගේ තීන්දුව ප්‍රථමයෙන් ප්‍රකාශ කරන්නේ නම්, ශුද්ධ වූ කුර්ආනය හා නබිතුමාණන්ගේ ආදර්ශය දහමේ මූලික මඟපෙන්වීම ලෙස පිලිගෙන පිලිපදින සියළුම පාර්ශවයන් මෙම ‘අහ්මදියාවරුන්’ මුස්ලීම් නොවේ යන්නෙ හි දැඩිව සිටිති. මෙහි හාස්‍ය ජනකම කාරණය වන්නේ ‘ශියාවරුන්’ පවා එම තීරණයේ සිටීමය. කෙසේ වෙතත් ඉස්ලාමීය ‍ඉගෙන්වීමන් මූලික කරගෙන එය විමසා බලන්නේ නම්,

  • අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ මුහම්මද් (සල්) තුමාණන් අවසාන වක්තෘවරයා යයි පවසා තිබිය දී ‘අහ්මදියාවරුන්’ ‘මිර්සා ගුලාම් අහ්මද්’ ද වක්තෘවරයෙකු යයි පැවසීම දිව්‍යමය වාක්‍යය ප්‍රතික්ෂේප කිරීමකි.
  • ඉස්ලාමීය මූලික ප්‍රතිපත්ති අතර මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් (දෙවි)ගේ අවසාන දූතයාණන් යයි විශ්වාස කිරීම අනිවාර්‍ය වී තිබිය දී ‘මිර්සා ගුලාම් අහ්මද්’ ද වක්තෘවරයෙකු යයි පිලිගැනීම එම මූලික ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමකි.
  • මුහම්මද් (සල්) තුමාණන් තමන් අවසාන වක්තෘවරයා බව හදීස් මඟින් පැහැදිලි කොට තිබියදී එය ප්‍රතික්ෂේප කරන ආකාරයට ‘මිර්සා ගුලාම් අහ්මද්’ ද වක්තෘවරයෙකු යයි පැවසීම එම හදීසයන් ප්‍රතික්ෂේප කිරීමකි.
  • එපමණක් නොව ‘මිර්සා ගුලාම් අහ්මද්’ ට පෙර ලොව පහල වූ වක්තෘවරුන් පහත් කොට තමා උසස් කොට තම ග්‍රන්ථවල ලියා තබමින් එය ප්‍රචාරය කිරීම සමස්ථ ඉස්ලාම් දහම ම විකෘති කිරීමකි. නිදසුනක් ලෙස 1990 දී ඉහත අහ්මදියා සංවිධානය විසින් ප්‍රකාශයට පත්කල ‘පොරොන්දු වූ මෙසායාගේ ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටස්’ යන කෘතියෙන් කරුණූ කිහිපයක් ඔබේ අවධානයට උපුටා දක්වන්නේ නම්,

මිර්සා ගුලාම් අහ්මද් පැවසූ බවට රූහානි ගසෙයින් කාණ්ඩය 2 පිටුව 41 සිරාජුම් මුනීර් පිටුව 41 මෙසේ සදහන් වේ

‘ශුද්ධ වූ කුර්ආනයේ ගැඹූරු ඥාණකෝෂය වටහා ගැනීමට ඉමහත් හැකියාවක් අන් කිසිවකුටත් නොදුන් අන්දමින් සර්ව බලධාරී දෙවියන් වහන්සේ මා හට දී ඇත.’

මිර්සා ගුලාම් අහ්මද් පැවසූ බවට රූහානි ගසෙයින් කාණ්ඩය 1 පිටුව 81- 82 බරාහිනි අහ්මදියා හි මෙසේ සදහන් වේ.

සියළු ධර්මයන්ගෙන් කිසිවක් ඒවායේ ඹූලධර්මයේ කිසිදු මුසාවක් නොමැති බවත්, එම වක්තෘවරු මුසාවාදීන් නොවන බවත් දෙවියන් වහන්සේ විසින් මා වෙත දන්වා ඇත.

  • මීට අමතරව ඉස්ලාමීය මූලික ඉගෙන්වීමන්ට පවා විකෘති අර්තකථනයන් ලබාදෙන අවස්ථාවන් බොහෝමයක් මෙම ‘අහ්මදියා’ ප්‍රතිපත්ති තුල දක්නට ලැබේ. විශේෂයෙන් තමන් දේව වක්තෘ බව සමාජයට හේතු ගැන්වීම පිණිස ලෝක විනාශය සමයේ ලොව සිදුවන බව ඉස්ලාම් පවසන ප්‍රධාන සලකුණු 10ට පවා ඔවුන් වැරදි අර්ථකථන ලබා දී ඇත. ඒ අතුරින් මේ වනවිටත් ඊසා නබිතුමාණ් මියගොස් සිටන බවත්, දජ්ජාල්, යහ්ජුජ් මහුජුජ් යනු හදීසයන් හි සදහන් සෘජු අර්ථය නොවන බවත්… යනාදීය එවැනි විකෘති මතවාදයන් කිහිපයකි.

මෙතෙක් ඉදිරිපත් කල කරුණූ සියළු හොදින් හා බුද්ධීමත් ලෙස අධ්‍යනය කලේ නම්, මේ ‘අහ්මදියාවරුන්’ බොරුකාරයන් යන්න පමණක් නොව ඉස්ලාම් දහමින් බැහැරව ගිය පිරිසක් බව තීන්දු කිරීම ඔබට අපහසු නොවනු ඇත. තවත් සරලව ම පවසනවා නම් ඉහත කරුණූවලට අනුව මේ ‘අහ්මදියාවරුන්’ මුස්ලීම් නොවේ යන්න හොදටම පැහැදිලිය.

 

මෙම ලිපිය යහමඟ වෙබ් අඩවියේ පළ වූ “අහ්මදියා ( කාදියානි )වරුන් මුස්ලීම් ද?” යන ලිපිය සුළු වශයෙන් වෙනස් කර නැවත පළ කරන ලද ලිපියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *