ඔබ කව්ද?

“මෙම ලෝකයේ විවිධ මායාවන් වලට වහල් වී සිටින නිසා තමා ගැන සිතන්ට තමාටම වෙලාවක් නැහැ” කියන ප්‍රකාශයට ඔබ අවිවාදයෙන් තොරවම එකඟ වනු ඇත. ලෝකේ විවිධ දේවල් ගැන දැන ගන්න කැමැත්ත දක්වන මිනිසා “මා යනු කවරෙක්ද?” යන ප්‍රශ්නයට අවධානය යොමු නොකරන්නේ වැදගත් නැති ප්‍රශ්නයක් නිසාද? නැතිනම් එය ගැඹුරු ගුප්ත දෙයක් නිසාද ? එසේත් නැත්නම් මෙවන් ප්‍රශ්නයක් කවදාවත් ඔබගේ සිත තුල හට ගෙන නැද්ද ?

සමහරවිට මෙම ප්‍රශ්නයට පිළිතුරක් ඔබගේ සිතේ දැනටමත් ඇතිවී තිබෙන්න පුළුවන්. කමක් නැහැ අපි පොඩ්ඩක් මේ ගැන තරමක් වෙනස් ආකාරයෙන් සිතා බලමු.

ඇතැම් චින්තකයන් “මා” යැයි කෙනෙක් නොමැති බව පවසනවා. එනම් එවන් කෙනෙක් සත්‍යවශයෙන් නොපවතින බවත් “මා” යනු හුදෙක්ම සංකල්පයක් පමණක් බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. නමුත් දාර්ශනිකව බැලීමේදී “මා” නමැති පුද්ගලයා සත්‍යවශයෙන් පවතින බව අපටම ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන්. රෙනේ ඩෙස්කාර්ටිස් මේ පිලිබඳ ඉදිරිපත් කල දාර්ශනික ප්‍රකාශය ගැන සලකමු [1].

එනම්,
1. “මා” යැයි කෙනෙක් නොමැතිව මට “මා” ගැන සිතිය නොහැකියි. (“මා” ගැන සිතීමට මා සිටිය යුතුය)
2. දැන් මා “මාගැන” සිතනවා
3. එනිසා මා සිටිනවා.

“මා” යයි කෙනෙක් නැහැ යයි බටහිර චින්තකයන් පැවසුවත් එවන් “මම” යැයි කෙනෙක් සිටිනාවාද නැද්ද යන්න වටහා ගත හැක්කේ ඔබ “ඔබ” ගැනම ඉහත ප්‍රකාශ කල අයුරින් ප්‍රශ්න ඇසීමෙනුයි. විවිධ තර්ක ඔස්සේ “මම” යැයි පුද්ගලයෙක් ඇත්ත වශයෙන්ම නැහැ යයි ඇතැම් චින්තකයන් පවසා තිබුනත් එය හුදෙක්ම වචන වලට පමණක් සීමාවන පැහැදිලි කිරීමක් විනා යතාර්ථයක් විය නොහැකි බව ඔබටම තේරුම් ගන්න පුළුවන්. එනම් “මා” යයි පුද්ගලයෙක් සිටිනවා යයි තිබෙන අපගේ සාධාරණ හැඟීම “මා” යයි කෙනෙක් නැහැ යයි පවසන ප්‍රකාශය අබිභවා යනවා.

මා යැයි හඳුන්වන්නේ කාටද ?

දාර්ශනිකයන්, චින්තකයන් මෙම ප්‍රශ්නයට වැදගත්කමක් දෙන බව මෙම විෂය පිළිබඳව ඉදිරිපත් වී ඇති මත පිරික්සීමේදී අපට දැකගන්න පුළුවන්.

දාර්ශනිකයෙකු වන රෝයි ආබ්‍රහම් වාර්ගේස් (Roy Abraham Varghese) මෙසේ සඳහන් කරනවා:
To reverse Descartes, ‘I am, therefore I think…’ Who is this ‘I’? ‘Where’ is it? How did it come to be? Your self is not just something physical. (ඩෙස්කාර්ටිස්ගේ මතයේ විලෝමය සැලකීමේදී, එනම් “මම සිටිනවා, එනිසා මම සිතනවා”* යන මතය සකලීමේදී “මම” යනු කවරෙක්ද? එය තිබෙන්නේ කුමන ස්ථානයේද? එය ආරම්භ වූයේ කෙසේද? “ඔබ” යනු හුදෙක්ම භෞතික දෙයක් නොවේ) [2].

කෙනෙකු තුල “ආත්මය” නම් දෙයක් තියෙන බවත් “මා” යයි හැඳින්වෙන්නේ එම ආත්මය බවත් බෝහෝ දෙනෙක් පිලිගන්නවා. නමුත් “ආත්මය යනු කුමක්ද?” යන ප්‍රශ්නයට පරිපූර්ණ පිළිතුරක් ඔවුන් තුල නැහැ. ආත්මය යන්න කුමක්ද යැයි පැවසිය නොහැකි වුනත් එවන් දෙයක් තිබෙනවා යැයි නිගමනයකට ඔවුන්ට එන්න පුළුවන් වී තිබෙනවා.

“මා” යැයි හැඳින්වෙන්නේ අපගේ ශරීරයට, එහෙමත් නැත්නම් ශරීර කොටස්වල එකතුවට බව තවත් කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් පරිපූර්ණව සිට පසුව අතක් පයක් අහිමි කර ගත් පුද්ගලයා හිතන්නේ කුමක්ද ? “මාගේ අත අහිමි වුනා” , “මාගේ පය අහිමි වුනා” යැයි ඔහු සිතනවා. මෙහිදී “මා සිටිනවා” යන ඇතුලාන්ත හැඟීමට කිසිම අඩුවක් වන්නේ නැහැ. ඒ වාගේම ශරීරයේ අවයව අප හඳුවන්වා දෙන්නේ “මාගේ මොළය”, “මාගේ හදවත”, “මාගේ ශරීරය”, “මාගේ ඇස” යනාදී වශයෙනුයි. මෙලෙස පැවසීමට මිනිසා පුරුදු වී සිටීම ඇත්තෙන්ම ආශ්චර්යමත්.

“මාගේ ගෙදර” යයි පැවසීමේදී “මා” යනු ගෙදරට බාහිර දෙයක් ලෙස තේරුම් ගැනීමට ඔබට අපහසු වන්නේ නැහැ. නමුත් “මාගේ අත”, “මාගේ මොළය” යයි පැවසීමේදී “මා” යනු ශරීරයට යම් ආකාරයෙන් පරිභාහිර වූ යමක් ලෙස ඔබ අද වෙනතුරු නොසිතුවේ කුමන හේතුව නිසාද? ශරීරයක් ගැන නොසිතා “මා” යැයි පුද්ගලයෙක් ගැන ඔබට සිතන්න පුළුවන් නේද? රෙනේ ඩෙස්කාර්ටිස් ප්‍රකාශ කර තිබෙන ද්‍රව්‍යය ද්වෛතවාදය නමැති දාර්ශනික නිගමනයේදී පැවසෙන්නේ මනස හා ශරීරය යනු ද්‍රව්‍යයන් දෙකක් බවයි [3].

“මා” ලෙස හැඳින්වෙන්නේ හුදෙක්ම ඔබ මේ දකින ශරීරයට නොවේ කියල දැන් ඔබට වැටහෙනවාද?

කෙසේනමුත් මේ “මා” යන පුද්ගලයා ශරීරයට යම් අකාරයෙන් පරිබාහිර කෙනෙකු වුනත් ඔහු විඤ්ඤානයක් (consciousness)* සමග ඒකාබද්ද වී ඇති බව දැන් තමාටම අවබෝධ කර ගන්න පුලවන්. එනම් මේ ලිපිය කියවීමට, එහි ඇති කරුණු ගැන සිතීමට, එම සිතීම නැවත විශ්ලේෂණ කිරීමට, හොඳ නරක වටහා ගැනීමට යනාදී දේවල් “මම” නම් පුද්ගලයා සතුව තිබීම නිසා ඔහු විඤ්ඤානය සමඟ ඒකාබද්ද වී සිටිනවා යැයි පැවසීම සාධාරණයි නේද? මෙන්න මේ “මා නම් විඤ්ඤානය” හැඳින්වීමට තමයි ආත්මය යන වචනය සාමාන්‍යයෙන් භාවිතා වන්නේ. කෙනෙකුට මෙම ආත්මය යන වචනය භාවිතා කරන්න කැමැත්තක් නොමැති නම් එය භාවිත නොකර සිටීමේ කිසිම වැරැද්දක් නැහැ. එය අප කතා කරන මාතෘකාවට ගැටළුවක් වන්නේ නැහැ.

මා නම් පුද්ගලයෙකු සිටිනවා යැයි අපිට අවබෝධ කළහැකි වුනත් ශරීරයට පරිභාහිර මේ “මා යන පුද්ගලයාගේ ස්වභාව කුමක්ද?” යනාදී ප්‍රශ්නවලට පිළිතුරු දීමට තරම් බුද්ධියක් අප සතුව නැහැ.

දැන් අපට තවත් වැදගත් ප්‍රශ්නයක් සිහියට එන්න පුළුවන්. ඒ තමයි “තමාගේ ආරම්බ්ය කුමක්ද?” යන ප්‍රශ්නය. “මා” යනු හුදෙක්ම ශරීරය නොවන බව ඔබ දැන් පිලිගන්නවා ඇති. අප සතු ශරීරය ගැහැනියකුගේ හා පිරිමියකුගේ එක් වීමෙන් ආරම්භ වී තිබෙන බව අප දන්නා නිසා ඉන් පරිබාහිර “මා” නම් පුද්ගලයාගේ ආරම්භය ගැනයි ඇත්තෙන්ම අප දැන් කතා කල යුත්තේ. එනිසා මින් පසුව “මා” ලෙස මෙම ලිපියේ සඳහන් වන්නේ “මා නම් විඤ්ඤානයට” ප්‍රමුකත්වය දීමෙනුයි.

මෙම “මා” යන පුද්ගලයාට ආරම්භයක් නැහැ කියල කෙනෙක් කියන්න පුළුවන්. නමුත් එම ප්‍රකාශය අපට පිළිගන්න පුලුවන්ද? එයට හේතුව, තමා “තමා” ගැනම සිතද්දී “තමාට” ආරම්භයක් තිබෙන බව අපිටම වැටහී යාමයි. සරලව කියනවනම් “මා යනු කවරෙක්ද? කුමක්ද?” යනාදී ප්‍රශ්නවලට අපට නිර්වචනයක් ඉදිරිපත් කල නොහැකි වුනත් එවන් යම් දෙයක් පවතින බවත් එයට ආරම්බයක් තිබෙන බවත් අපිට වටහා ගන්න පුලුවන්.

මෙම ආරම්භය සිදු වී ඇත්තේ කෙසේද? නාස්තිකත්වයෙන් කවදාවත් යමක් ඇති වන්නේ නැහැ. විශේෂයෙන්ම විඤ්ඤානයක් සහිත, ආරම්භයක් ඇති “මා” යන පුද්ගලයා නාස්තිකත්වයෙන් (ශුන්‍යයකින්) ආරම්භ වෙන්න කිසිසේත්ම බැහැ. ඒවගේම හුදෙක්ම අජීවී පදාර්තයකින් විඤ්ඤානයක් ඇති වන්නේත් නැහැ. එය ආරම්භ විය හැක්කේ තවත් විඤ්ඤානයකිනුයි. මෙනිසා “මා” ගැන පූර්ණව දන්නේ මාගේ ආරම්භයට හෙතුවූ ඒ මුල් විඤ්ඤානයයි.

මෙම මුල් විඤ්ඤානය එසේත් නැත්නම් මාගේ නිර්මාණකරු විසින් පහත ආකාරයෙන් අල් කුරානය ඔස්සේ කරුණු අනාවරණය කර ඇත්තේ අපට මෙම සත්‍ය අවබෝධ කර දීම සඳහායි.

ඔවුහු තමන් ගැන කල්පනා නොකළෙහිද? [4]
සඳහන් කිරීමට වැදගත් දෙයක්ව නොමැති කාලයක් මිනිසාට තිබුණේ නැද්ද? (එනම් මිනිසාට ආරම්භයක් තිබුණේ නැද්ද?)
ඔහු පරික්ෂා කිරීම සඳහා මිශ්‍රවූ ශුක්‍ර බිඳුවකින් නියත වශයෙන් අපි මිනිසා නිර්මාණය කළෙමු… [5]
නොඑසේ නම් ශුන්‍යයක් විසින් ඔවුන් නිර්මාණය කරනු ලැබුවේද? නොඑසේ නම් ඔවුහු ඔවුන්ගේම නිර්මාණකරුවෝ වෙත්ද?
නොඑසේනම් ඔවුහු අහස් හා පොළොව නිර්මාණය කර ඇත්තෝද? නැත මොවුන් ස්ථීර ලෙස විශ්වාස නොකරන්නෝය [6]
(මුහම්මද්!) රූහ් (සරලව මිනිසාගේ මා නමැති විඤ්ඤානය) ගැන ඔවුහු නුඹගෙන් ප්‍රශ්න කරති. “රූහ් (සරලව මිනිසාගේ මා නමැති විඤ්ඤානය) මාගේ පරමාධිපතිගේ ආඥාවෙන්ය. ඉතාමත් ස්වල්ප දැනුමක් මිස නුඹලාට(මිනිසුන්ට) දෙනු ලැබුවේ නැත.” යැයි පවසනු. [7]

මා නම් කෙනෙක් සිටින බවත් ඔහුට ආරම්භයක් තිබෙන බවත් කල්පනා කිරීම තුලින් මාගේ නිර්මාණකරුවාගේ පැවැත්ම(Existance of a cretor or first cause) ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ඉහත කුරාන් වැකි උපකාර වෙනවා. මෙනිසා මා නමැති විඤ්ඤානය හමුවේ නාස්තිකවාදීන්ට පරාජය පිළිගන්න සිදු වෙනවා. ප්‍රකට නාස්තිකවාදියෙකු වන රිචර්ඩ් ඩෝකින්ස් මෙම පාරාජය පිලිගන්නවා. මා නමැති විඤ්ඤානය ගැන ඔහු පවසන්නේ “අපි දන්නේ නැහැ, අපිට එය තේරුම් ගන්න බැහැ” යනුවෙනුයි[8]. ඔව් කුරානය පවසන ආකාරයට එය පූර්ණව තේරුම් ගැනීමට මිනිසාට බැහැ. ඔහුට තේරුම් ගත හැක්කේ එවැන්නක් තිබෙන බවත් එයට ආරම්භයක් තිබෙන බවත් පමණයි.

මාගේ ආරම්භයේ අරමුණ කුමක්ද?

මෙයට පිළිතුරු මාගේ නිර්මාණකරුවාගෙන්ම දැන ගැනීමයි සුදුසුම ක්‍රමය.

නුඹලාගෙන් කවරෙකු ක්‍රියාවෙන් ඉතා හොඳදැයි නුඹලා පිරික්සනු පිණිස මරණයත් ජීවිතයත් ඔහු නිර්මාණය කළේය. තවද ඔහු අති බලසම්පන්නය, ක්ෂමාශීලීය. [අල් කුරානය 67:2]

යමෙක් මෙම අරමුණට අකමැති වෙන්න පුළුවන්. එයට හේතුව ඔහුගේ හැඟීම ඔහුට ඉඩ නොදීම විනා ඔහුගේ බුද්ධිය ඔහුට ඉඩ නොදීම නොවේ. කෙනෙකුගේ හැඟීම තමාගේ ජීවිතයේ අරමුණට අකමැති වුනත් එය පිළිගැනීම හැරෙන්න වෙන විකල්පයක් නැහැ නේද…?? පාසල් ගොස් විභාග වලට පෙනී සිටීමට කෙනෙක් අකමැති වුනත් පාසල් යන්නේ සාර්ථක ජීවිතයක් ඇති කර ගැනීමේ අරමුණින් නේද? මෙම ජීවිතයත් එක් තරා පරීක්ෂණයක් ලෙසයි මිනිසාගේ නිර්මාණකරු පවසන්නේ. එනිසා ඒ අනුව ක්‍රියා කිරීම නේද හොඳ?

මා යන්නෙක් කෙනෙක් සිටිනවාද? ඔහු කව්ද? ඔහුගේ ආරම්භය කුමක්ද? එය සිදුවූයේ කෙසේද? ඔහුගේ අරමුණ කුමක්ද? යන ප්‍රශ්න මෙම ලිපියේ සාකච්චට ලක්කර තිබෙනවා. මෙම ලිපිය කියවීම්දී ඔබගේ සිතේ ඇතැම් අණු ප්‍රශ්න හටගෙන තිබෙන්න පුළුවන්. එවන් ප්‍රශ්න හා ඒවාට අදාළ පිළිතුරු ගැනත් දැන ගැනීම ප්‍රයෝජනවත් වෙනවා.

ප්‍රශ්නය:
මාගේ ආරම්භයට හේතුව එක්තරා මුල් විඤ්ඤානයක්, එසේත් නොමැතිනම් එක් හේතුවක් නම් එම හේතුවේ ආරම්භය කුමක්ද? කෙසේද? එයටද හේතුවූ හේතුව කුමක්ද?
පිළිතුරු:
මැවුම්කරුව මැව්වේ කවුරුන්ද?
හේතු ඵල වාදය පිලිබඳ දාර්ශනික විග්‍රහයක්

ප්‍රශ්නය:
මාගේ ආරම්භයට හේතුව මාගේ පෙරභවය නොවේද?
පිළිතුර:
යතාර්ථවාදී නොවන අනන්තයෙන් අතරමං වූ පුනර්භවය

පාද සටහන්:
* මම යනු කෙනෙක් සිටිනවා යැයි ප්‍රකාශ කිරීමට රෙනේ ඩෙස්කාර්ටිස් විසින් ඉදිරිපත් කල තර්කය
* විඤ්ඤානය (consciousness) – a person’s awareness or perception of something, http://www.oxforddictionaries.com/definition/english/consciousness.
* හොඳ නරක ගැන අවබෝධය, ඇති එයින් තමා කැමති දෙය තෝරාගැනීමේ හැකියාව ඇති, තම තේරීම ගැන විශ්ලේෂණය කල හැකි ඒ අනුව පසු තැවිය හැකිවීම යනාදියට තනි වචනයක් ලෙස විඤ්ඤානය යන වචනයට භාවිතා වී තිබෙන අතර ඉස්ලාමය පවසන්නේ මෙම විශේෂත්වය ඇත්තේ ජින්වරුන්ට හා මිනිසුන්ට පමණක් බවයි. සතුන්ට මෙම හැකියාව නොමැති බව ඉස්ලාම් දහමේ ඉගැන්වීම් වල ගැබ් වෙනවා.
* නාස්තිකත්වයෙන් කිසිවක් ඇති වෙන්නත් බැහැ. ඒ වගේම යම් දෙයක ආරම්භයේ හේතුව එම දෙයම බව පැවසීම තර්කානුකූල නැහැ. උද. ඔබගේ මව ඇයවම ප්‍රසූත කළා යැයි පැවසීම තර්කානුකූල නැහැ.

මූලාශ්‍රයන්
[1] Rene Descartes, “I think, therefore I exist”, http://www.freerepublic.com/focus/fr/781932/posts, April 2002
[2] There is a God: How the World’s Most Notorious Atheist changed his Mind. Anthony Flew with Roy Abraham Varghese. Appendix A, p 180.
[3] Rene Descartes, “The Mind-Body Problem”, http://www.iep.utm.edu/descmind/
[4] අල් කුරානය 30:8
[5] අල් කුරානය 76:1-2
[6] අල් කුරානය 52:35-36
[7] අල් කුරානය 17:85
[8] Richard Dawkins and Steeve Pinker, “Is Science Killing the Soul?” The Guardian-Dillons Debate, Edge 53. April 8, 1999.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *